ක්‍රිස් පැවන් යනු, මෑතකදී ලොව බොහෝ පාඨකයන් අතර කතාබහට ලක් වුණ සහ පසුගිය වසරේ නැගී එන නවකතාකරුට හිමි සම්මානයෙන් පිදුම් ලද අමෙරිකානු ජාතික කතුවරයෙකි. මිඩ්වූඩ් සහ කොර්නෙල් උසස් පාසලෙන් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ඇති මොහුගේ The Expats කෘතිය, පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. මේ එම කෘතිය සහ ඔහුගේ ලේඛන කලාව පිළිබඳ, writersdigest.com වෙබ් අඩවිය කළ සාකච්ඡාවක පරිවර්තනයකි.
මෙම කතාව කුමන ගණයට අයත් එකක්ද?
The Expats කියන්නේ ත්‍රාසජනක කතාවක්. යම් මනෝභාවයකින් පෙළෙන ඔත්තු බලන්නකුගේ ජීවිතය සහ ඔහුට කරන්න ලැබුණු විශේෂ කාර්යභාරයක් වටා ගෙතුණු ත්‍රාසජනක සිද්ධි මාලාවක් මේ කතාවට ඇතුළත්. ඒ සිද්ධි එකිනෙකට සම්බන්ධ වෙලා, අවසානයේ නොසිතූ විරූ තත්ත්වයකට පත් වෙනවා. මම හිතන්නේ ඒ අත්දැකීමට තමා පාඨකයන් බොහෝ දෙනෙක් කැමැති වුණේ. පාඨකයන් අතරට වේගයෙන් ගමන් කළ කෘතියක් විදිහටත් මෙය දක්වන්න පුළුවන්. ඒ වේගවත් බව, මං අපේක්ෂා කළ එකක් නෙමෙයි.
The Expats මොන වගේ කතාවක්ද?
මම මුලින් කිව්වා වගේ, මේ කතාව ගලාගෙන යන්නේ අමෙරිකාවේ ජීවත් වන වෘත්තීමය ඔත්තු බලන්නකු වටායි. ඔහුගේ පවුල් ජීවිතයේ කඩා වැටීමත් සමඟ ඇතිවන සිත් තැවුලක් නිසා, ඔහුට අහම්බෙන් හමුවන වෙබ් අඩවියක් සමඟ ගැවසෙන්න හුරු වෙනවා. ඊට පසුව සිදුවන සිදුවීම් සහ එය ඔහුගේ රැකියාවට බද්ධ වන අකාරය මේ කතාව මඟින් නිරූපණය වෙනවා.
ඔබගේ මේ කෘතිය ලොව පුරා බොහෝ සේ ජනප්‍රියත්වයට පත්වී තිබෙනවා. ඒ පිළිබඳ ඔබට හැඟෙන්නේ මොනවගේ දෙයක්ද?
මං ඒ පිළිබඳ අප්‍රමාණ සතුටකිනුයි සිටින්නේ. මේ ග්‍රන්ථය නිසා මට නිව්යෝර්ක් ටයිම්ස්වල හොඳ ම විකුණුම් වාර්තා අතරට ඒමට පමණක් නෙමෙයි, ජාත්‍යන්තර විකුණුම්කරුවකු විදිහටත් වාර්තා අතරට ඒමට හැකියාව ලැබුණා. ඒ කෘතිය ලොව පුරා විවිධ භාෂා 20කින් මුද්‍රණය වුණා.
ඔබට ලියන්න වෙන්වුණු සුවිශේෂී ස්ථානයක් එහෙම තිබෙනවද?
මම ජීවත් වෙන්නේ නම් නිව්යෝර්ක් නගරයේ ග්‍රනිච්වල. මම ගෙදරදී ලියන්නේ කලාතුරකින්. මට ගෙදරදී වෙනත් රාජකාරි බොහොමයක් තිබෙනවා. මම අපේ දරුවන් පාසල් යවලා, ඒ රාජකාරි ටික ඉවර කලාට පස්සේ, මම මගේ නිවෙස අසල තිබෙන ලියන්නන්ගේ ක්ලබ් එකට යනවා. එතැන සිටින සියලු දෙනෙක්ම පාහේ ලියන්නටම පැමිණි අය. සමහර දෙනා එහි තිබෙන පුස්තකාලයට එනවා. එතැන, ලියන්න සුදුසුම සහ ඉතාමත් නිහඬ, නිදහස් තැනක්. ගිම්හාන කාලයේ නම් මම බොහෝ වෙලාවට අපේ ගෙදර තිබෙන පිහිණුම් තටාකය ළඟ ඉඳන් තමයි ලියන්නේ.
මේ කතාව ලියන්න හේතු වුණ විශේෂ කාරණයක් එහෙම තිබෙනවද?
මීට අවුරුදු දහයකට පමණ කලින් මම පොත් ප්‍රකාශන ව්‍යාපාරයක යෙදී සිටියා. කලක් ගත වෙද්දි, කතුවරයන් බොහෝ දෙනකුගේ ඇසුර ලැබීමත් සමඟ, කතුවරයෙක් වීමට මටත් අවශ්‍ය වුණා. මම මුලින්ම පොඩි පොඩි නිර්මාණ ටිකක් කළා. ඒත් ඒවා පළ කරන්න මට ඕන වුණේ නැහැ. පසුව මම එක දිනයක මට මගේ බිරිය රැකියාව කරන ලක්සෙම්බර්ග්වලට යාමට සිද්ධ වුණා. එහිදී තමා මට The Expats ලිවීම සඳහා මුල්ම අදහසක් එන්නේ.
