Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

හඬ නිහඬව රුව මැකුණී පන්හිඳ මෙහෙවර නිම වී

$
0
0
ජුනි 19, 2018 01:00

සොඳුරු මිනිසුන්ගේ වියෝව පිළිබඳ පුවත්, බොහෝ අවස්ථාවල ඇසෙන්නේ අප නොසිතන නොපතන මොහොතක බව පසුගිය කාලය පුරා අපගෙන් සමුගත් අප ආදරය කළ චරිත නම් ගම් මතකයට නැගෙනා කල දැනේ. සාහිත්‍ය කලා, සංස්කෘතික, සංගීත, නාටක, සිනමා, විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ආදී ක්ෂේත්‍ර තුළ තම අනන්‍ය වූ ප්‍රතිභාන්විත නිර්මාණ කාර්යයන්ගෙන් ජන මනස ප්‍රබුද්ධිමත් කළ යුග පුරුෂයන් මෙන්ම විශිෂ්ටයන්ගේ ද සමුගැනීම් අදහාගත නොහැකි වූ මොහොතක සිදු වූ බව සනාථ වූ මෑත කාලීන අවස්ථා බොහෝය. ආචාර්ය තිස්ස අබේසේකර, වසන්ත ඔබේසේකර, ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ, ආචාර්ය පණ්ඩිත් අමරදේව, ආචාර්ය ධර්මසේන පතිරාජ, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමනා සපරමාදු, විජය නන්දසිරි, එලෙස මතකයට නැගෙන නම්ගම් කිහිපයකි.

පසුගිය පස්වැනිදා උදෑසන අසන්නට ලැබුණු පුවතකින් හද කම්පාවට පත්ව එදුක් ගින්න නිවී එහි උණුසුම මැකී යන්නටත් පෙර, එබඳුම දුක්මුසු පුවතක් අටවන දින පෙරවරුවේ අසන්නට ලැබුණේ අපගේ අවාසනාවට නොවේදැයි නොසිතුණා නොවේ. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස නොපැකිල හඳුන්වා දීමට හැකි හේම නලීන් කරුණාරත්න සුමිතුරා දිවි සැරියෙන් සමුගත් පුවත පස්වන අඟහරුවාදාත් මුද්‍රිත මාධ්‍යය හා ලේඛනය, සාහිත්‍යය, ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිර රචනය, විචාරය ආදී වූ සාහිත්‍ය කලා ප්‍රවේග රැසකම තම අනන්‍ය ලකුණ, මුද්‍රාව සටහන් කොට තිබූ විශිෂ්ටයකු සේ අවිවාදිතව නම් කළ හැකි සහෘදයකු වූ සෝමවීර සේනානායක තම පන්හිඳෙන් පෑ එ විකුම් නිමා කළ පුවත අටවනදා උදෑසනින් අප සවන පතිත වූයේ අප හද දුක් ගිනි අවුළුවමින්, අප නෙත කඳුළක් රඳවමින් බව කෙසේ සඟවන්නද? ඔවුන් දෙදෙනාම ඔවුනගේ ප්‍රකාශන මාධ්‍යයෙහි විශිෂ්ටයෝය. නව මං ඔස්සේ නව නිර්මාණ කළෝ පමණක් නොව, එකී නිර්මාණ ඔවුන්ගේ භාව ප්‍රකාශන මාධ්‍ය තුළ විශිෂ්ට නිර්මාණ බවට පත්වීම මේ දෙදෙනාගේම නිර්මාණකරණයේදී පැහදිලිවම කැපී පෙනුණු ලකුණක් වීය.

හේම නලීන් හා සෝමවීර යන දෙදෙනාම තම නිර්මාණ චාරිකාවේ තීර්ථය දකින්නට තව බොහෝ කල් තිබිය දී සමුගත්තන් නොවිණිද? හේම නලීන් රූපවාහිනී මාධ්‍යයේ මහගෙදර සේ සැලැකෙන ජාතික රූපවාහිනියෙන් තම භූමිකා පණ ගැන්වීම ඇරැඹූ අතර සෝමවීර, ජනමාධ්‍යයේ පත්තර මහගෙදර සේ සැලැකෙන ලේක් හවුසියෙන් තම පන්හිඳ අසිරිය පාඨක ලෝකය වෙතට සමීප කිරීම ඇරැඹූහ. 1983 දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහාය නිෂ්පාදකවරයෙක් ලෙස විද්‍යුත් මාධ්‍යයට අත් පොත් තබන හේම නලීන් 2000 සහශ්‍රය උදාවන තෙක් තම ප්‍රතිභාන්විත, නිර්මාණාත්මක අණ සක පතුරාලූයේ නිෂ්පාදක භූමිකාවෙහි මෙන්ම නිවේදක, පූරක හෝ සම්ප්‍රවේශක නමින් වූ භූමිකා තුළය.

