පන්කෝටියක් සල්ලි විනාශයි
දේශපාලකයන් පිම්බූ පෙළපාලි දෙකට (2013 – 2014) සංචාරක අමාත්‍යාංශයෙන් වියදම කෝටි පහයි.
“මගේ සැලකිලි පෙන්නන්ඩ අනුන්ගේ මගුල් ගෙදරක් දවසට වරෙන්” යැයි අපේ ජනවහරේ කියමනක් තිබේ. ඇයි, මගුල් ගෙදරක කෑම බීම ඕනෑ පදම් ඇති නිසා අත දිග හැර බෙදිය හැකි හෙයිනි. දැන් වගේ සීමිත පිරිසකට ආරාධනා කර හෝටලේක මගුල් උත්සව නොගත් ඈත කාලයේ තමන්ගේ ගම් ප්‍රදේශයේ පමණක් නොව දුර බැහැර ගම්වල පදිංචි නෑ හිත මිතුරන් පවා කැඳවා තාන්තුවා (විවාහ මංගල්‍ය) පැවැත් වූ අවදියේ, කෑම බීම වැඩි කොටසක් විසි කරන්නට සිදුවීම ද නොවැළැක්විය හැකි දෙයකි. මන්ද ඒ කාලයේ ගමේ උදවියට හාල් පොල් ඕනෑ පදම් තිබූ බැවිනි. අන්න ඒ මගුල් ගෙදරක කෑම බීම බෙදන්නට හදන්නට ඉන්න කෙනකුට තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට ලෝස් නැතුවම බෙදන්නට හැකි බැවින් හිතවත්කම පෙන්වන්නට වරෙන් යැයි කියන්නේ එබැවිනි. හේතුව අතින් මිටින් යන්නේ තමන්ගේ දේ නොවන නිසාය.
මේ අටුවාව කීවේ, පසු ගිය ආණ්ඩුව සමයේ 2013 සහ 2014 වර්ෂවල පැවැත් වූ මැයි දින ජාතික උත්සව දෙක වෙනුවෙන් සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යාංශය පමණක් දැරූ වියදම් පිළිබඳ කීමටය. සංචාරක ප්‍රවර්ධනය මුවාවෙන් මැයි දිනයේ රුපියල් පන් කෝටියකට (5,00,00,000) අධික මහජන මුදල් කන්දරාවක් කිසිදු හිරිකිතයකින් තොරව හිතේ හැටියට කාබාසිනියා කර ඇත්තේ දේශපාලන ප්‍රතිරූ පුම්බා දැමීමටය.
සංචාරක ප්‍රවර්ධනය මුවාවෙන් ව්‍යාජ ලිපිගොනු නඩත්තුකර ආයතනයේ අරමුණුවලට සහ ප්‍රසම්පාදන උපදේශක සංග්‍රහයේ උපදෙස්වලට පටහැනිව සහ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් මහජන (සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ) මුදල් අවභාවිතා කර ඇතැයි නිරීක්ෂණය කෙරී ඇත.
සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව විසින් අනාවරණය කර ගනු ලැබූ විස්තර ඇතුළත් වාර්තාවේ සඳහන් අන්දමට වියදම් දරා ඇත්තේ මෙසේ ය. තමන්ගේ මුදල් සහ දේපොළ තමන්ගේ සහ රටේ සුබ සිද්ධිය සඳහා තමන් කියන කරුණු කාරණා සම්බන්ධයෙන් පමණක් වියදම් කළ යුතු බවට ගිවිස්වාගෙන මහජනයා විසින් භාරදෙනු ලැබූ කණ්ඩායම, ඇත්ත වශයෙන්ම ඒ අනුවම ක්‍රියා කළේ ද, යන්න දැන ගැනීමේ අයිතිය මහජනතාවට ඇති බැවින් ඒ අයිතිය වෙනුවෙන් මෙම කරුණු ඉදිරිපත් කරන බව ද මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමු.)
