“අද සමහරු කියනවා මම ප්ලොට් සංවිධානයත් එක්ක එකතු වෙන්න යෝජනා කළ බවක්. ඇත්තටම මම යෝජනා කළේ ඒ ඒ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරමු කියලා. ඒ 1978 දී. ඒ කාලෙ උතුරෙ ඉදිරියට එමින් තිබුණේ ‘ඊරොස්’ - ‘ඊලම් ශිෂ්‍ය විප්ලවකාරී සංවිධානය’. වේළුපිල්ලේ ප්‍රභාකරන් සමඟ ඇතිවුණ ප්‍රධාන මතභේද නිසා උමා මහේස්වරන් එල් ටී ටී ඊ සංවිධානයෙන් ඉවත් වෙලා ප්ලොට් සංවිධානය පටන් ගත්තේ 1980 පමණ. 1978 මැද පමණ අපි උතුරේ වෙනම දේශපාලන කටයුතු කරන ගමන්ම ඒ පළාතේ වැඩ කටයුතු කරන වාමාංශික නැඹුරුවක් සහිත සංවිධානත් සමඟ දේශපාලන සාකච්ඡා වටයක් පටන් ගන්නට මම පක්ෂයේ මධ්‍යම කමිටුවට යෝජනා කළා.‘ඊරොස්’ වැනි සංවිධානවලට වාම නැඹුරුවක් තිබුණා. ඒ තුළින් ජ.වි.පෙ. රාජ්‍ය මර්ධනයට ගොදුරු වෙන බව කියමින් රෝහණ සහෝදරයා ඊට මුළුමණින්ම විරුද්ධ වුණා. මධ්‍යම කමිටුව මගේ යොජනාව පිළිගත්තේ නැහැ.
“මේ වනවිට මඩකලපුවේ ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවය කළ කුරුණෑගල ජයතිලක සහෝදරයා මාරුවක් රැගෙන යාපනයට ආවා. ඔහු මඟින් යාපනය නගරයේ පුද්ගලික ආයතන කිහිපයක සම්බන්ධකම් කිහිපයක් ගොඩ නඟා ගන්න පුළුවන් වුණා. 1978 පමණ වනවිට අප කරන ලද වැඩ කටයුතු මත පදනම් වී ජනතා විමුක්ති පෙරමුණේ පළමු ප්‍රසිද්ධ රැස්වීම යාපනය ප්‍රදේශයේ තබන්නට පුළුවන් වුණා.
“1981 අග පමණ වන විට වැලිගම සමන්ත සහෝදරයාත් පූර්ණ කාලීනයෙක් ලෙස උතුරු පළාතේ පක්ෂයේ වැඩවලට එක් වුණා. 1983 වනවිට විවිධාකාරයෙන් බෙ දී සිටි දෙමළ සටන්කාමී සංවිධාන අතරත් සහ ශ්‍රී ලංකා රජයේ හමුදා අතරත් සුළු පරිමාණයේ ගැටුම් තිබුණා. මේ කාලයේ තමයි අපි උතුරු නැගෙනහිර දුෂ්කර ක්‍රියා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වැඩ කටයුතු කළේ. ඒත් අපට පේදුරුතුඩුවෙ, චාවකච්චෙරි, උඩුවිල්, කයිට්ස්, වේලානෙයි, එළුවතිවු, පුන්කුඩුතිවු, නයිනතිවු, අරාලි, කොකුවිල්, කොන්ඩාවිල්, වැල්වෙටිතුරෙයි වැනි ප්‍රදේශවලත් යාපනය විශ්වවිද්‍යාලයේත් කන්කසන්තුරෙයි සිමෙන්ති සංස්ථාවෙත් සම්බන්ධකම් ජාලයක් ගොඩ නඟා ගන්න පුළුවන් වුණා.