9.05, ආනන්ද රාත්‍රී, මින්දද හී සර ආදී වූ නිෂ්පාදන හේම නලීන් ජාතික රූපවාහිනියට මෙන්ම ප්‍රබුද්ධ ප්‍රේක්ෂාගාරයට ද දායාද කළ මාහැඟි තිළිණ වේ. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ග්‍රාහකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාමෙහි ලා ඔහුගේ ආමන්ත්‍රණය සුහද වීය. ළෙන්ගතු වීය. නිර්මාණශීලී වීය. ආකර්ෂණීය වීය. ඔහුගේ හඬෙහි, රූපකායෙහි, අභිනයෙහි රැඳී තිබුණේ හේම නලීන් ලකුණයි. ඔහු ප්‍රේක්ෂකයන් ඇමැතීමෙහි ලා තෝරාගත් බසෙහි වූ ලාලිත්‍යය, කාව්‍යාත්මකබව, සරල , අර්ථවත් හා නිරවුල් බව ඉදිරිපත් කළ නිෂ්පාදන තුළ වූ නැවුම් බව ඉතාම කෙටි කලකින් රූපවාහිනී මාධ්‍යය තුළ ප්‍රේමකීර්ති ද අල්විස් වැනි විශිෂ්ටයෙකුගෙන් පසු තවත් විශිෂ්ටයෙකුගේ ආගමනය සටහන් කළ සන්ධිස්ථානයක් වීය. තරගකාරී ඇතැම් නාලිකා පූරකවරුන් හා පූරකවරියන්ගේ සිංහල බසට නිගා දුන් දෙමුහුන් බසකින් ගිරා පෝතක පෝතිකා භූමිකාවන්ට පණ දෙමින් සිටි අවධියක සම්ප්‍රවේශක භූමිකාවෙහි අගය, වැදගත්කම පිළිබඳ මනා වැටහීමකින්, සදචාරාත්මක හා ආචාර ධර්ම පිළිපදිමින් තම මෙහෙවරෙහි නියැළුණු අයුරු ප්‍රේක්ෂක මතකයෙන් ඈත් නොවේ.

සහශ්‍රය උදාවත් සමඟ ස්වර්ණවාහිණියේ නිර්මාණ අධ්‍යක්ෂ ධුරය හොබවමින් ජාතික රූපවාහිනියේ දී නැවතුණු තැන සිට යළි ගමන් ඇරැඹූයේ තවත් නව නිෂ්පාදන රැසක් ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරමිනි. රාත්‍රි 8.00 ප්‍රවෘත්ති විකාශය, ලයිව් ඇට් එයිට් Live @ Eight සංකල්පයකට හරවා ගත් හේම නලීන් හපන් පැදුර, මං පොඩිකාලේ, සුන්දර සෙනසුරාදා ආදී වූ නිර්මාණාත්මක වැඩ සටහන් හඳුන්වා දෙමින් වඩ වඩාත් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තේය. ආරාධිතයකු සමඟ කෙරෙන පිළිසඳරක දී ඔහු විසින් තෝරා ගන්නා පුද්ගල චරිතයේ හැඩරුව, අතීතකාමී මතක, සම්පත්දායක මුවින් එළියට ගනු ලැබීමට ඉමහත් දක්ෂකමක් දැක්වීය. කවියේ හා ගේය පද රචනයෙහි විශිෂ්ටයා වූ මහගම සේකර පිළිබඳ අනුස්මරණ වැඩ සටහනක් සඳහා ඔහු විසින් මහාචාර්ය තිස්ස කාරියවසම්ට හා ම හට ඇරැයුම් කරන ලද්දේ එක්තරා සුන්දර සෙනසුරාදාවකටය. මහැදුරු කාරියවසම් විසින් තම මිත්‍රයට තෑගි පිණිස එංගලන්තයෙන් ගෙන ආ කමීසයේ කතා පුවත හාරා අවුස්සා ගන්නට හේම නලීන් සමත් වීය.

