Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සිතිවිලි පැහැගන්වා වින්දනීය කරනවා

$
0
0
ජුනි 19, 2018 01:00

ප්‍රියන්ත අබේසුන්දර

l චිත්‍රය පිළිබඳව ඔබට ඇති අර්ථ ගැන්වීම?

සිතිවිලි පැහැගන්වා වින්දනීය තත්ත්වයට පත්කර ගැනීම. චිත්‍රය ගැන මට දැනෙන්නේ එහෙමයි. උප්පත්තියෙන් පුද්ගලයකුට චිත්‍රවලට තියෙන ප්‍රතිභාව කියන දේ ලැබෙනවා. ප්‍රතිභාව ඔපමට්ටම් කරගත යුතුයි. චිත්‍ර කලාව අධ්‍යයනය කර ව්‍යුප්පත්තිය ඇතිකර ගෙන දැනගෙන නිවැරැදිව ශිල්පය කළ යුතුයි.

l ඔබ චිත්‍ර ඇඳීම තෝරාගන්නේ?

පළමුවෙනි කාරණය මගේ තෘප්තිය. දෙවැනි කාරණය ජනතාව වෙනුවෙන් චිත්‍රය භාවිතාව. මට ජනතාවට කියන්න දෙයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ ගැමි සංස්කෘතිය ගැන. ම‍ගේ චිත්‍රය ඒ වෙනුවෙන් භාවිතා කර ජනතාවට ප්‍රකාශ කරනවා.

l ඔබ චිත්‍රයට නඟන්න වඩාත් කැමැත්තක් දක්වන්නේ?

මා ස්වභාවික ශෛලියට කැමතියි. ඒ ශෛලිය ඔස්සේ ගැමි සංස්කෘතිය චිත්‍රයට නඟන්න තමයි මා බෙහෙවින් ප්‍රිය කරන්නේ. වර්තමානයේ නගරය කේන්ද්‍ර කරගෙන ජීවත්වෙන දරුවාට එදා අපි ගතකළ ගම මුල්කරගත් ජීවිතය දැකගන්න අවස්ථාවක් නෑ. එදා ගමේ ජන සංස්කෘතිය චිත්‍රයට නඟා අද දරුවාට විඳින්න දීම මගේ චිත්‍ර කලාවේ මූලික අභිප්‍රාය.

l අද දවස වන විට චිත්‍රයට අත්පත් කරගෙන ඇති ස්ථානය ?

ජනතාව විඳින්න කැමතියි. එහෙත් ඔවුන්ට චිත්‍රයක් තමන් සතුකරගෙන භුක්ති විඳින්න බෑ. චිත්‍රයක් මිලදීගෙන තමා සතුකරගෙන නිවසේ බිත්තියේ රඳවාගෙන එය විඳින්න හැකියාවක් නෑ. ඒ වගේ සෞන්දර්යය විඳීමේ ජීවිතයකට ජනතාවට අද ආර්ථික තත්ත්වයක් නෑ. අතළොස්සකටයි ඒ හැකියාව තියෙන්නේ.

lඔබ වෘත්තීය චිත්‍ර ශිල්පියෙක්. මේ රටේ වෘත්තීය චිත්‍ර ශිල්පියකුට පැවැත්මක් තිබෙනවාද?

අද මේ රටේ වෘත්තීය චිත්‍ර ශිල්පියකුට තියෙන ඉඩකඩ මදී. චිත්‍ර කලාව පමණක්ම වෘත්තීය කරගෙන ලංකාවේ ජීවත්වෙන්න අමාරුයි. වෙනත් වෘත්තියක නිරතවෙන ගමන් චිත්‍ර කලාවේ නිරතවෙන්නයි සිදුවෙලා තියෙන්නේ. අද සමාජයේ අනෙක් වෘත්තීන් වගේම කලාවත් විකුණා ජීවත්වෙනවා. සංගීතය, නර්තනය තුළින් ජීවත්වෙන පිරිස් ඕනෑ තරම් අපේ රටේ ඉන්නවා. ඒත් වෘත්තියක් විදියට චිත්‍රය විකුණා ජීවත්වීම අති දුෂ්කරයි. මේ රටේ ඉන්න චිත්‍ර ශිල්පීන්ගෙන් කවුරුවත් ප්‍රයෝජනයක් ගන්නේ නෑ. රජය පවා චිත්‍ර ශිල්පියා නොතකා හැරලා. මට මුදල් තියෙනවා නම් කවදාවත් චිත්‍ර විකුණා ජීවත්වෙන්නේ නෑ.

l විකිණීමේදී චිත්‍රයේ ඇති ගුණාත්මක බව හැලීයනවා නේද?

