එක් මිනිසකුගේ මිදි වත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේය. එහෙත් කිසිවක් සම්බ නොවීය. එවිට ඔහු උයන්ගොව්වාට කතා කරමින්, “ බලන්න, දැන් අවුරුදු තුනක්ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආ නමුත් කිසිවක් සම්බ නොවීය. ගස කපා දමන්න. එය පොළවට බරක්ව තිබිය යුතු මන්දැ”යි කීය. ඔහු උත්තර දෙමින් “ස්වාමිනී, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දටත් තිබුණාවේ. ඉන්පසු ඵල දරුවොත් හොඳය. නැති නම් එය කපා දමන්නට පුළුවනැ” යි කීය. (ලූක් 13:6-9)
ජේසු තුමා වදාල උපමා අතරින් අත්තික්කා ගසේ උපමාව ඉතා ජනප්‍රිය උපමාවකි. “පල නොදරන ගස් කපා දමන්න” යැයි එදිනෙදා ව්‍යවහාරයේ පවා කියැවෙන්නේ මේ උපමාවට අනුවය. ජේසුතුමා වදාල උපමා කතා සර්වකාලීනය. එදා මෙන්ම අද පල නොදරන අත්තික්කා ගස් අප අතර සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. ජේසු තුමා පල නොදරන අත්තික්කා ගස්වලට සමාන කළේ කවුරුන්වද? යමෙක් මේ ප්‍රශ්නය අප වෙත යොමු කළ හොත් අපට අප ඇසුරෙහි සිටින බොහෝ දෙනා මතකයට නැගෙනු ඇත. එහෙත් අප, අප වෙතම හැරී බැලුවහොත්, සමහරවිට පල නොදරන අත්තික්කා ගස අපම නොහොත් මම විය හැකිය.
මේ උපමාව මුලින්ම තමන්ට සසඳා බලන්නැයි පාඨක ඔබට ඇරයුම් කරන්නට කැමැත්තෙමි. පල නොදරන හෙයින් අපව සිය ඇසුරින් ඈත් කර තබන්නට කවුරුන් හෝ සූදානමින් සිටිත්දැයි සිහි කර බලන්න. ඇතැම් විට ඔබ සැමියෙක්, බිරියක්, පියෙක්, මවක්, දුවෙක්, පුතෙක්, සහෝදරයෙක්, සහෝදරියක් නැතිනම් ආයතනයක සේවකයෙක් හෝ ප්‍රධානියෙක් විය හැකිය. මේ කුමන ස්ථරය නියෝජනය කළත් ඔබ පල නොදරන අත්තික්කා ගසක් යැයි ඔබ සමීපයේ සිටින යමෙක් ඔබට චෝදනා කරන්නට ඉඩ ඇත. එවිට ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ චෝදනාවලින් කලකිරී, පසුතැවී වේදනාවට පත්ව තව දුරටත් පල නොදරන අත්තික්කා ගසක් ලෙසම පැවතීමද? ඇතැම් විට අපට එලෙස වූ පුද්ගලයන් හමු නොවෙනවා නොවේ.
මා මුලින්ම කතා කරන්නේ එවැනි අයටය. කරුණාකර ඔබේ කලකිරීමෙන් නැතිනම් අලසකමින් මිදෙන්න. මන්දයත් කලකිරීම නැතිනම් අලසකමින් පල නොදරා සිටින විට මුලින්ම විනාශ වන්නේ ඔබ බැවින්ය. කවුරු කෙලෙස ඔබ ගැන අවතක්සේරුවට ලක් කළත් ඔබ ළඟ ඇති ඔබේ වටිනාකම් ගැන මෙනෙහි කරන්න. මන්දයත්, තමන්ගේ වටිනාකම් මුලින්ම හඳුනාගත යුත්තේ තමන් බැවිනි.
දෙවනුව අප සැවොම අත්තික්කා ගස කපා දමන්නැයි අණ කරන ස්වාමියා හා සමාන නොවිය යුතුය. අප සැම අත්තික්කා ගස පිහිටි උයනේ සේවකයා හා සමාන මනුෂ්‍යයන් විය යුතුය. අප අවට දුර්වල පුද්ගලයන් සිටින බව දැනෙන විට, ඔවුන් උපහාසයට ලක් කිරීම හෝ ඔවුන් නොතකා හැරීම නොකළ යුතුය. කළ යුතු වන්නේ, උයනේ සේවකයා අත්තික්කා ගස වටේ හාරා පෝර දමන්නට ක්‍රියා කළා සේ අලසව, කලකිරී සිටින මිනිසුන් අවදි කිරීමය. මනුෂ්‍යයන් ලෙස අපගේ යුතුකම විය යුතු වන්නේ එයය.
මේ කතාන්දරයේ එන සේවකයා තව වසරක් කල් ඉල්ලීය. ඒ කල් ඉල්ලීම කළේ නිකම්ම නොවේ. ගස ඉබේ පීදෙනු ඇතැයි සේවකයා සිය ස්වාමියාට බලාපොරොත්තු නුදුන්නේය. ඔහු පවසා සිටියේ “හාරා පෝර දමනු පිණිස” තව අවුරුද්දක් තිබෙන්නට හරින්නට කියාය. අත්තික්කා ගස පල දරනු පිණිස තමන්ගේද වගකීමක් ඇති බව ඔහු වටහා ගත්තේය. ගස වටා හාරා පෝර දමන්නටත් ඉන් පසු පල දරන්නට අවුරුද්දක් දීමටත් සේවකයා අවසර පතන්නේ එබැවිනි.
