*බදුවලින් විතරක් රට දියුණු කරන්න බැහැ
*රුපියල දුර්වල වීමෙන් ආණ්ඩුව වාසි ගත්තා
*ආර්ථිකයත් පුරවැසියාත් දෙකම හදන්න ඕන
*2015 වෙනස නිවැරැදිව භාවිත වුණේ නැහැ
*දැන් ඉදලත් කොස්සත් රටින් ගෙන්වනවා
*මේ විදිහට ගියොත් රට අගාධයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර කරුණාතිලක විධායක කමිටු සාමාජික-ජාතික විද්වත් සංවිධානය
නිදහසින් පසුව මෙරට මුහුණ දුන් විවිධ අර්බුදවලට හේතුව ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ ජාතික ප්‍රතිපත්තියක් නොතිබීම බව නිතර කියැවෙන මතයකි. ජාතික විද්වත් සංවිධානය යනු විවිධ ක්ෂේත්‍ර සඳහා රටට ජාතික වැඩපිළිවෙළක් ගොඩනැඟීම සඳහා ක්‍රියාකාරිව කටයුතු කරමින් සිටින කණ්ඩායමකි. ඔවුන් මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව හමු වී ඒ සඳහා යෝජනා ද එකතු කරමින් සිටිති. මේ ඒ පිළිබඳ ජාතික විද්වත් සංවිධානයේ කමිටු සාමාජික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර කරුණාතිලක එහා ඉවුරට කරුණු දැක්වූ ආකාරයයි.
* රට මුහුණ පා ඇති අභියෝග ජය ගන්න පෙරමුණ ගන්න ඕන කියලා ජාතික විද්වත් සංවිධානය කියනවා. රට මුහුණ දී ඇති තත්ත්වය ඔබ දකින්නෙ කොහොම ද?
වර්තමානය වන විට මේ රටේ රුපියල අවප්‍රමාණය වීමේ වේගය ඉහළ ගිහින් තියෙනවා. අපේ රටේ නිෂ්පාදන කොතරම් ප්‍රමාණයක් අපනයනය කරලා විදෙස් විනිමය උත්පාදනය කරනවාද කියන එක, මුලින්ම සොයා බලන්න ඕන. ආනයනික භාණ්ඩ වෙනුවෙන් අපේ රට කොයිතරම් මුදලක් රටින් පිටට යවනවාද කියන එක ගැනත් සොයා බලන්න ඕන. මේ දෙක අතර පරතරය තමයි රුපියල අවප්‍රමාණය වීමට බලපාන ප්‍රධාන හේතුව. අපේ රටේ අපනයන ආර්ථිකය දුර්වලවීම නිසා රට ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ තත්ත්වයෙන් ගොඩඑන්න නම්, අපේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන.
* අපේ රටේ නිෂ්පාදනයට යන වියදම වැඩි නිසා විදෙස් රටවලින් ආනයනය කිරීම වාසි සහගතයි කියලා නේද කියන්නේ?
මෑත කාලයේ මේ රටට ගෙන්වන භාණ්ඩ දිහා බැලුවොත්, කොස්ස, ඉදල පවා විදෙස් රටවලින් ගෙන්වනවා. ඒ වගේ දේවල් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්, එවැනි භාණ්ඩත් විදෙස් රටවලින් ගෙන්වීම, ශක්තිමත් ආර්ථිකයක් නැති අපි වගේ රටකට හිතකර නෑ. ඒ නිසා දිගුකාලීනව අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කළ යුතුයි. රට තුළ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනයේ දී සීමා පැනවිය යුතුයි. අපේ රටට භාණ්ඩ ගෙන්වන රටවල ඇති අමුද්‍රව්‍ය, ලාභ ශ්‍රමය නිසා ඒ රටවල නිෂ්පාදන මිල අඩුයි. ඒවා ගෙන්වන එක අපේ රටට ලාභයි. නමුත් ලාභ අපේක්ෂාව නිසා දේශීය නිෂ්පාදන වෙළඳපොළ බිඳ වැටිලා. ඒ නිසාම විශාල විනිමය ප්‍රමාණයක් විදෙස් රටටවලට ගෙවන්න සිදුවෙලා තියෙනවා. මේ තත්ත්වය පාලනය කිරීමට දිගුකාලීනව දේශීය නිෂ්පාදන දිරිගන්වලා, ආනයනය කරන ආදේශක භාණ්ඩවලට කෙටි කාලීනව සීමා පැනවිය යුතුයි.
* ආනයනික භාණ්ඩ මත පැනවෙන සෙස් බද්ද තවදුරටත් ඉහළ දමනවා යැයි මුදල් අමාත්‍යවරයා නිවේදනය කළා. එහෙම කරන්නේ, ආනයනික භාණ්ඩ අඩපණ කරන්න නේ ද?