මනෝ, සුනිල් හා මවිසින් 1971 දී පළ කරන ලද අපගේ දොලොස් මහේ පහන කාව්‍ය සංග්‍රහයේ පිට කවරය අන්දවා ගැනීමට මනෝත් මමත් ගම්පහ ශ්‍රී බෝධි පාරේ මහගම සේකර නිවස්නට ගොස් ඔහු හමු වූ පුවතෙහි රසවත්ම මතක අපගෙන් උදුරා ගන්නට හේම නලීන් සමත් වූයේ පෙර දා මා හා කළ කතා බහේ දී එකී ගමන පිළිබඳ මගේ දිනපොතෙහි සටහනක් ලියැවී ඇතැයි මගෙන් දැනගත් පසුවයි. 1971 අගෝස්තු මාසයේ දවසක මනෝ හා මා සේකර හමුවූ සිදුවීම මගේ දිනපොතෙහි ලියැවී තිබිණ. දින පොත ද රැගෙන පිළිසඳරට එක් වූ පසු, පොත් කවරය ඇඳ දීම සේකරයන් භාරගත් ප්‍රීතිය වෙනුවෙන්, කොටුවට පමිණ මනෝත් මමත් බීර බිව් පුවත තෙක් දින සටහන් කියවීමෙන් හේම නලීන් ප්‍රේක්ෂකයන් මෙන්ම අප ද අතීතයට ගෙන ගිය අයුරු අද මෙන් මතකය.

ස්වර්‍ණවාහිනියට ආයුබෝවන් කී පසු ඔහු තම ප්‍රකාශන මාධ්‍ය අත් නොහැර තමන්ගේම රූපවාහිනී නාලිකාවක් මගින් ඔහු විසින් හදා වඩා ගත්, ඔහුට ආදරය කළ ප්‍රේක්ෂාගාරය අත් නොහැර අතරමං නොකළ අයුරු හේම නලීන් චරිතාපදානයෙහි සටහන් වී තිබේ. 2008 සැප්තැම්බරයේ සිට ශ්‍රී ටී.වී. චන්ද්‍රිකා රූපවාහිනිය ඔස්සේ එතෙර ප්‍රේක්ෂකයන් වෙත ද, 2009 මැයි මාසයේ සිට HTV හෙවත් හෙරිටේජ් ටෙලිවිෂන් නමින් ඩයලොග් ටී.වී. ඔස්සේ දිනකට පැය 24 ක් පුරාම අරුත්බර වැඩසටහන් ගෙනෙන රූපවාහිනී නාලිකාවක් ද ඇරැඹූයේ ප්‍රේක්ෂකයන්ගේ රස වින්දනය, දනුම ඔසවා තැබීමේ අරමුණ මුල් කොට ගෙනය. අපගේ දේශය සතු ශ්‍රී විභූතිය, සොබා සුන්දරත්වය, ජනතාව, සංස්කෘතිය, ලෝකය, වනසත්ව සම්පත, පරිසරය පිළිබඳ කවුළු විවර කොට මෙතෙර හා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට සමීප කිරීමට හේම නලීන්ගේ HTV නාලිකාව සමත්වීය. සුලබ පුවත්වලින් තොර වූ අන්තර්ගතයේ හා ඉදිරිපත්කිරීමේ අපූර්වත්වයෙන් ඔහු විසින් රසවින්දනාත්මක, හරිත විත්ති, සදා සොඳුරු, වැව් බැඳි, රඟබිම, සොබාදම් සබාව,වෙරළ, ගජ දින පොත වැනි අපූරු නිෂ්පාදන නාම HTV සඳහා හේම නලීන් හඳුන්වා දුන් නැවුම් වැඩසටහන් අතර වීය.

හේම නලීන් තුන්කල් දුටු මාධ්‍ය නායකයකු ලෙස HTV තුළින් නැවුම් නිෂ්පාදන ප්‍රේක්ෂාගාරයට පුදන'තරෙහි 2014 සිට, HTV Academy අරඹමින් රූපවාහිනී මාධ්‍ය පිළිබඳ පුළුල් හා නිවැරදි න්‍යායික හා ප්‍රායෝගික දනුමකින් යුත් නව තරුණ පරපුරක් බිහිකිරීමට ගත් උත්සාහය පැසසුම් කටයුතුය. වසර ගණනාවක් පුරා රූපවාහිනී මාධ්‍ය ආයතන ද්වයක ලද ප්‍රායෝගික දැනුම ප්‍රේක්ෂක රුචිය පිළිබඳ ඔහු සතු වූ අවබෝධය ප්‍රධාන කොට ගත් පාඨමාලා මගින් පුහුණු කොට රූපවාහිනී මාධ්‍යයට ඔහු විසින් දායාද කොට ඇති තරුණ පිරිස අන් කිසිදු රූපවාහිනී මාධ්‍ය ආයතනයකින් හෝ බිහි නොවූ නිර්මාණශීලී තරුණ පිරිස බව අපි දනිමු.

