විදුලි මරණවලට ප්‍රධාන කරුණු 13ක් හේතු වන බව සොයා ගෙන තිබෙනවා එයින් 5ක් හෝ 6ක් නැති කර ගැනීමට හෝ අවම කර ගැනීමට හැකි වුණොත් මරණවලින් 70%ක් පමණ අඩු කරගත හැකියි
ශ්‍රී ලංකාවේ විදුලිය නියාමනය කරන ආයතනය වන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවයි. මෙරට විදුලිබල කර්මාන්තයේ විවිධ අංශ නියාමනය කිරීම සඳහා එම කොමිසම වෙත වගකීම් පැවරී තිබෙන අතර, විදුලියෙන් ජනතාවට සිදුවන අනතුරු අවම කිරීමට පියවර ගනිමින් ඔවුන්ට ආරක්ෂාව සැපයීම එම අංශවලින් එකක් වේ. ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසන් සභාව ගනු ලබන පියවර රැසකි. විදුලි කාර්මිකයන්ට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම, විදුලි පේනු (ප්ලග්) සහ කෙවෙනිවලට (සොකට්) ජාතික ප්‍රමිතියක් හඳුන්වා දීම, නිවෙසකට විදුලිය ලබා ගත යුතු අවම පරතරය හඳුන්වා දීම සඳහා එම ආයතනය මේ වනවිට කටයුතු සිදුකරමින් සිටී.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත සපුමානගේ මහතා සමඟ දිනමිණ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසේ.
ශ්‍රී ලංකාවේ විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම හා භාවිත කිරීම නමැති අංශ හතරේ දී මිනිසුන්ගේ සහ දේපළවල ආරක්ෂාව සහතික කිරීම ශ්‍රී ලංකා මහජන උපයේගිතා කොමිසන් සභාවේ පරීක්ෂණ අංශය වෙත පැවරී තිබෙනවා. විදුලිය ජනනය කිරීම, සම්ප්‍රේෂණය සහ විදුලිය බෙදා හැරීම සිදුකරන්නේ පුහුණු ඉංජිනේරුවන් සහ පුහුණු කාර්මික ශිල්පීන් විසිනුයි. එහෙත් මේ අංශ හතරෙන් වැඩියෙන්ම ජීවිත තර්ජන ඇතිව තිබෙන අංශය වන්නේ විදුලිය භාවිතාවයි.
මේ අතර රටේ ජනගහනයෙන් 100%කට විදුලිය ලබා දීමට රජය බලාපොරොත්තු වෙනවා. ජනගහනයෙන් 98%කට මේ වනවිට විදුලිය ලබා දී තිබෙනවා. මේ නිසා අද වනවිට විදුලිය අප සියලු දෙනාටම නැතිවම බැරි දෙයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම විදුලිය ගැන දන්නා හා නොදන්නා සියලුදෙනාම වයස් භේදයකින් තොරව මේ වනවිට විදුලිය භාවිත කරනවා. ඒ නිසාම අනතුරු සිදුවීමට ඇති හැකියාවත් වැඩිවී තිබෙනවා. විදුලිය භාවිත කිරීමේ දී කෙනකු අතින් සුළු හෝ අත්වැරැද්දක් සිදුවුවහොත් බොහෝ විට එය කෙළවර වන්නේ මරණයෙන්. විදුලිය ඇසට නොපෙනෙන නිසාත්, ආලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් කළ හැකි නිසාත් එමඟින් සිදුවන අත්වැරැද්ද නිවැරැදි කර ගැනීමට පවා කාලය ඉතිරි නොවෙන්න පුළුවන්. මෙතැන දී මහජන උපයෝගිතා කොමිසන් සභාවට බලය පැවරෙන්නේ ජනතාවට විදුලියෙන් සිදුවන අනතුරු වළක්වා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහායි. 2009 දී අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු මේ ආයතනය 2011 වසරේ සිට මේ සඳහා කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව, විදුලි අනතුරු අවම කිරීමේ වැඩපිළිවෙළ ගණනාවක් මේ වනවිට මේ ආයතනය ආරම්භ කර තිබෙනවා.
