Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

රන්දෙනිය ගමේ තනියම ඉන්න හීන් බණ්ඩා මාමා

$
0
0
දෙසැ 29, 2017 01:00
අසේල කුරුළුවංශ

හාත් පස කිලෝ මීටර හතරකට එහා එක් නිවසක් හෝ දක්නට නොමැත.කුරුලන්ගේ ගී හඬ යටපත් කරමින් හීන් ගඟ මේ දිනවල ඇද වැටෙන වැසිවලින් පෝෂණය වී ගලා බසින්නේ මහ හඩක් නන්වමිනි.රජ දවස පටන් වැපුරූ කුඹුරු අක්කර දහස් ගණනක් පුරන්ව ගොස් ඇති නිසාවෙන් දශක දෙකකට ආසන්න කාලයක් රාජකාරියක් නොමැතිව පුරන්වූ කුඹුරුවල තණ උලාකමින් නිදහසේ දිවි ගෙවූ මී හරක් රෑන් වලට මිනිස් පුළුටක සුවඳ ආගන්තුකවූ නිසාම උන් අප දෙස බැලුවේ සතුරු ස්වරූපයෙනි.

සුළුගුණේ ග්‍රාමයේ සිට කිලෝ මීටර 08 ක පමණ දුරක් ගෙවා හීන් ගඟ මායිම ඔස්සේ නකල්ස් රක්ෂිතයේ කොටසක්ද පසු කරමින් අඩි පාරක් ඔස්සේ යමින් සිටි අපට මඟ පෙන්වූ කාලිමුත්තු ඉස්සර වී මී හරක් රෑන පන්නා දැමුවේ ඊට පුරුදු කාරයකු බව අපට හගවමිනි.මීමුරේ,ගලමුදුන,හෙට්ටිපොළ,සුළුගුණේ,ගොඩඋල්පත යන ගම්මාන වලින් වටවී තිබෙන දන්දෙණිය ගමට සුළු ගුණේ සිට ඒම සඳහා පැය තුනකට ආසන්න කාලයක් ගෙවා දමන්නට අපට සිදුවූයේ එය අතිශයින්ම දුෂ්කර ගමනක්වූ නිසාවෙනි.මෙවන්වූ දුෂ්කරතාවක් විඳ දන්දෙණිය ග්‍රාමයට අප පැමිණීමට හේතුවූ කාරණය මහගෙදර හීන් බණ්ඩා නම් පාරම්පරික වෙද මහතාය.දන්දෙණිය නමින් රජකාලයේ පටන් පැවැති ගම අදටත් ආරක්ෂාවී තිබෙන්නේ හීන් බණ්ඩා වෙද මහතා නිසාය.මෙයට වසර 15 කට පමණ පෙර පවුල් තිහ හතළියක සාමාජිකයින් සිය ගණනක් ජීවත්වූ ගමේ අද වාසය කරන්නාවූ එකම පුද්ගලයා ඔහුය.....

වසර පහළොවකට පෙර මෙම ගමේ විසූ අවසන් පවුලද ගම හැර යාම නිසා වසර පහළොවක් තිස්සේ හාත්පස කිලෝ මීටර හතරකට මෙපිට මිනිස් පුළුටක් නොසිටියදී හීන් බණ්ඩා වෙද මහතා ගහට කොළට සතා සිවුපාවාට පෙම් බඳිමින් දන්දෙණියේ ජීවත් වෙයි.දන්දෙණිය යන නාමය මෙරට ගම්මාන ලැයිස්තුවේ තවමත් නොමැකී තිබෙන්නේ හීන් බණ්ඩා වෙද මහතා නිසාවෙන් බව කීමට අටුවා ටිකා ටිප්පිනි අවශ්‍යය නැත...මගේ දරුවෝ පදංචි වෙලා ඉන්නේ මීමුරේ.මම උපන්නේ මේ ගමේ.මැරෙන්නෙත් මේ ගමේ.අහළ පහළක මිනිස් පුළුටක් නැති වුණාට සතා සිවුපාවා නිසා මට තනියක් නැහැ.හිටපු ගමන් අලි එනවා.මට උන්ගෙන් කරදරයක් නැහැ.මේ ගස්වැල් මගෙත් එක්ක කතා කරනවා.හීන් ගඟ මගේ තනියට සින්දු කියනවා.තනිකම මහ අරුමයක් නොවෙයි මහත්තයෝ....හීන් බණ්ඩා වෙද මහතා පවසන්නේ ගමක මිනිසකු තනිවම ජීවත් වීම අපට අරුමයක් වීම පිළිබඳ පුදුමයෙනි.