රුපියල දුර්වලවීමත් එක්ක ඇති වුණ අර්බුදය ආණ්ඩුව ප්‍රයෝජනයට ගන්නේ, රාජ්‍ය ආදායම වැඩි කරගන්න. අපේ රටේ බදුවලින් 81%ක්ම, භාණ්ඩ මත පනවපු බදු. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය තියෙන රටක බදු පැනවීම ගැටලුවක් නෙවෙයි. ඒත්, මේ බදු ඇත්තටම යෙදෙවෙන්නෙ කුමකට ද කියලා අපි හොයන්න ඕන. අධ්‍යාපන, සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජනතාව ගෙවන බදු මුදල් නිවැරැදිව යෙදෙවෙනවද කියන එක අද ප්‍රශ්නයක්. 1948 දී ඩොලරයක් රුපියල් 4ට තිබුණා. 1977 වෙනකොට රුපියල් 27 දක්වා වැඩි වුණා. 77න් පස්සෙ, අද වෙනකොට ඩොලරය රු. 170 ඉක්මවන තැනට ඇවිත්. මේ කාලය තුළ බදු පැනවීමෙන් විතරක් මේ රට දියුණු කරන්න බැරි වුණාය කියන එක පාලකයෝ තේරුම් ගන්න ඕන. ඒ නිසා දේශීය නිෂ්පාදන වෙළඳ පොළට එකතු කරන දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඕන. ඒකට අවශ්‍ය පසුබිම හදන්න අපි විද්වත් සංවිධානය විදිහට සැලැසුම් ප්‍රතිපත්ති නිර්මාණය කරනවා.
*1948 ඉදලා මේ රට පාලනය කළේ දේශීය නායකයෝ, 72 මැතිනිය ජාතික ආර්ථිකයක් ගැන කතා කළා, 77 දී විවෘත ආර්ථිකය ගෙනාවා. මේ ක්‍රම රටට හිතකර නෑ කියලද ඔබ කියන්නේ?
70 වසරක් මේ රට පාලනය කළ පාලකයන්ම, තියෙන ක්‍රමය විවේචනය කරනවා. පාලන ක්‍රමය පවත්වාගෙන ආව අයම අද කියන්නෙ, මේ විදිහට තවදුරටත් ඉදිරියට ගියොත් රට අගාධයට ඇද වැටෙනවා කියලයි. මේ රට නැවත වරක් නිවැරැදි දිසාවට තල්ලු කිරීමේ වැඩපිළිවෙළක් ඕන කියන තර්කය අපිට තියෙනවා. ඒකට ආර්ථිකය කියන කාරණය ගැන විතරක් කතා කරලා වැඩක් නෑ. යහපත් පුරවැසියෙක් නිර්මාණය කරන්නෙ කොහොම ද කියලත් හොයලා බලන්න ඕන. ආර්ථික වශයෙන් ශක්තිමත්, සෞන්දර්යාත්මක, නීතිගරුක පුරවැසියෙක් නිර්මාණය කරගන්න පුළුවන් නම්, මේ රට ලස්සන කරන්න අමාරු නෑ.
අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, පරිසරය, ප්‍රවාහනය, ජාතික සංහිඳියාව වගේ ක්ෂේත්‍ර 10ක් ඔස්සේ ප්‍රතිපත්ති සැලැසුම් සකස් කරන්න ඕන කියන තැන ජාතික විද්වත් සංවිධානය ඉන්නවා. මේ සියලු ක්ෂේත්‍රවලට ප්‍රතිපත්ති සකස් කරන්න අපට පුළුවන්. මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න, කැපවුණ දේශපාලන නායකත්වයක් අපට ඕන. අපේ රටේ ජාතික ප්‍රතිපත්ති ගැන කතා කළේ අද ඊයේ නෙවෙයි. පහුගිය කාලයේ ජාතික ප්‍රතිපත්ති සැකසුණා. ඒත් ඒවා යථාර්ථයක් කරගන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්න පුළුවන් දේශපාලන නායකත්වයක් ලැබුණේ නෑ. ඒ නිසා ඒ කාලයේ සැකසුණු සියලු ප්‍රතිපත්ති හුදු ලියවිලි බවට පත්වුණා. ඒ නිසා අපි මේ රටේ විද්වතුන්ට, ව්‍යාපාරිකයින්ට, වෘත්තිකයන්ට මේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කරන්න ආරාධනා කරන ගමන් බහුජන ව්‍යාපාරයක් ගොඩනඟන්නත් ආරාධනා කළා.
* ජනතාව කීප වතාවක් ජාතික ප්‍රතිපත්තියක් ගොඩනඟන්න කියලා පැවැති පාලන බලය වෙනස් කළා. නැවත වරක් ඒ දේ කරගන්න පුළුවන් දේශපාලන ශක්තිය ලැබෙයි ද?
