ශ්‍රී දළදා මාලිගාවට කොටි ත්රස්තවාදීන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එළඹෙන ජනවාරි මස 25 දිනට වසර විස්සක් සපිරෙද්දී මහනුවර වැව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක ජෝයි බෝට්ටු සේවයට එම මාසයේදීම අඩ සියවසක් සම්පූර්ණ වෙයි.වර්ෂ 1968 ජනවාරී මස 08 දින මහනුවර වැවේ ආරම්භ කළ ජෝයි බෝට්ටු සේවයේ වත්මන් හිමිකරු එරල් කෙම්ස් මහතා එදා දළදා මාලිගාවේ බෝම්බ පිපිරීමේ සිද්ධියත් සමඟ ඇතිවූ තිරෙන් එහා සිදුවීම් රැසක අද්දැකීම් ලැබූවෙකි.
දළදා මාලිගාවේ බෝම්බ පිපිරීමේ සිද්ධියට සම්බන්ධ වූවන් මහනුවර කටුකැලේ හින්දු සංස්කෘතික ශාලාවේ නවාතැන් ගෙන සිටි බවට පැතිර ගිය රාවයක් සමඟ නොසන්සුන් වූ පිරිස් එම ශාලාවට ප්‍රහාරයක් එල්ල කිරීමට යද්දී එහි සිටි පිරිස් බේරා ගනු ලැබ ඇත්තේ කෙම්ප් මහතා විසිනි.ඔහු ඊට ඍජුව මැදිහත්ව ඇත්තේ එදින හින්දු ශාලාවේ පැවැති විවාහ උත්සවය කෙම්ස් මහතාගේ දමිළ ජාතික මිතුරෙකුගේ නැගණියගේ බැවිනි.
මගේ ගේ තියෙන්නේ දළදා මාලිගාව පෙනෙන මානයේ වැව ඉස්මත්තේයි.බෝම්බය පුපුරනවාත් එක්කම අපේ ගෙවල් වල ජනෙල් වීදුරු කඩාගෙන බිමට වැටුණා.මුලින් මම හිතුවේ භූමි කම්පාවක් කියලා.මාලිගාව පැත්තෙන් දුම් වලාවක් උඩට ගියා.ටික වෙලාවකින් පොලීසිය අපේ ගෙදරට ආවා.බෝට්ටුවෙන් ගිහින් වැව පරීක්ෂා කරන්න ඕන කියලා.මම මගේ බෝට්ටුවකින් කට්ටිය අරන් ගියේ.හින්දු ශාලාවේ ඉඳලා තමයි බෝම්බ ලොරිය ඇවිත් තිෙයන්නේ කියලා පොලීසිය කතා වුණා.මගේ මිතුරාගේ නැගණියගේ විවාහ උත්සවය එතන තියෙන නිසා මමත් යන්න ලෑස්ති වෙලා හිටියේ.ඒ අයට කරදරයක් වෙයි කියලා හිතලා මම පොලීසියට බෝට්ටුව දීලා හින්දු ශාලාවට මගේ වාහනයෙන් යන්න පිටත් වුණා.
එතන්ට යනකොට අතර මඟ පොලීසිය ඉඳලා වාහනය නතර කරලා පිස්සුද එතන්ට යන්න...වාහන වගයක් ගිනි තියලා තියෙන්නේ ආපහු යන්න කියලා කිව්වා.මම විස්තරේ කිව්වම වගකීමක් ගන්න බැහැ කැමති දෙයක් කරන්න කියලා පොලීසිය කිව්වා.හින්දු ශාලාව ඉදිරිපිට වාහන තුනක් ගිනි ගන්නවා.මම වහලා තිබුණු ගේට්ටුවෙන් ඇතුළට පැන්නා.ශාලාවට යනකොට කවුරුත් පේන්න නැහැ.මම කෑ ගහලා කිව්වා බය වෙන්න එපා එළියට එන්න කියලා.
