Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

පාතාලයම දෙදරැම් කෑ මහ මෙහෙයුම

$
0
0
ජුනි 19, 2018 01:00

ඔබට මතක ඇති පසුගිය යුද සමය. එකල ප්‍රභාකරන්ට සමීපතම එම සංවිධානයේ නැඟෙනහිර පළාත බාර අති දක්ෂ සන්නද්ධ අංශ නායකයකු එම සංවිධානයෙන් ඉවත් වී දකුණට පලාවිත් පසුව එම සංවිධානයේ තොරතුරු ආරක්ෂක අංශවලට ලබාදුන්නේයැයි කියන සිද්ධියක් ගැන මතක ඇති. ආරක්ෂක අංශනම් එම කියමන ප්‍රතික්ෂේප කරනවා. එහෙත් මේ තවත් එවැනිම සිද්ධියක් යැයි කිවහොත් නිවැරැදියි.

අපේ ආරක්ෂක අංශ අතර සංවිධානාත්මක අපරාධ පිළිබඳ මෙහෙයුම් කොට්ඨාසය පාතාලය මර්දනය කිරීම සඳහා සුවි‍ශේෂි කර්තව්‍යයක් ඉටු කරන අංශයක්. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් හා ඍජු අධීක්ෂණය මත ලංකාවේ අපරාධ පිළිබඳ කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතාගේ මෙහෙයවීම මත පසුගියදා සමස්ත පාතාලය දැඩි දෙදරවීමකට ලක් කරන සුවිශේෂි මෙහෙයුමක් සිදුවුණා. මේ මෙහෙයුමට ප්‍රධාන වශයෙන්ම දායකත්වයක් ලැබුණේ තවත් ප්‍රබල පාතාල සාමාජිකයකුගේ සහයෝගයයි.

පාතාලය ආරක්ෂක අංශ නොමඟ යැවීමට බොහෝ දේ සිදුකරනවා. මේ සිද්ධිය එසේ වුණේ නැහැ. ඒ අනුව පසුගිය දිනක අපේ ඉහළම පොලිස් නිලධාරියකුට පාතාලයේ ඉහත දැක්වූ සාමාජිකයාගෙන් ඇමතුමක් ලැබුණා. ඒ ඇමතුම තුළ යම් කොන්දේසියක්ද ඇතුළත් වී තිබුණා. මොකක්ද මේ ඇමතුම . ඔහු මෙසේ කීවා. මම මධුෂ්ගේ ප්‍රධානම ගෝලයා කොටු කර ගන්න උදව් කරනවා. හැබැයි මට ඔහු සිටින තැන දැන ගන්න ඕනෑ. එනම් මේ ප්‍රධාන ගෝලයා ලෙස හැඳින්වූයේ ඉරේෂ්. ඔහු ඉරේෂ් මධුෂංක නවගමුව නොහොත් බයිලා එහෙමත් නැතිනම් පෙරේතයා කියලත් හඳුන්වනවා.

ඉරේෂ් පාතාලයේ කෑපී පෙනෙන චරිතයක් වුණේ ඔහු මෙරට සංවිධානාත්මක අපරාධ එහෙමත් නැතිනම් මත්ද්‍රව්‍ය, කප්පම්, කුලී මිනීමැරුම් කොල්ලකෑම් ඇතුළු බොහෝ අපරාධවලට සම්බන්ධ ඒවා මෙහෙයවන දැනට ඩුබායිහි සිටින මධුෂ්ගේ ප්‍රධානම ගෝලයා නිසා. ඒ වගේම එවැනිම තවත් පාතාල නායකයකු වූ අංගොඩ ලොක්කාගේත් හිතවත් පාතාල සගයකු වූ නිසා ඉරේෂ්ට මධුෂ්ගෙන් පැවරුණු ප්‍රධානම කර්තව්‍යයක් තිබුණා. ඒ මෙරට මත්කුඩු ජාවාරම සහ කප්පම් ජාවාරම මෙහෙයවීම. කොල්ලකෑම්, කුලී මිනීමැරුම්වල ආදායම් ලබාගැනීම සහ ඒවායින් එන ආදායම ඩුබායිහි සිටින මධුෂ් සහ අංගොඩ ලොක්කාට යැවීම.

