නවකතා කියැවීමෙන් පලක් නැතැ’යි ද; ඒවායෙහි ඇත්තේ අමු - බේගල් යැයි ද මතයක් පවතී. සිංහල නවකතා දෙස බලනවිට මේ මතය බොහෝ දුරට නිවැරැදි ය. එහෙත්, ඉඳහිට මේ මතයට අභියෝග කරන නවකතා ද බිහි වෙයි. “බළකොටු සහ නෞකා” නවකතාව හැඳින්විය හැක්කේ එබඳු නිර්මාණයක් හැටියට ය.
සිංහල ස්වතන්ත්‍ර නවකතාවේ නිම් වළලු පුළුල්වෙමින් පවතින බවට ද; අපේ කතා කලාවේ බරසාර ගතිය ශක්තිමත් වෙමින් පවතින බවට ද හොඳ ම සාක්ෂියක් මා ඉදිරිපිට තිබේ. එය ‘බලකොටු හා නෞකා’ ලෙසින් හඳුන්වා ඇත. ලෝක ප්‍රබන්ධකරණයේ ගතිකවලට අනුව ගතහොත්, “බලකොටු හා නෞකා” යන ප්‍රබන්ධය ඓතිහාසික නවකතා ගණයට වැටෙයි. මේ නවකතාව රචනා කිරීම සඳහා කතුවරයා සිදුකර ඇති පරිශ්‍රමය ගැන පළමුව සංවාද කළ යුතු ය. එය සෙසු නවකතා රචකයන්ට ද ලබාදෙන මහඟු මාර්ගෝපදේශයක් ලෙස පවතී.
කතුවර භද්‍රජි මහින්ද ජයතිලක මහතා සිය ප්‍රබන්ධකරණය සඳහා අභ්‍යාස ගණනාවක නිරත වී ඇති බව පෙනෙයි. එය අංශ කිහිපයකට බෙදා වෙන් කළ හැකි ය.
(I) ඉතිහාස අධ්‍යයනය
(II) භාෂා අධ්‍යයනය
(III) ආගම් අධ්‍යයනය
(IV) ජන -ජීවිතය නිරීක්ෂණය
මේ කෘතියේ එන තොරතුරු හා සිද්ධි නිරීක්ෂණය කරන කල පැහැදිලි වන්නේ, පහළොස් වැනි සියවස හා ඊට තදාසන්න කාලයෙහි ලෝක ඉතිහාසය, දේශපාලනය, ආර්ථික කටයුතු හා ආගම් ප්‍රචාරය පිළිබඳ පැහැදිලි දැක්මක් කතුවරයාට ඇති බව ය. අරාබිවරුන් හා යුරෝපා ජාතිකයන් අතර පැවැති ලෝක වෙළෙඳ යුද්ධය, නාවුක ගමන් අතර තරගය හා රටවල් අල්ලාගැනීම පිළිබඳ ඉතිහාසය කතාවෙන් එළියට එයි. එය ඓතිහාසික සාධක ඔස්සේ නිරූපණය කිරීමට කතුවරයා උත්සුක වෙයි.
මෑත භාගයේ අමෙරිකන් නවකතාව තුළ ඓතිහාසික ප්‍රබන්ධවලට විශේෂ ආකර්ෂණයක් පවතී. 2016 දී පළ වූ “අන්ඩර්ග්‍රවුන්ඩ් රේල් රෝඩ්” නම් කෘතිය මේ සඳහා එක් නිදසුනක් ලෙස දැක්විය හැකි ය. කොල්සන් වයිට්හෙඩ්ගේ ඉහත නවකතාව පිළිබඳ සංවාදයක් අදටත් පවතී. විචාරකයන් උක්ත නවකතාව හඳුන්වා තිබුණේ, ඉතිහාසය හා මානව අත්දැකීම් පිළිබඳ අපූරු විවරණයක් හැටියට ය. භද්‍රජි මහින්ද ජයතිලක මහතාගේ “බලකොටු සහ නෞකා” කෘතිය ද ඉතිහාසය හා මානව සබඳතා පිළිබඳ අපූරු විවරණයක් ලෙස හඳුන්වා දිය හැකි ය. මෙහි එන දේශපාලන සිදුවීම් ඉතා සංකීර්ණ වන අතර, මානව සබඳතා ඔස්සේ ගොඩනැඟෙන වෘත්තාන්තය අතිශය අනුවේදනීය වෙයි. එය වෙන ම සංවාදයට ගත යුතු කාරණයෙකි.