2015 දී සිදු වූ දේශපාලන පෙරළිය මම දකින්නේ, පැවැති පාලනය ඉවත් කිරීමට කුමන හෝ බලවේගයක් පාලනයට ගෙන ඒමක් විදිහටයි. එදා පැවැති පාලනයට එරෙහිව ඒකරාශී වුණ බලවේගයකින් අලුත් පාලනයක් ආවා. ඒ මැතිවරණයේ දී ප්‍රතිපත්තියක් සැකසුණත්, ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් කැපවුණ දේශපාලන ව්‍යාපාරයක් දකින්න ලැබුණේ නෑ. අලුත් පාලනයේ මුල් කාලයේ රටට අවශ්‍ය සාධනීය පියවරවල් ගත්තත්, ටික කාලයක් ගතවුණාම පේන්න ගත්තේ, 2015 දී කිව්ව, කාරණාවලට පටහැනිව යන පාලනයක්.
එදා නායකත්වයට තෝරා ගත් පුද්ගලයා එක්ක, නිවැරැදි, සංවිධානාත්මක බවක් තිබුණා නම්, අද ආණ්ඩුවෙන් මේ තත්ත්වය දකින්න ලැබෙන්නෙ නෑ. 2015 දී ජනතාව ලබාදුන් වෙනස නිවැරැදිව භාවිත කරගන්න බැරිවීම, දේශපාලන ඉතිහාසයේ සිදු වූ අත්වැරැද්දක්. ඉදිරි ජනාධිපතිවරණයක දී ඒ අත්වැරැද්ද නොවිය යුතුයි කියන කාරණය ජාතික විද්වත් සංවිධානය තියෙනවා. ඒ නිසාම අපිට වැඩපිළිවෙළක් සහිත බහුජන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශපාලන අධිකාරියක්, සිවිල් සංවිධානත් ඒකරාශි කරලා අපි බහුජන ව්‍යාපාරයක් ගොඩනඟනවා.
* නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රජය පාර්ශ්වයෙන් ගේනවා කියලා නිවේදනය කළා. ඔබ අදහස් කරන බහුජන ව්‍යාපාරයේ ප්‍රතිපත්ති සැලැසුම් අලුත් ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන්න පුළුවන් නේද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන පසුගිය අවුරුදු දෙක තුන තුළම පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායම් විවිධ අදහස් පළ කළා. ඒ කණ්ඩායම් අතර මත කීපයක් තියෙනවා. දැනට ඉදිරිපත් කරලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ, මත කිහිපයක එකතුවක්. නිශ්චිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කුමක්ද කියලා ඉදිරිපත් කරලා නෑ. විධායක ජනාධිපතිධුරය සම්පූර්ණයෙන් අහෝසි නොවුණත්, ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව හිමිකම්වලට බලපෑම් කරන බලතල විධායකයට එන්න ඕන කියන මතයේ ජාතික විද්වත් සංවිධානය ඉන්නවා.
* සංවිධානයේ මතය ඉදිරියට ගෙනියන්න තියෙන වැඩපිළිවෙළ මොකක් ද?
මම කලින් කිව්ව ක්ෂේත්‍ර දහයේ ගුණාත්මක බව වැඩි කරන්න ප්‍රතිපත්ති සැලැසුම් නිර්මාණය කරන්න ඕන. ඒකට අපි ආරාධනා කළ විද්වතුන් ඒකරාශි වෙලා ඉන්නවා. විද්වතුන් විතරක් ඒ ප්‍රතිපත්ති සැලැසුම් නිර්මාණය කිරීම යෝග්‍ය නැති නිසා, අපි මේ දිනවල දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් ගානේ ගිහින් ජනතා අදහස් ලබා ගන්නවා. මහජන අදහස්වලටත් ඇහුම්කන් දීලා ඒ ඒ ක්ෂේත්‍රවලට ප්‍රතිපත්ති හා සැලැසුම් නිර්මාණය කරගන්න සාධක එකතු කරනවා. මේ වෙනකොට දිස්ත්‍රික්ක 8ක ජනතාව හමුවෙලා අධ්‍යාපන ප්‍රතිපත්ති සඳහා අදහස් අරගෙන තියෙනවා.
අපි විශ්වාස කරන දේ තමයි, ජනතාවට මේ කාරණා ගැන අවබෝධකරලා දුන්නට පස්සේ, නැවත වරක් මේ රට නිවැරැදි මාර්ගයට ගන්න පුළුවන් කියන එක. මෙහෙම හදන වැඩපිළිවෙළ 2019 දී අපි මහජනතාවට ඉදිරිපත් කරනවා. ඒ කාලය තුළ දී මේ වැඩපිළිවෙළට තවදුරටත් එකතු කරන්න ඕන කාරණා මොනවද කියලා මහජන මතයක් ගොඩනඟනවා. ඒ අනුව මේ දේවල් ක්‍රියාත්මක කරන්නේ කොහොම ද කියන එක ගැනත් මතවාදයක් ගොඩනඟනවා. ඊට පස්සේ, නිර්මාණය කරන ප්‍රතිපත්ති සැලැසුම් ක්‍රියාවට නංවන්න අවශ්‍ය දේශපාලන අධිකාරියේ වුවමනාව හා කැපවීම තියෙන කණ්ඩායමකට හෝ පක්ෂයකට අපේ සහාය ලබා දෙනවා.
දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - චමින්ද නිරෝෂණ