මැදියම් රැයේ හෙම්මාතගම අවට සැරිසරන යතුරුපැදි කණ්ඩායමකි. පුද්ගලයන් 4-5 දෙනකුගෙන් සමන්විත මේ යතුරුපැදි කණ්ඩායම හෙම්මාතගම අවට මාවත්වල සැරිසරමින් හිටිහැටියේම තෝරාගත් නිවාසවලට කඩා පනී. යතුරුපැදි කණ්ඩායමේ පුද්ගලයන් එසේ කඩා පනින්නේ එම නිවාසවල පාසල් සිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බැලීමටය. එය අපූරු සිදුවීමකි. ඉතිහාසයේ සිට අප දන්නා පරිදි රාත්‍රී කාලයේ නිවාසවලට කඩා පනින්නේ සොරුන්ය. නොඑසේනම් ආරක්ෂක සේවා නිලධාරීන්ය. එහෙත් මේ දිනවල හෙම්මාතගම අවට සැරි සරන්නේ එවැනි කණ්ඩායමක් නොවේ. මේ යතුරුපැදි කණ්ඩායම නිවාසවලට කඩා පනින බව ගම්වැසියෝ ද දැනුවත්ව සිටිති. ඒ ගැන ඔවුන්ට කිසිදු බියක් හෝ චකිතයක් දැනෙන්නේද නැත. එවැනි හැඟීමක් දැනෙන්නේ එම නිවාසවල සිටින හෙම්මාතගම නගරගිරි විදුහලේ මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට නියමිතව සිටින දරුවන්ටය. හිටිහැටියේම මැදියම් රැයේ තම නිවාසවලට කඩා පනින මේ යතුරුපැදි කණ්ඩායමෙන් බේරීමට නම් දරුවන්ගේ අතේ පොතපත තිබිය යුතුය. ඔවුන් නිදිවරමින් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිය යුතුය. මේ යතුරුපැදි කණ්ඩායම නගරගිරි විදුහලේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට අපේක්ෂිත සිසුන්ගේ නිවාසවලට මැදියම් රැයේ කඩා පනින්නේ ඒවා නිරීක්ෂණය කිරීමටය.
යතුරුපැදි කණ්ඩායමේ නායකයා නගරගිරි විදුහල්පති ඩබ්.ජි.ඒ. බණ්ඩාර මහතාය. ඔහු සමග එම පාසලේ ගුරුවරුන් පිරිසක් ද ඒ අතර වෙති.
සාමන්‍ය පෙළ සමත් වි උසස් පෙළ හැදෑරිමට වරම් ලබා ගන්නා සිසුන් පිරිසක් මෙන්ම උසස් පෙළ හැදෑරිමට වරම් අහිමි වන දරුවන් පිරිසක් ද අධ්‍යාපන ක්‍රමවේදයේ සිටිති. එනිසාම සාමන්‍ය විභාග කඩඉමෙන් තම දරුවා සමත් කර වන්නට දෙමාපියන් මෙන්ම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන පාසල් වල ගුරුවරුන්ද විවිධ වු උත්සාහයන් සිදු කරන අතර මාවනැල්ල අධ්‍යාපන කොට්ඨාංශයේ හෙම්මාතගම නගරගිරි විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය සොයාගත් අලුත්ම ක්‍රමය මෙයයි. එය දැනටමත් පළාතේ වැඩි දෙනකුගේ ප්‍රසාදයට ලක්වූ කාරණාවකි. මේ ක්‍රමය නිසා දරුවන් තුළත් සාමාන්‍ය පෙළ විභාගය කෙරෙහි අලුත් උනන්දුවක් ඇතිවිය.
අවුරුදු 136 ක ඉතිහාසයක් ඇති මේ පාසලේ අද වන විට දරුවන් 1094 දෙනෙක් ඉගෙනුම ලබන අතර අචාර්ය මණ්ඩලය 70 කට ආසන්නය. මිශ්‍ර පාසලක් වන මෙහි ඉගෙනුම ලබන සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනි සිටින දරුවන් ගණන 155 කි. මේ පාසලේ පසුගිය වසරේ සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටි දරුවන්ගෙන් සියට 50 ක් සාමන්‍ය පෙළ සමත් වෙද්දි ඉතිරි සියට 50 අසමත් විය. පාසලේ සාමාන්‍ය පෙළ දරුවන් වැඩි දෙනෙක් සමත් කරවීම සඳහා පාසලේ විදුහල්පතිවරයා ඇතුලු සාමාන්‍ය පෙළ පන්ති වල ගුරුවරුන් විසින් සොයාගනු ලැබූ නව ක්‍රමවේදය මෙයයි.
