Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ලාභ බලාගෙන පර්යේෂණ කරන්න බෑ

$
0
0
ජුලි 25, 2018 01:00
ඉරංගා සමින්දනී වීරක්කොඩි

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත විද්‍යා අධ්‍යයනාංශයෙහි කථිකාචාර්යවරියක වන ඉරංගා සමින්දනී වීරක්කොඩි විසින්, ජනශ්‍රැතිය ආශ්‍රිත වැළලී යන හරයන් නැවත සමාජගත කරවීමේ අරමුණෙන් රචනා කරන ලද “නැළවිලි ගීයෙන් නිරූපිත සිංහල ජනශ්‍රැතිය”,”ජන සංගීත විමර්ශන” යන පර්යේෂණාත්මක කෘති සහ “එකැස් බෙරේ කතන්දරේ” කරත්ත කවි කතන්දරේ” යන ළමා කෘති අද (25) සවස 3.00ට මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ. මේ කතාබහ ඒ නිමිත්තෙනි .

“එකැස් බෙරේ කතන්දරේ” සහ” කරත්ත කවි කතන්දරේ” ළමා කෘති දෙක රචනා කිරීමේ අරමුණ කුමක්ද?

මේ කෘති දෙක රචනා කිරීම මඟින් මා අපේක්ෂා කළේ, අපේ සාම්පදායික දැනුම ජනගත කිරීමටයි. "කරත්ත කවි කතන්දරේ"කෘතිය රචනා කිරීමේ මූලික අපේක්ෂාව වුණේ, ප්‍රවාහන මාධ්‍යයක් හැටියට කරත්තයේ වැදගත්කම සහ ඒ පිළිබඳ දැනුම ළමයින්ට ලබා දෙන්නයි. ඒ ආශ්‍රිත කරත්ත කවිය ගැන කතා කරන්න වගේ ම, ඒවා නැවත ජනගත කිරීමටත් මේ මඟින් මා උත්සාහ ගත්තා. අනෙක් පොත “එකැස් බෙරේ කතන්දරේ”.අපේ ජනශ්‍රැතියේ තියෙන රබන් උපත් කතාවක් තමයි ඒකට මුල් කරගෙන තියෙන්නෙ. මේ රබානෙ උපත සිදුවුණේ කොහොමද කියලා තමයි ඒකෙන් කතා කරන්නේ. අපේ ජන කවිවල , ජනශ්‍රැතියේ සඳහන් වෙන කාරණා දෙකක් මං මේ කෘති හරහා නැවත සමාජගත කරන්න උත්සාහ කළා.

ළමයින් වෙනුවෙන් කෘති ලිවීමේදී, ලේඛකයා බොහෝ සේ සැලකිලිමත් විය යුතුයි. ඒ කුමන කාරණා සම්බන්ධයෙන්ද?

දරුවන්ට පොත් ලියන එක සහ දරුවන් අවබෝධ කර ගන්න එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. අපේ දරුවන්ට දෙන්න අතීතයේ ඉඳලා බෞද්ධ සම්ප්‍රදාය තුළ, බෞද්ධ ඉගැන්වීම්වල විවිධ කතන්දර තියෙනවා. කතන්දර මාධ්‍යයෙන් ඉගැන්වීම අතීතයේ ඉඳලා බෞද්ධ අධ්‍යාපන ක්‍රමය තුළ අපට දකින්න පුළුවන්. එතැනදී බොහෝ වෙලාවට කළේ දරුවන්ට දැනුම විතරක් දීම නෙමෙයි. සිරිත් විරිත්, ගුණධර්ම, විවිධාකාර වත්පිළිවෙත් ගැන කියලා දෙන්න, දරුවන්ගේ අධිෂ්ඨානය, ධෛර්යය, ශක්තිය මේ සියලු දේ වැඩි කරන්න සහ පව් පින් පිළිබඳ විශ්වාසය ඇති කරන්න තමයි ඔවුන්ට කතන්දර කියලා දුන්නෙ. ඒ භානක සම්ප්‍රදායෙන් පැවැත එන අපි, චිත්‍ර මාධ්‍යයෙන් තමයි යම් යම් දේ ඉගෙන ගත්තේ. දරුවන්ට අපි දැනුම දෙනකොට ඔවුන් සිහින ලෝකවල තියන්නෙ නැතුව, දරුවන්ට අපේ සංස්කෘතිය, ඉතිහාසය, ආගම පිළිබඳ තිබෙන දේ ළමයින්ට කියලා දීම ඉතා වැදගත් කියලයි මං හිතන්නෙ.

බොහෝ වෙලාවට ළමා කතාවලට තේමා වෙන්නේ, සතුන්, සොබාදහමේ නිර්මිතයන් පිළිබඳයි. කරත්තය සහ රබාන වැනි දේ ළමා කෘති රචනයට තේමා වෙනවා අඩුයි.

