Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

දිනකට දෙතුන් සියයකගේ කුසගිනි නිවන කොච්චිකඩේ දෙව්මැදුරේ සුප් කිචන්

$
0
0
අගෝ 6, 2018 01:00

“කුසගිනි වූවන්ට ආහාර දීම” ශු. සභාව මගින් උගන්වනු ලබන ශාරීරික පුණ්‍ය ක්‍රියාවකි. ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන් හා මෙම පුණ්‍ය ක්‍රියාව සම්බන්ධ කතා පුවත් රැසක් වෙයි. ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන් සිදු කළ දයාවේ ක්‍රියාවන් රාශියක් සඳහන් වෙයි.

දිළිඳු ජනතාව ආහාරයෙන් පෝෂණය කෙරෙන දයාවේ ක්‍රියාවක් නිරතුරු සිදු කෙරෙන ස්ථානයක් ගැන කොළඹ නගරයෙන් අසන්නට ලැබුණි. ඒ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයෙනි. එහි 2013 වසරේ මැයි 11 වන දින සිට ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ Soup kitchen යනුවෙන් හැඳින්වෙයි. සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයට යාව පිහිටි මෙම මුළුතැන්ගෙය ඇතුළු භෝජනාගාරය ආසිරි ගන්වා විවෘත කළේ, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසිනි.

සතිය පුරාම ක්‍රියාත්මක වන මෙම “Soup kitchen” වැඩපිළිවෙළින් නගරයේ දිළිඳන් 200 – 250 අතර පිරිසකට දිවා ආහාරය සපයනු ලබයි. එහි එන ජනයා ආපසු යන්නේ කුසගිනි නිවාගෙන, සොම්නස් සිතිනි.

මේ වැඩපිළිවෙළ පිළිබඳ “දිනමිණ කිතුනුමිණ” විශේෂාංග පිටුවේ සනිටුහන් කිරීම සඳහා සිද්ධස්ථාන පරිපාලක ගරු කේ.ඒ. ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමන් මුණගැසීමට කලින් යොදාගත් පරිදි එහි ගියෙමි. මා සාදරයෙන් පිළිගත් පියතුමා මෙම වැඩසටහනට පාදක වූ “ජාත්‍යන්තර කතා පුවත්” පැහැදිලි කළේය.

“මෙම වැඩපිළිවෙළ ආරම්භ වූයේ මේ සිද්ධීන් පසුබිම් කරගෙනයි. පළමුවැන්න වාර්තා වන්නේ ඉතාලියේ පාදුවා නගරයෙන්. එහි කිතුනු පවුලක් ජීවත් වුණා. එම පවුලේ මාස 20ක දැරියක් (“ටමී” නමැති) සෙල්ලම් කරමින් සිටියදී හදිසියේම විශාල ජල බැරලයකට වැටී ගිලෙන්නට වුණා. බේරාගත් දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙද්දී සාන්ත අන්තෝනි මුනිඳුන් කෙරේ තද බැතියක් තිබූ එම දැරියගේ මව එතුමන්ට බාරයක් වෙමින් දරුවා බේරා දුන‍හොත් “දරුවාගේ බරට” දිළිඳුන්ට ධාන්‍ය බෙදා දෙන බවට පොරොන්දු වුණා. දරුවාගේ දිවි බේරුණා. මව භාරය ඉටු කළා. සාන්ත අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් පටන් ගත් එම “දයාවේ ක්‍රියාව” St. Anthony Bread නමින් හැඳින්වුණා”

දෙවැනි සිදුවීම වාර්තා වී ඇත්තේ ප්‍රංශයේ, ටූලෝන් නගරයෙනි. එහි ජීවත් වූ “ලුයිසා බුෆර්” නමැති ඇය සාන්ත අන්තෝනි මුනිඳුන් ගැන තද විශ්වාසයක් තිබුණ අයෙකි. කුඩා වෙළඳ සැලක් ඇයට තිබුණි. ඇය තමන්ට පිහිට වන ස‍ාන්ත අන්තෝනි මුනිඳුන්ට බාරයක් වෙමින්, නගරයේ දිළිඳුන්ට පාන් බෙදාදෙන බවට පොරොන්දු විය. පසුව එම වෙළඳසැල දිළිඳුන්ට ආහාර ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත් විය. නගරයේ දිළිඳු ජනතාව විශාල වශයෙන් එහි පැමිණ කුසගිනි නිවා ගත්හ. එතුමාණන්ට බාර හාර වීමේ ස්ථානයක් ලෙසට ද එය ප්‍රකට විය. මෙම සිද්ධීන් “St. Anthony’s Charity” දයාවේ ක්‍රියා ප්‍රචලිත වීමට හේතු විය.

කොච්චිකඩේ මෙම දිළිඳුන්ගේ කුසගිනි නිවීමේ වැඩපිළිවෙළ ආරම්භ වූයේ ක්ලෙමන්ට් රොසයිරෝ පියතුමන් එහි පරිපාලකව සිටි සමයේදීය. පාදුවාවේ සා. අන්තෝනි බැසිලිකා සිද්ධස්ථානයේද අනුග්‍රහය ඇතිව රජයේ ආධාර ද ඇතිව වරාය අධිකාරියේ භූමිය තුළ වර්තමාන “Soup kitchen” ආරම්භ විය. මීට දායක වීමට පරිත්‍යාගශීලීන්ට අවස්ථාව ඇත. භෝජනාගාරය දහවල් 12.15ට පවත්වන දිව්‍ය යාගයෙන් අනතුරුව විවෘත වෙයි. සිද්ධස්ථානයේ පරිපාලක පියතුමා හෝ සහයක පියතුමකු දානය පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන් ඉදිරියේ, දිවා ආහාරය ආසිරි ගැන්වීමෙන් පසු පහසු‍කම් සහිත භෝජනාගාරයේ මේසවලට බෙදූ ආහාර පිඟන් තබනු ලැබේ.ඔවුහු සතුටු සිතින් දිවා ආහාරය භුක්ති විඳිති.

සා. අන්තෝනි මුනිඳුන්ටත් දායක වූ සැමටත් තුති පුදමින් පිරිස විනයගරුකව පිටව යති. පරිපාලක පියතුමන් මුණ ගැසී මෙම “Soup kitchen” වැඩපිළිවෙළට දායක වීමට අවස්ථාව ලබාගැනීමට ඕනෑම අයකුට පිළිවන.

අඟහරුවාදා දිනවල විශේෂයෙන් ද සතියේ සෙසු දිනවලද “Soup kitchen” ක්‍රියාත්මක වෙයි. ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී මෙම වැඩපිළිවෙළ විධිමත් කිරීමට දායක වන කීප දෙනෙක්ද සිටිති.වැඩි උනන්දුවක් දක්වමින් දිළඳුන්ව පෝෂණය කිරීමේ වැඩපිළිවෙළ ආසිරිගන්වන අති උත්තම ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියාණන්ද මෙම වැඩපිළිවෙළ දිරිගන්වමින් ආශීර්වාද කරති. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද, සහයක චාමර පෙරේරා පියතුමන්ද, දායක වන සැමද සිද්ධස්ථාන පරිපාලක ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා ගෞරවයෙන් සිහිපත් කර සිටී. සිද්ධස්ථානයේ දුරකතන අංක 0112329303 ඇමතීමෙන් මෙම අනගි වැඩපිළිවෙළට දායක වීමට පරිත්‍යාගශීලීන්ට ගෞරවයෙන් ඇරියුම් කෙරේ.

ඡායාරූප හා සටහන
ඩික්සන් කොංගනීගේ
රාගම විශේෂ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>