ඔවුන්ගේ එකම බලාපොරොත්තුව සාමන්‍ය පෙළ දරුවන්ගේ සමත්වීමේ ප්‍රතිශතය පසියයට සියය දක්වා වැඩි කරන්නටය. දරුවන්ගේ අනාගතයට අලුත් පාටක් සොයා දෙන්නටය.
උදෑසන 6.30 ට උදෑසන පාසල ආරම්භ වන තෙක් අමතර පන්ති පැවැත්වීම සහ සවස පාසල නිමාවීමෙන් පසුව දරුවන් වැඩි පිරිසක් අසමත් වන ගණිතය, විද්‍යාව වැනි පන්තියද පවත්වා ඉන් සෑහීමකට පත් නොවී විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය රාත්‍රී කාලයේ දැනුම් දීමකින් තොරව තම පාසලේ දරුවන්ගේ නිවාසවලට ගොස් ඔවුන් අධ්‍යාපන කටයුතුවල නිරතවන්නේදැයි සොයා බලන්නේ දරුවන්ගේම යහපතටය.
අවසන් මාස කිහිපයේ දරුවන් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට තිබෙන උනන්දුව වැඩි කරවීමට අළුයම 1.00 වන තෙක් දරුවන් පාඩම් කටයුතු සිදු කර යුතු බව පාසල මගින් දරුවන් හා දෙමාපියන් දැනුවත් කර ඇතත් එය නිවැරැදිව සිදුවන්නේදැයි යන්න සැකහැර දැනගැනීම මේ කඩාපනින යතුරුපැදි කණ්ඩායමේ අරමුණය. දරුවන්ගේ මාපියන් ද ඊට කැමැත්ත ලබා දි ඇති බැවින් මෙහෙයුම තවත් පහසුය.
මෙම වැඩසටහන අනුව දරුවන් ජිවත් වන නිවාස වලට යන මාර්ගය දැක්වෙන සිතියම් සටහනක් ගුරුවරුන් සතුව පවතින අතර ඒ ඔස්සේ මෙම ගුරුවරුන් රාත්‍රීයේ නිවාස වලට ගොස් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලීම සිදු කරති. ඔවුන්ගේ මාපියන්ටත් කොන්දේසි දමා තිබේ. දරුවන් අධ්‍යාපන කටයුතු නිමා කරනතුරු මව අවදිව සිටිය යුතුය. පියාට නින්දට යාමේ අවස්ථාව ලැබී ඇත්තේ රැකියාවේ නිරත වන හෙයිනි.
සැත්තැම්බර් මාසයේ මුල් සතියේ සිට ක්‍රියාත්මක කරන ලද මෙම ක්‍රමවේදය හරහා මෙ වන විට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති අකාරයද දැක ගත හැකියි. මේ පිළිබඳ නගරගිරි පාසලේ වර්තමාන විදුහල්පති ඩබ්.ජි.ඒ. බණ්ඩාර මහතා මෙසේ කියයි.
‘පාසලේ වසර ගණනාවක ප්‍රතිඵල සාමන්‍ය පෙළ අපි පරික්ෂා කළා. ඒ බලද්දි අපට හැගි ගිය කාරණයක් තමයි දරුවන් වැඩි දෙනෙක් සාමන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත් වෙනවා කියලා. ගණිතය, විද්‍යාව විෂය වෙනුවෙන් අපි පාසල් කාල සීමාවෙන් පසුව පන්ති අමතරව පැවැත්තුවා.