අපේ ජන සංස්කෘතිය තුළ තියෙන අස්පර්ශනීය උරුමයන් තමයි ජන කවියෙන්, ජන නාට්‍යවලින් ඉදිරිපත් වෙන්නේ. ඒත් ඒ උරුමය මේ වනවිට අප අතරින් ගිලිහි යමිනුයි පවතින්නෙ. අපේ අධ්‍යාපන විෂය නිර්දේශ තුළ යම් ආකාරයකින් මේ පිළිබඳ අන්තර්ගත වෙලා තිබුණත්, අප මේවා නැවත සමාජගත කළ යුතුයි. හය හත ශ්‍රේණිවල දරුවන්ට සිංහල විෂයට, සංගීතයට, නර්ථනයට, කරත්ත කවිය ගැන යම් යම් කොටස් නිර්දේශ වෙලා තියෙනවා. ඒ පිළිබඳ දැනුම, චිත්‍රය මාධ්‍යයක් කරගෙන, වර්ණ පිටු එකතු කරගෙන, අපේ බෞද්ධ දර්ශනයේ සඳහන් වන සමහර තොරතුරුත් එක්කාසු කරගෙන, පරිසර හිතකාමී මාධ්‍යයක තියෙන වැදගත්කමත් එක්ක දරුවන් අතරට අරන් යන්නෙ කොහොමද කියන දෙය පිළිබඳ ඉදිරිපත් කිරීමට මං මේ මඟින් උත්සාහ කළා.

'ජන සංගීත විමර්ශන'කෘතිය, ජන සංගීතය සංරක්ෂණය කිරීමක් යැයි පැවසුවොත්, ඔබ ඊට එකඟද?

ජන සංගීතය කියනවට වඩා මම කැමැතියි ඒක මානවීය සංගීතය නැත්නම් මානවංශ සංගීතය කියන, සංස්කෘතික මානව විද්‍යාවේ තියෙන විෂයක් විදිහට දකින්න. ඒකෙ අපි දකින දෘශ්‍යමාන විද්‍යාත්මක ලක්ෂණ මම මේ කෘතියට එකතු කරලා තියෙන්නෙ. මේ කෘතියේ විවිධ කාරණා සම්බන්ධයෙන් දැනුම තියෙනවා. උදාහරණයක් විදිහට, පන් කවිය ගත්තොත්, මං හිතන්නෙ පන් ක්‍රියාවලියත් එක්ක සිදුවන අධ්‍යයනයක් මින් පෙර සිදුවෙලා නෑ කියලයි. ගෝනගල කියෙන්නේ අතීතයේ අඟහරුවාදා දිනවල පන් පොළක් තිබුණු පන් ගමක්. මුළු ගමකම ජීවන වෘත්තිය බවට පත් වුණේ මේ පන් කර්මාන්තය. මේ කර්මාන්තයත් එක්ක බැඳිච්ච ජන ජීවිතය තුළ, ජන කවිය කියන්නෙ එක දෙයක් විතරයි. මෙහිදී මං කතා කරන්නෙ පන් කවිය ගැන විතරක් නෙමෙයි. ඔවුන්ගේ සංස්කෘතික වටපිටාව, ඔවුන් කොහොමද පන් නිෂ්පාදනය කළේ? ඔවුන් යොදා ගත්ත පන් වර්ග මොනවාද? ආදී වශයෙන් ඔවුන්ගේ ඒ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තමයි මේ කෘතියෙදි ඒ පිළිබඳ සාකච්ඡා කළේ. එහෙම බලද්දි, මේ මඟින් ඇත්තට ම සිදුවුණේ, ජන කවිය හෝ ජන සංගීතය සංරක්ෂණය කිරීමක් නෙමෙයි. මං හිතනවා සංරක්ෂණය කිරීමත් අපේ වගකීමක්. ඒත්, ඊට එහාට ගිහින්, අපේ වැළලී යන සංස්කෘතික අංග නැවත අපේ දරුවන් වෙනුවෙන් සමාජගත කරන්න මේ මඟින් පුළුවන්. මං මේ කෘතියෙදි කතුරු ඔන්චිල්ලාව, ඔලිඳ කෙළිය, බංකු රබන් ශාන්තිය වගේ තවත් බොහෝ දේ ගැන දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

'නැළවිලි ගීයෙන් නිරූපිත සිංහල ජනශ්‍රැතිය'කෘතිය, මහත් වූ විමර්ශන කාර්යයක ප්‍රතිඵලයක් විදිහටයි පේන්නේ. ඒ විමර්ශන කර්තව්‍ය පිළිබඳ කතා කළොත්?