2013 වසරේ මැයි දින පෙළපාලිය වෙනුවෙන් සංචාරක ප්‍රදර්ශන පෙළ පාලිය(TOURISM FLOATING PARADE) නමින් ව්‍යාපෘතියක් 2013 මැයි පළමු වැනි දා (01) සහ දෙවැනි දා (02) පැවැත්වීමට ද, ඒ සඳහා රුපියල් මිලියන දොළහයි දශම හයක් (12.6) හෙවත් රුපියල් එක් කෝටි විසි ලක්ෂ හැට දහසක් (1,20,60,000) වැය කිරීමට මූල්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් ද අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය දී තිබේ. එහෙත් එම (2013) මැයි පෙළ පිලියට සහභාගි වූ නර්තන ශිල්පීන්ට ගෙවූ බව කියන ත්‍රිපුද්ගල වාර්තාවේ සඳහන්මුදල රුපියල් එක් කොට් හැට නව ලක්ෂ හැත්තෑ අට දහස් හාර සියයකි. (1,69,78,400) දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා සංස්කෘතික ශිල්ප ආයතන බලගැන්වීම යනුවෙන් ව්‍යාජ ලිපි ගොනුවක් සකස් කර මෙසේ වියදම් දරා ඇතැයි ද වාර්තාවේ විස්තර කර ඇත.
සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සංචාරක ප්‍රදර්ශන පෙළපාලිය වෙනුවෙන් සකස් කර ඇති සංදර්ශන රථ හතක් (7) නිර්මාණය කිරීම සඳහා දරා ඇති වියදම රුපියල් අසූ තුන් ලක්ෂ හැට නව දහසකි. (83,69,000)
ධීවර, කෘෂි කර්මාන්ත, කම්කරු,විසිතුරු මසුන් සහ පැළෑටි, සත්ත්ව පාලන, හස්ත කර්මාන්ත , පලතුරු සහ එළවළු යන මාතෘකා යටතේ සංදර්ශන රථ හත එසේ නිර්මාණය කර තිබේ. මේ මැයි දින පෙළපාලියේ ගමන් ගත් අය වෙනුවෙන් ටී ෂර්ට් (T – SHIRT) සහ කොඩි සකස් කර ගැනීම සඳහා රුපියල් හතළිස් ලක්ෂ පනස් එක් දහස් හාර සිය විසි දෙකක් (40,51, 422) වියදම් දරා ඇත. එම වියදම් විස්තර අංක SLTPB/PROC/2013 සහ SLTPB/PROC/2013/47 යන ලිපි ගොනුවල ඇතුළත් බව ද ත්‍රිපුද්ගල කමිටුව සිය වාර්තාවෙන් පෙන්නා දී ඇත. එහෙත් මැයි දින පෙළපාලියේ ගමන් ගන්නා අය වෙනුවෙන් ටී ෂර්ට් නිර්මාණය කර මුද්‍රණය කිරීම සඳහා 2013 මාර්තු 25 වැනි දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී අනුමත කර ඇත්තේ රුපියල් විසි ලක්ෂ හැට දහසක් (20,60,000) පමණි.
2014 වර්ෂයේ මැයි දින පෙළපාලියේ සංදර්ශන රථ හය (6) හා ඒ සම්බන්ධ අනෙකුත් කටයුතු වෙනුවෙන් රුපියල් එක්කෝටි විසි නව ලක්ෂ අනූඅටදහස් එකසිය තිස් පහක් (1,29,98,135) වැය කර තිබේ. සාමය සතුට හා නිදහස, කම්කරු ශක්තිය, දිවි නැගුම, ධීවර නවෝදය, කෘෂි උදානය සහ ලිය අබිමන් යන තේමා යටතේ සංදර්ශන රථ හයක් සකස් කර තිබේ.
පෙළපාලියට සහභාගි වූ නර්තන ශිල්පීන්ට ගෙවූ බවට ත්‍රිපුද්ගල වාර්තාවේ සඳහන් මුදල රුපියල් තිස් නවලක්ෂ තිස් නව දහස් පන්සියයකි(39,39,500) පෙළපාලිකරුවන්ට ටී ෂර්ට් සහ කොඩි සකස් කර ගැනීම සඳහා රුපියල් හතළිස් ලක්ෂ අසූ එක් දහස් දෙසිය විසි දෙකක් (40,81,222) වියදම් දරා ඇත.
පෙළපාලියේ කටයුතු කිරීමට ආයතනයේම නිලධාරීන් යොදවා ඇතැයි ද, ලිපිගොනු විගණකාධිපතිවරයා භාරයට ගෙන ඇතැයි ද පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත. ආයතනයේ මුදල් අධ්‍යක්ෂවරයා තොරතුරු පරීක්ෂණයට ඉදිරිපත් කළ බව ද ත්‍රිපුද්ගල කමිටුව සිය වාර්තාවේ දක්වා තිබේ. 2014 වර්ෂයේ මැයි දින පෙළපාලියේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහභාගිත්වය ලංකා සංචාරක මණ්ඩලයෙන් ඉටු කෙරී තිබේ.
