Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මැලේසියාව හිටපු අගමැති නඩු වැලක මුල

$
0
0
ජුලි 7, 2018 01:00

දිගුකලක් මැලේසියාව පාලනය කළ අගමැති මහතීර් මොහොමඩ්, යළි බලයට පත්වූයේ දූෂිතයන්ට දඬුවම් දෙන බව අවධාරණය කරමිනි. නව රජය බලයට පත් වූ විගස ඒ වනවිට අගමැතිවරයා වූ නජීබ් රසාක් ට එරෙහිව විමර්ශන ඇරැඹීය. ඒ ඔස්සේ ඉදිරියට යමින් ඔහුට එරෙහිව නඩු පවරන ලද අතර අත්අඩංගුවට ගැනීමද සිදුවිය. දූෂණය යටතේ චෝදනා 4ක් හිටපු අගමැතිවරයාට එරෙහිව නැඟී තිබේ. මැලේසියාවේ IMDB අරමුදලේ මුදල් අයථා ලෙස භාවිත කළේය යන්න ඉන් ප්‍රමුඛය.

චෝදනා 4න් 3ක්ම අපරාධ වරදට ගැනෙන අතර, එකක් බලය අයථා ලෙස යොදා ගැනීම සම්බන්ධයෙනි. මැලේසියානු දූෂණ විරෝධී කොමිසම(MACC) පවසන පරිදි නජීබ්ගේ පාලන සමය තුළ රාජ්‍ය මුදල් බිලියන ගණනින් අතුරුදහන් විය. එරට නීතියට අනුව මෙවැනි චෝදනාවකට වරදකරු වුවහොත් වසර 20 දක්වා සිර දඬුවමක්ද මුදල මෙන් 5 ගුණයක දඩ මුදලක්ද අවම වශයෙන් නියම කළ හැකිය. ඩොලර් 250,000 ක ඇපයක් මත හිටපු අගමැතිවරයාට ඇප ලැබී තිබේ. අගෝස්තු 8 වැනිදා නඩු විභාගය ඇරැඹීමට නියමිතව ඇත.

හිතවතුන්ගේ කනස්සල්ල

අධිකරණයේ සිට ඇප ලබා නික්ම යන අතර මාධ්‍යවේදීන් ඇමතූ රසාක් කියා සිටියේ, නව රජය තමන්ට එරෙහිව මෙම චෝදනා නඟා ඇත්තේ දේශපාලනිකව බවය. එසේ වුවද තමන්ගේ නම පිරිසුදු කරගැනීමට උපරිමයෙන් ක්‍රියා කරන බවද ඔහු පැවසීය. වසර 24ක් තිස්සේ ජාතියටත් ජනතාවටත් කළ මෙහෙවරට ගෙවිය යුතු මුදල මෙය නම් එම මුදල ගෙවීමට තමා සූදානම් බවද ඔහු එහිදී පවසා තිබිණි.

රාජ්‍ය මුදල් ඩොලර් මිලියන ගණනින් කාන්තා අත්බෑග්, ස්වර්ණාභරණ ආදිය මිලට ගැනීමට වැය කර ඇති බව පොලීසිය පවසා ඇත.

හිටපු අගමැතිවරයාගේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ ද මෙම චෝදනා නඟා ඇත්තේ දේශපාලනිකව බවය. කෙසේ වෙතත් ඒවාට මුහුණ දී නම පිරිසුදු කරගැනීමට අබ්දුල් රසාක් ක්‍රියා කරනු ඇතැයි ද පවසා තිබිණි. හිටපු අගමැතිවරයාගේ දියණිය, යානා නජීබ් තැබූ ඉන්ස්ටර්ග්‍රෑම් පණිවිඩයක පියා අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඇති කණස්සල්ල පළ විය. ඇය එහි දක්වා තිබුණේ කිසිවකුත් මේ මිනිසා සම්බන්ධයෙන් කාරුණික හෝ ආදරණීය නොවනු ඇති බවද ඔහු පිළිබඳ මෘදු ලෙස ක්‍රියා කරනු නැති බවද ඇය සටහන් කර තිබිණි.

සිය නායකයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ සැළවීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් ක්වාලාලාම්පූර් නුවරට ළඟා වූ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. කෙසේ වුවද ඒ 50 ක් තරම් පිරිසක් බව සී.එන්.එන්. වාර්තා කර තිබිණි.

