Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අපේ ටෙලිනාට්‍ය කලාව ටිකෙන් ටික අභාවයට යනවා

$
0
0
ඔක්‌ 16, 2018 01:00

සරත් චන්ද්‍රසිරි

මොනවද ඔබේ අලුත්ම කලා තොරතුරු?

කුමාර තිරිමාදුරයි සරත් කොතලාවලයි එකතු වෙලා, චිත්‍රපටියක් කළා “ද නිවුස් පේපර්” කියලා. ඒ චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය දුන්නා වගේම විධායක නිෂ්පාදකවරයා හැටියටත් වැඩ කළා. ඒ චිත්‍රපටියේ තව සුළු වැඩ කොටසක් විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ. ඉතාමත් ඉක්මනින් ප්‍රේක්ෂකයින්ට ඒ නිර්මාණය රසවිඳින්න පුළුවන්. සරත් කොතලාවලයි කුමාර තිරිමාදුරයි තමයි පිටපත ලිව්වෙ. ඒ දෙන්නා තමයි අධ්‍යක්ෂණය කළේ. ඒ දෙන්නම තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙත්. ලංකාවේ නම් නිර්මාණයක් ඇතුළෙ යුගලයක් වශයෙන් මේ කියන කර්තව්‍යයන් තුනම කරපු පළවෙනි අවස්ථාව මේක. ලොකෙත් එක්ක ගත්තත් මං හිතනවා එහෙම ඒවා වෙන නැතුව ඇති කියලා. ඊට අමතරව සෝමරත්න දිසානායක මහත්මයාගේ “සුනාමි” චිත්‍රපටියේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. “අන්දරේලා”,”තලමල පිපිලා”, “ගුරුතරුව”, “චෞදරී”, “කෝ කුක්කෝ”, “නරි බුරති”, “ඒකා සාක්කුවේ” සහ තවත් වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලා, ඒවත් එක්ක රට වටේම යනවා. සුනන්ද සිල්වාගේ වේදිකා නාට්‍යයකත් මේ දවස්වල පුහුණුවීම් කටයුතුවලට සම්බන්ධ වෙලයි ඉන්නෙ. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වෙන “පැකේජ්” ටෙලිනාට්‍ය ඇතුළුව තවත් ටෙලිනාට්‍ය කිහිපයක චරිත නිරූපණය කරන්නත් මට අවස්ථාව ලැබිලා තියෙනවා.

මේ දිනවල ඔබව වැඩිපුර දකින්නේ වේදිකාවේ. ටෙලිනාට්‍යවලට සම්බන්ධ වීම තරමක් දුරට අඩු කරලද ඉන්නෙ?

දැන් වේදිකා නාට්‍යවලට ලංකාවේ නව ප්‍රවණතාවක් තියෙනවා. මොකද අපේ ටෙලිනාට්‍ය කලාව ටිකෙන් ටික අභාවයට යමිනුයි පවතින්නෙ. ඒ නිසා අපිට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවත් ටිකක් අඩුයි. දැන් ටෙලිනාට්‍ය අනුගත වෙලා තියෙන ක්‍රමයට සමහර තැන්වලදි අපිට එකඟ වෙන්න බෑ. ටෙලිනාට්‍ය කලාව විනාශ මුඛයට යමින් පවතින වකවානුවක් මේක. සමහර ටෙලිනාට්‍යවලට අපිට එකඟ වෙන්න බැරි අවස්ථාවන් එනවා. මුදල්හදල් පැත්තෙන්, පිටපතේ තියෙන ප්‍රශ්නත් එක්ක, අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රශ්නත් එක්ක, නිෂ්පාදකවරුන්ගේ ප්‍රශ්නත් එක්ක හරි අමැරුයි ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඒ නිසා චිත්‍රපටි සහ වේදිකා නාට්‍ය කරගෙන යනවා. මොනවා හරි කරන්නත් එපැයි. නමුත් ටෙලිනාට්‍යයත් සම්පූර්ණයෙන් අත්හැරලා නෑ.තෝරාබේරගෙන කරනවා.