මේ බිස්නස් එක ඉරේස් කාලයක් තිස්සේ ගෝලබාලයොත් එක්ක එකට එකතුවෙලා මහා පරිමාණයෙන් සිදු කළා. මින් එන ආදායම කෝටි ගණන් මුදල් මධුෂ්ට සහ අංගොඩ ලොක්කාට යැව්වෙ ඉරේෂ් විසින්. ඒ මුදල් යවන සූක්ෂම ක්‍රමත් ඔවුන් අනුගමනය කළා. මත්ද්‍රව්‍ය මෙරටට එවා බෙදා හැරීමටත් ඒ වගේම සූක්ෂම ක්‍රම අනුගමනය කර තිබුණා.

මේ ආකාරයෙන් මෙරට තුළ මධුෂ් විසින් ඩුබායි සිට මෙහෙයවන අපරාධ ජාලය ක්‍රියාත්මක වෙද්දී ඒවාට ඉරේෂ් අවස්ථා ගණනාවකදීම පොලිසියට අසුවුණා.

ඉරේෂ් නොහොත් බයිලා පනාගොඩ හෝමාගම පැත්තේ ලිපිනයකත් ඉඹුල්ගොඩ පැත්තේ ලිපිනයකත් පදිංචි වී සිටියා. ඔහු‍ගේ බිරියත් දරුවාත් හැරුණුවිට තවත් අනියම් බිරියන් කිහිප දෙනකුම සිටියා. පාතාලය ඔහු පෙරේතයා ලෙස හැඳින්වූයේ ඔහු එම විෂයට ගිජු බවක් දැක් වූ නිසා.

මෙසේ හැඳින්වෙන ඉරේෂ්ට ඔහු මධුෂ්ගේ උපදෙස් මත සිදුකළ අපරාධවලට අදාළව නඩු 18ක් තිබුණා. ඉන් එක් සිද්ධියක් වුණේ 2010 ජනවාරි 23 වැනිදා හෝමාගම බැංකු කොල්ලය. 2012 මැයි 21 වැනිදා පාදුක්කේදී ගිනි අවි පෙන්වා වෙළෙඳසලක් කොල්ලකෑම, 2011 මැයි 1 වැනිදා හෝමාගමදි රන් සහ මුදල් කොල්ලකෑම, 2012 ජුනි 10 වැනිදා නිට්ටඹුවේදී මුදල් සහ සිගරට් කොල්ලකෑම, මොරටුවේදී රන් භාණ්ඩ වෙළෙඳ සලක් කොල්ලකෑම, 2011 මැයි 2 වැනිදා පිළියන්දලදී වෙළෙඳ සලක් කොල්ල කෑම, 2015 සැප්තැම්බර් 10 වැනිදා හංවැල්ලේදී මුදල් කොල්ල කෑම, කළුතරදී බැංකු දෙකක් කොල්ල කෑම, කළුතර උතුරදි මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, 2011 හෝමාගමදී තවත් කොල්ලකෑමක් සිදු කිරීම. නැවතත් හෝමාගමදී මුදල් හා රන් අබරණ කොල්ල කෑම, පානදුර 2011 යළි මුදල් කොල්ල කෑම, 2010 යටියන්තොටදී මුදල් කොල්ල කෑම, 2012 මැයි 28 වැනිදා හෝමාගමදි මුදල් සහ සිගරට් කොල්ල කෑම, 2011 අප්‍රේල් 4 වැනිදා හෝමාගමදි යළි මුදල් කොල්ලකෑම, 2017 ජනවාරි 18 වැනිදා හෝමාගම උසාවිය අසලදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, 2017 පෙබරවාරි 02 වැනිදා අතුරුගිරියේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, මැගසින් 2 උණ්ඩ 82 පිස්තෝලයක් ළඟ තබා ගැනීම ඇතුළු සිද්ධින් සම්බන්ධව නඩු 18ක් පවරා තිබුණා.

මේ සෑම අපරාධයක්ම මොහු සහ ගෝලයන් විසින් සිදුකර තිබුණේ ගිනි අවි භාවිතා කර බිය ගන්වා මරණ තර්ජන සහ මිනීමැරීම් සිදු කිරීමෙන්.

