අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පෝල් මැක්කොමස්, සම්මානිත ග්‍රන්ථ රචකයෙකි. ලෝරන්ස් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ හෙතෙම, 2002 වර්ෂයේ සිට ග්‍රන්ථකරණයට එළඹී මේ වනවිට පොත් කිහිපයක්ම රචනා කර ඇත. පෝල් මැක්කොමස්, ග්‍රන්ථකරණයට එළැඹියේ ‘Unplugged’ නම් කෘතිය රචනා කරමිනි. මේ එම කෘතිය පිළිබඳ ලේඛකයා සමඟ, ‘Paulmaccomas: Author Interview’ වෙබ් අඩවියෙහි පළවූ සාකච්ඡාවක පරිවර්තනයකි.
ඔබගේ ‘Unplugged’ නමැති කෘතිය, ඔබ පළ කළ පළමු කෘතිය?
ඔව්, මං ග්‍රන්ථකරණයට එළැඹුණේ මේ පොත රචනා කිරීමත් සමඟයි. ඒ 2002 වර්ෂයේ. ඒක මං මුලින්ම ලිව්වේ කෙටිකතා පොතක් විදිහටයි. මෙය කෙටිකතාවක් විදිහට පළ කරනවාට වඩා, නවකතාවක් විදිහට පළ කිරීම සුදුසුයි කියලා පසුව මටම හිතුණා. ඒත් එය හිතුව තරම් ලේසි වුණේ නෑ. ඒක මට විශාල අභියෝගයක් වුණා . කෙටිකතාවේ ඇතුළත් එක් එක් කොටස් එකට එකතු කරමින්, සම්බන්ධතාව ගොඩනගමින්, නැවත එය රචනා කළා. මේ සඳහා මට තවත් අයෙකුගේ සහය ලැබුණා.
මේ නවකතාව පැරැණි කතාවක් හා සම්බන්ධ ද? නැතිනම් අලුත් කතාවක් ද?
දෙකම එහි ඇතුළත් වෙනවා. සමහර සිදුවීම් මීට වසර 80කට පමණ පැරැණි ඒවා. ඇතැම් සිදුවීම් මෑතකාලීනව සිදුවූ සිදුවීම් හා සම්බන්ධයි. මේ සමහර සිදුවීම් මට අහන්න ලැබුණේ මීට වසර 14 කට පමණ උඩදියි. මේ සිදුවීම් ඇතුළත් කරලා පොතක් ලිව්වනම් හොඳයි කියලා ඒ මොහොතේත් මට හිතුණා. ඒත්, ඒ සඳහා මට වසර 14ක්ම ගතවුණා.
ඔබ එම සිදුවීම් හා වර්තමාන සිදුවීම් ඇතුළත්ව මුලදී රචනා කළ කෙටිකතා, පසුව නවකතාවකට පරිවර්තනය කළා. ඔබ මුල සිටන්ම මෙය ග්‍රන්ථයක් විදිහට ප්‍රකාශයට පත් කරනවා කියලා හිතුවද? නැත්නම් ඔබට පමණක් කියවීමට තබා ගන්නවා කියලද හිතුවේ?
මට අවශ්‍ය වුණේ මුල ඉඳන්ම මෙය ප්‍රකාශයට පත් කරන්නයි. මම කවදාවත් මට පමණක් ලියන කෙනෙක් නෙමෙයි. මම ලියන්නෙ හැමෝටම කියවන්නයි.
ඔබ කොහොමද ලිවීම ආරම්භ කළේ ?
මං හිතන්නෙ මං වචන ගැටගසමින් සම්පූර්ණ වාක්‍යක් ලියන්න පටන් ගත්ත දා ඉඳන්, මට පොත් ලියන්න ආසාව තිබුණා. කුඩා කුඩා කතා මං කුඩා කාලයේ ඉඳන් ලිව්වා. ඒත්, මට ඒ සඳහා නියම අවස්ථාව එළැඹුණේ, කාලයක් ගතවුණු පසුවයි.
ඔබ ප්‍රබන්ධ කතාවලට කැමැති නැද්ද?
