රෝගීන් දහස් ගණනකගේ කැඩුම් බිඳුම්වලට සහ දණහිස් ඉදිමුම ආදී රෝගවලට ප්‍රතිකාර කර සුවය ලබා දෙමින් රෝගීනට පිහිට වෙන හෙතෙම හම්බන්තොට බූන්දල තෙළුල්ලේ පදිංචි කැටියපේ ගමගේ සිරිපාල වෙද මහතාය.
තිස්සමහාරාමය, සිරියාගම පාරේ තෙළුල්ල කණිෂ්ඨ විද්‍යාලය අසලින් වම්පසට අතුරුපාරේ කිලෝමීටර් තුන් කාලක් පමණ ගියපසු මේ වෙද මහතා සිටින නිවෙසට ළඟා වීමට පුළුවන.
තම වෙදකම ගැන අප සමඟ අදහස් දැක්වූ සිරිපාල වෙද මහතා - "මම දැනට වෙද හෙදකම් කරන්නෙ කැඩුම් බිඳුම් වලට හා දණහිස් ඉදිමුම ආදී රෝගවලට විතරයි. 2010 අවුරුද්දෙ ඉඳලා වෙදකම් කරන්න පටන් ගත්තෙ. දවසකට ලෙඩ්ඩු දහයක් පහළොවක් විතර ගෙදරට එනවා.
මට මේ වෙදකම ඉගෙන ගන්න ලැබුණෙත් හරි අමුතු විදියකට. 2004 අවුරුද්දෙ මළ ගෙදරකට යතුරු පැදියෙන් යද්දි අනතුරකට ලක්වෙලා මගේ දණහිස් දෙක කැඩුණා. මම අරන් ගියේ හම්බන්තොට රෝහලට. ඒ වෙලාවෙ සුනාමියට අසු වෙච්ච ලෙඩ්ඩු ගොඩක් රෝහලේ හිටි නිසා මට හරිහැටි ප්‍රතිකාරයක් කෙරුණෙ නැහැ, ගෙදර අය මම තණමල්විල පැත්තෙ තියෙන වෙද ගෙදරකට එක්කන් ගියා. එහේ හිටියෙ වෙද හාමිනේ කෙනෙක්. මගේ කකුල් දෙක සුව කෙරුවෙ ඒ වෙද හාමිනේ. ඒ වෙදකම් ගන්න යනකොට මම අපේ ගම පැත්තෙ තියෙන බෙහෙත් වර්ග ගිහින් දුන්න නිසාම වෙද හාමිනේ මාත් එක්ක ගොඩක් හිතවත් වුණා.
ඒ හිතවත්කමත් එක්ක මම ඒ ගෙදර ගියාම මමත් වෙද හාමිනේට ලෙඩ්ඩුන්ගෙ පත්තු බඳින්න තෙල් බෙහෙත් ගාන්න උදව් වුණා. මේ නිසා වෙද හාමිනේ වෙද හෙදකම ගැන මට අකුරක් නෑර කියා දුන්නා. මම අවුරුදු 06ක් ම ඒ වෙද හාමිනේ ළඟ ඉඳගෙන මේ සාස්තරය හොඳට ඉගෙන ගත්තා.
ඔහොම ඉන්න අතරේ අපේ තාත්තා අනතුරකට ලක්වෙලා කොඳු ඇටේ ආබාධයකට ලක් වුණා. තාත්තා රෝහලට ගෙනිච්චම සනීප කරන්න බැහැ කිව්වා. මම මේ ගැන අර වෙද හාමිනේට කිව්වම මට තාත්තට වෙදකම් කරන්න කියලා ඇය කීවා. ඊට පස්සෙ මම තාත්තා ගෙදර තියන් වෙදකම් කළා. තාත්තා සනීප වුණා. ඉන් පස්සෙ තමයි මම ලෙඩ්ඩුන්ට මේ වෙදකම් කරන්න පටන් ගත්තෙ.