දැනට ශ්‍රී ලංකාවේ සිදුවන විදුලි මරණවලට ප්‍රධාන කරුණු 13ක් හේතු වන බව සොයා ගෙන තිබෙනවා. එයින් 5ක් හෝ 6ක් නැති කර ගැනීමට හෝ අවම කර ගැනීමට හැකි වුණොත් මරණවලින් 70%ක් පමණ අඩු කර ගන්න අපට පුළුවන්. විදුලි කාර්මිකයන්ට බලපත්‍ර ලබා දීම, විදුලි පේනු (ප්ලග්) සහ කෙවෙනිවලට (සොකට්) ජාතික ප්‍රමිතියක් හඳුන්වා දීම, නිවෙසකට විදුලිය ලබා ගත යුතු අවම පරතරය හඳුන්වා දීම ආදිය අප ආයතනය මඟින් සිදුකරන්නේ ඒ සඳහායි.
දියුණු රටවල නිශ්චිත කාලසීමාවකට වරක් සෑම නිවෙසකම විදුලිය පරීක්ෂා කරනවා. නමුත් අපේ රටේ එය සිදුවන්නේ නෑ. ඒ නිසා ට්‍රිප් ස්විච් එක කැඩිල ද, එයින් ආරක්ෂාවක් ලැබෙනවා ද, අර්ත් එකක් තිබෙනවා ද ආදී කිසිවක් ගැන සොයා බැලෙන්නේ නෑ. මේ නිසා නිවෙසක විදුලි අනතුරක් සිදුවුණොත් ඒක වුණේ කොහොමද කියලා අපි දන්නේ නෑ. සමහරවිට ගෙදරක හෝ ආයතනයක හැම තැනම වයර් තිබෙන්න පුළුවන්. කැඩුණු සොකට් තිබෙන්න පුළුවන්. ඒවායේ අත වැදුණොත් කරන්ට් වැදෙනවා. මේ නිසා විදුලි අනතුරු සිදුනොවන අයුරින් පරිසරය අවට ආරක්ෂාව පවත්වා ගත යුතුයි. එයින් විදුලි අනතුරු මරණ සංඛ්‍යාව අවම කර ගත හැකියි. මහජන උපයෝගිතා කොමිසන් සභාව මේ වනවිට කරගෙන යන්නේ එම වැඩපිළිවෙළයි.
නිවෙසේ ට්‍රිප් ස්විච් එකක් නැතිනම් පැන්නුම් ස්විචයක් සවිකිරීමෙන් අපේ රටේ විදුලි මරණවලින් 54%ක් වළක්වා ගන්න පුළුවන්. නිවාස, කාර්යාල මෙන්ම ඕනෑම ආකාරයක ගොඩනැඟිල්ලක විදුලි අනතුරුවලින් මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කර ගන්න තිබෙන එකම උපකරණය වන්නේ මේ ට්‍රිප් ස්විචය නැතහොත් පැන්නුම් ස්විචයයි.
නිවාස සඳහා භාවිත වන පැන්නුම් ස්විචවලට අමතරව, කාර්මික අවශ්‍යතා සඳහා නිපදවා ඇති ඒවාත් තිබෙනවා. නිරෝගී පුද්ගලයකු මරණයට පත් කිරීමට මිලි ඇම්පියර් 30ක විදුලි ධාරාවක් ප්‍රමණවත්. ඒ නිසා නිවාසවල තිබිය යුත්තේ මිලි ඇම්පියර් 30ක සංවේදීතාවක් සහිත පැන්නුම් ස්විචයක්. අවාසනාවකට වගේ ඇතැම් නිවාසවල සවි කර තිබෙන්නේ කර්මාන්ත ශාලාවල භාවිත කෙරෙන මිලි ඇම්පියර් 100, 300, 500 පැන්නුම් ස්විච. මේ වගේ අවස්ථාවක විදුලි කාන්දුවක් ඇති වුණොත් ජීවිත පවා නැති වෙනවා.
සෑම නිවෙසකම පැන්නුම් ස්විච තිබෙනවා ද, එසේ නැතිනම් එයට හේතුව කුමක්ද කියා සොයා බැලීමට නිවාස මහජන උපයෝගිතා කොමිසන් සභාව රට පුරා විශ්ලේෂණයක් කළා. ලංකා විදුලිබල මණ්ඩලයට අයත් බල ප්‍රදේශ 5ක් සහ ලෙකෝ ආයතනයට අයත් බල ප්‍රදේශ 3ක් මේ සඳහා යොදා ගත්තා. ඇතැම් ප්‍රදේශවල නිවාසවලින් 80%ක පැන්නුම් ස්විච නැති බව හෙළි වුණා. ඒ වගේම මේ තත්ත්වය 70%, 90% බවට පත්ව තිබූ ප්‍රදේශත් අපට හමුවුණා. ලැබී තිබූ දත්ත අනුව පොදුවේ නිවාසවලින් 50%ක පැන්නුම් ස්විච නොමැති බව මෙහි දී අනාවරණය වුණා.