ඇත්තටම නෑ. ඒවායේ තිබෙන සැබෑ ලෝකයේ තිබෙනවා යැයි පෙන්වන බොරුව, නැතිනම් ගොතන ප්‍රබන්ධයට මං අකමැතියි. මගේ ‘Unplugged’ කෘතිය රචනයේදීත් මං හැමවිටම ප්‍රවේශම් වුණා එය ප්‍රබන්ධයක් නොවීමට. සැම විටම ඇත්ත දෙයක් , නැතිනම් සැබෑ ලොව පවතින දේ ම පාඨකයාට ලබා දෙන්න මං උත්සාහ කළා. එවිටයි පාඨකයන්ට විශ්වාසයක් ගොඩනැගෙන්නෙ. මේ මගේ පෞද්ගලික මතය. මං කිසිදා ප්‍රබන්ධ කතා රචකයන්ව විවේචනය කරන්නේ නෑ. මොකද ඒක ඔවුන්ගේ කැමැත්ත.
ඔබ , කියවීමට කැමති මොන වගේ ග්‍රන්ථ රචකයන්ගේ පොත් ද ? එම ග්‍රන්ථ අතරින් ඔබගේ රචනා ශෛලියට, නැතිනම් ඔබගේ ග්‍රන්ථවලටත් වැඩියෙන්ම බලපෑම් කළ ග්‍රන්ථ මොනවාද?
‘බ්ලැක් ටිකට්ස්’ - ජේන් ඈන් පිලිප්ස් සහ සෑම් ෂෙපර්ගේ ‘කෘයිසින් පැරඩයිස්’ යන කෘතිවලට මං බෙහෙවින් ඇලුම් කරනවා. මේ කෘතිවල භාෂාව හරි ම අපූරුවට යොදාගෙන තිබෙනවා. ඒවායෙන් පාඨකයන්ටත් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. මේ පොත් දෙකම කියවන්න කියලත් මං පාඨකයන්ට කියන්න කැමතියි.
ඔබගේ ලිවීමේ ශෛලිය ගැන කියන්න පුළුවන් ද? සාමාන්‍යයෙන් ඔබ පැය කීයක් දිනකට ලියනවද? ඒවා කඩදාසිවල සටහන් කරගන්නවාද ? නැතිනම් ඒ මොහොතෙම පරිගණක අකුරුකරණය කරනවා ද?
මම මගේ ‘Unplugged’ කෘතිය නම් ඒ මොහොතෙම පරිගණකගත කළා. දිනකට පිටු 4ක් පමණ ඒ විදිහට පරිගණකගත කළා. මං ඔබට මුලින්ම කිව්වා මේ කෘතිය පළමුවෙන්ම කෙටිකතා විදිහටයි ලිව්වේ කියලා. හැම විටම මට එක් කෙටිකතාවක් ලියලා, ඊ ළඟ එක ලිවීමට පෙර, එලෙස ලියූ කතාව නැවත ලියන්න සිදුවුණා. මොකද මං ටිකක් එළියට ගොස්, ඇවිදිනවිට වගේම ඒ ප්‍රදේශයේ තිබෙන විල අසලට ගියවිට මගේ ඔළුවට අලුත් අදහස් පැමිණෙනවා. ඒ නිසා නැවතත් මං නිවෙසට පැමිණ, එම කතාව නැවත ලියනවා.
ඒත්, ප්‍රථම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මං දැන් ‘නෝට් බුක්’ එකක් භාවිත කරනවා. කොහේ ගියත් එය මං රැගෙන යනවා. විශේෂ සිදුවීම්, මගේ ඔළුවට එන අලුත් අදහස් මං එහි සටහන් කර ගන්නවා. මේ නෝට්බුක් එක අනාගතයේදී නවකතාවක් පිටපතක් වේවි. මං පොත් රචනා කරන විට, මෙහි ඇතුළත් දෑ එක් එක් කතා හා සිදුවීම්වලට සම්බන්ධ කරමින් මා යොදා ගන්නවා.
ඔබ සෑම දිනකම පාහේ ලියනවාද?
