Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

රාජකීයන්ගේ අප්‍රිකානු ආලය

$
0
0
දෙසැ 23, 2017 01:00

මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යවල වැඩිම අවධානය හිමිකරගෙන සිටින පෙම් යුවළ වන්නේ බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා ඔහුගේ ඇමරිකානු පෙම්වතිය මේගන් මාර්කෙල්ය. ලබන වසරේ මැයි 19දා හැරී-මේගන් පෙම් කතාව මල්ලපල දරනු ඇත. මේ දිනවල බ්‍රිතාන්‍ය රජ පවුල ලහි ලහියේ සූදානම් වන්නේ ඇමරිකාවත් බ්‍රිතාන්‍යයත් රන් හුයෙන් යා කරන්නාවූ එම රාජකීය විවාහ මංගල්‍ය සඳහා වන නමුත් ඇමරිකාවත් බ්‍රිතාන්‍යයත් අතර ගොඩනැගෙන්නට යන ප්‍රේමයත් අභිබවා ගිය පෙමක් බ්‍රිතාන්‍ය හා අප්‍රිකානු මහද්වීපය අතර පවතී. එය එළිසබෙත් කුමරිය රැජිණක ලෙස ඔටුනු පලන් අතීතය දක්වා දිව යන්නකි. හැරී-මේගන් ආදර අන්දරයේද කේන්ද්‍රස්ථානයක් අප්‍රිකා මහද්වීපයේ බොට්ස්වානාවට හිමි විය. ඒ ආදරයේ සංකේතයක් ලෙස හැරී කුමරු සිය පෙම්වතියට තිළිණ කළ විවාහ ගිවිස ගැනීමේ මුදුවේද බොට්ස්වානාවට සුවිශේෂී තැනක් දීමට අමතක කළේ නැත. බොට්ස්වානාව පමණක් නොව සමස්ත අප්‍රිකානු මහද්වීපයම කෙරෙහි වන දැඩි සෙනෙහසක් හා බැඳීමක් බ්‍රිතාන්‍යය රාජකීයන්ගේ හදවත්වල ගැඹුරුම තැනක ලැගුම්ගෙන ඇති බව ඔප්පු කිරීමට මේ එක් උදාහරණයක් පමණි.

සිය පෙම්වතිය පළමුවරට ලොවට හඳුන්වා දෙන විටදීද හැරි කුමරුට බොට්ස්වානාව ගැන කතා නොකර සිටීමට හැකිවූයේ නැත. ඒ හැරී -මේගන් ආදර කතාවේ වඩාත්ම ප්‍රේමණීය අවධිය ගෙවී ගියේ බොට්ස්වානාවේ තරු පිරි අහස් වියන යට පැතිරුණු සැවානා තණබිම්වල නිසාය. මේගන් සමඟ පෙමින් වෙළුණු මුල් කාලයේදී ම හැරී කුමරු ඇය සිය ප්‍රියතම රට වන බොට්ස්වානාවට දින පහක සංචාරයක් සඳහා රැගෙන ගියේය. රාත්‍රී අහසේ චමත්කාරය නරඹමින් ඔවුන් එහි කඳවුරුලාගෙන ගතකළේ කලාතුරකින් ලැබෙන නිදහස උපරිමයෙන් රස විඳිමිනි. පැපරාසි මාධ්‍යවේදීන්ගේ උකුසු ඇස්වලට වසන්වී එකිනෙකා හඳුනා ගනිමින් එකිනෙකාගේ සමාගමයේ විනෝද වෙමින් ගත කළ එම දින කිහිපය හැරී-මේගන් ප්‍රේම පුරාණයේ සුවිශේෂී පරිච්ඡේදයකි. එම ප්‍රේමණීය මතකය අමරණීය සිහිවටනයක් කර ගැනීමට හැරී කුමරුට මෙන්ම මේගන්ටද තිබුණේ දැඩි උවමනාවකි. බොට්ස්වානාවේ දියමන්තියක් එබ්බවූ මුදුවකින් මේගන් මාර්කෙල්ගේ වමත හැඩවූයේ එම මතකය වෙනුවෙනුයි. හැරී කුමරුගේ ඒ තෝරා ගැනීම සියයට සීයයක්ම නිවැරදි බව ඔහුගේ ඇමරිකානු සුරූපිණියගේද පිළිගැනීමයි.