සාමාන්‍යයෙන් මාසයකට විදුලිය ඒකක 180ක් පමණ පරිභෝජනය කරන, රුපියල් හයදහසක පමණ බිලක් විදුලිබල මණ්ඩලයට ගෙවන නිවාසවලින් 52%ක පැන්නුම් ස්විච නොතිබුණ නිසා එයට හේතුව මුදල් නොමැතිකම නොවන බව සොයා ගත්තා. ඒ වගේම එයට හේතුව විදුලි කාර්මිකයාගේ අඩුපාඩුවක් බවත් අපි තේරුම් ගත්තා. ඒ වගේම, මිලි ඇම්පියර් 30 පැන්නුම් ස්විච වෙනුවට මිලි ඇම්පියර් 100 ආදී වූ නොගැළපෙන පැන්නුම් ස්විච සවි කිරීමට හේතුවත් විදුලි කාර්මිකයන්ගේ දැනුමේ අඩුපාඩුවක් බව ද හෙළි වුණා.
සමහර තැන්වල නීති විරෝධී අයුරින් නිවෙසේ සිට වෙනත් ස්ථාවලට විදුලිය ඇද ඇති බව පෙනී ගියා. නිවෙසට යාබදව පිහිටි මුළුතැන්ගෙය, කුකුළු කොටු ආදිය සඳහා මේ අයුරින් නීති විරෝධී අයුරින් රැහැන් ඇද විදුලිය ලබා දී තිබෙන්නේ විදුලි කාර්මිකයන් විසිනුයි. මේවා නිසා විදුලි කාන්දුවීම් සිදුවී මරණ පවා සිදුවෙන්න පුළුවන්. විදුලි කාර්මිකයන්ට තමන් කරන රැකියාව පිළිබඳ හරි අවබෝධයක් නැති බව අපිට මෙයින් හඳුනාගන්න පුළුවන් වුණා. මේ නිසා මහජන උපයෝගිතා කොමිසන් සභාව තීරණය කළා ශ්‍රී ලංකාවේ විදුලි කාර්මිකයන්ට බලපත්‍ර ලබා දෙන්න. ඒ අනුව ඉදිරියේ දී මේ බලපත්‍රය නැති කිසිවකුට විදුලි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා කරන්න බැහැ. මේ බලපත්‍ර ක්‍රමය අපි හඳුන්වා දෙන්නේ විදුලියෙන් ජනතාවට සිදුවන අනතුරු වළක්වා ගැනීමේ පියවරක් ලෙසයි.
බලපත්‍ර සහිත විදුලි කාර්මිකයන් සිටින රටවල විදුලි මරණ අපේ රටට වඩා අඩුයි. ඒ රටවල විදුලි මරණයක් සිදුවීමේ සම්භාවිතය දස ලක්ෂයකින් එකයි. ඕස්ට්‍රේලියාවේ දශම 6යි. විදුලි අනතුරුවලින් අපේ රටේ 2012 දී 180ක්, 2013 දී 76ක්, 2014 දී 74ක්, 2015 දී 95ක්, 2016 දී 98ක් සහ 2017 දී 106ක් මිය ගොස් ඇති බව පොලිස් තොරතුරුවලින් අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 20යි. 2012 වසරේ තත්ත්වය ගත්තොත් එම වසරේ 180ක් විදුලි අනතුරුවලින් මිය යාමෙන් පෙනී යන්නේ ලෝකයේ බලපත්‍ර සහිත විදුලි කාර්මිකයන් සිටින රටවල විදුලි මරණ සිදුවීමේ සම්භාවිතාවට වඩා 9 ගුණයක් වැඩියෙන් අපේ රටේ විදුලි මරණ සිදුවන බවයි. මේ මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට නම් විදුලි මරණවලට හේතුවන ප්‍රධාන කරුණු 13 අවම කර ගැනීමට හෝ නැති කර දැමීමට කටයුතු කළ යුතුයි. දැන් අපි කටයුතු කරන්නේ ඒ වැඩපිළිවෙළ තුළයි. මේ සඳහා අපි ඉදිරියේ දී බලපත්‍රලාභී විදුලි කාර්මිකයන් බිහි කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
