Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

පහ සමතුන් මෙතැනින් කොතැනට ද?

$
0
0
දෙසැ 28, 2017 01:00

අද පමණක් නොවේ අපට හෙටක් තියනවා
අරුණලු කැන් හිනැහී නව දිනක් ලබනවා
අඳුරෙන් බර ආකර තුළ මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා

අපේ හෙට අරුත්බර කරන්නේ දෑස්වන් අපේ පොඩිත්තන් ය. දෙස බස රැස එළිය කරන්නට ඔවුන්ගේ නැණස පාදා දෙන්නට අපේ අධ්‍යාපනය සමත් ද? ළමා අධ්‍යාපනික සංවර්ධනයේ දී ප්‍රජානන, ආවේදනික, මනෝචාලක යන ක්ෂේත්‍ර ඇසුරින් අත්දැකීම් ඇති කිරීම ලොව පිළිගත් ක්‍රමවේදයයි. ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම් කළයුත්තේ ද ඉගෙනුම් අත්දැකීම් ලබා දිය යුත්තේ ද ප්‍රශ්න පත්‍ර සැකසිය යුත්තේ ද පෙර දැක්වූ ක්ෂේත්‍ර ඇසුරින් ය. ලංකාවේ පැවැත්වෙන විභාග අතුරින් ශිෂ්‍යත්ව විභාගය අති තරඟකාරී විභාගයක් වී ඇත.

ශිෂ්‍යත්වය සමත්වීම එකම සිහිනය කරගත් මවුපියන්, වැඩිහිටියන් අතර දැන් තම පාසලේ කීර්තිනාමය වෙනුවෙන් විදුහල්පතිවරුන් ද ගුරුවරුන් ද පෙරමුණ ගෙන සිටී. ශිෂ්‍යත්වය සඳහා අසනු ලබන බොහෝ ප්‍රශ්න තර්කානුකූල චින්තනය මත පදනම් වී ඇති බව පෙනේ. ඉතා සූක්ෂමව විසඳිය යුතුය. එක්තරා රූපවාහිනී නාලිකාවක යන වැඩසටහනකදී වැඩිහිටියන්ට ද ශිෂ්‍යත්ව ගැටලු, ගැටලුවක් ම වන බව පෙනේ.

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කිරීමේ පරමාර්ථය උසස් වුවත් වර්තමාන තත්ත්වය නම් ඛේදවාචකයකි. ප්‍රජානන, ආවේදන, මනෝචාලක ක්ෂේත්‍ර හැකියා පදනම් කරගෙන සෑදිය යුතු ප්‍රශ්න පත්‍රයක් වුව ද ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණයේදී එවැන්නක් නොපෙනේ. ඇතැම්විට තර්කානුකූලව විසඳිය යුතු ප්‍රශ්නයක් සඳහා අපේක්ෂිත පිළිතුර ඉතා සරල සේ ගෙන ඇත. සරල ගණනයක් අවශ්‍ය ප්‍රශ්නයක් සඳහා පිළිතුර තර්කානුකූල ලෙස ගැනීම අපේක්ෂිත ය. ශිෂ්‍යත්ව විභාගය ඇත්තටම දක්ෂයින් මනින්නක් ද? යන්තං සන්තං ලෙස ප්‍රශ්න පත්‍ර සාදනවිට ඉතා දක්ෂ සිසුන් පවා අදහා ගත නොහැකි ලෙස අසමත් වේ.