චිත්‍රයේ ගුණාත්මක පැත්ත හැලෙන්නේ එහි ප්‍රමිතිය ගැන සාමාන්‍ය ජනතාවට නිවැරැදි අවබෝධයක් නැතිකම නිසා මා උදාහරණයක් දක්වන්නම්. සෞන්දර්ය විශ්වවිද්‍යාලය කියන්නේ චිත්‍ර කලාව සඳහා තියෙන ඉහළම තැන කියලා මා විශ්වාස කරනවා. එහි ගුරුවරු හොඳ මට්ටමක සිටීම අවශ්‍යයි. එතැන චිත්‍ර කලාව පිළිබඳව අධ්‍යාපනයක් ලබා දෙනවා වගේම චිත්‍රය ගැන හොඳ රසඥතාවක් ඇති පුද්ගලයන් බිහිකරන තැනක්. එහෙත් එතන සිසුන්ට උගන්වන ගුරුවරුන්ට චිත්‍ර කලාව ගැන තියෙන දැනීම අඩුයි. ඉතිං කොහොමද එතනින් අඩු තරමේ චිත්‍ර කලාව රසවිඳින පිරිසක් හෝ හිවෙන්නේ. සාමාන්‍ය ජනතාවට කෙසේ වෙතත්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් බිහිවෙන පිරිසටවත් චිත්‍රය ගැන රසයක් නැත්නම් ,අපි ගුණාත්මක චිත්‍රයක් පිළිබඳව විශ්වාසයක් තබන්නේ කොහොමද?

l ඔබ කලක් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කළ කෙනෙක්. ඔබ එතැනින් ඉවත්වෙන්නේ?

මා එතනින් ඉවත් වුණේ නෑ. ඉවත් කළා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගුරුවරුන් බඳවාගන්නේ කොන්ත්‍රාත් ක්‍රමයට. කොන්ත්‍රාත් කාලය අවසන් වූ විට සම්මුඛ පරීක්ෂණයක් තියලා නැවත බඳවා ගන්නවා. මා එතනින් ඉවත් කරන්න හේතු වෙන්නේ, මම එහි අධ්‍යාපන කටයුතු කරන අතර මගේ රේඛා චිත්‍ර ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූවා. එයින් අනතුරුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අංශ භාර ප්‍රධානියා මාව ප්‍රතික්ෂේප කළා.

මා හිතන්නේ මගේ රේඛා චිත්‍ර ප්‍රදර්ශනය ඒ හරහා මගේ දක්ෂතාව සහ අංශ ප්‍රධානියාගේ අදක්ෂකම ප්‍රදර්ශනය වුණා. සිසුන් ඒ බව දැනගත්තා. අනතුරුව නැවත බඳවාගන්නා සම්මුඛ පරීක්ෂණයේදී මාව ප්‍රතික්ෂේප වුණා.

l ස්වභාවී චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වීමේ මූලික අරමුණ?

මේ මගේ තුන්වැනි ප්‍රදර්ශනය. මූලික දේ මා වැනි පුද්ගලයෙක් ඉන්නවා කියන සංඥාව දෙන්න. මගේ වෘත්තිය චිත්‍ර කලාව ;මා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙක්;චිත්‍රයෙන් ජනතාව දැනුවත් කරන ගමන් චිත්‍රය විකුණාගන්න මට අවශ්‍යයි. මේ කාරණා සඳහායි මා චිත්‍ර ප්‍රදර්ශන පවත්වන්නේ.

l චිත්‍ර ප්‍රදර්ශනයේ ඇති සුවිශේෂත්වය?

වර්තමානයේ නගරාශ්‍රිතව ජීවත්වන පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික වටිනාකමක් ලබා දෙන්නත් මේ ප්‍රදර්ශනයෙන් මා බලාපොරොත්තු වෙනවා.

l ඔබ චිත්‍රය සඳහා භාවිතාවට ගන්නා ශෛලිය?

ස්වභාවිකත්වයට මා ගොඩාක් කැමතියි. එය මුල්කරගෙන තමා චිත්‍රය ඇන්දේ. එහෙත් යම් පාරිභෝගිකයකුගේ අවශ්‍යතාව මත ශෛලිය වෙනස් කර චිත්‍රය නිර්මාණය කරනවා.

l ඔබගේ මාධ්‍ය?

වර්ණ චිත්‍ර සඳහා තෙල් සායම්, ඇක්‍රලික් රේඛා චිත්‍ර සඳහා පෑන භාවිතා කළා. ඊට අමතරව චිත්‍රසඳහා දියසායම් උපයෝගි කරගත්තා.

l ඔබ ඡායාරූප කලාවෙත් නියැලෙන්නෙක්. ඡායාරූපය චිත්‍රයට වැදගත් වෙන්නේ කෙසේද?

චිත්‍ර ශිල්පියෙක් යමක් ප්‍රකාශ කිරීමට වර්ණ හරහා ආලෝකය භාවිතා කරනවා. ඒ ආලෝකය පිහිටන ක්‍රමවේදය ගැන අවබෝධයක් ලබාගැනීමට ඡායාරූප කලාව ඉතා වැදගත්.

අනුසාර මාහිංගොඩ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>