පිටරටක රෝහලක් නම් එහි විදුලිය අවුරුද්දකට වරක් පරීක්ෂා කර විදුලි අනතුරු නොමැති බවට සහතිකයක් ලබා ගත යුතුයි. සෑම නිවෙසක්ම වසර 5කට වරක් පරීක්ෂා කර එම සහතිකය ලබා ගත යුතුයි. කුලියට දෙන නිවෙසක් නම් කුලිය අලුත් කෙරෙන වාරයක් පාසා පරීක්ෂා කර සහතිකයක් ලබා ගත යුතුයි. ඒ වගේම, ශ්‍රී ලංකාවේ ජාතික වැදගත්කමකින් යුත් ස්ථාන, දුම්රියපොළ, බස් නැවතුම්පොළ වැනි ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන මේ ආකාරයට වසරකට වරක් පරීක්ෂා කර සහතිකයක් ලබා ගත යුතු වුවත්, ඒ දේවල් නිසි පරිදි සිදුවන්නේ නෑ. විදුලිබල මණ්ඩලය හෝ ලෙකෝ ආයතනය අලුතින් විදුලි සම්බන්ධතාවක් ලබා දෙන සෑම වතාවකදීම අනිවාර්යයෙන්ම ඒ සඳහා වරලත් ඉංජිනේරුවරයකුගේ සහතිකය ලබා ගත යුතුයි. එහෙත් අපේ රටේ එවැනි වරලත් ඉංජිනේරුවරුන් සිටින්නේ ටික දෙනෙක් නිසාත්, රට පුරා මෙවැනි කටයුතුවලට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවන නිසාත් සෑම නිවෙසක්ම ඒ අය ලවාම පරීක්ෂා කරවා ගැනීම ප්‍රායෝගික නෑ. ඒ නිසා අලුතින් විදුලි සම්බන්ධතාවක් ලබා ගැනීමේ දී මේ පරීක්ෂා කිරීමේ කාර්යය යම් සීමාවක් ඇතිව විදුලි කාර්මිකයන්ට ලබා දීමට අපි යෝජනා කර තිබෙනවා. නිවෙසක් වයරින් කිරීමේ දී විදුලි කාර්මිකයා මුලින්ම ඒ සඳහා සැලසුමක් ඇදිය යුතුයි. වයරින් කළ යුත්තේ ඒ සැලසුම අනුවයි. ඒ වගේම පරීක්ෂණය සිදුකර සහතික ලබා දීමත් ඔහුම සිදුකළ යුතුයි. රට පුරා විදුලි කාර්මිකයන් 30,000ක් පමණ සිටිනවා. බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසු බලපත්‍රලාභී විදුලි කාර්මිකයකුට නිවෙසක් වයරින් කිරීමේ දී අනුගමනය කළ යුතු ඉහත අවස්ථා හතරම භාර වෙනවා.
බලපත්‍ර ලබා දීමේ දී අපි විදුලි කාර්මිකයන් වර්ග කරනවා. අපේ රටේ විදුලි කාර්මිකයන් සියලුදෙනාටම එක සමාන අධ්‍යාපන සුදුසුකම් නෑ. ඒ නිසා සමහර අයට සැලසුම් ඇදීම සිදුකිරීම අපහසු වෙන්න පුළුවන්. බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම නිසා මෙවැනි අයට ක්ෂේත්‍රයේ රැකියා අහිමි වීමට ඉඩ තිබෙන නිසා පළමුවැනි වර්ගීකරණය යටතේ අපි ඒ අයට වයර්මන් (wireman) කියලා බලපත්‍රයක් ලබා දෙනවා. මේ අයට තමන්ගේ රැකියාව විදිහට නිවාස ආදිය වයරින් කිරීම පමණක් සිදුකළ හැකි අතර, සහතිකලත් විදුලි කාර්මිකයකු යටතේ ඔහු කටයුතු කළ යුතුයි. එහෙත් ඒ අයට තමන්ගේ ක්ෂේත්‍රයේ ඉහළට යාමට බාධාවක් නෑ. ඒ අයට NVQ -3 සහතිකය ලබා ගෙන විදුලි කාර්මිකයකු බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම එම පාඨමාලාවේ ඉදිරි පියවරයන් සඳහා යාමටත් ඔවුන්ට කිසිම බාධාවක් නෑ.