ඓතිහාසික නවකතා රචනය කෙරෙහි විශේෂ ආකර්ෂණයක් සිංහල රචකයන් අතර ද පවතී. ඒ අනුව ඓතිහාසික නවකතා ශානරයට ඇතුළත් කෘති ගණනාවක් බිහි වී ඇත. එම කෘතිවල දක්නට ලැබෙන ප්‍රධාන දුර්වලතාවක් වන්නේ, ඉතිහාසය,දේශපාලනය, ජන ජීවිතය හා භාෂාව අධ්‍යයනය නොකොට, ස්ව - අභිමතයට අනුව සිද්ධි හා චරිත ගළපා තිබීම ය. අපේ මෑතකාලීන ඓතිහාසික නවකතා බොහොමයක් ඓතිහාසික විහිළු ලෙස පවතී. භද්‍රජි මහින්ද මහතා මේ දුර්වලතාව හඳුනාගෙන, සිය නවකතාව ලියා ඇතැ’යි සිතන්නට පුළුවන. ඔහුගේ මුළු ප්‍රබන්ධය ම ඓතිහාසික සාධක මත පදනම් ව රචනා වී ඇත.
බලකොටු සහ නෞකා නවකතාවට පාදකවන කාල පරාසය පහළොස් වැනි සියවස යැයි කිව හැකි ය. 1505 සිට 1597 තෙක් නිශ්චිත කාල වකවානුවක් පිළිබඳ ප්‍රබන්ධයේ සඳහන් ය. මේ කාලය තුළ ශ්‍රී ලංකාවට බලපෑම් කළ ප්‍රධාන විදේශීය භාෂාව පෘතුගීසි යැයි කිව හැකි ය. පෘතුගීසි භාෂාවෙන් සිදුවන සංවාද පමණක් නොව; එය සිංහලය සමඟ මිශ්‍ර වී සමාජය තුළ භාවිතයට ගැනෙන ආකාරයත් රසවත් ලෙස නිරූපණය කිරීමට කතුවරයා උත්සුක වෙයි.
“පරංගි බළකොටුව ළඟට යනකොට උන්ගෙ ගේට්ටුව වහන වෙලාවලු! දුර ඉඳලා එන අපේ මිනිස්සු දැකලා ගේට්ටුවේ හිටි පරංගි කිව්වලු ‘කුරේ - කුරේ’ කියල. අපේ මිනිස්සු හිතුවලු පරංගි ඒගොල්ලන්ට දුන්න නම තමා කියල. ගමේ ගිහින් කිව්වලු අපිට කුරේ කියල නම දැම්ම කියල”
“ඉතිං”
“ඉතිං බැලුවාම කුරේ කියන එකේ තේරුම තමයි දුවන්න කියන එක. පරංගි සොල්දාදුවො අපේ මිනිස්සුන්ට කියල තියෙන්නෙ දුවපල්ලා! දුවපල්ලා කියලලු!
(පිටුව 277)
අද අප අතර නැතත්; මහාචාර්ය එම්.එච්.ගුණතිලක මහතා පෘතුගීසි භාෂාව සම්බන්ධයෙන් බොහෝ පර්යේෂණ සිදුකර තිබේ. අප දන්නා හැටියට පෘතුගීසි භාෂාව උගත් එක ම සිංහල මහාචාර්යවරයා වූයේ එම්.එච්.ගුණතිලක මහතා ය. ඔහුගෙන් පසුව පෘතුගීසි භාෂාව පිළිබඳ උනන්දුවක් දක්වා ඇති කෙනකු ලෙස ද භද්‍රජි මහතා කැපී පෙනෙයි.
යුරෝපා ඉතිහාසය හදාරන විට පෙනී යන වැදගත් කාරණයක් වන්නේ වෙළෙඳාම හා ආගම් ප්‍රචාරය යටත්විජිත ගොඩනැඟීමේ හොඳ ම උපායමාර්ග ලෙස පැවැති බව ය. ආගම් ප්‍රචාරය ඔස්සේ යුරෝපා ජාතිකයන්ගේ මතවාදය ප්‍රචලිත වූ අතර, තමන්ට හිතවත් සමාජයක් තහවුරු කර ගැනීමට ද හැකි විය. ශ්‍රී ලංකාව තුළ කිතුනු දහම ප්‍රචලිත වූයේ යුරෝපා ජාතිකයන් නිසා ය. මේ අතර පෘතුගීසීහු ප්‍රමුඛ වෙති. පෘතුගීසීන්ගේ ආගම් ප්‍රචාරයත් සමඟ දේශීය සමාජය තුළ විවිධ සංවාද මතු විය. එය කතුවරයාගේ අවධානයට ලක් වී ඇත.