එතකොට මගේ යාළුවා එයාගේ නංගිත් තුරුළු කරගෙන මේස පුටු අස්සේ ඉඳලා එළියට ආවා.එයාලගේ ඇඟේ ලේ....පොලීසියටය කතා කරලා බස් එකක් ගෙන්නා ගත්තා.මඟුලට ඇවිත් හිටපු අය බස් එකට නැග්ගුවා.තුන් දෙනෙක් නග්ගන්න කොහෙත්ම බස් එකේ ඉඩක් නැහැ.ඒ අය මගේ වාහනේට නග්ග ගත්තා.එළියට එනකොට නොසන්සුන්කාරී කණ්ඩායමක් කඩු පොලු අරන් එනවා.බස් එකටයි,මගේ වාහනේටයි ගහද්දී වේගයෙන් අපි ගියා.එදා තව මොහොතක් ප්‍රමාද වුණා නම් ජීවිත ගණනාවක් විනාශ වෙන්න තිබුණා...කෙම්ස් මහතා පවසයි.
මහනුවර වැව ඉස්මත්තේ රජපිහිල්ල මාවතේ ඉඩම් පර්චසයක වර්තමාන වටිනාකම රුපියල් ලක්ෂ 50 කට ආසන්නය.එකළ කෙම්ප් මහතාගේ පියා වන පී.ඩබ්ලිව් කෙම්ප් හා ඔහුගේ සොහොයුරු පී.ඩබ්ලිව් කෙම්පිටිය එක්ව එහි තිබූ පර්චස් 10 ක ඉඩමක් රුපියල් 3000.00 කට විකුණා ජෝයි බෝට්ටු සේවයට ප්‍රථම බෝට්ටුව මිලට ගෙන ව්‍යාපාරය ආරම්භ කර තිබේ.
අද එකක් රුපියල් ලක්ෂ 05 ක් පමණ වටිනා බෝට්ටු හයක් ජෝයි බෝට්ටු සේවය සතුය.ඉංග්‍රීසි ජාතිකයින් නුවර වැවේ බෝට්ටු සවාරි ගොස් තිබෙනවා.අපි ව්‍යාපාරය ආරම්භ කරන කොට ලංකාවේ මිනිස්සුන්ට මේ බෝට්ටු සවාරි අලුත් අත් දැකීමක්.මුලින් ශත 25 ක් තමයි බෝට්ටු සවාරියකට අය කරලා තිබෙන්නේ.මේක ආරම්භ කරපු දවස්වල මහනුවර නගර සභාව ආසන්නයට කිලෝ මීටර දෙකක් පමණ දුරට බෝට්ටුවේ යන්න පෝලිම තිබිලා තියෙනවා...කෙම්ස් මහතා අතීතය සිහිපත් කළේ එසේය.
මහනුවර වැව මැද තිබෙන දූපතේ තිබිලා දළදා මාලිගාවට බෝම්බ ගෙනාපු ලොරියේ ටයර් එකක කෑල්ලක් හම්බ වුණා.ඒකේ අංකයක් ඔස්සේ රීබිල් කරපු තැන් හොයාගෙන බෝම්බ ලොරිය ගැන තොරතුරු අනාවරණය කර ගත්තා කියලා තමයි දැන ගන්න තිබෙන්නේ...සිද්ධියෙන් පස්සේ දවස් කිහිපයක් බෝට්ටු සේවය ක්‍රියාත්මක කළේ නැහැ...අනූව දශකයේ මැද භාගයේ දවසක් මම බෝට්ටු සේවයට එනකොට ක්වීන්ස් එක පැත්තේ වැව ළඟ සෙනඟ පිරිලා.මම ගිහින් බලන කොට පොඩි ළමයෙකුගේ මළ සිරුරක් වැවේ පාවෙනවා.බෝට්ටුවෙන් ගිහින් මළ සිරුර ගොඩ ගත්තා.
ටික වෙලාවක් යනකොට බෝට්ටු සේවය ළඟ හිටපු කෙනෙක් මට කිව්වා සර් ඔය ළමයා උදේ තවත් කෙනෙක් එක්ක මේ ළඟ ඇවිද ඇවිද හිටියා කියලා.මොකක් හරි බිහිසුණු සිද්ධියකට සම්බන්ධ අයෙක් අනිවාර්යයෙන්ම සිද්ධියෙන් පසු ඒ ස්ථානය අසළ ගැවසෙමින් සිදුවීම නිරීක්ෂණය කරනවා.ළමයාගේ මළ සිරුර ළඟ මිනිස්සු ගැවසෙමින් සිටි නිසා මම අර තොරතුරු කිව්ව පුද්ගලයා ගෙන් ඇහුවා උදේ ළමයා එක්ක හිටිය කෙනා එතන ඉන්නවාද කියලා බලන්න කියලා.
