Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

කෑගල්ලේ වතු ජනතාවට තැපෑ‍‍ලෙන් මාරක අපල

$
0
0
සැප් 28, 2018 01:00

විශ්වවිද්‍යාලයට පාස්වුණ පුතාට 18 වෙනිදාට පෙර ලියාපදිංචි වෙන්න කියල විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් ලියාපදිංචි තැපෑලෙන් එවූ ලිපිය ගෙදරට ලැබී තිබුණේ 21 වෙනිදා. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව හොයාගෙන කොළඹ ගියා. පමාවට හේතු ගේන්න කීවා. අපි තැපැල් කාර්යාලයට ගියා. 'කාර්යාලයට ලැබුණු දිනම වත්තේ පියන්ට භාරදුන්නා, අපි වෙලාවට රාජකාරි කළා, අපෙන් පමාවක් නෑ. අපට ලියුම් දෙන්න බෑ.'කීවා.

සන්නිවේදන පහසුකම් දින දින ඉහළ යමින් පැවතුණද, තවමත් ගම්බද ජනතාවගේ රාජකාරි ලිපි කටයුතු හුවමාරු වන්නේ ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහායි. ඒනිසා ගම්බද ජනතාව තුළ තැපැල් සේවාවට ඇති උනන්දු‍වේ අඩුවීමක් සිදුවී ‍නොමැත.

එ‍හෙත් “කොළඹට කිරි ගමට-කැකිරි කියන්නාක්“ මෙන් තවමත් තැපෑල නගරයෙන් ගමට විහිදී යාමේදී සිදුවන අඩුපාඩු, අතපසුවීම් ද එමටය. කෑගල්ල ඊට නිදසුනකි. සමස්තයක් ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ ලියුම් බෙදන්නන්ගේ හිඟකමක් තිබුණ ද මෙම සේවාව වතු ජනාවාස කරා යාමේදී මහත් අඩුපාඩු සහිත බව පවසති.

තැපැල් සේවාව ගැන නැවතත් කතාකරන්නට අපට සිදුවූයේ යටියන්තොට හල්ගොල්ල වත්තේ පදිංචි කම්කරුවකුගේ දරුවාට විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට විශ්වවිද්‍යල කොමිෂන් සභාවෙන් ලියාපදිංචි තැපෑලෙන් එවා තිබූ ලිපියක් කලට වේලාවට නොලැබීමෙන් ඇතිවු අපහසුතාවයෙන් කනස්සල්ලට පත් කම්කරුවෙක් දිවි අහිමිකර ගැනීමට ගත් උත්සාහයක් සම්බන්ධ සිද්ධියක්ද සමඟය.

තාත්තා, සීයා වගේම ඔහුත් වත්තේ කම්කරු රස්සාව කළේ පරම්පරාවෙන් උරුම වූ රැකියාව බැවිනි.

54වෙනි වියේ පසුවන තිදරු පියෙකු වන දරුවා‍ගේ පියා කේ.ජීවරත්න,

“මහන්සියෙන් හම්බ කරපු දේ ඉතිරි කරගෙන දරුවන්ට ඉගැන්නුවේ ඔවුන් මේ වළෙන් ගොඩට ගන්නයි. ඒත් විශ්වවිද්‍යාලයට පාස්වුණ පුතාට 18 වෙනිදාට පෙර ලියාපදිංචි වෙන්න කියල විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් ලියාපදිංචි තැපෑලෙන් එවූ ලිපිය ගෙදරට ලැබී තිබුණේ 21 වෙනිදා. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව හොයාගෙන කොළඹ ගියා. පමාවට හේතු ගේන්න කීවා. අපි තැපැල් කාර්යාලයට ගියා. 'කාර්යාලයට ලැබුණු දිනම වත්තේ පියන්ට භාරදුන්නා, අපි වෙලාවට රාජකාරි කළා, අපෙන් පමාවක් නෑ. අපට ලියුම් දෙන්න බෑ.'කීවා. වත්තෙන් ලියුමක් අරන් ගියහම රජයේ තැනකින් ලිපියක් ඕනේ කීවා. අපිට කියන්න කෙනෙක් නෑ. මට ජිවිතේ නැතිකර ගන්න හිතුණා. අපේ ගමේ සිරිපාල මහත්තයා සමඟ මම හර්ෂ සියඹලාපිටිය මහතා හමු වෙන්න ගියා. එතුමා එහාට මෙහාට කතා කරලා කොළඹ යන්න කියල දරුවාගේ විශ්වවිද්‍යාල ගමන හදල දුන්නා".

මෙවැනි අපහසුතාවන්ට ලක්වු තවත් කීපදෙනෙක් ද මෙහිදි අපට හමුවිය.

