Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ආර්ය සත්‍යය අවබෝධ කර ගනිමු

$
0
0
ඔක්‌ 15, 2018 01:00

මේ මනුස්ස ජීවිතය තාවකාලිකයි. තාවකාලික ජීවිතය පෝෂණය කරන්ට පමණක් යමෙක් උත්සාහ කරනවා නම්, තාවකාලික ජීවිතය සැපවත් කරන්ට පමණක් යමෙක් කල්පනා කරනවා නම්, එයා හොඳ දැනුමක් සහිතව කටයුතු කරන කෙනෙක් නෙවෙයි. මේ තාවකාලික ජීවිතය ගැන පමණක් කල්පනා කරන කෙනා, සසර දුක අඳුනාගන්ට දක්ෂ ‍ෙවන්නේ නෑ. සසරේ තියෙන බියජනක ස්වභාවය ගැන අඳුනාගන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි මේ තාවකාලික ලෝකයක කෙටි කාලයක් ගතකරන අය විදිහට, මේ කෙටි කාලය තුළදී ඉතා ම උනන්දුවෙන්, ඉතා ම වුවමනාවකින් වෑයම් කරන්ට ඕනෑ සසරේ දීර්ඝ කාලයක් දුක් නොවිඳින ආකාරයට ජීවිතය දියුණු කරගන්ට. ඒ විදියට ජීවිතේ දියුණු කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ ආර්ය සත්‍යය අවබෝධ කළොත් පමණයි.

ආර්ය සත්‍යය අවබෝධ කරන්ට වෑයම් නොකරන කෙනාට, මේ ජීවිතයේ ලාමක දෙයින් සතුටු වෙලා, ඒ සතුටෙන් මත්වෙලා මේ කෙටි කාලය අවසන් කරලා, මළාට පස්සේ දීර්ඝ කාලයක් දුක් සහිත ලෝකයක ඉපදෙන්ට සිද්ධ වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න, අපි මළාට පස්සේ තිරිසන් ලෝකයක ඉපදෙන්ට සිද්ධ වෙනවා නම්, මේ මනුස්ස ලෝකයේ අපි වින්ද සැපෙන් ඇති වැඩේ මොකක්ද? මළාට පස්සේ ප්‍රේත ලෝකයේ ඉපදෙන්ට සිද්ධ වෙනවා නම්, මේ මනුස්ස ලෝකයේ අපි වින්ද සැපෙන් ඇති වැඩේ මොකක්ද? අපි මළාට පස්සේ දීර්ඝ කාලයකට නිරයේ ඉපදෙන්ට සිද්ධ වෙනවා නම්, මේ මනුස්ස ලෝකයේ අපි වින්ද සැපෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?

ඒ නිසා අපි මනුස්ස ලෝකයේ සැප විඳිය යුත්තේ ඊළඟ ජීවිතය සැපවත් කරගන්ට උපකාර වෙන විදියටයි. ඊළඟ ජීවිතය දුකට පත්වෙනවා නම්, මේ ජීවිතයේදී වින්ඳ සැප අර්ථ සහිත වෙන්නේ නෑ. මේ ජීවිතයේ දී ලබන යම් සැපයක් මහත්ඵල වෙනවා නම්, ඒ සැපයෙන් අපිට පුළුවන් වෙන්ට ඕන ඊළඟ ජීවිතය සැපවත් ලෝකයක උපදින විදියට සකස් කරගන්ට.