අර මනුෂ්‍යයා බලලා කිව්වා ඉන්නවා කියලා.මම පොලීසියට කියලා ඒ පුද්ගලයාව බෝට්ටු සේවය ළඟට අරන් ආවා.මුලින් මනුෂ්‍යා හැමදේම ප්‍රතික්ෂේප කළා.පස්සේ මිනිහා පිළිගත්තා ළමයාව වැවට තල්ලු කරපු බව.ඒ පුද්ගලයා වෛද්‍යවරයෙක්.කොළඹ ප්‍රදේශයේ පදිංචි.කලින් විවාහයේ ළමයා තමයි මේ මියගොස් හිටියේ.එයා දොස්තරගේ කලින් විවාහයේ දරුවා.ඒ ළමයා ආබාධිත තත්ත්වයක ඉඳලා තියෙන්නේ.පළමු කසාදේ බිඳ වැටීමෙන් පස්සේ දෙවන කසාදයක් මෙයා කරගෙන.දෙවැනි බිරිද ළමයා ගෙදර තියා ගන්න බැහැ කියලා.මේකට එකම විසඳුම දරුවා මරණ එක කියලා හිතලා දොස්තර ළමයා එක්ක නුවර ඇවිත් වැවේ මාළුවන්ට පොරි දාන්න කියලා දරුවා වැවට පාත්කරලා වතුරට දාලා.අර පුද්ගලයා තොරතුරක් ලබා නොදෙන්න මේ සිද්ධිය යටපත් වෙන්න හොඳටම ඉඩක් තිබුණා....
මහනුවර නගර මධ්‍යයේ පිහිටි වැව කේන්ද්‍ර කර ගනිමින් බොහෝ දේ සිදුවෙයි.ඉන් බොහොමයක තොරතුරු කෙම්ස් මහතා දනී.ඒකාලේ නුවර වැව වටේ කාර් රේස් ගියා.අනූව දශකයේ තමයි මේ රේස් තිබ්බේ.වැවට වාහන වැටෙයි කියන සැකයට වැලි කොට්ට දාලා අවාරණය කරනවා.මම බෝට්ටුවක නැගලා වැවේ ඉන්නේ අනතුරක් වෙයි කියන සැකය නිසා.රේස් එක වෙලාවේ එක පාරටම කාර් එකක් උඩින් ඇවිත් වැවට වැටුණා.මම බෝට්ටුව ඒ පැත්තට වේගයෙන් අරන් ගිහින් වැවට පැන්නා.මෝටර් රථය පැදවූ කෙනා වතුරෙ ගිලිලා.දොර අරින්න බෑ.ෂටර්ස් පාත් කරන්නත් බෑ.මම වීදුරුවට ගහලා කැඩුවා.එයා ෂීට් බෙල්ට් දාලා නිසා එළියට ගන්න අමාරුයි.බැරිම තැන ෂීට් බෙල්ට් එකත් එක්කම එළියට ඇදලා ගත්තා.ඇම්බ්යුලන්ස් එකෙන් එයාව රෝහලට අරන් ගියා.අදටත් මනුෂ්‍යා දන්නේ නැතුව ඇති බේර ගත්තේ මම කියලා.