“හාමුදුරුවනේ මං දන්න ක්‍රිස්තියානි උදවිය සර්ව බලධාරී දෙවියන් වහන්සේ ගැන කියනවා සේරම උන්වහන්සේ මැව්වා කියනවා”
“එතකොට උන්වහන්සේ මැව්වෙ කවු ද?”
(පිටුව 321)
ආගම් අතර පවත්නා විවිධ ඉගැන්වීම් හා සංකල්ප තර්කානුකූල සංවාද ඔස්සේ නිරූපණය කිරීමට නම්; එම ආගම් හා දර්ශන පිළිබඳ හොඳ වැටහීමක් තිබිය යුතු ය. කතුවරයා ආගම් හා දර්ශන පිළිබඳ ප්‍රාමාණික හැදෑරීමකින් යුතුව මෙහි එන සංවාද ගොඩනඟා තිබේ.
පහළොස් වැනි සියවසෙහි ශ්‍රී ලාංකේය ජන ජීවිතය පිළිබඳ අපූරු නිරූපණ රැසක් ද මේ කෘතියට ඇතුළත් ය. ඒවා කතුවරයාගේ හිතලූ නොව; ඉතිහාසය හැදෑරීමෙහි ප්‍රතිඵලයක් බව පෙනී යයි. අපේ මිනිසුන්ගේ ආහාර රටා, ගමනාගමනය, ආවාහ - විවාහ ආදිය පිළිබඳ අපූරු චිත්‍රයක් මෙහි ඇත. ඒවා කියැවීමෙහි රුචිය ඇති කරයි.
කෘතියෙන් ඉස්මතු වන තවත් ප්‍රධාන සාධක දෙකක් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම වටී.
(I) කෝට්ටේ යුගයෙහි දේශපාලනික තත්ත්වය
(II) එම යුගයෙහි මානවීය සබඳතා
කෝට්ටේ යුගය හැඳින්විය හැක්කේ දේශපාලනික වශයෙන් අවුල්-වියවුල් ගහන අරගලකාරී යුගයක් හැටියට ය. රාජ්‍ය බලය සම්බන්ධයෙන් පාර්ශ්ව ගණනාවක් තුළ යුද ගැටුම් පැවැතිණි. ඒ අතර පෘතුගීසි ආක්‍රමණ හා විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය. කෝට්ටේ, සීතාවක, රයිගම වශයෙන් රාජ්‍ය - පාලනය බෙදී තිබිණි. ඒ හැරෙන්නට උඩුගම්පොළ ආදී ප්‍රදේශ යුව රජුන් යටතේ පාලනය විය. නායක්කාර පරපුර යටතේ පාලනය වූ තවත් ප්‍රදේශ තිබිණි. උතුරේ වෙන ම පාලනයක් දක්නට ලැබිණි. මේ සියල්ල ගත්කල අතිශය සංකීර්ණ දේශපාලන රටාවක් පැවැති බව ද, එහි පීඩනය සාමාන්‍ය ජනතාවට හොඳින් දැනෙන්නට ඇති බව ද උපකල්පනය කළ හැකි ය.
වීදිය බණ්ඩාර, භුවනෙකබාහු, දොන් ජුවන් ධර්මපාල , සමුද්‍ර දේවී යන චරිත සේ ම, විජයබා කොල්ලය, කොළඹ කොටුවට පහරදීම, සමුද්‍රදේවී දියේ ගිල්වා මරා දැමීම ආදී සිදුවීම් ද ජීවමාන ලෙස නිරූපණය කිරීමට කතුවරයා දක්වා ඇති බුහුටිකම අගය කළ යුතු ය.
“කවුරු මොන හටනක් කළත්, අපි වාගේ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න තියෙනවනං!”
“හේතුවො හැම මිනිහට ම යුද්ධෙ බලපානවා. ඒකෙන් බේරිලා ඉන්න වටු කුරුල්ලටවත් බෑ”
(පිටුව 229)
ඉතිහාසයේ ඇත්ත තොරතුරු පමණක් නොව; යුද ගැටුම්වල සදාකාලික අර්ථයන් නිරූපණය කිරීමට කතුවරයා උත්සුක වෙයි. නවකතාවේ එන බොහෝ සංවාදවල යටි අරුතක් තිබේ. එම යටි අරුත්වලින් හැඟවෙන්නේ දේශපාලන යථාර්ථය හා මනුෂ්‍යත්වයේ ස්වාභාවය යැයි කියන්නට පුළුවන.