මම සංගීතවේදයට වගේ ම, ජනශ්‍රැතියට ආදරය කරන කෙනෙක්. ශ්‍රී ලාංකේය පුරවැසියන් හැටියට , අපේ සංස්කෘතිය පිළිබඳ කතා කරන්න අපට වගකීමක් තියෙනවා. මේ කෘති හතර විශේෂ වෙන්නෙ, ජනශ්‍රැතිය හා සම්බන්ධ වීම නිසයි. ඒකෙදි මේ නැළවිලි ගීය ගැන කතා කරන්නේ ජනශ්‍රැතියෙ එන කාරණාත් එක්කයි. නැළවිලි ගීයෙන් නිරූපිත සිංහල ජනශ්‍රැතිය කියන පොතේ තියෙන ආකාරයට, ආදරය, සෙනෙහස සම්ප්‍රේෂණය කරන මාධ්‍යයක් හැටියට, නැළවිලි ගීතය හඳුනා ගත්තොත්, මේ නැළවිලි ගීය අතීතයේ වැදි ජනතාව අතර තිබුණා. විවිධ ශාන්ති කර්මවල තිබුණා. ඒ නැළවිලි කවි කොහොමද ජනශ්‍රැතිය තුළ නිරූපණය වෙන්නෙ කියන එක තමයි මෙහිදී සාකච්ඡා කරලා තියෙන්නෙ. ජන සංගීත විමර්ශන කෘතියේ තියෙන්නෙත් ඒ කාරණා සම්බන්ධවයි. මේ කාර්යයට මුල පිරෙන්නෙ මම කැලණිය විශ්වවිද්‍යාලයේ සංකථන පර්යේෂණ කේන්ද්‍රයක කාලයක් වැඩ කිරීමත් සමඟයි. එහිදී, සංකථන පර්යේෂණ කේන්ද්‍රය හරහා අපට, කතිකාවත් වගේම ප්‍රජාව පිළිබඳ සාකච්ඡා කරන්න යම් පුහුණුවක් ලබා දුන්නා. ඒ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් හැටියට, අපේ සමාජය පිළිබඳ නැවත හිතන්න, කතා කරන්න යම් යම් පර්යේෂණ කරන්න පොඩි පෙලඹවීමක් ඇතිවුණා. ඒ පෙලඹවීම මත තමයි , අපේ දේ ගැන කතා කරන්න ඕනැ කියලා මම හිතුවෙ.

නැළවිලි ගීය එදා සිට අද දක්වා විපර්යාසයට බඳුන් වෙලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නෙ. ඒ වෙනස ඔබ දකින්නේ කුමන ආකාරයටද?

එකක් තමයි අපේ තියෙන දැක පුරුද්ද. හුරු පුරුද්දනේ කළපුරුද්ද බවට පත්වෙලා තියෙන්නෙ. අද මේවා සමාජගත වෙන්නෙ නෑ. මේ නැළවිලි ගී වගේ දේ පාරම්පරිකව හිමි වූ උරුමයන්. මේවා අපට කියලා දුන්නෙ අම්මා. එහෙම නැත්නම් අත්තම්මා. දැන් මේ සංස්කෘතිය පවරා දීම සිද්ධ වෙනවා අඩුයි. මේවා කියලා දෙන්නෙ ම නෑ. මේවා කියලා දෙන්න, අද ඉන්න අම්මලා දන්නෙ නෑ. ඊළඟ කාරණාව, අපේ තියෙන ආර්ථික රටාව එක්ක, විශේෂයෙන් අම්මලා රැකියාවට යන නිසා, ගෙවල්වල ඉන්න වෙලාවක් නෑ. මේ නිසා අම්මලාට තමන්ගේ දරුවොත් එක්ක ගත කරන්න කාලයක් නැතිවෙලා.ඒ කාලෙ අපේ අම්මලා හරි හරියට වැඩ කළා. ඒත්, ඔවුන්ට දරුවොත් එක්ක ඉන්න කාලයක් තිබුණා.ඒ කාලෙ ආච්චිලා, සීයලා දරුවොත් එක්ක හිටියා. නැන්දලා දරුවො බලා ගත්තා. මේ නැළවිලි ගී කිව්වෙ අම්මා විතරක් නෙමෙයි. මේ පවුලත් එක්ක සමූහයක් එකතු වුණා . නැළවිලි ගීතය, දරුවන්ට ඉතාමත්ම වැදගත් වුණා. අද පවුල හුදෙකලා වීම තුළ, දරුවන් ඉන්නේ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල වෙන්න පුළුවන්. ඒ නිසා, වර්තමාන සමාජ රටාව තුළ නැළවිලි ගී වගේ දේ අපෙන් ඈත් වෙලා. ඒකට හේතුව, එකක් නොදැනුවත්කම. අනෙක, අපට ඒවා රැක ගැනීමට වුවමනාවක් නැතිකම. ඒත්, නැළවිළි ගීතය කියන්නෙ රසවින්දනයේ මූලික අවස්ථාවක්. අම්මයි, දරුවයි අතර නැළවිලි ගීයක් කියනවා කියන්නෙ, ආච්චිලා සීයලා මේ දරුවන්ට කතන්දර කියලා දෙනවා කියන්නෙ, නිකම් ම නිකම් නෙමෙයි. දරුවන් ආදරෙන් ළං කරගෙන තමයි මේ දේවල් කියලා දෙන්නෙ. ළමයි හැම දේම ඉගෙන ගන්නෙ පොත්වලින් විතරක් ම නෙමෙයි. අහලා දැකලා. ඒ නිසා, අම්මලා මේ උරුමය පරම්පරාවෙන් පරම්පරාවට දෙන්න ඕනෙ.