“මට තවමත් මතකයි ඒ කාලෙ යාපන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිව සිටි වී. අයි. එස්. ජෙයපාලන් සහෝදරයා මාව ඔහුගේ පා පැදියේ තබා ගෙන සහෝදරවරුන් හමු වෙන්න තිරුනෙල්වෙලි ප්‍රදේශයේ තැනින් තැනට යනවා. ප්‍රසිද්ධ දෙමළ කිවිවරයෙක් වන ඔහු පසු කාලයක ජාතිකවාදී නැඹුරුවට එක් වුණා. අලවෙඩ්ඩි ගමේ නවරත්නම් සහ බම්බල් සහෝදරවරුත් මාව පා පැදියේ තබා ගෙන රැස්වීම්වලට ගියා. එක දවසක් වී. පොන්නම්බලම් සහෝදරයා මට ආරාධනා කළා ඔහුව හමුවන්නට ඔහුගේ ගෙදරට එන්න කියලා. යාපනයෙ ටික දවසක් නතර වෙලා හිටපු නිසා අඳින කලිසම කිළුටු වෙලා තිබුණා. බම්බල් සහෝදරයා මාව පා පැදියෙන් අරගෙන ගියා පොන්නම්බලම් සහෝදරයාගේ නිවසට. මම සරමයි, ෂර්ට් එකයි ඇඳ ගෙන හිටපු නිසා ඔහුට මාව අඳුන ගන්න බැරි වුණා. මම නම කිව්වම ඔහු බලාපොරොත්තුවෙන් හිටියෙ ජැංඩියට ඇඳපු වාහනයකින් එන සහෝදරයෙක් කියල කිව්වා. පවුලේ සියලු දෙනා සමඟ කෑමට සහභාගි වුණා. එතෙන්දි අඳුනා ගත්තා ඔවුන්ගේ පුතුන් දෙදෙනා. ඔවුන් නම් කරල තිබුණේ ‘මහවැලි’ හා ‘නමුණුකුල’ යනුවෙන්.
“1978 පමණ කිලිනොච්චියේ ගනේෂපිල්ලේ සහෝදරයා මා හමුවීමට ආමර් වීදියේ අපේ කාර්යාලයට පැමිණ පක්ෂයට සම්බන්ධ වුණා. ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (චීන පිළට) සම්බන්ධව සිටි සහෝදරයෙක්. රෝහණ සහෝදරයාට යාපනය හිර ගෙදර දී තුවායක් දීපු තංගතුරෙයි සහෝදරයාගේ සම්බන්ධකම් ද තිබුණා. ගනේෂපිල්ලේ සහෝදරයා බොහෝ විට දේශපාලන කටයුතු කළේ තරමක් ස්වාධීනව.ඔහු අපව ගම්වලට ගෙන ගියේ කෙටි සාකච්ඡාවලට. නමුත් අපට සම්බන්ධකම් ගොඩනඟා ගන්න පුළුවන් වෙලා තිබුණා පරන්තන් රසායන ද්‍රව්‍ය සංස්ථාවේත්, විසුවමඩු, වට්ටකච්චි, මුරිකන්ඩි, මුලතිවු, ඔට්ටුසුඩ්ඩාන් වැනි පුදේශවලත්.
“ඒ වගේම ලංකා කොමියුනිස්ට් (මොස්කව් පිළ) පක්ෂයට හිතවත්ව සිට අප සමඟ වී.පොන්නම්බලම් සහ ඉන්දික ගුණවර්ධන වැනි සහෝදරවරු සමීපව වැඩ කරන්නට සාකච්ඡා කළා. මේ දෙදෙනාම ආමර් වීදියෙ කාර්යාලයේ දී පුද්ගලිකව රෝහණ සහෝදරයාත් මමත් හමු වී සාකච්ඡා කළා. නමුත් පක්ෂයේ, විශේෂයෙන්ම රෝහණ සහෝදරයාගේ පැවැති බලවත් සැකය හේතුවෙන් ඔවුන්ට වෙනත් දේශපාලන මාවත්වලට යොමු වන්නට සිදු වූ බව මගේ මතයයි.