ඒ විදියට මේ ජීවිතය සැප සේ වාසය කරන්ට පුළුවන්කම ලැබෙන්නේ, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන කෙනාටයි. එයා මේ ජීවිතය පරිපූර්ණ වශයෙන් සැපවත් දෙයක් බවට පත් කරගන්නවා. දුකෙන්, කනස්සල්ලෙන්, පීඩාවෙන් වාසය කරන කෙනෙක් වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන කෙනක්. සංසිඳුන සිතින්, නැවුම් සිතින් වාසය කරන කෙනෙක්, කිළිටි රහිත වූ සිතින් වාසය කරන කෙනෙක්. කිළිටි රහිත වූ සිතින් වාසය කරන කෙනෙක්. යමෙක් සතුටින් වාසය කරනවා නම්, අඬන්නේ වැළපෙන්නේ නැතිව වාසය කරනවා නම්, භය ශෝකය බැහැර කරලා නිර්භයව වාසය කරනවා නම්, සැක සංකා බැහැර කරලා නිසැකව වාසය කරනවා නම්, ඉතාම සතුටින් සොම්නසින් වාසය කරනවා නම්, ඒ ආර්ය සත්‍යය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසයි.

බලන්න චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම මනුස්සයෙකුට කොතරම් ම ප්‍රතිලාභ සහිත, කොතරම් ම ආශීර්වාදය පිණිස පවතින දෙයක් ද කියලා. ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ආර්ය සත්‍යය ධර්මය ඉගෙනගෙන, අවබෝධ කරගන්ට මහත් වූ කැමැත්තක් උපදවාගන්ට ඕනෑ.

අපි භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය පුරුදු කරනවා කියලා, සාමාන්‍ය ජීවිතය ගතකිරීමට ඉගෙන ගන්නා දේවල් අත්හරින්ට ඕන වෙන්නේ නෑ. ඒවත් අපට ඉගෙනගන්ට පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය ජීවිතය ගතකිරීමට අවශ්‍ය දැනුම ඇතිකර ගනිමින් ම තමයි අපි ආර්ය සත්‍යය අවබෝධයට උවමනා කරන ධර්මය ඉගෙන ගත යුත්තේ. ඒ විදියට ධර්මය ඉගෙනගන්ට යමෙක් උනන්දු වුණොත් එයාගේ සාමාන්‍ය ජීවිතය ගැටලුවක් බවට පත්වෙන්නේ නෑ. එදිනෙදා ගෙදර දොරේ කටයුතු එයාට ගැටලුවක් වෙන්නේ නෑ. රාජකාරි කරන තැන කටයුතු එයාට ගැටලුවක් වෙන්නේ නෑ. ගෙදර දොරේ කටයුතු කරමින් ම, රාජකාරි කටයුතු කරමින් ම, තමාගේ ජීවිතය සාර්ථක කරගන්ට, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඉගෙනගන්ට එයාට පුළුවන්කම තිබෙනවා.

මේ විදියට අපේ ජීවිතය සමබර කරගන්ට අපි කල්පනා කළ යුතුයි. සාමාන්‍ය ලෝකයේ කටයුතු කරන්ට අවශ්‍ය දේ ඉගෙනගන්නා අතර ම, භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය හොඳින් ඉගෙන ගත්තොත්, අපි සාර්ථක කෙනෙක් බටව පත්වෙලා, ලෝකයටත් උපකාර සහිත කෙනෙක් බවට පත්වෙන්ට පුළුවන්. මේ විදියට ලෝකයට සැබෑ ම යහපතක් සලසා දෙන්ට අපට පුළුවන්කම ලැබෙන්නේ චතුරාර්ය සත්‍යය හොඳින් ඉගෙනගෙන, ඒ ධර්මය අවබෝධ කරගැනීමෙන් පමණයි.

අපි ඔබට සෙත් පතනවා. භාග්‍යවතුන් වහන්සේ දෙවියන්, මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන්, අපේ දියුණුව පිණිස ම, අපට දුකෙන් නිදහස් වීම පිණිස ම පෙන්වා දුන් මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ වැදගත්කම ගැන තේරුම් ගන්ට, ආර්ය සත්‍යය ධර්මය ඉගෙන ගෙන, ආර්ය සත්‍යය අවබෝධ කරගන්ට සියලු දෙනාට දුර්ලභ වූ භාග්‍ය උදා වේවා!

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>