දවසක් සිදු ජාතික යුවළක් උදේම බෝට්ටු සේවය ළඟට ඇවිත් රවුමක් යන්න ඕන කිව්වා.මම ශ්රීලාංකිකයින්ට එක මුදලකුත් විදේශිකයින්ට තවක් මුදලකුත් අය කරන්නේ නැහැ.ඒක මගේ ප්‍රතිපත්තිය.දහදෙනකු විතර එකතු වුණාම යමු කියලා මම කිව්වම එයාලා කිව්වා අපි මුළු මුදල දෙන්නම් අපි දෙන්න විතරයි යන්න ඕන කියලා..මම හා කියලා ගියා.මාලිගාව ඉදිරිපිටින් යනකොට එක පාරටම සුද්දි ඇඳුම් ගැලෙව්වා.සුද්දා මාලිගාව බැක් ග්‍රවුන්ඩ් වෙන්න ෆොටෝ ගහනවා.මොකද කරන්නේ කියලා මට එක පාරටම හිතා ගන්න බැරිවුණා.සුද්දා අතේ තිබ්බ කැමරාව උදුරලා අරන් වැවට දැම්මා.ඒ දෙන්නා මාත් එක්ක තර්ක කළා.මම කිව්වා දළදා වහන්සේ අපේ වටිනාම වස්තුව,ඒකට අගෞරව කරන්න දෙන්න බෑ කියලා...
මහනුවර වැව මැද්දේ දූපත කලකට පෙර නඩත්තු කළේ මහනුවර නගර සභාව මගිනි.එහි සේවකයකු සතියකට වරක් දූපතට ගොස් පවිත්‍ර කටයුතු සිදු කරන්නේ කෙම්ප් මහතාට අයත් බෝට්ටුවකිනි.මෙම සේවකයා කාලයක් තිස්සේ අදාළ රාජකාරිය ඉටු කරන අතර තුර හොර රහසේ වල් මිටියක් රැගෙන එන බව කෙම්ප් මහතා වරක් දුටුවේය.
ඒ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ එම සේවකයා දූපත මැද ගංජා වවා ඇති බවයි.වෙසක් හා පෙරහැර මංගල්‍යයන් අවස්ථාවේ වැව මැද දූපත විදුලියෙන් ආලෝකමත් කෙරෙන අතර ඒ සඳහා අවශ්‍යය විදුලි බලය දළදා මාලිගාවේ සිට දූපතට ගෙනු එනු ලබන්නේ කේබලයක් ආධාරයෙනි.දිනක් දූපතේ විදුලි ආලෝකය දැල් නොවුණු නිසා සිදුකළ පරීක්ෂාවකදී හෙළිව ඇත්තේ අඩි 30 ක් පමණ වූ ගැඹුරක් ඇති ජලය තුළින් ගමන් ගන්නා කේබලය සොරුන් කපා ගෙන තොස් ඇති බවකි.වැවේ වතුරේ අඩි දෙක තුනක් තමයි උණුසුම රැඳිලා තිබෙන්නේ.ඊට පහළට යන්න යන්න ශීතල වැඩියි.මේ කේබල් එක කපා ගත්තා හොරා මේක කොහොම කළාද කියන එක පුදුමයක් යැයි කෙම්ස් මහතා පවසයි.
කෙම්ප් මහතා දකුණු සූඩානයේ නයිල් නදියේ ජෝයි නමින් බෝට්ටු ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.සුඩානය යනු අභ්‍යන්තර ගැටුම්වලින් පිරුණු රටකි.සූඩානයේ ව්‍යාපාරයක් කිරීමට කවුරුත් කැමැති නැහැ.පුදුම ජීවිත අවධානමක් තියෙන්නේ.අවදානමක් තිබෙන තැන තමයි සල්ලි තිබෙන්නේ.අවධානම තියෙන තැනට වැඩිය කවුරුත් එන්නේ නැහැ.මේ නිසා තරගකාරීත්වය අඩුයි....කෙම්ස් මහතා පවසයි.මහනුවර වැව කියන්නේ හරිම අමුතු තැනක්.හරිම ගුප්තයි.වැවට හානියක් කරලා කවදාවත් මුදල් හම්බ කරන්න බැහැ.ඒකට හොඳම උදාහරණය වැවේ මාළු මරණ එකයි.වැවේ මාළු අල්ලන බොහෝ දෙනකුගේ ජීවිත අවසානයේ නිමා වන්නේ ඛේදනීය ඉරණමකින් බව බව පවසන කෙම්ස් මහතා ඊට උදාහරණ ඕනෑ තරම් ඇති බවද පවසයි.
සටහන
අසේල කුරුළුවංශ