සිය පෙම්වතිය සමඟ තනි වීමට හැරී කුමරු අප්‍රිකාව තෝරාගැනීම පුදුමයට හේතුවක්ද නොවේ. අප්‍රිකාවේ නිතර කරක් ගසන හැරී කුමරු එරට වැසියන්ගේ හදවත්වලට සමීප චරිතයකි. සිය මව වන ඩයනා කුමරියගේ අඩි පාරේ යමින් හැරී කුමරු සේම විලියම් කුමරුද අඩු ආදායම්ලාභි අප්‍රිකානුවන් වෙනුවෙන් විවිධ මානූෂීය ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ අද ඊයෙක සිට නොවේ. ලෙසොතෝවේ හා ඊට අසල්වැසි බොට්ස්වානාවේ එච්.අයි.වී /ඒ.ඩ්.ස්. ආසාදිත අනාථයන් වෙනුවෙන් පිහිටුවා ඇති ‘සෙනෙටබල්‘ නමැති සුබසාධන සංවිධානයේ සම නිර්මාතෘවරයෙකු වන්නේ හැරී කුමරුයි. එය එක්තරා ආකාරයකින් සිය මව වූ ඩයනා කුමරියගේ මානුෂීය සේවය ඉදිරියට ගෙන යාමක්ද වන්නේය. එච්. අයි. වී. ආසාදිතයින් වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ සිය මව වැන්නියකගේම පුතු වන ලෙසොතෝහී ‘සීඉසෝ‘ කුමරු හා එක්ව හැරී කුමරු මෙමම සංවිධානය පිහිට වූයේ 2006 වසරේදීයි. එවක් පටන් එහි කටයුතු වෙනුවෙන් නොයෙක්වර ලෙසොතෝවේ හා බොට්ස්වානාවේ සංචාරයේ යෙදුණු හැරී කුමරුගේ හදවතේ ‘සෙනෙටබල්‘ව්‍යාපාරයට විශේෂ තැනක් හිමිය. මානව දයාව සේම සතුන් කෙරෙහිද පැතිරුණු අවිහිංසාවාදී හැඟීම්වලින් හැරී කුමරු හා ඔහුගේ වැඩිමල් සොයුරු විලියම් කුමරු පරිපූර්ණය.

විලියම් කුමරුද දකුණු අප්‍රිකාවේ ඇතුන් සංරක්ෂණය වෙනුවෙන් පිහිටුවා ඇති ‘ටස්ක්‘ ව්‍යාපාරයේ භාරකරුවෙකි. හැරී කුමරු බොට්ස්වානාවේ ‘රයිනෝ‘ සතුන් සංරක්ෂණය වෙනුවෙන් ඇප කැප වූවෙකි. 2016 වසරේ වසන්ත සෘතුව හැරී කුමරු ගතකළේ මලාවි රාජ්‍යයේය. ඒ අලි මිනිස් ගැටුමෙන් මරුමුවට පත්වීමේ අවධානමට ලක්වූ සද්ධන්තයන් ඔවුන්ගේ නිජබිමෙන් සැතපුම් දෙසීයක් ඔබ්බෙන්වූ ‘කොටාකොටා වනජීවී සංරක්ෂිතයට‘ ප්‍රවාහනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියකට හවුල් වෙමිනි. මීට අමතරව අප්‍රිකා මහද්වීපයේ දියත් කෙරෙන බොහෝ මානුෂීය ව්‍යාපෘතීන්හි හැරී -විලියම් කුමාරවරුන් අනිවාර්ය සාමාජිකයින් ය.

කෙන්යාවේ නයිරෝබි නුවර දේශපාලනවිද්‍යා විද්‍යාඥවරියක වන ‘යාමු ස්ටෙයින්බැක්‘ට අනුව හැරී-විලියම් කුමාරවරුන් හා අප්‍රිකාව අතර වන මෙම අසමසම බැඳීම ලෙයින් උපන්නකි. ඔවුන්ගේ මව අතිශයින්ම මානව හිතවාදී කාන්තාවක වූ ඩයනා කුමරියගෙන් දායාද වූවකි. අප්‍රිකානු කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘සින්ගා ඉෆෙක්ට්‘ ව්‍යාපාරයේ නිර්මාතෘවරිය වන ‘එලයිසා අන්යාන්ග්වේ‘ට අනුව එම සම්බන්ධය සොබාදහම හා බැඳුණකි. අප්‍රිකාවටම ආවේණික බහුවිධ සංස්කෘතිකාංග හා ජෛව විවිධත්වයෙන් පිරිපුන් ස්වභාවික පරිසරයට කුමාරවරුන් දක්වන දැඩි ලොල්බව, අප්‍රිකාව ඔවුන්ගේ ජීවිතවල කොටසක් බවට පත්වීමේ රහස බව ඇගේ මතයයි.එම අවියෝජනීය බැඳීම මොනවට තහවුරු කෙරෙන හොඳම සාධකය හැරී කුමරුගේ ප්‍රියාවියගේ වමතේ රැඳී තිබේ. අනෙක් අතට ඇයද අප්‍රිකාවට අමුත්තියක නොවේ. අප්‍රිකානු සම්භවයකින් යුතු මාර්කල් මානුෂීය ව්‍යාපෘතීන් වෙනුවෙන් නොයෙක් වර අප්‍රිකාවේ සංචාරවල නියැලුණු තැනැත්තියකි. 2016 වසරේදී ඇය එලෙස රුවන්ඩාවේ සංචාරයක නියැලුනේ ‘වර්ල්ඩ් විෂන් කැනඩා‘ සංවිධානය දියත් කළ පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියකට සහාය වීමටයි. මේ නිසා හැරී මේගන් යුවළගේ සුසංයෝගය ඉදිරියේදීත් අප්‍රිකාව හා රාජකීයන්ගේ ජීවිත එකිනෙක හා වෙලී පවතිනු ඇති බවට කෙරෙන හොඳම ඉඟියකි.