2009 ජූනි දෙවන දා ලංකාදීප සහෘද සටහනෙහි මවිසින් ලියන ලද තීරුව මගින් හේම නලීන්ගේ එච්ටීවී නාලිකාව හා ඉන් ප්‍රෙක්ෂක ප්‍රජාවට ලැබෙන රසය, අධ්‍යාපනය දැනුම පිළිබඳ පාඨකයා දැනුම්වත් කරන ලද්දේ හේම නලීන්ගේ මෙහෙවර සැබැවින්ම අර්ථවත් ව්‍යායාමයක් සේ අපට දනුණු බැවිනි.

2017 සැප්තැම්බරයේ මගේ කෘති ත්‍රිත්වයක් ජනගත වූ උළෙලට සහභාගී වූ හේම නලීන් පසු දිනෙක දුරකතනයෙන් මහට පැවසූයේ ජනගත වූ පොත් අතරින්, මැදියමක කළුවර කෙටිකතා පොතත්, කවිමිහිරත් මිලට ගත් බවයි. මා ඔහුට පැවසූයේ එදවස සොඳුරුමය 4 ඔහු අත තිබිය යුතු බැවින් එහි පිටපතක්, හිත ළඟ හතට රූපවාහිනියට පැමිණි කලෙක ගැනීම සඳහා සභාපතිතුමාගේ ලේකම්වරිය නීලකාන්ති විජේකෝන්ට දුන් බව මම ඔහුට කීවෙමි. මාස කීපයක් ගතවීත්, එය ඔහු විසින් රැගෙන ගොස් නැති බව මම දැනගතිමි. මට හේම නලීන් අවසන් වරට මුණ ගැසුණේ මැයි මස 24 දා අප දෙදෙනාගේම මිතුරකු හා මිතුරියකගේ දියණියගේ ( අනුර සොලමන්ස් හා නිශානි දිසානායක ) විවාහ මංගල උත්සවයේදීය. “පොත තාමත් නීලකාන්ති ළඟ, රූපවාහිනී ගිය වෙලාවක ගන්න...“ මම ඔහුට කීවෙමි. “ඔව්, හෙට අනිද්දා දවසක ගන්නම්“ ඒ මා ඇසූ ඔහුගේ අවසාන වචනයි. ඔහු මිය ගිය දා මා නීලකාන්තිගෙන් දැනගත්තේ එදවස සොඳුරුමය තවමත් ඈ ළඟ බවයි. හේම නලීන් මිතුරා වෙනුවෙන් ලියවුණු සටහන සමඟ ඒ පොත නීලකාන්තිට පරිත්‍යාග කළේ එය නැවත මා ළඟ තබා ගැනීම මසිතට දුකක් ගෙනෙන බව දන්නා නිසාය.