“නැගෙනහිර දිස්ත්‍රික්කයේ සම්බන්ධකම් කිහිපයක් මුලින්ම ලැබුණේ ඒ වනවිට මඩකලපුවේ ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවය කළ කුරුණෑගල ජයතිලක සහෝදරයා මඟින්. ඔහු දේශපාලන හේතූන් මත කොළඹින් මඩකලපුවට මාරු කරලා තිබුණා. මම 1977 අග මුලින්ම ගොස් හමුවුන සහෝදරවරුන් අතරෙ හිටියෙ මඩකලපුවෙ ලී මඩුවක් අයිති සහෝදරයෙක්, අක්කරෛපත්තුවේ එම්. ටී. එම්. ඊබ්‍රාලෙබ්බෙ සහෝදරයා. ජයතිලක සහෝදරයා යාපනයට මාරු වී යන තෙක් මඩකලපුවෙ පක්ෂ වැඩ කටයුතු කළා. ඔවුන් මඟින් අක්කරෛපත්තු, නින්තාවූර්, ඔත්තමාවඩි, චෙන්කලාඩි, මඩකලපුව, කාත්තන්කුඩි, කළුවාන්චිකුඩි, කල්මුනෙයි, සම්මන්තුරෙයි වගේ ප්‍රදේශවල සම්බන්ධකම් ඇති කර ගත්තා. 1978 දී මට දරන්නට තිබුණු වගකීම් ප්‍රමාණය වැඩි වීමත් සමඟ නැගෙනහිර පළාතේ වැඩ කටයුතු කිරීම දේශපාලන මණ්ඩල සභික ඒ. ඩී. පී. රත්නායක සහෝදරයාට පවරනවා. 1978 නොවැම්බර් මාසෙ වගේ නැගෙනහිර පළාතේ ලොකු සුලි සුළඟක් ඇවිත් මහා විනාශයක් සිද්ධ වුණා. අපි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් සූදානම් කර ගෙන ශ්‍රමදාන දෙකක් පවත්වලා විනාශ වුණු ගෙවල් යළි හරි ගස්සලා දුන්නා. ජනතා විමුක්ති පෙරමුණේ අපි කරපු මුල්ම ශ්‍රමදාන ව්‍යාපාරය ඒකයි. ඒ ව්‍යාපාරෙ දී තමයි අපට මුබාරක්, ඉක්බාල් සහ තිස්ස වැනි සහෝදරවරු වැනි අය මුණ ගැහෙන්නේ.
“පසු කලෙක යාපනයේ සිංගාමාපානර් සහෝදරයා අංශභාග රෝගයෙන් පෙළෙන බවත්, අක්කරෛපත්තුවේ ඊබ්‍රාලෙබ්බෙ සහෝදරයා මැතිවරණයක දී විරුද්ධ පාර්ශ්වවල පහර දීමකින් අංශභාගයට ලක් වී එක්තැන් වෙලා ඉන්න බවත් අපට දැන ගන්නට ලැබුණා. ඔවුන් අප සමඟ බොහොම කිට්ටුවෙන් ඇසුරු කරපු අය. අපි මෑතක දී මේ අය බලන්නට ගියා. මේ සහෝදරවරුන් දෙදෙනාත් ඔවුන්ගේ පවුල්වල අයත් එදා තිබුණ සහෝදරත්වයෙන්ම අපිව පිළිගත්තා. අක්කරෛපත්තුවේ ඊබ්‍රාලෙබ්බෙ සහෝදරයා මෑත කාලයේ අපි මුණ ගැහුණාට ටික කාලෙකට පස්සේ මෙලොව හැර ගියා."
ජ.වි.පෙ. මෙලෙස ක්‍රියාත්මක වූ අසූව දශකය මුල භාගයේ යාපනයේ සංවිධානය කළ ක්‍රියාකාරකම් දෙකක දී ඇති වූ සිදුවීම් දෙකක් තවමත් බෝපගේ ගේ මතකයේ තිබේ.