ශ්‍රී ලංකාවේ පර්යේෂණාත්මක කෘති සඳහා ඇති ඉල්ලුම, අනෙක් කෘති අලෙවිය හා සසඳා බලනවිට, අඩු මට්ටමක තියෙනේනෙ. ඒ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

පර්යේෂණ කෘතිවලට ඉල්ලුම අඩුවෙන්න පුළුවන්. ඒ ගැන හරියට ම කියන්න බැරි, මම ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා, පොත්වලින් මුදල් හම්බ කරපු කෙනෙක් නොවන නිසයි. ඒත්, අවශ්‍ය නම් කෙනෙක්ට හොඳ දෙයක් තෝරලා ගන්නත් හැකියාවක් තියෙනවා. මේ පර්යේෂණ කෘති පැත්තට කැමැති දරුවො ඉන්නවා. විශේෂයෙන් විශ්වවිද්‍යාලවල. ඒ වගේ ම, පාසල්වල උසස් අධ්‍යාපනය හදාරන දරුවොත් සමහර අය කැමැතියි. ළමයි විභාග විතරක් ඉලක්ක කරගෙන, තමන්ගේ ඉලක්කයට යන්න ඕන පොත් ටිකටයි, ආදර්ශ ප්‍රශ්න පත්‍ර ටිකටයි, කෙටි සටහන් ටිකටයි යොමු වෙනවා ඇරෙන්න, අතිරේක පොත් කියවීම අඩුවීම , සමාජයේ අපි දකින ඛේදවාචකයක්. ඒත්, ළමයින්ගේ අතිරේක කියැවීම් වැඩිවෙන්න ඕනෙ. අඩුම ගාණනෙ අපේ ගුරුවරු හරි මේවා කියවලා, දරුවන්ට කියලා දෙන්න ඕනෙ. එතකොට තමයි මේ දේවල් සමාජගත වෙන්නෙ. දරුවො කියවන්නෙ නැත්නම් , අපි දරුවන් ඒකට පොලඹවන්න ඕනෙ. මේ පොත් සියල්ල ම ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව කරපු පොත්. අපි “ජන මිහිර නිර්මාණ”කියලා පුංචි කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ කටයුත්ත කරන්නෙ. මුලින් ම කරන්න ඕනෙ, මේ අගනාකම් සමාජගත කරන එකයි. අපි මේවා විකුණවද? නැද්ද? කියන එක ගැන හිතන්න කලින්, මට පැවරෙන කාර්ය මේ දේවල් සංරක්ෂණය කරමින්, සමාජගත කරන්නේ කොහොමද කියන එකයි. ඒකයි මගේ ඔළුවෙ තියෙන්නෙ. ලාභ අපේක්ෂාවෙන් නම් අපිට කවදාවත් මේ වගේ වැඩක් කරන්න බෑ.

මේ පොත් දොරට වඩින්නේ දැවැන්ත වැඩසටහනක පියවරක් විදිහටද?

ඇත්තෙන් ම ඔව්. අද සවස 3.00ට මහජන පුස්තකාලයිය ශ්‍රවණාගාරයේ දී “කතන්දර හැන්දෑව” නමින් වැඩසටහනක් පැවැත්වෙනවා. මේ වැඩසටහනට මහාචාර්ය මිරිස්වත්තේ විමලඥාන හාමුදුරුවො, මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ, ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත , ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර වැනි විද්වතුන්ගේ හරවත් දේශනා වගේ ම, තුන්වැනි ජන ගී කරළියේ ප්‍රාසාංගික ඇතිදැකීමක් ඇතුළත් වෙනවා. ළමා කෘති දෙකේ චිත්‍ර ශිල්පී නාසරින් මහතා ඇතු‍ළු තවත් බොහෝ දෙනකු සහභාගි වන මේ වැඩසටහනේ, පොත් එළිදැක්වීම කියන්නේ එක් අංගයක් විතරයි.

කාංචනා සිරිවර්ධන


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>