ඒ අතරින් යටියන්තොට හල්ගොල්ල වත්තේම ඩී.දර්ශනී මහත්මිය - "අපේ තාත්තත් වත්තේ කම්කරුවෙක්. දැන් මිය ගිහින්. අම්මා තාමත් කම්කරු වැඩට යනවා. උසස් පෙළ සමත් වූ නංගිට බැංකුවේ රැකියාවකට යන්න ලියුමක් ආවා. නමුත් අපිට ලියුම ලැබෙනවිට සතියක් පමාවෙලා. නංගි ගිහින් බැලුවාම වෙන කෙනෙක් එතනට ගන්න කටයුතු කරල නිසා කනගාටුයි කීවා."

එන්. වඩුවෙල් මහතා - "අපේ වතුවල ගොඩක් කට්ටිය හදිසියට මුදල් සොයා ගන්නේ අතේ කරේ තියෙන දෙයක් උකස් මධ්‍යස්ථානයක නැත්නම් බැංකුවක උකස් තියලයි. සමහර අයට දින වකවානු අමතක වෙනවා. එහෙම ඉන්න අතරෙදි බැංකු‍‍වෙන් නැත්නම් ඒ මූල්‍ය ආයතනවලින් එවන අවසාන දැනුම් දීමේ ලියුම් අපට ලැබෙන්නේ ගොඩක් කල් ගිහින්. ඒ වනවිට සමහරවිට අපේ රත්තරං බඩු සින්න වෙලා. ඒ වාගේ සිද්ධි අනන්තයි."

හල්ගොල්ල වතුයායේ පදිංචිකරුවන්ගේ මරණාධාර සමිතියේ නිලධාරි ටී. සිවපාලන් මහතා ඒ අසල කැලෑවෙන් වැසුණු නියෝජිත තැපැල් කාර්යාලයක් පෙන්වයි. එය විවෘත කළ දිනය මැකී තිබුණද තවමත් ඉතිරිව ඇති එහි සිහිවටන ඵලකයේ සඳහන් වන්නේ එම ප්‍රදේශයේ ජනතාවගේ සමාජීය සුබසිද්ධිය සඳහා ඉදිකරන ලද වතු නියෝජිත තැපැල් කාර්යාලය එවකට ප්‍රජා සංවර්ධන හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති පී. චන්ද්‍රසේකරන් මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කළ බවක්ය. අපට තොරතුරු සැපයූ ඔහු වැඩිදුරටත් පැවසුවේ තැපැල් කාර්යාලයකට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් තරාදි පවා ඒ තුළ ඇති බවය.

හල්ගොල්ල වතුයායේ දෙමළ මාධ්‍ය පාසල් දෙකකි. මෙම විදුහල්වලට ලැබෙන ලිපිද යවනු ලබන්නේ වතු අධිකාරිවරුන්ගේ කාර්යාලයට යන ලියුම් මලුවලය. ඒනිසා එම පාසල් දෙකෙහිම සේවය කරන ගුරුභවතුන් පැවසුවේ "කෑ/දෙහි/පූණුගලදෙමළ විද්‍යාලයේ ලිපි, කෑ/දෙහි/ හල්ගොල්ල දෙමළ විද්‍යාලයටත් බොහෝවිට මාරුවී යනවා. ඒ නිසා දැන් අපි අපේ ලියුම් ඇවිත් ගන්නම් කියල මලල්පොළ තැපැල් කාර්යාලයේ තියල තියන්න කියලයි තියන්නේ".

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති තොරතුරුවලට අනුව යටියන්තොට ප්‍රදේශයේ වැවිලි සමාගම් සතු වතු 12ක් හා තවත් එක් පුද්ගලික වත්තක් ඇතුළුව වතු 13ක පහළොස් දහසකට ආසන්න දෙමළ ජනතාවක් වතු නිවාසවල පදිංචිව සිටිති. මේ පිරිසගේ සේවාවන් වෙනුවෙන් සොයා බැලීම පිණිස පත් කළ නිලධාරීන් තිදෙනෙක්ද යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ යෙදී සිටිති. එ‍‍හෙත් ඔවුන්ගෙන් රාජකාරිය නිසි‍ලෙස ඉටු‍‍වේද යන්න ගැටලුවකි‍.

යටියන්තොට මීපිටිය කන්ද වතු නිවාසයේ ආරොග්‍යා සෙන්ස්තියන් මහතා - "අපිට මේ මිනිස් අයිතිය නැත්තේ ඇයි? මේ රටේ මිනිසුන් විදිහට අපිත් ලියුමක් තැපැල් කරන්නේ මුදලක් බැඳලයි. ඒත් අපට එන ලියුම එන්නේ මඟටයි. මේකේ සාධාරණයක් තියෙනවාද?"