තෙල් වර්ග, පත්තු, මැල්ලුම් හදන්නෙත් මම. ඒවට අවශ්‍ය කොළ, පොතු කැලේට ගිහින් මමම කඩන් එනවා. මගේ බිරියත් මේ වැඩවලට ලොකු සහයෝගයක් දෙනවා. සමහර පත්තුවලට ගාන්න බෙහෙත් දින14ක් 15ක් ළිපේ තියාගෙන හිඳලා තමයි ගන්නේ.
මම මේ දේවල් කරන්නෙ බොහොම මානව දයාවෙන්. ලෙඩ්ඩුන්ගෙන් මම කිසිම මුදලක් ඉල්ලන්නෙ නැහැ. තියලා යන ගාණක් මම ගන්නවා. සමහර වෙලාවට මගෙන් සනීප වෙලා අවසාන හරියෙ එනකොට සතුටට ලොකු මුදලක් දෙන්න හදන අවස්ථාත් තියෙනවා. එහෙම දුන්නත් ගන්නෙ නැහැ. එහෙම වුණොත් වෙදකමෙන් හරියට ගුණ දෙන්නෙ නැති වෙනවා.
මේ වෙනකොට මම ලෙඩ්ඩු දහස් ගණනක් සුව කරලා තියෙනවා. ඒත් මේ වෙනකම් මගේ මේ වැඩවලට රාජ්‍ය අනුග්‍රහයක් ලැබිලා නැහැ. රාජ්‍ය මැදිහත්වීමක් වෙලා මා ගැන සොයාලා බලනවානම් මීට වඩා හොඳ සේවාවක් කරන්න පුළුවන්. මේ ගැන වගකිව යුතු අංශවල අවධානය යොමු කරලා අවශ්‍ය මැදිහත් වීමක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත් රබර්වත්ත, තිස්සමහාරාමයේ එස්.පී. සිරිසේන මහතා - "මම යතුරු පැදියකින් යද්දී හරකකුගේ ඇඟේ වැදිලා මම අනතුරකට පත් වුණා. ඒ අනතුරෙන් මගේ කොන්ද පස් පොළකින් කැඩුණා. දෙබරවැව රෝහලට ඇතුළත් වුණා. බැන්ඩේජ් එකක් ගහලා මාස දෙක තුනක් ගෙදරට වෙලා ඉන්න කියලා කීවා. මාව විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නන්නත් කිව්වා. මම ඒ මොනවත් කෙරුවෙ නැතිව මෙහේ ආවා.
රෝහලෙන් දීපු එක්ස්රේ කොපිය බලලා මේ වෙද මහත්තයා කිව්ව මම සනීප කරලා දෙන්නම් කියලා. දැන් සති තුනක් වෙනවා. දැන් මට දෙයියනේ කියලා ඇවිදලා යන්න පුළුවන්. තව පොඩ්ඩක් ප්‍රතිකාර ගන්න තියෙනවා. ඒ ටිකත් ගත්තම මට විශ්වාසයක් තියෙනවා මට කලින් වගේම වැඩකටයුතු කරගන්න පුළුවන් වේවි කියලා."
පී.එම්.පත්මිණී මහත්මිය, කෝන්වැලෑන - "මට දැන් වයස අවුරුදු 59ක්. මමත් අනතුරකට ලක්වෙලා මගේ අතේ උරහිස හරියෙන් හතරට පහට කැඩිලා තිබුණේ. මම මේ වෙද මහත්තයාගෙන් බෙහෙත් ගත්තා. මාස තුනක් විතර යනකොට සනීප වුණා. මට මගේ හැට්ටෙ අඳින්නවත් අත උස්සන්න බැරිව හිටියෙ. ඇත්තටම කියන්න සතුටුයි. දැන් මට සනීපයි."
රෝහණ ආරියරත්න
හම්බන්තොට විශේෂ