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයකදී, මැලේසියානු දානපතියකු වන ජෝ ලෝ නමැත්තා IMDB අරමුදල් අයථා ලෙස පරිහරණය කළ බව හෙළි වූ බව පැවසේ. එම මුදල්වලින් කැරට් 18 මාල 27ක් සහ වළලු ද මිලට ගෙන ඇතැයි සඳහන් ය. මැලේසියා නිලධාරී - 1 ගේ බිරිඳට යනුවෙන් එම මිලදී ගැනීම් සටහන්ව ඇත. මුදල්වලින් කොටසක් මාටින්ස්කොෂෙස් ගේ ‘ද වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීම්’ චිත්‍රපටයේ ලාභයෙන් වැය කළ බව ද අනාවරණ වී ඇත. මෙම චිත්‍රපටය IMDB අරමුදලේ මුදල් යොදවා තනන ලද්දක් බවටද චෝදනා එල්ල විය.

ඉකුත් මැයි මස 9 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් නජීබ් රසාක් ගේ එක්සත් මැලේ ජාතික සංවිධානය (UMNO) පරාජයට පත්විය. පරාජයට වගකිව යුත්තා ඔහු බව විචාරකයන්ගේ මතය විණි. ඔහුට එරෙහිව එල්ල වී තිබූ දූෂණ චෝදනා හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගනු ඇතැයි මත පළවී ද තිබිණි.

අරමුදලේ සල්ලි පෞද්ගලික ගිණුමට

අමෙරිකානු මුලාශ්‍රවල දැක්වුණේ IMDB අරමුදලේ මුදල් වලින් ඇ.ඩො.මිලියන 731ක් හිටපු අගමැතිවරයා සිය පෞද්ගලික බැංකු ගිණුමට හරවා තිබූ බවය.

කෙසේ වුවද මෙය පහසු විමර්ශනයක් නොවන බව පැවසේ. මේ ගනුදෙනුවලට රටවල් ගණනාවක්ම සම්බන්ධව තිබීම ඊට හේතුවය. නව පාලනය යටතේ මේ කාර්යය දිරි ගැන්වෙනු ඇති බව ජනතාවගේ විශ්වාසය වී තිබේ. මෙම අපවාදය පිළිබඳ විමර්ශන පවත්වන රටවල් අතර අමෙරිකාව, සිංගප්පූරුව සහ ස්විස්ටර්ලන්තය ද වේ. නව පාලනය යටතේ මේ ගනුදෙනුවලට අදාළ ලිපි ලේඛන ලබාගැනීමේ පහසුව සැලැසී තිබීම විශාල දෙයක් බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත. නජීබ් බලයේ සිටියදී මැලේසියාවේ සෑම මුල්‍යායතනයක්ම මෙම පරීක්ෂණවලට සහාය දැක්වීමෙන් වැළැකුණු බවද ඔවුහු පෙන්වා දෙති.

මෙම විමර්ශනවල අංක 1 සාක්ෂිකරුවකු ලෙස SRC ඉන්ටර්නැෂනල් හි හිටපු අධ්‍යක්ෂවරයාගේ නම සඳහන් වේ. නජීබ් බලයේ සිටියදී මේ අන්දමින් ඉදිරියට ඒමට ඔහු පැකිළීඇතත් ආණ්ඩු පෙරළියත් සමඟ තත්ත්වය වෙනස් විය. විමර්ශන ඉදිරියට ගෙනයාමට දැන් වැඩි නැඹුරුවක් පවතී. සාක්ෂිකරුවන් තිස්අට දෙනකුම ඉදිරිපත්වනු ඇති බවට විශ්වාස කෙරේ.

මහතිර්ගේ පොරොන්දුව

නජීබ් රසාක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන බව අගමැති මහතීර්ගේ මැතිවරණ පොරොන්දුවක් ද විය. මෙම විමර්ශන දියත් කිරීම මඟින් මැලේසියානුවන්ට මෙන්ම ජාත්‍යන්තරයටද ප්‍රබල පණිවිඩියක් ලබාදීමට මහතීර්ගේ පාලනය සමත්ව ඇති බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය.

මෙය නජීබ් මුහුණදෙන පළමු නඩු විභාගය වනු ඇත. ඉදිරිකාලයේදී තවත් මෙවැනි නඩු ගණනාවකට මුහුණදීමට ඔහුට සිදුවනු ඇතැයි පැවසේ. ඔහු මෙන්ම ඔහුගේ සමීපතමයන්ට ද එය අදාළය. මේ සමඟ ඔහුගේ දේශපාලන ජීවිතය තීරණය වනු ඇති බවද පෙනෙන්නට තිබේ. නජීබ්ගේ පියා මැලේසියාවේ දෙවන අගමැතිවරයාය. ඔහුට පවුල් පසුබිමෙන්ම දේශපාලන උරුමයක් තිබිණි. එහෙත්, මේ අපවාදය හේතුවෙන් එය අවාසනාවන්ත ඉරණමකට මුහුණ පා ඇත. එක් අතකින් නජීබ්ගේ දේශපාලන ඉරණම තීරණය වීමට මෙය බලපාන අතර ඔහුගේ දේශපාලන පක්ෂයටද එය විශාල කාරණයකි. එම පක්ෂය ප්‍රතිරූපය රැක ගැනීමේ වෑයමක යෙදී සිටිනු දක්නට ලැබේ. ඉකුත් සති අන්තයේදී නව සභාපතිවරයකු පත් කිරීම ද පක්ෂය පියවරගෙන තිබිණි. එම තනතුර පැවරුණේ හිටපු නියෝජ්‍ය අගමැතිවරයකු වන අහමඩ් ෂහීඩ් හමීදිටය.