මේ අතර තවත් සිතාගත නොහැකි සිද්ධියක් වුණා. හෝමාගමදී සිදු කළ අපරාධ දෙකකට විනිසුරුවරයා විසින් එක් අපරාධයකට ඇප වශයෙන් රුපියල් ලක්ෂ තිහක් සහ තවත් අපරාධයකට රුපියල් ලක්ෂ විස්සක් වශයෙන් මුදලින් ඇප නියම කර තිබුණා. මේ ඇප නියම වී සුළු වේලාවක් යන්නටත් පෙර ඩුබායිහි සිටින මධුෂ් විසින් රුපියල් ලක්ෂ පනහක් ඔහුගේ ගෝලයා අත එවා ඇප දී ඉරේෂ්ව නිදහස් කරගෙන තිබුණා. මේ ඇප නියම වුණේ අවිස්සාවේල්ල මහාධිකරණයෙන්. මේ සිද්ධියට ඉරේෂ් වසරක් විතර රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටියා. 2018 මාර්තු 20 වැනිදා තමයි මේ ආකාරයට ඉරේෂ්ට ඇප නියම වුණේ. එසේ නියම වූ ඇප කොන්දේසි අතර සෑම සෙනසුරාදාවකම අතුරුගිරිය පොලිසියටත් සෑම ඉරිදාකම හෝමාගම පොලිසියට වාර්තා කිරීමටත් මුදල්වලට අමතරව රුපියල් ලක්ෂ ගණනක ශරීර ඇප නියම වී තිබුණා.

මෙසේ ඇප ලබාගත් ඉරේෂ් ප්‍රථමයෙන්ම ගියේ පනාගොඩ ඔහුගේ නිවසට. අනතුරුව ඔහුගේ සොහොයුරෙක් සිටිනවා මහනුවර වත්තේගම ප්‍රදේශයේ. ඔහු බිරිය දරුවන් බැලීමටත් පෙර එහි ගියා. ඒ අතර ඔහුගේ අනියම් බිරියක් දිගන සිටිනවා. තවත් කාන්තාවක් නුවරඑළියේ. කාන්තා ඇසුරට පෙරේත ඉරේෂ් වැඩි මුදලක් වියදම් කළේ එම විෂයටයි.

සතියක් පමණ මහනුවර වත්තේගම ගතකළ ඉරේෂ් අනතුරුව ඉඹුල්ගොඩ සිටින ඔහුගේ බිරියත් දරුවාත් බලන්න එනවා. ටික දවසක් එහි ගතකරන ඉරේෂ් තවත් කලින් සිදුකළ අපරාධ හා සමාන අපරාධ ගණනාවක් සැලසුම් කරනවා. ඒ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ උපදෙස් මත. මධුෂ් නිරතුරුවම ඉරේෂ්ට උපදෙස් දෙනවා කරන දෙයකට ඔහු නොයා ගෝලයන් යොදා සිදුකරන ලෙස. එහෙත් තරුණයෙක් වන ඉරේෂ් එම කීම අහන්නේ නැහැ. ඔහුම ඒවාට සම්බන්ධ වෙනවා. එක අතකට ඒක ඔහුගේ හිතුවක්කාර ජීවිතයේ ආසාවක්.

ඔබට මතක ඇති 2017 වසරේදී පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් වැටලීමකට ගිය මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂකවරයකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවීම. එහිදී පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගියා. ඒ අතර අසල වෙළෙඳ සලක සිටි 11 හැවිරිදි දැරියක් මිය ගිය අතර ඇගේ සොයුරාටත් වෙඩි වැදී තුවාල වුණා. ඒ අපරාධය සිදුකර තිබුණේද ඉරේෂ් විසින්. ඒ හැර බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සමයං නමැති පාතාල නායකයා ඝාතනය කිරීම.‍ එම අපරාධයද මධුෂ් සහ අංගොඩ ලොක්කාගේ උපදෙස් මත ඉරේෂ් ඇතුළු පිරිස සිදු කළ සංවිධානාත්මක අපරාධයක්.