නෑ. මගේ අනෙකුත් වැඩකටයුතු යෙදෙන විට, විශේෂ ගමන් බිමන් ආදී කටයුතුවලදී මං ලියන්නේ නෑ. ඇතැම්විට ඒ වගේ විශේෂ වැඩක් නොතිබුණත්, මං ලියන්නේ නැතිව විවේකයෙන් එම දවස ගත කරනවා.
ඔබ , ඔබගේ පාඨකයන්, නැතිනම් ඔබගේ පොත් කියවන්නන්, පොත් ප්‍රදර්ශනවලදී හෝ පොත් එළිදැක්වීම්වලදී හෝ එවැනි අවස්ථාවලදී මුණගැසෙනවාද?
ඔව් . මම අනිවාර්යෙන්ම ඒවාට සහභාගී වෙනවා. ඒ සෑම අවස්ථාවකටම මගේ නවකතා, කෙටිකතා මං ඉදිරිපත් කරනවා. මට ඒ මොහොතේදීම මගේ පොත් ගැන විවේචන, අදහස්, යෝජනා, අගය කිරීම් මගේ පාඨකයන්ගෙන් දැන ගැනීමට ලැබෙනවා. මීට අමතරව මං , කරන තවත් දෙයක් තියෙනවා. මං පොත් අලෙවි සැලකට හෝ කෝපි අවන්හලකට හෝ කලා ප්‍රදර්ශනාගාරයකට හෝ යන විට, මගේ පොත් රැගෙන යනවා. එහි පැමිණෙන්නන්ට මගේ පොත් ලබා දීලා, ඔවුන් සමඟ පොත් ගැන සාකච්ඡා කරනවා.
ඔබේ රැකියාව මොකක්ද?
මම මගේ පළමු රැකියාව වශයෙන් කළේ දන්ත සෞඛ්‍ය සම්බන්ධ නිෂ්පාදන ආයතනයක. මගේ පළමු රැකියාව තමයි මම අකමැත්තෙන්ම කළ රැකියාව. ඇයි මං ඒ කාලෙදීම පොත් ලියන එකට නැඹුරු නොවුණෙ කියලා මට වෙලාවකට හිතෙනවා .
ඔබගේ අනෙකුත් ග්‍රන්ථ පිළිබඳ පැවසුවොත්?
මගේ කෙටිකතා පොතක් තිබෙනවා. ඒක නමක් Twenty Questions’. මෙහි කතා 20ක් ඇතුළත්. එහි ඇතුළත් ඇතැම් කෙටිකතා, සාහිත්‍ය සඟරාවලත් පළ වුණා. First Person Imperfect කියන කෙටිකතා පොත, Fit for a FRANKENSTEN ග්‍රන්ථයද සහ Further Person Imperfect වගේම, Planet of the Dates යන කෘතින් මං ලියූ ඒවායි.
ඔබගේ ග්‍රන්ථකරණය පිළිබඳ වෙනත් විශේෂ යමක් ප්‍රකාශ කරන්න තිබෙනවාද?
මට ශාස්ත්‍රපති උපාධියක් තිබෙනවා. ඒ, සිනමා ක්ෂේත්‍රය සම්බන්ධව. බොහෝ පාඨකයන්, විචාරකයන් කියනවා මගේ රචනා ශෛලිය සෑම විටම සිනමාපටයක් වගේ කියලා.
ඔබ පොතක් ලියන්න පෙර දළ සැකැස්මක්, නැතහොත් පෙළගැස්මක් සකස් කරනවාද?
ඔව්. අනිවාර්යෙන්ම. දළ පිටපතක් මං පළමුවෙන් ම සකස් කර ගන්නවා. එය ඉදිරි කටයුතුවලට පහසුවක්.
ඔබ සිතන ආකාරයට, වඩා වැදගත් චරිතද? නැතිනම් අන්තර්ගතයද?
මං හිතන්නෙ චරිත කියලයි. මොකද අන්තර්ගතය ගොඩනගන්නෙත් චරිතමයි. චරිත ශක්තිමත්ව ඉදිරිපත් කිරීමයි වැදගත් වෙන්නේ. ඉන් පසුව එම චරිත නිසියාකාරව මෙහෙයවීමෙන්, අපූරු අන්තර්ගතයක් බිහි වෙනවා.
යශෝදා ඉන්දීවරි