නමුත් අපිට දෙවැනි වාරය අවසන් වෙද්දි විභාග ලකුණු අනුව දරුවන් තවමත් මෙම විෂයන් වලට ලකුණු ලබා ගැනිමේ අඩුවක් තිබෙන බව පෙනී ගිය නිසා අපි මේ සඳහා කුමක්ද කළ යුතුද කියලා දෙමාපියන් සමග සාකච්ඡා කළා. ඒ අනුව අපි උදෑසන 6.30 ට සිට පාසල ආරම්භ වන තෙක් අමතර පන්ති පැවැත්තුවා. පාසල් වේලාවෙන් පසුවත් අමතර පන්ති පැවැත්වීමට අපේ ගුරුමණ්ඩලය කටයුතු කළා.
නමුත් අපි දැක්කා තවමත් දරුවන්ගේ ලකුණු ලබා ගැනිමේ අඩුපාඩු තිබෙනවා කියලා. ඊට පස්සේ අපි සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පන්ති පැවැත්තුවා. සාමන්‍ය පෙළ ගුරුවරුන් යොදා ගෙන මෙ හැම දෙයක්ම කළේ මුදල් අය කිරිමකින් තොරව. ඒ වාගේම තමයි ගුරුවරුන් විශාල කැප කිරිමක් මෙ සඳහා කරනවා. තමන්ගේ විවේකි කාලයේදි පවා. ඔවුන්ගේ පවුල් වල කටයුතු වලින් පවා මිදිලා දරුවන් වෙනුවෙන් මේ අයගේ කැප වීම අපි අගය කළ යුතුයි.
මේ සියලු දේවල් කරද්දි අපි දරුවන්ට උපදෙස් දිලා තිබෙනවා. අළුයම 1.00 පමණ වනතුරුවත් පාඩම් කරන්න කියලා. ඒ ක්‍රම වේදය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති බව අපිට වැටහි ගියාට පස්සේ තමයි අපි ගුරුවරුන් 5 දෙනෙක් සමග මා රාත්‍රී කාලයේ සාමන්‍ය පෙළ හදාරන දරුවන්ගේ ගෙවල් වල ගොස් ඒ අය පාඩම් කරනවාද කියලා බැලීමට තීරණය කළේ. අපි පස් දෙනා එකවර එම නිවාස වලට ගොස් සොයා බැලීමක් සිදු කරනවා.
මෙවැනි අවස්ථාවලදී අප ගොඩාක් අඩුපාඩු දකිනවා. සමහර දරුවන්ගේ නිවාස වල පාඩම් කිරිමට තරම් සුදුසු පරිසරයක් නිවසේ නැහැ. හරි තැනක් නැහැ. සමහර දරුවන් ජංගම දුරකථනය ළඟ තියාගෙන අන්තර්ජාලයෙන් එයාලාගේ ලෝක වල. සමහර නිවාස වල රූපවාහිනිය ක්‍රියාත්මකයි. දරුවන් මොනවාද කරන්නේ කියලා මාපියන් සොයා බලන්නේ නැහැ. අපි ගිය ගෙවල් වලින් බොහෝ ප්‍රමාණයක දරුවන් උනන්දුවකින් තොරව කටයුතු කරනවා බවයි දුටුවේ. ඇතැම් දරුවන්ගේ පියවරුන් මත්පැන් පානය කර පැමිණ දරුවන්ගේ අධ්‍යපන කටයුතුවලට බාධා වෙන ආකාරයෙන් හැසිරෙනවා.
අපි නිවාස වලට ගොස් දරුවන්ගේ පාඩම් වැඩ සොයා බලා ඔවුන් සිටින මට්ටම් හා ලකුණු ලබා ගෙන තිබෙන අකාරය නිවසේදිම මාපියන්ට පැහැදිලි කරනවා. සමහර දරුවන් ඊට පස්සේ උනන්දුවෙන් පාඩම් වැඩ කටයුතු කරනවා. මේ කරන හැම දෙයකම බලාපොරොත්තුව සියට සියයක් දරුවන්ගෙන් ප්‍රතිඵල සංවර්ධනය කර ගැනීමයි.
මුදල් පසුපස හඹායන ටියුෂන් සංස්කෘතියක් බිහිවී ඇති මෙවැනි කාලයක නගරගිරි විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසල් කාලය පමණක් නොව රාජකාරියෙන් මිදුණු රාත්‍රී කාලය පවා කැප කරන්නේ දරුවන්ගේ අනාගතය පැහැපත් කරන්නටය. මේ සටහන ඔවුන් වෙනුවෙන් කෙරෙන තුති පිදුමකි.