මැයි දින ව්‍යාපෘතිය වෙනුවෙන් අමාත්‍යාංශය දැරූ වියදම්වලින් සංචාරක ප්‍රවර්ධනය සඳහා කිසිදු නැමියාවක් කෙරී නැති බව ආයතනයේ සේවක කාරකාදීන් පවා පිළිගෙන ඇතැයිද, ආයතනයේ අරමුණුවලට සම්පූර්ණයෙන්ම පරිභාහිරව වියදම් දරා ඇතැයි ද, ව්‍යාපෘතිය සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් තබා, සංචාරක මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පැවැත් වූ බවක් අඩුම වශයෙන් කිසිම තැනක හෝ සඳහන් කර නැති බවද පරීක්ෂණ කොමිටුව අනාවරණය කරගෙන තිබේ.
රාජ්‍ය ආයතනයක හෝ අර්ධ රාජ්‍ය ආයතනයක හෝ මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ප්‍රතිපාදන වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ හා අයවැය ලේඛනයේ සඳහන් කර තිබිය යුතු වුවත් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නැතැයි ද පරීක්ෂණ වාර්තාවෙන් පෙන්නා දී ඇත. මේ තොරතුරු අනුව (2013) මැයි පෙළ පාලියට සංචාරක අමාත්‍යාංශයෙන් නර්තන ශිල්පීන්ට වැය කළ මුදල රුපියල් එක් කෝටි හැට නව ලක්ෂ හැත්තෑඅට දහස් හාර සියයකි. (1,69,78,400) සංදර්ශන රථ හතක්(7) නිර්මාණය කිරීමේ වියදම රුපියල් අසූ තුන් ලක්ෂ හැට නව දහසකි. (83, 89, 000) ටී ෂර්ට් සහ කොඩි වෙනුවෙන් රුපියල් හතළිස්ලක්ෂ පනස් එක්දහස් හාරසිය විසි දෙකක් (40,51,422) වියදම් දරා ඇත. ඒ අනුව (2013) මැයි පෙළ පාලියට නාස්තිකර ඇති මහජන මුදල් කන්දරාව රුපියල් දෙ කෝටි අනූ තුන් ලක්ෂ අනු අට දහස් අට සිය විසි දෙකකි (2,93,98,822)
(2014) මැයි පෙළපාලියට සංචාරක අමාත්‍යාංශයෙන් සංදර්ශන රථ හය (6) හා ඒ සම්බන්ධ අනෙකුත් කටයුතු වෙනුවෙන් දැරූ වියදම රුපියල් එක්කොටි විසි නව ලක්ෂ අනූඅටදහස් එකසිය තිස් පහකි. (1,29,98,135). නර්තන ශිල්පීන්ට ගෙවූ මුදල රුපියල් තිස් නව ලක්ෂ තිස් නව දහස් පන් සියයකි(39,39,500) පෙළපාලිකරුවන්ට ටී ෂර්ට් සහ කොඩි සකස් කර ගැනීම සඳහා රුපියල් හතළිස් ලක්ෂ අසූ එක් දහස් දෙසිය විසි දෙකක් (40,81,222) වියදම් දරා ඇත.
ඒ අනුව 2014 මැයි පෙළපාලිය මුවාවෙන් දේශපාලන ප්‍රතිරූප පිම්බීමට කාබාසිනියා කර ඇති මහජනයාගේ දාඩිය මහන්සියේ අගය රුපියල් දෙකෝටි දස ලක්ෂ දහඅටදහස් අට සිය පනස් හතකි.(2,10,18,857)
සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යාංශය පමණක් 2013 සහ 2014 යන දෙ වර්ෂයේ දී මැයි පෙලපාලිය වෙනුවෙන් නාස්ති කළ මහජන මුදල් ප්‍රමාණය රුපියල් පන්කෝටි හාර ලක්ෂ දාහත් දහස් හයසිය හැත්තෑ නවය (5,04,17,679)ක් වැයකර තිබේ.
ජනසේන මාරසිංහ