පුංචි තිරය, රිදී තිරය සහ වේදිකාව තුළ ඔබ චරිත ගණනාවක් නිරූපණය කරලා තියෙනවා. මේ චරිත අතරින් ප්‍රේක්ෂකයා ඔබව වඩාත් සෙනෙහසින් වැළඳගත්තේ කුමන චරිත හරහාද?

ටෙලිනාට්‍යවලින් නම් “පබා”. “සමගිපුර වසන්ත” ගැන අදටත් ප්‍රේක්ෂකයන් කතා කරනවා. සමහරු මගේ නම දන්නෙත් නෑ. “වසන්ත” කියලා තමයි මට කතා කරන්නේ. චිත්‍රපටිවලින් රංජන් රාමනායක මහත්මයාගේ “ඩොක්ටර් නවරියන්” චිත්‍රපටියේ “සර්කිට්” කියන චරිතයට තමයි වැඩියෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණෙ. “ගුරුතරුව” වේදිකා නාට්‍යයේ “ටිකිරි බණ්ඩාර” එහෙම නැත්තම් “ටික්ස්” කියන ඉස්කෝලෙ ළමයගේ චරිතය එදා වගේම අදත් ආදරණීය විදිහට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබනවා.

ඔබ “ගුරුතරුව” වේදිකා නාට්‍යයේ “ටිකිරි බණ්ඩාරගේ” චරිතයට පණ දෙන්න පටන් ගන්නේ මීට අවුරුදු ගණනාවකට කලින්. නමුත් තවමත් ඔබ ඒ චරිතය වේදිකාව තුළ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. ඒ චරිතයට එදා වගේම අදත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා. මොන වගේ අත්දැකීමක්ද ඒක?

ගුරුතරුවෙ රඟපාන්න පටන් ගන්නකොට මට අවුරුදු 25යි. අදටත් මම ඒ නාට්‍යයේ ඉස්කෝලෙ ළමයාගේ චරිතය රඟපානවා. කිහිප වතාවක්ම මනෝරත්න මහත්මයාට කිව්වා “මං දැන් මුහුකුරා ගිහිල්ලා ඉන්නෙ. ඉස්කෝලෙ යන ළමයින්ගේ ඒවා දැන් රඟපාන්න බෑ.අපි දැන් තාත්තලා.”කියලා. එතකොට මනෝරත්න මහත්මයා කියන්නේ “උඹ නැති කාලෙක මේ නාට්‍යය එක්කො නවත්වනවා. නැන්තම් වෙන විකල්පයක් හොයාගන්නවා”කියලා. එතුමා මට නවතින්න දෙන්නෙත් නෑ. ඒ නාට්‍යයේ ඉස්කෝලෙ ළමයින්ගේ චරිත නිරූපණය කරන පොඩි ළමයි එක්ක ස්ටේජ් එකට නැග්ගම, ඉස්කෝලෙ යන ළමයි එක්ක මමත් ඒ තත්ත්වයෙන් ඉන්නවා කියලා ප්‍රේක්ෂකාගාරයට දැනෙනවා. මනෝරත්න මහත්මයා කියන්නෙත් මට වයස වැඩියි කියලා කවදාවත් දැනිලා නෑ කියන එකයි. මං හිතන්නෙ ළාබාලකම ඒ චරිතය තුළින් ප්‍රේක්ෂකයාට පේනවා. ඒක බොහොම සුවිශේෂී වූ චරිතයක්. ඒ චරිතයේ අවස්ථාවන් දෙකක් තියෙනවා, ප්‍රේක්ෂකයාගෙන් කඳුළු වක්කරවන විදිහෙ. සජීවීව ඒ වගේ රංගනයක් කරන්න ටිකක් අමාරුයි. මොකද හිනාවෙලා, හිනාවෙලා හිටිය ප්‍රේක්ෂකයන්ව තත්පර ගාණක් ඇතුළත අඬවන්න තරමට ඒ චරිතය මගේ අතින් කෙරෙනවා. ඒක තමයි මං හිතන්නෙ මට ඒකෙන් බැහැර වෙන්න දෙන්නෙ නැත්තෙ.

හැමදාම අලුත් තරු පායනවා. ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයෙක් විදිහට රංගනයට අලුතින් ප්‍රවිෂ්ට වෙන අයට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද ?