“පක්ෂය සංවිධානය කළ යාපනයෙ වීරසිංහම් ශාලාවෙ මහජන ශ්‍රවණාගාරයේ පැවැත්වුණ ‘විමුක්ති ගී ප්‍රසංගයට’ ප්‍රේක්ෂකාගාරය දෙසින් කවුරුන් හෝ වේදිකාවට පුටුවකින් දමලා ගැහැව්වා. යාපනයේ චුන්නාකම්වල අපි සංවිධානය කරපු ප්‍රථම මහජන රැස්වීමේ කතා කරමින් හිටපු රෝහණ සහෝදරයාට ගලකින් ගැහැව්වා. ඒක බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ අනෙක් සියලු ප්‍රදේශවල රැස්වීම් හා දේශන තිබ්බාට උතුරු නැඟෙනහිර ප්‍රදේශවල එවැනි කටයුතු කරන්න රෝහණ සහෝදරයා ඇතුළු අනෙක් කථිකයන් එකඟ කරවා ගන්න ඉතාමත් අසීරු වුණා. මගේ බලකිරීම උඩ තමයි අවසානයේ චුන්නාකම් රැස්වීම අමතන්න ඔවුන් එකඟ වෙන්නේ.”
“ඒ 1978 සැප්තැම්බර් 24 වෙනිදා. එදා යාපනයේ දෙමළ ජනතාව අමතා කරුණා සහෝදරියත් කතා කළා. මමත් කතා කළා. මම කතා කරලා රැස්වීම් භූමියේ සිටි ජනතාව අතරට ආවා. වේදිකාවේ රෝහණ සහෝදරයා අසලම සිටියේ ගමනායක සහෝදරයා. ඔහු තමයි රෝහණ සහෝදරයව පිටුපසින් අල්ල ගත්තේ. රෝහණ සහෝදරයාගේ කන්නාඩි දෙක බිම වැටුණා.නළලින් ලේ ගලන්න පටන්ගත්තා. ඒත්, රෝහණ සහෝදරයා දිගටම කථාව කරගෙන ගියා.
“මට තාමත් රෝහණ සහෝදරයාගේ වචන මතකයි. ගල් පහර වදින්න කලින් රෝහණ සහෝදරයා කියනවා.
‘ලෙනින්වාදී ප්‍රතිපත්තිය අපි පිළිගන්නවා. ඕනෑම ජාතියකට ස්වයං තීරණ ගැනීමේ අයිතිය තියෙනවයි කියන එක. නමුත් අපි කියනවා ධනපති ආණ්ඩු යටතේ වෙච්ච අසාධාරණය සුළු ජාතීන්ට කම්කරු පන්ති ආණ්ඩුවක් යටතේ කවදාවත් වෙන්නේ නැති නිසා ජාතික ප්‍රශ්නයට විසඳුම රට දෙකට කිරීම නෙවේය කියලා.’
එතකොට තමයි ගල් පාර වැදුණේ. මදක් නතර වුණු රෝහණ සහෝදරයා ගමනායක සහෝදරයාට හේත්තු වෙලා අයෙමත් කතාව කළා.
‘සහෝදරයා ඉතිහාසයේ පළවෙනි වතාවට සීඅයිඩී කාරයෝයි, පොලිසියයි ගැහැව්වට පස්සේ මේ අපට ගැහැව්වේ. කවුරු හරි දේශපාලන අවබෝධයක් නැති මිනිහෙක් තමයි මේ වගේ ත්‍රස්තවාදී වැඩ කරන්නේ’
ඒ ප්‍රකාශයත් සමඟ ජනතාව අත්පොළසන් දුන්නා. හැමන් හිල් හිර ගෙදර ඉන්දෙද් දී අදින්න රෙද්දක් දුන්නේ තංගතුරෙයි සහෝදරයා කියලා රෝහණ සහෝදරයා කිව්වා. ඔය අතරෙ පුංචි දියණියක් වේදිකාවට ඇවිත් රෝහණ සහෝදරයට මල් මාලයක් දැම්මා. ඒ මල් මාලය ගලවල ඒ දුවටම ඒක පළදවලා ඒ දුවව තමන්ගේ ඉස්සරහින් තුරුලු කරගෙන තමයි රෝහණ සහෝදරයා එයාගේ කථාව කරගෙන ගියේ.”
සිසිර යාපා
හෙට - ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට එයි