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 තුළම විහිදුණු වතු ජනාවාස රාශියකි. ඒ බොහොමයකට පොදු වූ ගැටලුවක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

තැපැල් ලිපි බෙදීමේ ගැටලුවට ඉදිරියේදී ලබාදිය හැක්කේ කුමන විසඳුමක් දැයි අපි යටියන්තොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක හර්ෂ සියඹලාපිටිය මහතාගෙන්ද විමසුවෙමු.

"ජනාධිපතිතුමා මට මේ ආසන සංවිධායකකම භාරදීලා තවම අවුරුද්දක්වත් නෑ. මේ ටිකට විශ්වවිද්‍යාලයට යන්න ලිපි පමාවෙලා ලැබුණා කියල ආපු දරුවො 4 දෙනෙක් මට හමුවුණා. මම ඒ අයට හැකි අයුරින් උදව් කළා. නමුත් මේ ගැටලුවට නිසි විසඳුමක් ඕනේ. මම දන්නවා දවසට කිලෝමීටර් 4-5 පයින් ඇවිත් තමයි මේ සමහර දරුවො පාසල් යන්නේ. ඒ අතරින් විශ්වවිද්‍යාලයට තේරෙන්නේ සියයකට එකයි. ඒ දරුවෝ සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියල අපට වෙනසක් නෑ. අපි ඔවුන්ට තියෙන බාධක ඉවත් කර දිය යුතුයි. මම මේ ප්‍රශ්නය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධිකරණ කමිටුවේදි කෑගල්ල දිසා ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී කතා කරල පිළිතුරු ඉල්ලා තිබෙනවා තවමත් නිසි විසඳුමක් ලැබි නෑ."

කෑගල්ල තැපැල් අධිකාරි එල්. ආර්. දිසානායක මහතා - "වතු ජනාවාසවල ලියුම් බෙදී‍මේ දී අතීතයේ සිට සිදුවුණේ වතු අධිකාරිවරුන් විසින් යොදවන වතු ලියුම් බෙදුම්කරුවෙක් තැපැල් කාර්යාලයට පැමිණ වත්තට සහ වතු ජනාවාසයේ පදිංචිකරුවන්ට ඇති ලියුම් ටික රැගෙන ගොස් බෙදා දීම. පසුකලකදී වතුවල ආදායම් නෑ කියල වතු ලිපි බෙදීම නතර කර වත්තේ කාර්යාලයේ තබා ලියුම් රැගෙන යන ලෙස කම්කරුවන්ට පණිවිඩ යැවීම කළා. කෑගල්ල දිස්ත්‍රික්කයේ ලියුම් බෙදන්නන් ගේ විශාල හිඟයක්ද පවතිනවා. මේ අතර අපි වතුවලටම විශේෂයෙන් බඳවා ගත් වතු ලියුම් බෙදුම්කරුවන් 9 දෙනෙක් බුලත්කොහුපිටිය (1), යටියන්තොට (2), දැරණියගල (3), දෙහිඕවිට (2), ගලිගමුව (1) වශයෙන් දැනට වතු ආශ්‍රිතව සේවයේ යොදවා තිබෙනවා. සේවක හිඟය නිසා මේ අය සමහරවිට දවසක් එක වත්තකටත්, තවත් දවසක් වෙනත් වත්තකටත් ගොස් ලියුම් බෙදනවා විය හැකියි."

මෙම ගැටලුවට විසඳුමක් ලෙසින් පසුගිය 17 දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි කෑගල්ල තැපැල් අධිකාරී එල්. ආර්. දිසානායක මහතා පැවසුවේ “වතු නිවාසවල පදිංචි ජනතාව වෙනුවෙන් එක් නිවෙසකට එක් ලියුම් පෙට්ටිය බැගින් වතු ජනාවාසයේ ආරක්ෂිත ස්ථානයක සවිකිරිමටත් එහි එක් යතුරක් තැපැල් කාර්යාලයටද අනෙක් යතුර ගෘහ මූලිකයාටද ලබාදීමටත් තැපැල් කාර්යාලයේ එක් සේවකයකු යොදවා එකම ස්ථානයක ඇති මෙම පෙට්ටිවලට අදාළ ලිපි දමා ගිය හැකි බවත් තමා යෝජනා කරන බවත්ය.

ඊට එක් වු කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා තැපැල් අධිකාරිවරයාගේ යෝජනාවට එකඟ වෙමින් පැවසූවේ අදාළ ව්‍යාපෘතිය පිළිබඳ විස්තර හා ඊට අවශ්‍යවන ලියුම් පෙට්ටි ප්‍රමාණය දැනුම් දෙන්නේ නම් ඒ සඳහා දායකත්වයක් දීමට කැමති අනුග්‍රාහකයෙක් සොයා දීමට තමන්ටද උත්සාහ කළ හැකි බවත්ය.

ගාමිණි රම්‍යපාල
සබරගමුව සමුහ

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>