ඔබ කියන විදිහට , කතුවරයන් බොහෝ දෙනකුගේ ඇසුර ලැබුණු පමණින්, හොඳ කතුවරයකු විය හැකිද?
කිසිසේත් ම බැහැ. මං පොත් ප්‍රකාශන සමාගමක වැඩ කළ නිසාත්, කර්තෘවරු ඇසුරු කරන්න ලැබුණු නිසාත්, මට පොත් පත් සමඟ නිතර ගැවසෙන්න හැකි වුණා. ඒ හරහා මට හොඳ දැනුමක් ලැබුණා. ඊට අමතරව මං පොත් පත් බොහෝ ප්‍රමාණයක් කියෙව්වා. කුඩා කතන්දර, නවකතා වගේ ඒවා ලිව්වා. කියැවීමෙන් වගේම, ලිවීමෙනුත් අපේ දැනුම වැඩි දියුණු වෙනවා. හොඳ කතුවරයෙක්, නිරන්තරයෙන් කියැවීම, ලිවීම කියන අභ්‍යාසවල නිරත විය යුතුයි. ඒ වගේම, පර්යේෂණ කටයුතුවල යෙදීමත් අත්‍යවශ්‍යයි.
ඔබ මේ කතාව ලියන්නේ මොන කාල සීමාවකදීද?
මම මෙහි මුල්ම දළ පිටපත සඳහා මාස හතරක් වැය කළා. ඉන් පසුව මම මාස දෙකක පමණ කාලයක් නිව්යෝර්ක්වල ඉඳලා යුරෝපය දක්වා පැමිණීමට ගත කළා. එහිදී මම මගේ පිටපත සමහර ප්‍රබන්ධ නිර්මාණ සංස්කාරකවරු කිහිප දෙනකුට සහ සමහර සඟරාවල ප්‍රධාන සංස්කාරකවරු කිහිප දෙනකු වෙත ලබා දුන්නා. ඔවුන්ගෙන් ලැබුණු අදහස්වලට අනුව මමත්, මගේ බිරියත්, පළමු දළ සටහනට වෙනස්කම් ටිකක් එකතු කළා. ඉන් පසුව එහි දෙවැනි පිටපත් වෙනත් සංස්කාරකවරු කිහිප දෙනකු වෙත ලබා දුන්නා. මේ අතරේ මම එහි දෙවැනි පිටපත්, ප්‍රකාශන ආයතනයක් හිමි මගේ මිතුරෙක් වෙත ලබා දුන්නා. ඔහු තමා මගේ ප්‍රකාශන නියෝජිතයා වුණේ. ඔහු මගේ නිර්මාණය දැක්කට පස්සේ, එය ප්‍රකාශයට පත් කිරීමට බොහෝ සේ කැමැති වුණා. මාස නවයකට පසුව මගේ මේ නිර්මාණය ප්‍රකාශයට පත් කිරීමට මට හැකි වුණා.
මේ නිර්මාණය ප්‍රකාශනයට පත් කරන ක්‍රියාවලියේ, ඔබට ලැබුණු අත්දැකීම් කොයි වගේද?
මම මුලින් හිතන් හිටියේ, මගේ මුල්ම පිටපත් බෙහෙවින්ම හොඳයි කියලයි. ඒත් , මට වෘත්තීමය නිපුණයන්ගෙන් ලැබුණු අවවාද සමඟ මම එය සංශෝධනය කළා. බොහෝ දෙනකුගේ බුද්ධිමත් අවවාද, තීරණ , මේ නිර්මාණය සාර්ථක වීමට හේතු වුණා.
ඔබ ප්‍රකාශයට පත් කර තිබෙන අනෙකුත් ග්‍රන්ථ පිළිබඳ කතා කළොත්?
The Accident සහ The Travelers යන නවකතා පොත් දෙක සහ ප්‍රබන්ධ නොවන නවකතාවක් වන The Wine Log: A Journal And Companion කෘතිය තමා මේ වනවිට මං රචනා කර තිබෙන්නේ.
පසුගිය කාලය දෙස බැලුවොත්, ඔබ පසුතැවිලි වෙන කාරණා මොනවද?
මම මගේ ජීවිතේ බොහෝ කාලයක් ප්‍රකාශන ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක තමා වැඩ කළේ. මම හැම වෙලේම කළේ සඟරා සංස්කරණය, පුවත්පත් සංස්කරණය, කතුවරයන් ගේ නියෝජිතයෙක් වීම ආදියයි. මට කතුවරයෙක් වීමට ඇති තරම් අවස්ථාව තිබියදී, මම ව්‍යාපාර කාරණා නිසා එය දිනෙන් දින ප්‍රමාද කළා. එහි වටිනාකම තේරුම් ගැනීමට මම බොහෝ කලක් ගත කළා කියා මගේ හිතේ පසුතැවීමක් තිබෙනවා.
ඔබට ඔබගේ නිර්මාණ පාඨකයන් වෙතට ලබා දීමට මාධ්‍යයක් තිබෙනවද?
මට විශේෂ මාධ්‍යයක් නම් නැහැ. මම සාමාන්‍යයෙන් බොහෝ සේ ජනප්‍රිය වීමට කැමැති කෙනෙක් නෙමෙයි. කෙසේ වෙතත් මම Twitter හරහා මගේ පාඨකයන් සමඟ සම්බන්ධ වෙමින්, මගේ අලුත් නිර්මාණ ගැන මා බොහෝ වෙලාවට ඔවුන් දැනුම්වත් කරනවා. ඔවුන්ගේ වටිනා අදහස් , හැකි සෑම විටෙකම මම බලනවා.
යශෝදා ඉන්දීවරී