‘‘අපේ රටට පිට රටින් එන සුද්දෝ අපි ගැන මොනව හිතයිද ටොම්සන් මහත්තයා “ කියා උන්නැහේ ඇසුවේය. ඒ වන විට වාහනය පෑලියගොඩ අලුත් පාලම පසු කොට කටුනායක අධිවේගී මාර්ගයේ පාලම යටින් නුවර පැත්තට ගමන් කරමින් තිබිණි.
‘‘ මෙතනින් අපි බහිමු නේද ඇම්බන් මහත්තයා? “ කියා කියූ ටොම්සන් මහත්තයා ඒ ළඟම බස් නැවතුම් පොළෙන් බැස්සේය. දැන් තිදෙනාම නුවර බස් එකක් එන තුරු බලා ගෙන සිටිති.
‘‘ උන්නැහේ අහපු දේ මට තේරුණේ නෑ ‘‘ කියා ඇම්බන් මහත්තයා කීවේය.
‘‘ දැන් ඔය පිටරටින් එන සුද්දෝ ගැන කීවේ මොකද? සුද්දෝ විතරක් නෙවෙයිනේ කල්ලොත් එනවානේ. ඇයි චීන්නු.. ඇයි ඔය ඉන්දියන්කාරයෝ.. ඒ වගේ කොච්චර අය එනවද? මොකද උන්නැහේට හිටපු ගමන් පිටරට මිනිස්සු අපි ගැන හිතන හැටි මතක් වුණේ. ? “ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.
‘‘ අන්න බලන්න... “ කියා උන්නැහේ කටුනායක අධිවේගී මාර්ගයේ ආරම්භය දෙසට අත දිගු කළේය.
‘‘ ඇයි? මොකක්ද පෙන්නන්නේ... අර ලස්සන කුලුණද? අර හතර අතට මල වාගේ පැතිරිලා තියෙන්නේ... හැබැයි ඉතින් හරිම ලස්සනයි තමයි... “
‘‘ ලස්සනයි නේන්නම්.. මං අහලා තියෙනවා එක දවසක් කෙනෙක් කිව්වා ඩුබායිවලත් ඔය වගේ ලස්සන මල් කුලුණක් තියෙනවාලු. සමහර විට ඒක සිහි වෙන්න මෙතන හැදුවා වෙන්නත් පුළුවන්. “
‘‘ මොන පිස්සුද ටොම්සන් මහත්තයා... ඩුබායිවලත් ඇති මේ හැඩේ කුලුණක්.. හැබැයි මේ වගේ කුලුණක් නෙවෙයි. මේක මේ ලෝකෙටම එකයි... අපි කොහොමත් ලෝකෙටම හරියන ඒවා හදන රටක් නේ... මේකත් ඒ වගේ තමයි...“ කියා උන්නැහේ කීවේය.
‘‘ මට තේරුණේ නෑ... මේ හැඩේ එකයි. මේ වගේ එකයි කියන එකේ තේරුම මොකක්ද? “
උන්නැහේ සිනහසුණේය.
‘‘ හොඳට බලන්න ටොම්සන් මහත්තයා.. දැන් ඔය මල් කුලුණ ගැන මොනවද හිතෙන්නේ... ඒක හරිම ලස්සනයි කියලාද කියන්නේ... අපේ රටට එන විදේශික මිනිස්සු රටට ඇතුළු වෙන කොටම දකින්නේ මේක තමයි. හැඩේ නම් හරිම ලස්සනයි තමයි... ඒ වුණාට ඒක මළකඩ කුලුණක් කියලා පේන්නේ නැද්ද? ‘ කියා උන්නැහේ හොක් හොක් ගා සිනහසුණේය.
‘‘ හැබෑට ඒකත් එහෙම තමයි.. මං මුලින් හිතුවේ... ඒක මේ ලොකු වියදමක් කරලා ලස්සනට පාට ගාලා කියලා.. දැන්නේ පේන්නේ ...බැලින්නම් ඒවා මළකඩම තමයි... අපේ රටට එනකොටම මළකඩ පේන එකත් හොඳයි... “ කියා ටොම්සන් මහත්තයා කීවේය.
‘‘ මේකනේ ටොම්සන් මහත්තයා... දැන් ඕකේ මළකඩ අයින් කරලා ලස්සනට පාට ටිකක් ගාන එක මේ නිකම් ආවාට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි නේ.. අනික ටෙන්ඩර් කැඳවන්න මළකඩ මදි... තව මළකඩ ටිකක් එකතු වෙන්න ඕනෑ.... එතකොට තමයි ලොකු ගානක ටෙන්ඩර් එකක් දාන්න පුළුවන්. ගාන වැඩි වෙන තරමට වාසි වැඩියි... “ කියා උන්නැහේ කීවේය.
‘‘ උන්නැහේ කියාපු දේ හරි තමයි... දැන් රටින් පිට වෙන කොටත්, රටට ඇතුළු වෙන කොටත් පේන අපූරු කුලුණක් නේ මේක. අනික මේක වෙන ප්‍රයෝජනයකට හදාපු එකකුත් නෙවෙයිනේ. රටට ගෞරවයක් ඇති වෙන්න. අලංකාරෙට හදාපු එකක් නේ... එතකොට අපේ ලොකු ලොක්කෝ පිටරට යන්නේ මේ පාරෙන් නෙවෙයිද? එහෙමත් නැතිනම් හෙලිකොප්ටරෙන් කෙළින්ම කටුනායකට යනවද? කියන එක තමයි මට නම් ප්‍රශ්නේ... මොකද මේක මේ පාරේ යන එන ඕනැ කෙනෙකුට ඇහැට පේන්න ඕනැ එකක් නේ.. “
‘‘ ඒකත් එහෙම තමයි.. මං මේ පත්තරේක දැක්කා ඔය ගුවන් සේවයේ ලොක්කෙකුට මාසෙකට ලක්ෂ විසි පහක් තිහක් ගෙවනවාලු.. එහෙම එකේ මේවා ගැන හොයලා බලන්නේ නැද්ද?“ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.
‘‘ අපෝ.... මේක මේ ගුවන් තොටුපොළට යන පාර වුණාට මේකේ අයිතිය ඇත්තේ ගුවන් සමාගමට නෙවෙයිනේ... මං හිතන්නේ මාර්ග සංවර්ධනේට වෙන්න ඇති කටුනායක පාර අයිති වෙන්නේ.. මං හිතන්නේ ඒකේ ලොක්කාට තාම ඒ තරම් ලොකු ගානක් ගෙවන්නේ නැතිව ඇති. ඒකයි මළකඩ කුලුණු හැදෙන කං බලා ගෙන ඉන්නේ... අනේ කාලේ වනේ වාසේ... “ ටොම්සන් මහත්තයා කීවේය.
බන්දුල පී දයාරත්න