“මම ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ ගෙදර සිට ඇවිත් නතර ව සිටියේ මරදානේ දේවානම් පියතිස්ස මාවතේ සිරිපාල සහෝදරයා ගේ ගෙදර. රෝහණ සහෝදරයා ප්‍රධාන වශයෙන් කොළඹින් පිට, තංගල්ලේ විතාරන්දෙනියේ විජිත රණවීර සහෝදරයා ගේ නිවස වැනි තැන්වල සිට දේශපාලන වැඩ කටයුතු කළා. ඒ කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පවත්වා ගෙන ගියේ සිරිපාල සහෝදරයා සිය බිරිඳත් දුවත් සමඟ පදිංචිව සිටි මේ තනි කාමරයකින් යුත් නිවසේ. ඒ වන විට කොළඹ පක්ෂයේ වැඩ කරපු මෝදර ඇන්තනි, මැද කොළඹ විමල්, සෑම් (නාවික හමුදාවේ හිටපු වින්සන්ට් සමරසේකර), වල්පොල ආරි, රාගම සෝමෙ, කොල්ලුපිටියේ ගාමිණී වැනි සහෝදරවරු නිතර මේ නිවසේ ගැවසුණා. කොළඹ එදිනෙදා වේල සොයා ගෙන වාසය කරන පීඩිත ජන කොටස් තම දිවි ගෙවීමේ දී මුහුණ දුන් දැඩි අපහසුකාරී ජීවන තත්ත්වයන් පිළිබඳව මට අත් දැකීමෙන් ම දැන ගන්නට හැකි වුණා එහි ගත කළ කෙටි කාලය තුළ. පක්ෂ කාර්යාලය පවත්වා ගෙන යෑමට වෙනත් ස්ථානයක් සොයා ගන්නා තෙක් තමන් සතුව තිබූ තනි කාමරයක නිවසේ සාලය මට නතර වෙන්නටත් පක්‍ෂයේ පරිහරණයටත් ලබා දීම සිරිපාල සහෝදරයාගේ පරිත්‍යාගශීලී බවේ සහ කැපවීමේ සංකේතයක්. මම අදත් ඒ ගැන සිහි කරන්නේ ඔහුටත් ඔහුගේ පවුලේ සියලු දෙනාටත් දැඩි ගරුත්වයෙන් යුතුව.
“තිබුණු අවම පහසුකම් යටතේ අපි සියලු ක්ෂේත්‍රවල ම පාහේ වේගයෙන් මහන්සි වී වැඩ කළා. 1976 අග පමණ අපි බන්ධනාගාරයේ සිටියදීම සභාග ආණ්ඩුව හදිසි නීතිය ඉවත් කළා. පක්ෂයට නීත්‍යානුකූලව කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මේ කාලයේ දීම බන්ධනාගාරයෙ රඳවා ගෙන හිටපු උපතිස්ස ගමනායක සහෝදරයාට විරුද්ධව පාදුක්කේ මංකොල්ල කෑමේ චෝදනා යටතේ පවරා තිබුණු නඩුවකින් ඔහු නිදහස් වෙනවා. මේ නඩුවට ගමනායක සහෝදරයා අහු වෙන්නේ පක්ෂයේ වැඩ කටයුතු කරන්න මුදල් හොයන්නට ගිහින්. ගමනායක සහෝදරයා කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් ව ඉන්දෙද් දී 1971 අප්‍රේල් 2 වන දා හෝමාගම පොලීසියට පහර දෙන්න කණ්ඩායමක් සමඟ යද් දී පක්ෂයේ ඉහළින් ඒ පහර දීම නතර කරන්නට ගන්නා ලද තීරණය නිසා ඔවුන් පහු බැහල තිබුණා. ඒ කාලෙ හැඟවිලා දේශපාලන කටයුතු කරද් දී වරක් ඔහු වෙනත් කරුණකට අත්අඩංගුවට පත් වුණත් එයින් ඔහු බේරිලා තිබුණා. පාදුක්ක නඩුවට ගමනායක සහෝදරයා වෙනුවෙන් පෙනී හිටියෙත් අධිනීතිඥ බාලා තම්පෝ සහෝදරයා.