පසුගිය වසරේදී අයි. ටී.වී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වු හැරී කුමරු ‘සෙනේටබල්‘ ව්‍යාපාරයේ ඉදිරි ව්‍යාපෘති පිළිබඳව විස්තර කළේය. එහිදි අප්‍රිකාව කෙරෙහි වන තමාගේ මෙම බිඳලිය නොහැකි පෙම විස්තර කරමින් ඔහු කියා සිටියේ එම බැඳීම තම දරුවන් සමඟද ඉදිරියට යනු දැකීම සිය අපේක්ෂාව බවය. ඒ අනුව හැරී-මේගන් සන්ධානය හැරී කුමරුගේ එම සිහිනයද සඵල කරන්නක් වනු ඇත.

බොට්ස්වානාව හැරී කුමරුගේ බැඳීමට සමාන බැඳීමක් කෙන්යාවට විලියම් කුමරුට ද තිබේ. වයස අවුරුදු දාහතේදී හාපුරා කියා කෙන්යාව සියැසින් දුටු විලියම් කුමරු එවක් පටන් කෙන්යාවේ ළබැඳි හිතමිතුරකු විය. කෙන්යාව තරම් තමාගේ සැබෑ චරිත ස්වභාවය ඉස්මතු වන අන් රටක් ලොව නැති බව වරක් ඔහු සී.එන්.එන්. නාලිකාවට කියා තිබුණේ එනිසාය.

තම පෙම්වතිය කේට් මිඩ්ල්ටන්ට විවාහ යෝජනා කිරීමට විලියම් කුමරු ඉදිරිපත් වූයේ ද කෙන්යාවේදියි. ඒ වන විට සති තුනක් මුලුල්ලේ තම මව විවාහ ගිවිසි මුදුව විලියම් කුමරු ඔහු යන එන තැන රැගෙන ගොස් තිබිණි. අවසානයේදී කෙන්යාවේ ‘ලේවා වනජීවි‘ සංරක්ෂිතයේ තුරු වදුලින් වැසුණු ලැගුම්පොළකදී ඔහු සිය යෝජනාව කේට් වෙත ඉදිරිපත් කොට තිබිණි. විලියම් කුමරු මිත්තණිය වූ දෙවන එළිසබෙත් මහා රැජිණ, රැජිණක වීමේ ප්‍රීතියටත් ශෝකයටත් හිමිකම් කීවේ ද කෙන්යාවේදීය. කෙන්යාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අවධියයි. පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කෙරෙන සංචාරයක් සඳහා සිය සැමියා වූ පිලිප් කුමරු සමඟ කෙන්යාව බලා ගොස් සිටි එළිසබෙත් කුමරියට පියාගේ හදිසි අභාවය පිළිබඳ දැන ගැනීමට එහිදීය. නයිරෝබි නුවරින් ඔබ්බෙහි වූ ‘ට්‍රී ටොප්‘ හෝටලයේ කෙටි නිවාඩුවක් ගත කරමින් සිටියදී එළිසබෙත් කුමරියට මෙම ශෝචනීය පුවත දැන්වුයේ පිලිප් කුමරුය. එය පිය වියෝවේ සොවිනුත්, රැජිණක ලෙස කිරුළු පැලඳීමේ වගකීමෙනුත් එළිසබෙත් කුමරිය කම්පාවට පත් කළ අවස්ථාවක් විය.

ඉන් දශක ගණනාවකට පසු අදටත් රාජකීයයන්ගේ ජීවිත අප්‍රිකාව හා වෙලී පවතින්නේ වෙන් කළ නොහැකි ලෙසය. යටත් විජිත මානසිකත්වයෙන් ඔබ්බට ගිය සුහදශීලීත්වයේ රැහැනකින් දෙරට බැඳ තැබීමට ඩයනා කුමරියගේත්, ඇගේ දරුවන්ගේත් මෙම මානුෂීය ප්‍රතිපත්තීන් බෙහෙවින් ඉවහල් විය. හැරී-මේගන් සුසංයෝගය එම සැබැඳියාව නොනැසී ඉදිරියටත් පවතින බවට ලබාදුන් සාක්ෂියක්වැන්න.

රුක්ලන්ති පෙරේරා 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>