‍මෙම අපවාදයට අදාළ IMBD යනු රජයට අයත් සමාගමකි. එය පිහිටුවා ගැනුණේ නජීබ් රසාක් අගමැතිධුරයට පත් වූ විගසම 2009 වසරේදීය. රටේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් සංවර්ධනය සඳහා ආයෝජන ඇද ගැනීම ඉන් අපේක්ෂා කෙරිණි. එම අරමුදල් අයථා ලෙස භාවිතා වී ඇත්තේ 2015 වසරේදී ය. එම මුදල ඇ.ඩො. බිලියන 4ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2016 වසරේදී ම මේ පිළිබඳ විමර්ශනයක් ඇරැඹීය. අරමුදලේ ඇ.ඩො.බිලිනයකට වැඩි වත්කම් අත්කර ගැනීමට ඉන් අපේක්ෂා කෙරිණි. හිටපු අගමැතිවරයා පවසන අන්දමට මෙහි කිසිදු වංචාවක් සිදුව නැත. ප්‍රශ්නගත මුදල් සවුදි රාජකීය පවුලේ පරිත්‍යාගයක් බවද ඔහු පවසා ඇත.

නිවෙසින් මතු වු සල්ලි රන් බඩු

මැලේසියානු ජාතික විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්යවරියක වන කර්තිනී අබු තාලිබ් පෙන්වාදෙන පරිදි මේ අපවාදයන් සමඟ නජීබ් රසාක්ගේ දේශපාලන ගමන නිමා‍ වේ. මේ සමඟ ඔහුගේ ප්‍රතිරූපය බිඳී ඇති බව ඇය පෙන්වා දෙයි. නජීබ් සහ ඔහුගේ බිරිඳගේ ජේත්තුකාරී ජීවනරටාව වසර ගණනාවක් තිස්සේ අවධානයට ලක්ව තිබිණි. ඉකුත් මාසයේදී අවස්ථා කිහිපයකදීම පොලිසිය හිටපු අගමැතිවරයාගේ නිවස සෝදිසි කළ අතර ඩොලර් මිලියන 273ක් පමණ වටිනා මුදල් , මලු, ස්වර්ණාභරණ, වෙනත් සුඛෝපභෝගී දෑ එහි තිබී සොයා ගැනිණි. ඒවා ජනතාවගේ බදු මුදලෙන් මෙන්ම IMDB අරමුදල්වලින් උපයාගත් ඒවා බව රජයේ චෝදනාවය. මෙහි ඇත්ත - නැත්ත ඉදිරි කාලයේදී අධිකරණයේදී නිරාකරණය වනු ඇත.

මේ සමඟ මැලේසියා දේශපාලනයේ සන්ධිස්ථානයක් සළකුණු වනු ඇතැයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. තනි පක්ෂයක පාලනය නිමා වීම මඟින් නව දේශපාලන යුගයකට දොරටු විවර වීමද නව මැලේසියාවක් බිහි කිරීමට අවස්ථාව උදාවීමද මේ සමඟ සිදුවනු ඇත. එම වගකීම බොහෝ දුරට යළි පැවරී ඇත්තේ ද එරටින් බිහි වූ කැපී පෙනෙන නායකයකු වන මහතීර් මොහොමඩ් වෙතය. නජීබ් රසාක් මුහුණ දී සිටින අපවාදයත් සමඟ එරට ජනයා නව නායකයන්ගෙන් පූර්ණ විනිවිදභාවයක් අපේක්ෂා කරනු ඇතැයි පෙනෙන්නට තිබේ. තමන් වෙත යළිත් ජනතාව බාරදුන් වගකීම අගමැති මහතීර් කෙලෙස ඉටුකරනු ඇතිද යන්න මත ඉතිහාසය විසින් උදාකර දුන් මේ අවස්ථාව මඟ හැරෙන්නේද නැද්ද යන කාරණයද තීරණය වනු ඇත.

ධම්මික සෙනෙවිරත්න 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>