පන්හිඳක මෙහෙවරට සමුදුන් සෝමවීර සේනානායක සහෘදයා අප ද ශිල්ප ලද විද්‍යෝදය විශ්වවිද්‍යාලයේම (ශ්‍රී ජයවර්ධනපුර ) කීර්තිමත් ආදි විද්‍යාර්ථියකු වීම පිළිබඳ ආඩම්බරයක් සිතේ. ඔහු ගේ අවසන් වසරේ දී (1966 ) මා පළමු වසරේ සිසුවකු ලෙස දැන හඳුනා ගෙන සිටීමත් 1976 ශාස්ත්‍රපති පාඨමාලාවෙහි ඔහු සමඟ සමකාලීන සගයකු වීමත් හැරුණු කල, ඔහු ලේක් හවුසියේ නවයුගය සංස්කාරක මණඩලයේ සේවය කළ කාලය පුරා දැන හඳුනාගෙන සිටීමත් අපගේ අතීත මතක වේ. අප එදවස ලියූ කවි පොතකට විචාරයක් ලියමින් ඔහු අප දිරි ගැන් වූ අයුරු සිහිපත් කළ හැකිය. 1972 දී මා රචනා කළ කැටපත් පවුරට සරසවිය පුවත්පතට විචාරයක් ලියමින් ඔහු එදා මගේ කවිය දැක තිබූ අයුරු සිහි කළ හැකිය. “ගලප්පත්තිගේ කවි සමාජ විඥානය පළ කරයි. ඒ කවි තුළ පවත්නා සමාජයේ ජීවන සුවඳ කැවී ඇත. ඔද්දල් වූ තුවාලයක් වන් සමාජය දෙස තරුණයකු ස්වකීය ඇසින් බලනු, කණින් අසනු දැකිය හැකිය...“ සෝමවීර එදා අප වන් ආධුනික කවියකුගේ කවි දෙස නිර්ලෝභීව තම අදහස් දැක්වූ අයුරුයි. නවයුගය සංස්කාරකවරයකුව සිටියදීත්, සිළුමිණ, සරසවිය, දිනමිණ ආදී සහෝදර පුවත්පත් සඳහා විශේෂාංග, විචාර, ලියමින් ඔහුගේ පන්හිඳ නිර්මාණශීලී ලේඛනයෙහි ඔහු සතු වූ ප්‍රබල අවිය බව සනාථ කොට සිටියේය.

සාහිත්‍යකරුවකු ලෙස නවකතාකරණයෙහි සුවිශේෂී හපන්කම් පෑ සෝමවීර විසින් රචිත නවකතා බහුතරයක් මෙරට පාඨක ප්‍රසාදය හා විචාරක අවධානය දිනා ගත් කෘති ලෙස සටහන්ව ඇත. නවකතා දහහතක් රචනා කොට ඇති සෝමවීරගේ විශිෂ්ට නවකතා අතර, යශෝරාවය, මවකගේ ගීතය, අඹු සැමියෝ, මැණික් නදිය ගලා බසී, බලදේවගේ ලෝකය, මතු දවස වැනි කෘති ප්‍රධාන වේ. 1972 දී මවකගේ ගීතය සඳහා ද, 1983 දී මැණික් නදිය ගලා බසී සඳහා ද හෙතෙම රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන්නේ වර්ෂයේ හොඳම නවකතාකරුවා ලෙස පිළි ගැනීමෙනි. තම නවකතා රචනා ශෛලිය සඳහා සද්ධර්ම රත්නාවලිය ලියූ ධර්මසේන හිමියන්ගේ මෙන්ම රුසියාවේ නිකොලායි ගොගල් ගේ මළ මිනිස්සු, ප්‍රංශයේ ගී ද මෝප සාං ගේ කෙටිකතා කියවීමෙන් ලද ආශ්වාදය බලපෑ බව පවසයි. 1976 වර්ෂයේ දී මහාචාර්ය ඒ.වී. සුරවීරගේ සංකල්පයක් මත හඳුන්වා දුන් සාහිත්‍ය නිර්මාණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව සඳහා සෝමවීර විසින් රචනා කරන ලද යශෝරාවය නවකතාව උපාධි නිබන්ධයක් ලෙස පිළිගැනුණේ මෙරට සරසවියක නවකතාවක් ශ්‍රාස්තපති නිබන්ධයක් ලෙස පිළි ගනු ලැබූ පළමු අවස්ථාව ලෙසය. සෝමවීරගේ නවකතා කලාවෙහි දිගුව වන්නේ ඔහු විසින් රූපවාහිනී ටෙලි නාට්‍ය සඳහා රචනා කළ තිර රචනාය.

ටෙලි නාට්‍ය මතු නොව චිත්‍රපට තිර රචනයෙහි ද තම ප්‍රතිභාව පළ කරන සෝමවීර මහා සිනමාකරු අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිගේ චිත්‍රපට සඳහා ද තිර රචකයා වූයේය. ලෙස්ටර්ගේ අම්මාවරුනේ හා වෑ කන්ද වලව්ව තිර රචනා කළ සෝමවීර විසින් ලියූ තිර රචනා මත නිර්මාණය වූ ජනප්‍රිය චිත්‍රපට රැසක්ම මතකයට නැගේ. සත්වෙනි දවස, ආරාධනා, සූරිය කාන්ත, මැණික් මාළිගා, ජීවිතයෙන් ජීවිතයක්, සෙනෙහසක කඳුළු, පෙති ගෝමර, තනිතරුව , මිහිදුම් සිහින වැනි චිත්‍රපට ඒ අතර වේ. තිර රචනා කලාවෙහි සෝමවීරගේ විශිෂ්ට නිර්මාණ අපට හමුවන්නේ ඔහු විසින් ටෙලි නාට්‍ය සඳහා ලියූ තිරනාටක අතරය.