අප සියලු දෙනාට, එනම් දැනුම් තේරුම් ඇති සියලු දෙනාට පල නොදරන අත්තික්කා ගස් පිළිබඳ ඇති වගකීමෙන් මිදීමට නොහැකිය. බොහෝ දෙනාගේ පුරුද්ද වන්නේ පල නොදරන අත්තික්කා ගස් සම්බන්ධයෙන් උපහාස, අපහාස, හා චෝදනා ස්වරූපයෙන් කතා කිරීමය; කොන් කර දැමීමය; හෙළා දැකීමය; පීඩනයට පත් කිරීමය. එහිදී අත්තික්කා ගස වටේ හාරා පෝර දැමීමේ වගකීම සේවකයාට මෙන්ම අපටත් ඇති බව අපි නොදන්නෙමු. එහෙත් සැබැවින්ම, මේ උපමා කතාන්දරයෙන් වඩා අවධානය යොමු කර ඇත්තේ සේවක චරිතයට බව මගේ නම් හැඟීමය. එනම් පල නොදරා සිටින මිනිසුන් පල දරන මනුෂ්‍යයන් බවට පත් කළ හැකි සේවකයන්ට ජේසු මේ උපමාව මඟින් අමතන්නේය. එබැවින් පල නොදරා සිටින අත්තික්කා ගස් සිය හැකියාවන් හඳුනාගෙන, පල දැරිය යුතු සේම, පල නොදරන අත්තික්කා ගස් වටා හාරා, පෝර දමන්නට හැකියාව ඇති සේවකයන්ද, සිය වටිනාකම් හඳුනාගෙන සිය සේවය ආරම්භ කළ යුතුය.
මේ උපමාව මඟින් ක්‍රිස්තුන් වහන්සේ මවුපිය යුතුකම් හා වගකීම්ද මතක් කර දෙයි. බොහෝ මවුපියන් සිතනුයේ දරුවාගේ වාර විභාගයක ලකුණු අඩුවුවහොත් දරුවාට ඉගෙනීමට නොහැකි බවය. එසේත් නැතිනම් දරුවා ශිෂ්‍යවත්වය විභාගය වැනි විභාගයක් අසමත් වුණොත් මවුපියන් සිතනුයේ සිය දරුවා ඉගෙනීමට අදක්ෂ බවය. ඒ සිතිවිල්ල අනුව දරුවා අත්හරින මවුපියෝ සිය වගකීමෙන් ඈත් වී දරුවාටම දොස් පවරමින් සිටිති. සේවකයා මෙන් වෙහෙසී, පල දරන්නට පෝර දමනවා වෙනුවට, මවුපියන් කරනුයේ බොහෝ විට දරුවන්ට බැණ වදිමින් ඔවුන් අධෛර්යයට පත් කරමින් සිටීමය. එහෙත් සැබැවින්ම එහිදී කළයුත්තේ දරුවාගේ දුර්වල තැන් මොනවාද යන්න මවුපියන් විසින් හඳුනා ගැනීමට උත්සාහ දැරීමය.
එමෙන්ම ඒ දුර්වලතා ඇති වූයේ කිනම් හේතු මත දැයි මවුපියන් සොයා බැලිය යුතු වන්නේය. සමහරවිට එකී හේතුව ඇත්තේ අප ළඟම විය හැකිය. අපේම වරදින් දරුවන්ට ඒ ඉරණම අත් වී තිබෙන්නට පුළුවන. එබැවින් එවැනි හේතු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යුතුවන්නේ මවුපියන්ය; වැඩිහිටියන්ය. මවුපියන්, වැඩිහිටියන් එසේ නොකොට දරුවන්ටම දොස් පවරමින් සිටීමෙන් සිදුවන්නේ පල නොදරන ගස්වලට පල දැරීමට කිසි දිනෙක ඉඩක් නොලැබීමය. එබැවින් අප අපේ වගකීම් හඳුනාගත යුතුය. මිනිසුන් ලෙස පල දැරීමටත්, පල නොදරන දුර්වලයන් හඳුනාගෙන ඔවුන්ට උදව් කිරීමටත් කටයුතු කිරීම අපගේ යුතුකමය.
සමාජයේ බොහෝ අය නිකමුන් සේ සිටින්නේ ඔවුන්ගේ වටිනාකම් හඳුනා නොගැනීම නිසාය. එබැවින් ඔවුහු පොළොවටත් බරක් වී, තව කෙනකුගෙන් යැපෙමින් ජීවත් වෙති. එවැන්නන් ප්‍රතික්ෂේප කරනු වෙනුවට ඔවුන්ගේ වටිනාකම් හඳුනා ගැනීමට ඔවුන්ට උදව් කිරීම දැනුම් තේරුම් ඇති සැමගේ යුතුකමය.
සුමේධා නවරත්න