Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

දවස එන තුරු...

$
0
0
ඔක්‌ 16, 2018 01:00

සුබ දින, අසුබ දින, හොඳ දින, නරක දින ඇතැයි පැවසේ. දවස ගෙවා අවසන ඒ දිනය හොඳ නරක ගැන විමසීමක් මිස දවස පටන් ගැනීමට පෙර ප්‍රාග් විනිශ්චයක් කිරීම මගේ පෞද්ගලික ක්‍රමය නොවුණත්, සුබ අසුබ වේලා විමසීම, යම් යම් කටයුතු කිරීම නොකිරීම දවස අනුව තෝරා ගැනීම කිරීමට කැමැති පිරිස් සිටිති. මේ ඒ අයගේ පෞද්ගලික කැමැත්ත විවේචනය කිරීම පිණිස ලියවෙන සටහනක් නොවේ. තමන් කැමැත්තෙන් විශ්වාස කරන පිළිපදින ශස්ත්‍රයකට අනුව හොඳ නරක දින වේලා තෝරා ගැනීම ඒ අයගේ කටයුත්තක් වන අතර මගේ කටයුත්ත වන්නේ ඒවා ගැන ඒ තරම් නොසිතා මනස්ගාත තොර සත්‍ය ලෝකයට අදාළ දේ ගැන අවධානය යොමු කිරීමයි. මේ අඟරුවාදා (10/16/18) මේ සටහන කියවා එහි නියම පණිවිඩය අමතක කොට, නමුත් මා තුළ යම් යම් ශාස්ත්‍ර පිළිබඳ විශ්වාසයන් ඇතිකරවීමේ බලාපොරොත්තුවෙන් ඇතැම් අයගෙන් පණිවිඩ ලැබිය හැකි බව නම් කිසිම තරු ලකුණක, දේව බලයක අමුතු සාස්තරයක පිහිට නොමැතිව ප්‍රකාශ කිරීමේ හැකියාව මට ඇත. නමුත් ඒ අනුව ඒ දවසේ හොඳ නරක මම තීරණය නොකරමි.

ඉතිහාසය පුරා ලෝකයේ දිනපතා සිදු වූ බොහෝ දේ ගැන සොයා බලන්නට ක්‍රමයක් වී නම් හොඳ සහ නරක දවස් කියා දේ නැති බවත් තිබී ඇත්තේ අප මිනිසුන් වීමට අමතක කළ දවස් සහ අප මිනිසුන් වීමට උත්සාහ ගත් දවස් පමණක් යැයි මට සිතේ. ඕනෑම දවසක කෙළවර ඒ ගතවූ ආකාරය ගැන සිතා පසුතැවීම වෙනුවට මැදහත් සිතකින් තීරණයක් ගෙන පසුදා ට සූදානම් වීමට නින්දට යන්නැයි යෝජනා කිරීම බටහිර මිනිසුන් අතර ඇති හොඳ සිරිතක් ලෙස මට පෙනේ. තමන්ට පාලනය කළ නොහැකි වූ දේ ගැන කනගාටු නොවී ඉදිරියට ඒ කාරණා ගැන වඩා හොඳ තීරණ ගැනීමට බලාපොරොත්තු වීම ඇර ජීවිතයේ සිදු වෙන්නට යන දවස් එසේ වීමට පෙර හංවඩු ගැසීමේ තේරුමක් නැත.

ඉතිහාසයේ අද වැනි දවසක සිදු වී ඇති (එසේ වූ බවට සාක්ෂි ඇති ) යම් යම් දේ විමසද්දී ඒ දවස කාට හොඳ වීද නරක වීද? ඒ සිද්ධි ඒ දිනවල සිදු නොකර වෙන දිනවල වී නම් ඒවායේ ප්‍රතිඵල වෙනස් වන්නේද? වසර 1905 අද වැනි දවසක දී ඉන්දියාවේ මුස්ලිම් සහ හින්දු මිනිසුන්ට රට දෙකඩ කරදීම සිදු විය. එය හොඳ දවසක් වූයේ හින්දුන්ට ද, මුසල්මානුවන්ටද, ඉංග්‍රීසින්ටදැයි යන ප්‍රශ්නයට පිළිතුර අපි දනිමු. 1952 වසරේ අද වැනි දවසක ප්‍රථම ඉන්දියා-පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ මුල් දිනය විය. ඒ දවසේ එවැනි දෙයක් ක්‍රියාත්මක නොකර එම තරගය වෙනත් දිනකට යොදාගත්තේ නම් එයින් ප්‍රතිඵල වෙනස් වීමට ඉඩක් තිබිණි යැයි කියන්නට පිරිසක් ඇත. මම එකඟ වෙමි. නමුත් ඒ කාලගුණය, ක්‍රීඩකයන් හා බැඳි විද්‍යාත්මක කාරණා වෙනස් විය හැකි නිසා මිස වෙනත් අද්භූත බලයක මෙහෙයවීම ගැන සැලකීමෙන් නම් නොවේ. 1925 අද වැනි දවසක අමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ පාඨශාලා තුළ ‘පරිණාමය‘ උගැන්වීම වැළැක්වීමට නීති සම්මත විය. 1984 දී අද වැනි දවසක අග්‍ර රාජගුරු ප්‍රසාදී ඩෙස්මන්ඩ් ටූටූ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද්දේය. එවැනි ප්‍රණාමයක් ආර්ච් බිෂොප් ටූටූට ලැබීම නිසා ඒ මානව ඉතිහාසයේ හොඳම දවසක් ලෙස සලකන පිරිසක් සිටිද්දී දකුණු අප්‍රිකාවේ අන්ත අසරණ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමට එරෙහිව කටයුතු කළ ඔහුට ප්‍රණාමයක් ලැබි දවස ඉතා නරක දවසක් ලෙස සළකන පිරිසක් අප්‍රිකාවේත් ලෝකය පුරාමත් එදා මෙන්ම අදත් සිටිති. ඒ දවස හොඳ නරක වීමේ තීරණය යම් යම් අයට අදාළව ගැනෙන්නට ඇත. නමුත් ඒ සිද්ධියේ ප්‍රතිඵලය නම් සුළු කොට තැකිය නොහැකිය. 1946 දී ඔක්තෝබර් 16 වැනිදාවක දෙවන ලෝක යුද්ධයේ අපරාධකරුවන් දස දෙනකු එල්ලා මරා දැමීම සිදු විය. ඒ දිනයේ හොඳ නරක තීරණය කිරීමට අපට අයිතියක්වත් ඇතිදැයි මම නොදනිමි.

නමුත් මනෝමූල සංකල්ප තුළ අතරමං නොවී දවස ඇරඹීම, සිදු විය යුතු දේට ඉඩ දීම, වළක්වාගත හැකි දේ වළක්වා ගැනීම, එසේ කළ නොහැකි වූ දේ වෙනුවෙන් මතු දිනෙක කළ හැකි හොඳම දේ කිරීමට අධිෂ්ඨාන කරගනිමින් දවස අවසන තමන්ට විවේකයක් දීම ඇරෙන්නට, කපටියන්ගේ අවුල් ජාලාවල තවත් පැටළවීම මතු දවස හොඳ කරගැනීමට ක්‍රමයක් නොවේ. කෙටි ජීවිත ‘කාලය‘ නාස්ති කරමින් හොඳ දවස් එනතුරු වැඩ කල් දැමීමට තීරණය කරන හැම දවසක්ම නරක දවසක් වන්නේ ඒ දවස නරක දවසක් ලෙස නම් කිරීමට ඔබ ගත් තීරණය නිසාය.

හිමාලි එන්. ලියනගේ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>