“ගමනායක, වාස් තිලකරත්න, රොබට් ජයසේකර, නන්දන මාරසිංහ, සෝමවංශ අමරසිංහ, එම් බී රත්නායක, ජාඇල යූ. ඒ. නන්දසීලි, දෙනියායේ කුසුමා බුද්ධිකෝරාල, කරුණා (ගමනායක), ලීනා අයිරින් වැනි සහෝදර සහෝදරියන් සමඟ එකට එක්ව බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි කෙලි සේනානායක සහෝදරයාත් ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩනැඟීමේ දේශපාලන කටයුතුවල නිරත වී තිබුණා. අපි නිදහස ලබා එළියට එන විටත් මේ අය ප්‍රසිද්ධ දේශපාලනයේ වැඩ කරමින් හිටියා. 1977 මාර්තු මාසයේ එම් බී රත්නායක සොයුරාගේ නිවසේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා තිබුණා. ගමනායක සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ වැඩබලන ලේකම් ලෙසත්, කෙලි, වාස්, රොබට් එක් එක් අංශ භාර නායකයන් ලෙසත් පෙනී සිට තිබුණා. ඒ කාලයේ ම මේ සහෝදර සහෝදරියන් මැදහත් වෙලා කෙලි සේනානායක සහෝදරයා ගේ මෙහෙයවීම යටතේ ‘නියමුවා’ පුවත් පත පක්‍ෂයේ මධ්‍යම පුවත් පත ලෙස ස්ථාපිත කොට තිබුණා. දෙමටගොඩ ප්‍රසිද්ධ රැස්වීමක් තිබ්බා. ඒ වගේම 1977 මහ මැතිවරණයට තරග කළා.”
“මේ කාලය තුල සෝමවංශ අමරසිංහ සහෝදරයා පූර්ණ කාලීන ලෙස කටයුතු කළත් ඔහුට පක්ෂයේ තාවකාලික මධ්‍යම කමිටුවට පත් කර නොගන්නට බලපාපු ප්‍රධාන හේතු දෙකක් තිබුණා. අපි මහ නඩුවට වැලිකඩ බන්ධනාගාරයට ගෙන යන්නට පෙර අමරසිංහ සහෝදරයාත් රඳවා ගෙන සිටියේ වැලිකඩ H වාට්ටුවේ. අප ගෙන එන විට ඔහුව යාපනය බන්ධනාගාරයට ගෙන ගොස් තිබුණා. වැලිකඩ ඉන්දෙද් දී අමරසිංහ සහෝදරයා දේශපාලන වශයෙන් කටයුතු කර තිබෙන්නේ විරාජ් ප්‍රනාන්දු සහෝදරයාත් සමඟ. යාපනය බන්ධනාගාරයට ගෙන ගියාට පස්සෙ අමරසිංහ සහෝදරයා ස්වයං විවේචනයක් කරල නැවත පක්ෂයේ දේශපාලනයට එකතු වෙලා තිබුණා. හැබැයි එළියට ඇවිත් දේශපාලන කටයුතුවල නිරත වෙද්දි අමරසිංහ සහෝදරයා වැඩකරපු හැම තැනකම පාහේ සහෝදර සහෝදරියන් සමඟ ප්‍රශ්න ඇති කර ගෙන තිබුණා. උදාහරණ වශයෙන්, ගමනායක සහෝදරයා සමාජවාදී කම්කරු සංගමයේ ලේකම් ලෙස කටයුතු කරද් දී අමරසිංහ සහෝදරයාට කරන්නට බාර දී තිබුණ වැඩ කොටස හමුවේ ප්‍රශ්න කෙතරම් උත්සන්න වුණා දැයි කීවොත් අමරසිංහ සහෝදරයා ඒ වැඩ කොටසින් ඉවත් කොට ඒ වෙනුවට මහින්ද පතිරණ සහෝදරයා පත් කරන්නට සිදු වුණා.”
මේ විමුක්ති ගී නිශ්චිතවම ආරම්භ කෙරුණු සමයයි.