කතුවරයා ගොඩනඟා ඇති මානුෂීය සබඳතාවලින් ඇතැම්විට අතිශය අනුවේදනීය වෘත්තාන්ත එළියට එයි. එබඳු වෘත්තාන්ත තුනක් අප සිහියට නැඟේ.
(I) එන්රිකේ හා මාලී අතර ආදර වෘත්තාන්තය
(II) හේතු හා ඇනා අතර මානුෂීය සබඳතාව
(III) එන්රිකේ හා ඇනා අතර සම්බන්ධය
පළමු වෘත්තාන්තය අතිශය අනුවේදනීය කතාවක් ලෙස ගොඩනඟා ඇත. ගාලුතොට ආසන්නයේ දී මාලී නම් තරුණියට අහම්බෙන් මුණගැසෙන පෘතුගීසි නාවුකයකු වටා මේ කතාව ප්‍රබන්ධ වී ඇත. මාලී කැටුව කායිකව එකතු වන එන්රිකේ නම් නාවුකයා, පසුව පෙරළා ලිස්බන් නුවරට යයි. එන්රිකේ සබඳතාව නිසා දියණියක ලබන මාලී, සිය ජීවිත කාලය පුරාම එන්රිකේ එන තුරු බලා සිටී. ඇය උමතුවෙන් මෙන් ඔහු සොයා පරංගි බළකොටුවලට යයි. වසර ගණනාවකට පසු එන්රිකේ යළි ශ්‍රී ලංකාවට එන අතර, තවත් අහම්බ සිදුවීමක දී මාලී මුණ ගැසෙයි. එය ඇගේ අවසන් මොහොත ලෙස සටහන් වී ඇත. මාලී එන්රිකේ හඳුනාගත්ත ද, එන්රිකේට මාලී හඳුනාගත නොහැකි වෙයි.
මෙහි එන හේතුගේ චරිතය නිර්මාණය වී ඇත්තේ කෘතවේදී මනුෂ්‍යයකු හැටියට ය. ඔහු මාලීට දක්වන ළෙන්ගතුකම, ඇනාට දක්වන ගෞරවය පුදුමාකාර ය. නියම සිංහල ගැමියකුගේ ගති - සිරිත් හේතු ළඟ තිබේ. ඔහු ජීවත්වන්නේ ආත්මාර්ථය උදෙසා නොව; පරාර්ථය උදෙසා යැයි සිතන්නට පුළුවන. ඉතා සංසුන් මිනිසකු වන හේතු, ඇනාට වටිනා ත්‍යාගයක් ලබාදීම සඳහා දීර්ඝ කාලයක් බලා සිටී. ඇනාගේ ආරක්ෂකයා ලෙස ද, එක ම ඥාතියා ලෙස ද හේතු පෙනී සිටී. එහෙත් ඒ වෙනුවෙන් ඔහුට ලැබෙන දෙයක් නැත.
එන්රිකේ ඇනාගේ ආදරය දිනාගැනීම සඳහා කුමන්ත්‍රණ දියත් කරයි. මිනිස් ඝාතන සිදු කරයි. එහෙත් ඇනා යනු තමන්ගේ දියණිය බව ඔහු දන්නේ නැත. අවසන් ලෙස එන්රිකේ සියල්ල වටහාගෙන, කලකිරීමට පත්වෙයි. ඔහු යළිත් ලිස්බන් බලා යන්නේ පරාජිත මිනිසකු හැටියට ය. මෙය තවත් අනුවේදනීය කතාවකි.
හේතු, එන්රිකේ, මාලී, ජුවාන්, රාහුල හිමි, පුන්සාර යන සියලු චරිත ඔස්සේ මනුෂ්‍යත්වය විවරණය කිරීමේ උත්සාහයක් පවතී. ජුවාන් ශ්‍රී ලංකාවට කඩා වදින්නේ නැවත ආවතේව කරන මෙහෙකාර කොල්ලකු ලෙස ය. ඔහු දෙවැනි වර ලංකාවට එන්නේ නැවත උසස් නිලධාරියකු හැටියට ය. නාවුක ගමන් පිළිබඳ අපූරු විස්තර ද, නාවුක ජීවිතයේ කටුකත්වය පිළිබඳ විස්තර ද කෘතියට ඇතුළත් ය.
“බලකොටු සහ නෞකා” යනු පරිපූර්ණ නවකතාවකි. එය කාගේත් අවධානයට ලක්විය යුතු නව ආරක ප්‍රබන්ධයක් ලෙස ද හඳුන්වා දිය හැකි ය.