ගොඩක් අවස්ථාවලදී මට අලුත් අයත් එක්කත් රඟපාන්න අවස්ථාව ලැබෙනවා. එක එක්කෙනාගේ විවිධ වූ හැඩතලයන්, ක්‍රියා පටිපාටීන්, මතිමතාන්තර තියෙනවා. මං කියන්නේ මේ ක්ෂේත්‍රයට දිගින් දිගටම අලුතින් අය සම්බන්ධ විය යුතුමයි. මොකද අපි මේ ක්ෂේත්‍රයට එනකොටත් අපිට වැඩිය ප්‍රවීණ පිරිසක් ක්ෂේත්‍රයේ හිටියනෙ. අපි ඒ අයට ගරු කරගෙන තමයි අද දක්වා මේ ගමන ආවේ. අදටත් ගරුබුහුමන් දක්වනවා. අපට මේ තරම් දුර එන්න පුළුවන්කම ලැබුණෙත් ඒ අය දුන්නු ගුරුහරුකම් හින්දා සහ ඒ අයගෙන් අපි ගොඩක් දේවල් උකහාගත්තු හින්දා. අද වෙද්දි ඒ තත්ත්වය තරමක් දුරට මඟහැරිලා. දැන් ඉන්න අය හිතනවා, ඒවා සාම්ප්‍රදායික දේවල්. ප්‍රවීණයන්ට සලකන්න ඕනෙ නෑ. ඒ අයට වැඩිය හොඳට අපි වැඩ කරනවා කියලා. නමුත් මුල අමතක කළොත් වරදිනවානේ. ඒ නිසා මුල අමතක නොකර, ප්‍රවීණයන්ටත් ගරු කරලා, ක්ෂේත්‍රයේ ඉන්න ඕනෙ විදිහ ඉගෙනගන්නයි කියලා තමයි මම ඒ අයට කියන්නෙ. ඒ වගේම මං හැමදාම කියන දෙයක් තමයි, කැමරාව ඉදිරියේ සහ ප්‍රේක්ෂකාගාරය ඉදිරියේ විතරක් රඟපාන්න. කැමරාවෙන් පිටිපස්සෙ රඟපාන්න එපා. එහෙම කළොත් රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය තුළ රඳාපවතින්න බෑ. කැමරාවෙන් පිටිපස්සෙ විතරක් රඟපාන උදවිය ඉන්වානෙ. ඒ අය කැමරාව ඉස්සරහා රඟපාන්නෙ නෑ. සාමාන්‍ය ජීවිතයේ විතරයි රඟපාන්නෙ. ඒ අයට කියන්නෙ පුළුවන් තරම් තමුන්ගේ ජීවිතේ සැහැල්ලුවෙන්, සරලව ගතකරගෙන යන්න සහ සාමාන්‍ය ජීවිතේදී රඟපාන්නෙ නැතුව තමන්ට ලැබෙන චරිතය කැමරාව ඉදිරියේ රඟපාන්න කියලයි.

ගෙදරදොර විස්තර ටිකක් කිව්වොත්?

මමයි, නෝනයි, පුතයි, දුවයි තමයි ගෙදර ඉන්නෙ. පුතා, කංචුක තිලක්ෂණ. කටුබැද්ද විශ්ව විද්‍යාලයෙන් ඉගෙනගෙන, දැන් එහිම දේශකයෙක් විදිහට වැඩ කරනවා. දුව, හසාර නිලක්ෂි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යාවක්. බිරිඳ චාරිකා ජයමාලි. මගේ වැඩකටයුතුවලට ගෙදරින් විශාල සහයෝගයක් ලැබෙනවා. නැත්නම් මට මේ තරම් දුරක් එන්නත් බෑ. අපේ දරුවන්ට මේ තරම් දුරක් යන්නත් බෑ මගේ බිරිඳගේ කැපවීම තිබුණේ නැත්නම්. මොකද දරුවන්ගේ දෙයක් ගැන හොයලා බලන්නවත් මම නිතර ගෙදර ඉන්න කෙනෙක් නෙවෙයිනෙ. බිරිඳ තමයි ඒ සියලුම දේවල් බලාකියාගත්තේ.