කලාත්මක ටෙලි නාට්‍ය පොදු ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීම සඳහා ඔහු විසින් රචිත ටෙලි තිර රචනා විසාල මෙහෙවරක් කළ බව අප විසින් අමතක කළ යුතු නොවේ. සෝමවීර ධම්ම ජාගොඩ සුසංයෝගයෙන් බිහි වූ පළිඟු මැණිකේ වැනි විශිෂ්ට ටෙලි නාටකයක් ද, සෝමවීර පරාක්‍රම නිරිඇල්ල සුසංයෝගයෙන් බිහි වූ යශෝරාවය වැනි ටෙලි නාටකයක් ද මෙරට ටෙලි නාට්‍ය වංශ කතාවෙහි, අමරණීය නිර්මාණ ලෙස ප්‍රේක්ෂක විචාරක සම්භාවනාවට පාත්‍ර වී ඇත. කන්දෙ ගෙදර, මැණික් නදිය ගලා බසී, අසල්වැසියෝ, දූ දරුවෝ, නෑදෑයෝ හා තවත් බොහෝ කලාත්මක හා ජනප්‍රිය ටෙලි නාට්‍ය තිර රචනයෙහි සෝමවීරගේ පන්හිඳ සතු වූ කලාත්මක හා නිර්මාණශීලී ගුණයට ළං විය හැකි පන්හිඳක් සතු වූවකු වේ නම් ඒ එක් අතක ඇඟිලි පහකටත් වඩා අඩු සංඛ්‍යාවකැයි සිතමි.

අද දවසෙහි පරිහාණි මුඛයට ඇද වැටෙමින් පවතින ටෙලි නාට්‍ය කලාවෙහි මෙගා වර්ගයේ ටෙලි බලියකට කොටස් සියයක් එකසිය පණහක් පමණ ඇතුළත් වූවත්, පළිඟු මැණිකේ වැනි කොටස් දහ අටකින් රචනා වූ තිරනාටයකින් නිමැවුණු නිර්මාණයක් දශක ගණනාවක් තුළ ප්‍රේක්ෂක මනැසෙහි රැඳී පවතින්නේ එකී නාට්‍ය රචනයෙන් විශද වන සමාජ විඥානය, අපූර්ව චරිත නිරූපණ හා ජීවිතානුභූතියෙහි හෘද සංවේදී බව මුල් කොට ගෙනය.

සෝමවීර සේනානායකගේ ටෙලි නාටක තිර රචනයෙහි විශිෂ්ට ගුණය වන්නේ ඔහුගේ රචනා තුළින් මිනිස් ජීවිතයේ ගැඹුරු, සංකීර්ණ චරිත ස්වභාව විනිවිද දකින්නට උත්සාහ ගැනීමයි. ඔහු විසින් ඒ සඳා භාවිත ව්‍යවහාර භාෂාව ඇතැම් අවස්ථාවක උපහාසයෙන් ද හාස්‍යයෙන් ද පිරුණකි. අප දන්නා හඳුනන නාගරික මධ්‍යම පාංතික, පවුල් ජීවිත වටා හෝ මුදල් පසුපස හඹා යන ගැමි චරිත වටා හෝ රචනා වූ කතා සංකල්ප මගින් සෝමවීර ජීවිතය දෙස දයාර්ද බැල්මක් හෙළයි. පුවත්පත් කලාවේදී සෝමවීර, නවකතාකරු, චිත්‍රපට හා ටෙලිනාට්‍ය තිර නාටක රචක , විචාරක, , කෙටිකතා රචක සෝමවීර සේනානායකගේ දශක පහක් ඉක්ම වූ නිර්මාණ කාර්යයෙහි සක්‍රීය වූ පන්හිඳ , නිසලව, නිහඬව, ඔහුගේ ලියන මේසය මත බලා සිටිනු අපි දකිමු. දූ දරුවෝ, නෑදෑයෝ, එන තෙක් ද නොවේ නම් මවකගේ ගීතයක් ලියන්නට ද ඒ පන්හිඳ නිසලව බලා සිටින්නේ?

බුද්ධදාස ගලප්පත්ති
bgalappatty@yahoo.com


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>