“අපේ රටේ බොහෝ දෙනෙක් අතර, විශේෂයෙන් ප්‍රගතිශීලී ජන කොටස් අතර විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව සහ විශාරද නන්දා මාලනී වැනි කලා ශූරීන්ගේ ගීත ඉතා ජනප්‍රිය බවට පත් වී තිබුණා. 1960 ගණන්වල ‘ව්‍යාපාරය’ ලෙස හැඳින්වුණ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර සහෝදරියන් අතර ද මෙය පොදු ලක්‍ෂණයක්. අනෙක් ගීතවලට සහ අනෙක් ගායක ගායිකාවන්ට ආශාවක් නොදැක්වූවාම නෙමෙයි. උදාහරණයක් ලෙස අමරදේවයන් ගායනා කළ ‘පෙර දිනයක මා පෙම් කළ යුවතිය’ නමැති ගීතය 1980 වේ මුල එක් කාලයක දී රෝහණ සහෝදරයාගේ ප්‍රියතම ගීතය වුණා. ඒත් අමරදේවයන්ගේ ‘රත්න දීප ජන්ම භූමි’ සහ නන්දා මාලනියගේ ‘මේ සිංහල අපගෙ රටයි’ වැනි ගීත රෝහණ සහෝදරයා ඇතුළු අප සියලු දෙනාගේ හදවත් අරක් ගෙන තිබුණා කිව්වොත් ඒක නිවැරදි යි. ඒත් මේ ගීත ගායනා කිරීමේ දී ඒවායේ ඇතැම් පද රචනා අපේ අදහස් සමඟ පරස්පර වන බවක් අපි දැක්කා”.
“උදාහරණ ලෙස අපේ හද ගැස්මේ තිබුණ ‘ජාතිය’ පිළිබඳ සංකල්පය ලාංකීය දේශය නිවහන්කොටගෙන සිටි සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලුම ජන කොටස් නියෝජනය කෙරුණු ආකාරයේ එකක් මිස මෙම ජන කොටස්වලින් එක් ජන කොටසකට පමණක් සීමා වූ සංකල්පයක් නෙමෙයි. මේ නිසා ‘ආදි සිංහලේ - ජාතියේ නාමයෙන් - සංග්‍රාම භූමියේ’, ‘මේ සිංහල අපගෙ රටයි’ වැනි ගී පද ඒ ආකාරයෙන් ම ගායනා කරනු වෙනුවට ‘ආදි සිව් හෙලේ - දේශයේ නාමයෙන් - සංග්‍රාම භූමියේ’, ‘මේ අපගේ එකම රටයි’ යනුවෙන් වෙනස් කරමින් අපි ගායනා කළා. ජනතා විමුක්ති පෙරමුණටම ආවේණික වූ එවැනි ගීත ශෛලියක්, රටාවක් බිහි වෙන්නට පටන් ගත්තේ 1971 බියකරු ධවල භීෂණය හේතුවෙන් තම ජීවිතාරක්‍ෂාව සඳහා වනාන්තරවලට පසු බැස සටන් කරමින් සිටි සගයින්ගේත් බන්ධනාගාර සහ සිර කඳවුරු තුළ රඳවා තබා ගෙන සිටි සගයින්ගේත් ගී නිර්මාණයන් තුළින්. දුකෙන් කම්පා වී හඬා වැටෙන හදවත් තුළ මතුවුණ කදුළු බිඳුවලින්, කටුක වේදනාවන්ගෙන් හෙම්බත් වූ පීඩිතයන්ගේ ගතින් වෑහුණ දහදිය බිඳුවලින්, වධ වේදනාවට ලක් වී ගලා ගිය ලෝහිත දහරාවලින් ගී වැල් ලියැවෙන්නට පටන් ගැනුණේ මෙතැන් සිටයි. සටනින් තොරව ජයක් ලබා ගත නොහැකි බව වටහා ගත් අපේ සහෝදරවරු මෙසේ ලියූ රණ ගීත උස් හඬින් ගායනා කරන්නට පටන් ගත්තා.