මේ ආකාරයෙන් නඩු 18ක් තිබුණත් වසර ගණන් හිරේ ගියත් මධුෂ් සහ අංගොඩ ලොක්කාගේ උපදෙස් මත අපරාධ සිදු කිරීම ‍ඉරේෂ් නැවැත්තුවේ නැහැ. ඔහු තව තවත් අපරාධ සිදු කළා. එදා අවිස්සාවේල්ල මහාධිකරණයෙන් ඇප ලබා නුවර ගොස් ඉඹුල්ගොඩට එන ඉරේෂ් ඊළඟට යන්නේ රණාල පිහිටි එලිෆන්ට් හවුස් ආයතනයේ කර්මාන්ත ශාලාවක් වෙතට. එතන විවිධ කොන්ත්‍රාත් වැඩ තිබෙනවා. මේ කොන්ත්‍රාත් වැඩ බොහෝ විට පාතාල අය අතටත් යනවා. එම ස්ථානයට එන පෙට්ටි ලොරිවලින් බෑමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබුණේ මධුෂ් සහ අංගොඩ ලොක්කාගේ විරුද්ධ පාර්ශ්වයේ පාතාල නායක සමයංගෙන් පසු එම පාර්ශ්වය මෙහෙයවන දිනේත් මෙලාන් මාබුල් හෙවත් ඌරු ජුවා යන අය විසින්. 2015 මැයි හයවැනිදා රනාල ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධව ඌරු ජුවා මේ වනවිට ඉන්නේ බන්ධනාගාරයේ. එම කොන්ත්‍රාත්තුව කරගෙන යන්නේ ඔහුගේ ගෝලයකු විසින්. ඉරේෂ් මේ ස්ථානයට ගිහින් අර ගෝලයාට තර්ජනය කරනවා මේ කොන්ත්‍රාත්තුව තමා බාර ගන්න බවට.

මේ අතර මේ සිද්ධියත් මහනුවරද තවත් මූල්‍ය ආයතන ගණනාවක් කොල්ල කන්නත් මධුෂ් ඉරේෂ්ට සැලසුම ලබා දෙනවා. මේවා ක්‍රියාත්මක කිරීමට ගෝලයෝ ටිකක් ලෑස්ති කරගෙන සිටින අතර පසුගිය මැයි මාසේ දවසක ඔහු යනවා මාතරට. ඔහු මාතරට ගොස් ‘ලොකු දෙකක්’ සහ ‘පොඩි දෙකක්’ අරගෙන එනවා. ඔවුන්ගේ භාෂාව මත ලොකු දෙක T56 ගිනි අවිය සහ පොඩි දෙක පිස්තෝලයි. මොහු මේ විදියට යන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මොහුගේ තවත් සගයකුගෙන් ලබාගත් මෝටර් රථයකින්. තවත් ජාවාරම්කරුවකු වූ ප්‍රභාත් සුදර්ශන් තරංග නමැති ග්‍රෑන්ඩ්පාස්හි පදිංචි අය සමඟ මේ ගිනි අවි ගෙන ඒමට යනවා. මේ ගිනිඅවි ඔහු ගෙන එන්නේ ඉහත සඳහන් කළ විදියට මහනුවර ප්‍රදේශයේ මංකොල්ල කෑමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමටයි. මේ ආයුධ ගෙන එන ඉරේෂ් ඒ සඳහා සූදානම් වන අතරයි. සංවිධානාත්මක අපරාධ පිළිබඳ කොට්ඨාසයට අර ඉහත කියූ පාතාල සාමාජිකයාගෙන් ඇමතුම සහ තොරතුරු ලැබෙන්නේ.

අපරාධ කොට්ඨාසයත් මේ වනවිට ඉරේෂ් පසුපස යමින් තවත් බුද්ධි තොරතුරු රැසක් එකතුකර ගනිමින් සිටියා.