මෙවර 2017 පැවති ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රයේ 38 වන ප්‍රශ්නය නම් තර්කානුකූල චින්තනයට වැටබැඳුනු එකකි. තර්කානුකූල චින්තනය මත පදනම් වූ සත්‍ය පිළිතුරත් විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන පිළිතුරත් වෙනස් ය. ප්‍රශ්නයේ පැහැදිලිව අසා ඇත්තේ වෘත්ත උපරිමව කීයක් කැපිය හැකි ද යන්නයි. කොටු කැපීමක් සම්බන්ධව ඇසුවේ නම් ගණිතානුකූලව ගණනය කිරීමට ළමයා පෙළඹේ. රවුම් කැපීමට අදාළව නම් රවුම් අතර ඇතිවන හිඩස් අදාළ කරගෙන වඩා වැඩි රවුම් ගණනක් කැපිය හැකි බව පෙනේ. ප්‍රශ්නය අසා ඇත්තේ සරල ගණිත ක්‍රම අනුව විසඳීමට නොව වැඩිම වෘත්ත ගණන සෙවීමට ය. ඒ අනුව නිවැරදි පිළිතුර වන 25දී නැත. සරල ගණනයට අදාළ 24දී ඇත. තර්කානුකූලව සිතන පොඩිත්තන්ට ‍පිළිතුර ගැන වද වෙවී අනවශ්‍ය ලෙස කාලය ද වැය වන්නට ඇත. ප්‍රශ්නය කෙසේ වුවද පිළිතුරු පත්‍ර අගයනවිට හෝ මෙම ගැටලුව මතුවූවා නම් ඉතා හොඳ ය. නමුත් පිළිතුරු පත්‍ර අගයන බොහෝ ගුරුභවතුන් ද විභාග දෙපාර්තමේන්තු පිළිතුරු සරණං ගච්ඡාමී වනු මිස තර්කානුකූල චින්තනය අවධිකර ගෙන අපේ පොඩිත්තන්ට සාධාරණයක් ඉටු නොකරන බව පෙනේ. බොහෝ ගුරුභවතුන් පිළිතුරු පත්‍ර අගයනවිට පුරුදු පුහුණු වී ඇත්තේ හරි හෝ වැරැදි හෝ ඇගයීම් පටිපාටියම ගුරුකොට ගෙන ඇගයීමට ය. ඇතැම් ගුරුභවතුන් නම් ඇගයීම් පටිපාටිය කුමක් වුවත් පෙර වසරවල ඇගයීම් පටිපාටිද ගුරු කොට ගනියි.

තවද දෙවෙනි පත්‍රයේ 39 ප්‍රශ්නය ද ප්‍රශ්නයක් ම වී ඇත. එහි අසා ඇත්තේ තරු රටාවලින් වැඩිම තරු ගණනක් අයත් වන තරු රාශියයි. ශිෂ්‍යත්වය සඳහා නිර්දේශිත තරු රටා සඳහා ද සම්මතයක් නොමැත. වෙනස් වෙනස් හැඩ යොදා ගෙන උගන්වන නිසා තරු ගණන සත්‍ය ලෙස පැවසීම ඇත්තෙන්ම අසීරු ය. තරු ලෙස පෙනෙන ඇතැම් ඒවා සත්‍ය ලෙසම තරු පොකුරු වීම ද මෙයට එක් හේතුවකි. ප්‍රශ්න සෑදීමේ ලොව පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දී අප ඉගෙනගත්ත ද භාවිතයේ දී නම් එය එලෙස ම වේදැයි සැක මතුවේ. ඇත්තෙන්ම ශිෂ්‍යත්වයෙන් මැනෙන්නේ ද කටපාඩම් දැනුම මද?

කීර්තිමත් අධ්‍යාපනඥ B. S. Bloom ගේ ප්‍රජානනමය ක්ෂේත්‍රය පාදක කරගෙන ප්‍රශ්න සෑදීම පිළිබඳ විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපනික ආයතනවලදී ඉගැන්වේ. එහිදී සිහි කිරීම, තේරුම් ගැනීම, භාවිත කිරීම, විශ්ලේශනය කිරීම, අගය කිරීම හා නිර්මාණය කිරීම වැනි කුසලතා මැන බැලේ. එහෙත් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය හොඳින් විමර්ශනය කර බැලූවිට පෙනෙන්නේ බොහෝදුරට සිහි කිරීම, තේරුම්ගැනීම, භාවිත කිරීම වැනි කුසලතා අතික්‍රමණය කොට විශ්ලේෂණය කිරීම, අගය කිරීම හා නිර්මාණය කිරීම වැනි ඉහළ මට්ටමේ කුසලතා දෙසට යොමු නොවන බවයි. ඇත්තෙන්ම ශිෂ්‍යත්ව විභාගය එහි නමේ තේරුමට සරිලනසේ වත් සකස්වී ඇති ද? ශිෂ්‍යත්ව විභාගය මඟින් 5 ශ්‍රේණි දරුවන්ගේ මනින්නේ කුමන කුසලතා ද? 3, 4, 5 ශ්‍රේණිවලදී අතිධාවනකාරී ලෙස ඉගෙන ගන්නා දරුවාගේ වේගය එකවරම 6 ශ්‍රේණියේදී ශීඝ්‍රව අඩු වේ. මල් කැකුළුවන් අපේ දරුවන්ගේ ළමා ලෝකය තුළට සැලසුම් සහගත ලෙස ඉගෙනුම් අත්දැකීම් ලබා දෙන්නට බැරි ද? එවන් ළමා පරපුරක් බිහිවී අපේ රට කවදාක සැනසෙයි ද?

මල් සුවඳ රටක් වී මා නුවන් සයුරේ
ඒ රටට අඬගසයි
අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ

කථිකාචාර්ය දහම් බාලසූරිය
ගුරු මධ්‍යස්ථානය උණවටුන ගාල්ල


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>