“අනුරාධපුරයේ නන්දන මාරසිංහ සහෝදරයාගේ මැදිහත් වීමෙන් මැද කොළඹ ඇන්තනි සහ විමල් වැනි සහෝදරවරු ඇතුළු කණ්ඩායමක් විසින් මෙවැනි ගීත ගායනා කරන්නට උත්සාහයක් දරා තිබුණත් එම උත්සාහය සාර්ථක වී තිබුණේ නැහැ. සෝමවංශ අමරසිංහ සහෝදරයා මේ අයට ප්‍රවාහනය වැනි අවශ්‍ය පහසුකම් සපයන්නට කටයුතු කර තිබුණා. 1977 නොවැම්බර් මස හත්වැනි දා කොළඹ නගර ශාලා භූමියේ පවත්වන ලද දැවැන්ත රැලිය අවසානයේ ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් කිහිප දෙනෙක් විසින් ගීත කිහිපයක් ගායනා කර තිබුණා. ඒ සංවිධානාත්මකව ‘විමුක්ති ගී’ ප්‍රසංගයක් ලෙස දොරට වඩින්නට කාලයකට පෙර යි.”
“මුලින් ම ‘විමුක්ති ගී’ ප්‍රසංගය පිළිබඳ ව සාකච්ඡා වුණේ 1978 වසරේ මුල් කාර්තුවේ පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේ දී මා ගෙන එන ලද යෝජනාවකට අනුවයි. ‘විමුක්ති ගී’ ප්‍රසංගය සංවිධානය කොට ඉදිරිපත් කිරීමේ සම්පූර්ණ වගකීම එහි දී මට පැවරුණා. ඊට පස්සේ පක්‍ෂයේ දිස්ත්‍රික් සංවිධාන ඇතුළු අනෙක් සංවිධාන විසින් කරන ලද නිර්දේශත්, අපි අතර සංගීත කලාව පිළිබඳ ව තිබුණු අවබෝධයත් සහ කලාකරුවන් සමඟ පක්‍ෂය ඒ වන විට ගොඩනඟාගෙන තිබුණු සම්බන්ධතාවයන් මත පදනම් වෙමින් 1978 මැද භාගය වන විට අපි සාකච්ඡා ගණනාවක් පැවැත්තුවා.
“පසු කලෙක ඉතාමත් ජනප්‍රිය වූ ‘විමුක්ති ගී’ ප්‍රසංගය සංවිධානය කිරීම පිළිබඳව මම මාරසිංහ සහෝදරයා සමඟ පළමු වරට සාකච්ඡා කළේ මුලින් කී මරදානේ දේවානම්පියතිස්ස මාවතේ පවත්වා ගෙන ගිය ප්‍රධාන කාර්යාලයේදී. මමත් මාරසිංහ සහෝදරයාත් විසින් දෙවැනි වරට පවත්වන ලද සාකච්ඡා වටයට පක්‍ෂ මුද්‍රණාලයේ කටයුතු කළ ජයතිලක ගමගේ, මෝදර ඇන්තනි සහ මැද කොළඹ විමල් යන සහෝදරවරුත්, සුනිලා අබේසේකර සහෝදරියත් සහභාගි වුණා. මාරසිංහ සහෝදරයා රටේ ප්‍රධාන පෙලේ සංගීත ශිල්පීන් සමඟ බොහෝ දුරට සම්බන්ධකම් පවත්වා ගෙන ගිය කෙනෙක්. ‘විමුක්ති ගී’ ප්‍රසංගය සංවිධානය කිරීමට විශාරදයන් ඇතුළු ප්‍රධාන පෙලේ සංගීත කලාකරුවන් කිහිප දෙනකුගේ අදහස් සහ උපදෙස් ලබා ගැනීමට මේ නිසා අපට අවස්ථාව ලැබුණා. මේ අය අතර සහෝදරාත්මකව සහ ගෞරව පූර්වකව මතක් කළ යුතුයි මරදානේ ජයන්ත වීරසේකර මාවතේ පදිංචිව සිටි ප්‍රවීණ සංගීතවේ දී සේන ජයන්ත වීරසේකර සහෝදරයා. අපට ‘විමුක්ති ගී’ ප්‍රසංගයේ කලා කටයුතුවලට නොයෙක් අයුරින් සහාය වුණු බොහෝ අය හිටියා.”
සිසිර යාපා
හෙට - විමුක්ති ගී දලු ලෑ හැටි