ඔබේ දරුවන් කලාවට ලැදි බවක් ඔබට දැනිලා තියෙනවාද?

පළවෙනි ම දේ ඔවුන් හොඳ රසිකයෝ. මගේ රංගනයන් දිහා බලලා හොඳ නරක කියලා දෙනවා. පුතාට හොඳට සිංදු කියන්න පුළුවන්. ඒ ගැන මම දැනගත්තෙ ළඟදි. විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ ඔහු කලා වැඩසටහන් බොහොම උනන්දුවෙන් සංවිධානය කරලා තියෙනවා. නමුත් ඔහුට රැකියාවත් එක්ක මේ ක්ෂේත්‍රයේ දුර ගමනක් යන්න බෑ. දුවත් පාසල් වේදිකාවේ රංගන කටයුතුවලට සහභාගි වෙලා තියෙනවා. අදටත් කලාවට බොහොම ලැදියි. අධ්‍යක්ෂණ කටයුතුවලට එහෙම ඇය වැඩි කැමැත්තක් දක්වනවා. මං කියන්නේ විශ්වවිද්‍යාලෙ ගිහින් ඉවර වුණාට පස්සෙ බලමු. ඒ වෙනකල් හිටියොත් ඉතින් මගේ නිර්මාණ කටයුත්තකට හරි සම්බන්ධ කරගන්නම් කියලයි.

දවසක ඔබේ දරුවන් මේ ක්ෂේත්‍රයම තෝරාගෙන, ඒ ඔස්සේ ඉදිරියට යාවි කියලා බලාපොරොත්තුවක් තිබුණද?

ඔවුන් මේ ක්ෂේත්‍රයම තෝරාගන්න ඕනෙ කියන තැන නම් මම කවදාවත් හිටියෙ නෑ. මගේ බිරිඳත් සෑහෙන්න දුරට නර්තනය හදාරලා තියෙනවා. ඒ වුණත් අපි දෙන්නටම ලොකු අදහසක් තිබුණෙ නෑ ළමයින්ව මේ දේවලට යොමු කරන්න. එයාලා පුංචි කාලෙම අපි දැක්කා දෙන්නටම හොඳට ඉගෙනගන්න පුළුවන් කියන දේ. අපි දරුවන්ව ඒ අංශයට යොමු කළා වගේම එයාලත් එතනට තමයි යොමු වුණේ. “ගුරුතරුව” නාට්‍යයේ එක තැනක මනෝරත්න මහත්තයා මට ගහන දර්ශනයක් තියෙනවා. මට මතකයි මගේ පුතා පුංචි කාලෙ ගුරුතරුව බලන්න ඇවිල්ලා ඉන්නකොට ඒ දර්ශනය වෙලාවෙදි එකපාරට ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් කෑගැහුවා. “අපේ තාත්තට ගහන්න එපා” කියලා. පුංචි කාලේ ඉඳලම මගේ කලා කටයුතු එක්ක ළඟින්ම හිටියත් ඒගොල්ලන්ගේ ගමන වෙනස් තත්ත්වයකයි තිබුණෙ. ඉතිං ඒකට අපි සහයෝගය දුන්නා. අපි අවුරුදු ගාණක් තිස්සෙ කට්ටක් කාලා තමයි දැන් මේ යන්තම් ක්ෂේත්‍රය තුළ ඔළුව උස්සගෙන ඉන්නෙ. තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් කැමති වෙන්නෙ නෑනෙ දරුවෙක් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙලා, අවුරුදු ගාණක් ස්ථාවරයක් හදාගන්න විදිහක් නැතුව වද වෙනවට. අනික අපි හිටියා වගේ නෙවෙයි. අද කලා ක්ෂේත්‍රය වෙනස්. තරගකාරියි. ඒ හින්දා දරුවො ඉස්කෝලෙන් අයින් වෙනකොටම විශ්වවිද්‍යාලයට යන මට්ටමට ආවා. එතනින් අයින් වෙනකොටම රැකියාවක් කරන මට්ටමට ආවා. මගේ ක්ෂේත්‍රයට ආවෙ නෑ කියන ඒකේ කිසිම කණගාටුවක් නෑ.

කාංචනා සිරිවර්ධන


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>