ඒ වගේම, ආධුනිකයකුට එකවර විදුලි කාර්මිකයකු ලෙස සේවය කිරීමට මේ ක්‍රමය තුළ හැකියාව ලැබෙන්නේ නෑ. ඔහු මුලින්ම ආධුනිකයකු ලෙසත්, දෙවනුව කනිෂ්ඨ විදුලි කාර්මිකයකු ලෙසත් විදුලි කාර්මිකයකුගේ අධීක්ෂණය යටතේ කටයුතු කළ යුතුයි. සහතිකලත් විදුලි කාර්මිකයකු ලෙස කටයුතු කළ හැක්කේ එම අවස්ථා දෙකම පසු කිරීමෙන් පසුවයි. ඒ වගේම, සහතික ලත් විදුලි කාර්මිකයන් කවුරුන්දැයි ඔවුන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් එළිදැක්වීමටත් කටයුතු කරනවා. මේ ලැයිස්තුව විදුලි බිල සමඟ වගේම විදුලි උපකරණ සමඟත් ලබා දීමට පියවර ගන්නවා. ඒ වගේම විදුලි කාර්මිකයන්ට අවශ්‍ය පුහුණුව හා අදාළ සහතිකය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) මඟින් ලබා දීමට නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව අගමැතිවරයා යටතේ ක්‍රියාත්මක වන ආයතනයක්. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක්. ඒ නිසා විදුලි කාර්මිකයන් සඳහා බලපත්‍ර ලබා දීමේ ව්‍යාපෘතිය අගමැතිවරයා සහ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයාගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගෙන, පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර නීතියක් බවට පත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.
විදුලි කාර්මිකයන්ට බලපත්‍ර ලබා දීම හැම අතින්ම වාසිදායකයි. සහතිකලත් විදුලි කාර්මිකයකුගෙන් නිවැරැදි සේවාවක් ලැබීම නිසා ජනතාවගේ ජීවිතවලට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා මෙයින් පළමු වාසිය ලැබෙන්නේ ජනතාවටයි. ඒ වගේම විදුලි කාර්මිකයන්ටත් මෙයින් වරප්‍රසාද හිමි වෙනවා. ඒ අයට මේ රටේ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවලට බැඳී ඉහළ වැටුප් ලැබීමට එමඟින් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම, මේ සහතිකය මඟින් වෘත්තීමය තත්ත්වයක් හිමි වන නිසා ඒ අයට විදේශ රටවලට ගොස් විදුලි කාර්මිකයන් ලෙස රැකියාවේ නිරතවී ඉහළ වැටුප් හා විවිධ වරප්‍රසාද ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. දැනට අපේ රටේ මෙවැනි සහතික ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක නොවන නිසා විදුලි කාර්මිකයන්ට විදේශවලට ගොස් වැඩ කිරීමට සිදුවන්නේ කම්කරුවන් ලෙස මිස විදුලි කාර්මිකයන් ලෙස නොවෙයි. ඒ රටවලින් විදුලි කාර්මික සහතිකය ලබා ගැනීමට ඒ අයට බොහෝ මහන්සි වීමට සිදුවෙනවා.
විදුලියෙන් සිදුවන අනතුරු බහුල වීමට බලපාන ප්‍රධානම හේතුවක් වී තිබෙන්නේ විවිධ පේනු (plugs) සහිත විදුලි උපකරණ විවිධ කෙවෙනි (sockets) භාවිතයයි.
ඒ නිසා ජාතික ප්‍රමිතියක් ලෙස 13A විදුලි පේනු සහ කෙවෙනි තෝරා ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව තීරණය කර තිබෙනවා. දැනටමත් ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් භාවිතයේ පැවතීම, දැනටමත් එක්සත් රාජධානිය, අයර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව හා මැලේසියාව ඇතුළු ලොව පුරා රටවල් 29කට වැඩි ප්‍රමාණයක එකම ප්‍රමිතිය ලෙස 13A විදුලි පේනු සහ කෙවෙනි භාවිත කිරීම, දැනට බහුලව භාවිත වන රවුම් කූරු සහිත 5A, 15A පේනුවලට වඩා හතරැස් කූරු සහිත 13A පේනුව එහි කෙවෙනිය සමඟ වඩාත් හොඳින් ස්පර්ශවී සම්බන්ධ වීම සහ විදුලි රැහැන් හා උපකරණවල ආරක්ෂාව සඳහා මේ විදුලි පේනුව තුළ විලායකයක් (fuse) පැවතීම මෙසේ ජාතික ප්‍රමිතිය ලෙස 13A විදුලි පේනු සහ කෙවෙනි තෝරා ගැනීමට හේතුවයි.
නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් පසු දැනට නිවෙසේ භාවිත කරන පේනු සහ කෙවෙනි (plugs and sockets) වෙනස් කළ යුතු වන්නේ නෑ. දැනට නිවෙස්වල ඇති 5A, 15A පේනු සහ කෙවෙනිවල ආයු කාලය අවසන් වන තෙක් ඒ අයුරින්ම භාවිත කිරීමට කිසිදු තහනමක් නෑ.
15A කෙවෙනියක ආයු කාලය අවසන් වුවහොත් එහි විදුලි පරිපථය 15A අනුව සකස් කර ඇති නිසා 13A කෙවෙනියක් එයට ඍජුව සම්බන්ධ කළ හැකියි. මේ ජාතික ප්‍රමිතිය ක්‍රියාත්මක වන විට දැනට වෙළෙඳ පොළේ ඇති බහුවිධ විදුලි කෙවෙනි වෙනුවට භාවිත කිරීම සඳහා ආරක්ෂිත සංවාරක (shutters) සහිත 13A, 5A සහ 5A, 13A තනි පරිවර්තකයන් (Adaptors) වෙළෙඳ පොළට හඳුන්වා දීමට නිෂ්පාදකයන් පියවර ගනීවි. එම නිසා මේ පරිවර්තකයන් (Adaptors) භාවිත කිරීමෙන් අපහසුතාවකින් තොරව හා ආරක්ෂිතව ඔබගේ 5A පේනු සහ කෙවෙනි ආයු කාලය නිමා වන තුරු භාවිත කළ හැකියි.
නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් පසු නිවෙසේ හා කාර්යාලයේ රැහැන් පද්ධතිය වෙනස් කළ යුතු ද නැත. නමුත් තම විදුලි පද්ධතිය සුදුසුකම් ලත් විදුලි කාර්මිකයකු ලවා පරීක්ෂා කර නිවැරැදිභාවය තහවුරු කර ගැනීම වැදගත් වෙනවා. මෙහි දී 5A පද්ධති සඳහා නිසි පරිපථ කඩන (MCD) සවි කර ඇති බව තහවුරු කර ගත යුතුයි. එසේම, වරින් වර සිදුකෙරෙන වෙනස් කිරීම්වල දී සුදුසුකම් ලත් විදුලි කාර්මිකයකුගේ උපදෙස් ගැනීම ද සුදුසු වෙනවා.
එසේම, 5A කෙවෙනි වෙනුවට 13A කෙවෙනි යෙදූ විට විදුලි පරිභෝජනයේ වෙනසක් සිදුවන්නේත් නෑ. කෙවෙනිය 5A වුවද 13A වුවද විදුලි පරිභෝජනය තීරණය වන්නේ භාවිත කරන විදුලි උපකරණයේ වොට් අගය අනුවයි.
දැනට 5A කෙවෙනි සඳහා රැහැන් සවි කර ඇති පද්ධතිවල 5A කෙවෙනිය අබලන් වූ පසු 13A කෙවෙනියක් සවි කිරීම සඳහා රැහැන් පද්ධතිය (wiring system) වෙනස් කළ යුතුත් නෑ. මේ සඳහා පිළියමක් ලෙස '6A MAX'ලෙස සලකුණු කළ, එහෙත් 13A මුහුණත සහිත කෙවෙනියක් වෙළෙඳ පොළට හඳුන්වා දීමට නිෂ්පාදකයන් පියවර ගනු ඇති.
දැනට වෙළෙඳ පොළේ ඇති අනාරක්ෂිත හා ප්‍රමිතියෙන් තොර විදුලි දිගුවලට (extension cords) සිදුවන්නේ කුමක් දැයි මෙහි දී ගැටලුවක් මතු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනටමත් මේ විදුලි දිගු සඳහා ප්‍රමිතියක් සකස් කර ඇති අතර, දැනට ආනයනය සහ නිෂ්පාදනය කරනු ලබන සියලු විදුලි දිගු ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට (SLSI) අනුකූල විය යුතුයි. දැනට වෙළෙඳ පොළේ ඇති, නිෂ්පාදනය කර ඇති හෝ ආනයනය කර ඇති පේනු සහ කෙවෙනි අලෙවිය සඳහා 2018 දෙසැම්බර් 31 දක්වා සහන කාලයක් ලබා දී තිබෙනවා. ඒ වගේම, නව ඉදිකිරීම්වල දී 13A විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට යෝග්‍ය පරිදි රැහැන් පද්ධති සකස් කිරීම ද අනිවාර්ය වෙනවා. එම නීතිය දැනටමත් බලාත්මක වීම එයට හේතුවයි.
ඡායාරූප- සමන් ශ්‍රී වෙදගේ