මේ අතර ඉරේෂ්ගේ ‍තොරතුරු එම පාතාල සාමාජිකයා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට ලබා දෙන්නේ හේතු කිහිපයක් මත. ඉන් එකක්‍ වෙන්නේ ඉරේෂ් විසින් දරන මධුෂ් පැවරූ ‍තනතුර මොහුට ලබා ගැනීමට. අනිත් හේතුව මධුෂ්ට ඉරේෂ් යවන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් මොහුට ලබාගැනීමට. කෙසේ වෙතත් මොහු කවුද යන්න ආරක්ෂක අංශ මාධ්‍යයටවත් හෙළි කළේ නැහැ. ඉරේෂ් විසින් මෙහෙයවන මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ සැලසුම්වලින් මසකට කෝටි ගණනක් ඔවුන් දෙදෙනාට යවනවා. විශේෂයෙන් කප්පම්වලින් ඔවුන්ට විශාල මුදලක් ලැබෙනවා. අනෙක මත්ද්‍රව්‍ය, මත්කුඩු අලෙවිය රටපුරා යැවෙනවා. මේ මත්කුඩු ඔවුන් විකුණන්නේ ඊසි කෑෂ් ක්‍රමයට. ඉරේෂ්ගේ හොඳම ගෝලයා තිලින ඉන්නේ හිරගෙදර. මත්කුඩු ජාවාරමේ බෙදාහරින ගෝලයෝ ඒවා ඉල්ලන්නේ තිලිණගෙන්. තිලින ඒවාට ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් අරගෙන එම මුදල් ඉරේෂ්ට ලැබෙනවා. මත්කුඩු ලබාගන්නේ කාගේවත් අතින් නොවේ. යම් තැනක මත්කුඩු ඇති බව තිලින කියනවා. ඊසි කෑෂ් මුදල් දමා ඔහු ඒ මත්කුඩු ලබා ගත්තා. මේ ආකාරයෙන් මේ ජාවාරම ඉතාම සංවිධානාත්මකව සිදුවෙනවා. කප්පම් ගැනීමත් ඒ ආකාරයටම සිදු වෙනවා. කාලයක් තිස්සේ මධුෂ්ටත් අංගොඩ ලොක්කටත් පිටරටට මුදල් යැවුණේ මේ ආකාරයට. මේවායින් වැඩි මුදලක් ඔවුන්ට ලැබෙද්දී ඉරේෂ්ටත් ඔහුගේ ගෝලබාලයන්ටත් ඉන් ලැබුණේ සොච්චමක්. ඒත් පාතාලය ඉන් කලබල වෙන්නේ නැහැ. මුදල් නැතත් සොච්චමක් ලැබුණත් ඔවුන් ඒ අපරාධවලට යනවා. පාතාලයේ නායකයන් ගැන ඔවුන් සිතන්නේ වීරයන් විදියටයි. පාතාලයේ හැටි එහෙමයි.

මේ ආකාරයෙන් ඉරේෂ් ගැන තොරතුරු සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට ලැබීමත් සමඟ ඔවුන් කරන්න යන ඉදිරි අපරාධ රැල්ල සිද්ධවීමට ඉඩ නොදී ඉරේෂ් කොටුකර ගන්නට සැලසුම් සකස් කළා.

මේ විදියට පොලිසිය ඔහු පසුපස ලුහු බඳින විට පසුගිය 8 වැනිදා ඔහු මාතරින් ගෙනා ආයුධත් අරගෙන තවත් ඔහුගේ ගෝලයකු වූ උපාලි සමඟ මහනුවරට යනවා. එහිදී ඉරේෂ්ගේ සොයුරාගේ ගෙදර දී 8 වැනිදා රාත්‍රි සාදයක් පවත්වනවා. ඒ සාදය තුළ සිදුවන දේ කතා වෙන සියල්ලත් පසුදිනට සිදුවන දෙයත් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය දැනගන්නවා. ඔවුන් ඒ අතර ඉරේෂ් කොටුකර ගැනීමේ සැලසුම පොලිස්පතිවරයාගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ට දෙනවා. ඔවුන් ඊට අනුමැතිය දෙනවා. දැන් සියල්ල සූදානම්. ඉරේෂ් මැරීම නොව අත්අඩංගුවට ගෙන මේ මහා මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල සොයා ගැනීමටයි පොලිසියේ අරමුණ. ඒ අනුව පසුදින ඉරේෂ් කොටුකර ගැනීම පොලිසිය 9 වැනිදා උදේ ක්‍රියාත්මක කරනවා. මේ අතර ඉරේෂ් උපාලි සමඟ නුවරට යනවා. පසුව එදින දහවල් 12.15 ට විතර මොවුන් මඩවල පෙදෙසේ සිට ආපසු එනවා. මොවුන් එන්නේ NCKO-3823 හොන්ඩා හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයෙන්. වාහනය පදවන්නේ ඉරේෂ් විසින්. මොහු ළඟ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් උණ්ඩ 7ක් සමඟ තිබෙනවා. උපාලි ළඟ මිලිමීටර 3.8 රිවෝල්වරයක් සමඟ උණ්ඩ 6 ක් තිබෙනවා. තව වාහනේ ඇතුළේ හෙරොයින් ග්‍රෑම් 52 ක් තිබෙනවා.

මේ විදියට ඉරේෂ් මඩවල දෙසට එද්දී වි‍ශේෂ කාර්ය බළකාය මඟ ඉදලා වාහනේ නවත්වන්න අණ කළා. එහෙත් ඉරේෂ් රථය නොනවත්වාම ඉදිරියට වේගයෙන් ඇදී ගියා. විශේෂ කාර්ය බළකායත් මේ විදියට තවත් බාධකයක් යොදා තිබුණා. එ‍තැනදි පාර හරස් කරලයි බාධකය දමා තිබුණේ. එතැනදි වාහනය නැවැත්වීමට අණ කෙරුණා. එතැනදී වාහනය නැවැත්වීමට ඉරේෂ්ට සිදුවුණා. නමුත් ඔහු සූදානම් වුණේ විශේෂ කාර්ය බළකායට වෙඩි තැබීමටයි. ඔහු දකුණු පැත්තෙන් ගිනි අවිය අරගෙන බහිනවිට උපාලි වම් පැත්තෙන් ඔහුගේ ගිනි අවිය අරගෙන බැස්ස. ඒ ගමන්ම ඔවුන් දෙදෙනාම STF නිලධාරින්ට වෙඩි තැබීමට උත්සාහ කළා. නොමරා මොහු පණපිටින් අත්අඩංගුවට ගැනීමට එස්.ටී.එෆ්. එකට අවශ්‍ය වුණත් ඔවුන්ගේ වෙඩි ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී ඉරේෂ් සහ උපාලි පසුගිය නව වැනිදා වත්තේගමදී මැරුම් කෑවා.

ඉරේෂ් ඝාතනය වීමත් සමඟ පාතාලය යම් ආකාරයේ විශාල දෙදරීමකට පත්වුණා. මධුෂ්ට සහ අංගොඩ ලොක්කාටත් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ඔවුන්ට යැවෙන කෝටි ගණන් මුදල් සියල්ල මින් ඉදිරියට කරගෙන යාමට තරම් විශ්වාසවන්ත ගෝලයකු මධුෂ්ටත් අංගොඩ ලොක්කාටත් හිටියේ නැහැ. මදුෂ් ඔහුගේ සෙසු ගෝලයන් හිරබත් කද්දී රුපියල් ලක්ෂ පනහක් මුදලින් ඇප තබා ඉරේෂ් බේරාගත්තේ මේ නිසයි. මධුෂ් සහ අංගොඩ ලොක්කා මින් දැඩි කලබලයට පත් වූ බවත් සංවිධානාත්මක අපරාධ කොට්ඨාස දැනගැනීමට ලැබුණු බව මේ තොරතුරු ලබාදුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මාකඳුරේ මධුෂ්ගේ එක් ඇසකුත් එක් අතකුත් නැතිවූවා හා සමාන දෙයක් ඔවුන්ට සිදුවී ඇති බවයි. පාතාලයේ එක් අංශයක් සම්පූර්ණයෙන් කඩාවැට්ටවීමට සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සූක්ෂම උපක්‍රම හරහා ක්‍රියාත්මක කිරීම තුළින් මේ ආකාරයෙන් හැකි විය.

මෙහිදී මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාට විශේෂ ස්තූතිය පළ කරමු.

සටහන- විජයානි එදිරිසිංහ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>