මම සතියකට විතර සැරයක් මීමුරේ පුතාලගේ ගෙදර ගිහින් දවසක් දෙකක් ඉඳලා එනවා.ඊට වැඩිය එහේ ඉන්න මගේ හිත දෙන්නේ නැහැ.මගේ තාත්තා පාරම්පරික වෙදෙක්.ඒ වෙදකම තාත්ත ගෙන් මට උරුම වුණා.දැන් පුතාලත් වෙදකම් කරනවා.ඉස්සර මේ ගමේ පවුල් තිහක් හතළිහක් විතර ජීවත් වුණා.ගමට වාහනයක් එන්න පාරක් නැහැ.අපි අඩි පාරවල් දිගේ තමයි හැමදාම කඩපිලට ගියේ.හැතැප්ම අට දහය බඩු ඔළුවේ තියාගෙන තමයි ගමට ගේන්නේ.මීමුරේ ග්‍රාම සේවා වසමට තමයි මේ ගම අයිති.මෙහේ ඉඳලා මීමුරේට සැතපුම් පහක් විතර තියෙනවා.මේ දුර දැනුත් අපි යන්නේ පයින්.මීමුරේ වසමට අයිති වෙලා තිබ්බ කැලේවත්ත,ඉළුක්හේන ගම් දැන් මිනිස්සු නැතුව පාළුවට ගිහින්.මම නැති දවසට මේ ගමට අත් වෙන්නෙත් ඒ ඉරණමම තමයි.දනදෙණියේ ඉඳලා මීමුරේට යන්න දිඹිගොල්ල ඔය හරහා යන්න ඕන.මෙහේ ළමයි පාසල් යන්න ඕන මේ ඔය හරහායි.හැතැප්ම පහ හයක් පයින් හැමදාම යන්න එන්න ළමයෙකුට අමාරුයි.අනිත් පැත්තෙන් වන අලි.වැස්ස කාලෙට ඔය උතුරනවා.එතකොට කොහොමත් යන්න බෑ.මේ හින්දා දරුවෝ පාසල් යන වයසට ලං වෙනකොට ගමේ අම්මාලා තාත්තලා ගම අත් හැරලා මී මුරේට හරි හෙට්ටිපොළ ගොඩඋල්පත හරි පදිංචියට ගියා.එක්කනා දෙන්නා මෙහෙම ගිහින් අන්තිමට මම විතරයි ඉතුරු වුණේ.දැන් අවුරුදු පහළොවක් විතර මම මේ ගමේ තනියම....හීන් බණ්ඩා වෙද මහතා පවසයි.

වයස අවුරුදු හැත්තෑවක් වුවද ඔහු තවමත් තරුණයකු මෙන් ජව සම්පන්නය.වෙද කමට අමතරව මහ පොළව සමඟ පොර බදමින් කුඹුරු කළ හෙතෙම තම දූපුතුන් බලන්නට සතියකට වරක් හෝ දෙවරක් සැතපුම් පහ හයක් පයින් යන නිසාම නගරයේ බහුලව දක්නට ලැබෙන දියවැඩියාව,ප්‍රෙෂර් වැනි රෝගවල ගොදුරක් බවට ඔහු පත්ව නැත...මීමුරේ,සුළුගුණේ,ගලමුදුන කියන ගම්වල මිනිස්සු තාමත් අසනීපයක් වුණාම මාව හොයාගෙන එනවා.ඒ අයට යන්න බැරි නම් මම ලෙඩා ළඟට ගිහින් බෙහෙත් කරනවා.මේ අහල පහළක ඉස්පිරිතාලයක් නැහැ.පොලීසිය උඩුදුම්බර.ඒකට යන්න හැතැප්ම 30 කට වඩා දුර යන්න ඕන.ඉස්සර මේ කුඹුරු වලින් පුදුම අස්වැන්නක් ගත්තේ.යල මහ දෙකම වැඩ කළා.මේ පොළව ඒ තරමට සරුයි.අද කුඹුරක් කරන්න කෙනෙක් නැතුව අක්කර දහස් ගානක් පුරන් වෙනවා..වෙද මහතා එසේ පැවසුවේ ශෝකය පිරි හඩකිනි.

වෙද මහතාගේ පියාට ආව තේව කරමින් ඔහු මියෙන තුරුම ළගින් සිට පසුව දන්දෙණිය ගම අතහැර සුළුගුණේ පදිංචියට ගිය එස්.කාලිමුත්තු පනස් හය හැවිරිදිය.වෙද මහතාට අමතකව ගොස් තිබූ අතීත සිදුවීමක් ඔහු සිහිපත් කළේ මෙසේය...මම ලොකු වෙද මහත්තයා ළඟට ආවේ අවුරුදු 11 දී.ලෙඩට බෙහෙත් ගන්න ඒ කාලේ ගමේ අය විතරක් නොවේ අහල ගම් ඔක්කගේම මිනිස්සු එනවා.කැලේ ගිහින් බෙහෙත් හොයන්න මම වෙද මහත්තයාට උදව් කළා.ඉස්සර මේ යායම හොඳට අස්වද්දනවා.අපි මේ ගමේ කන්ද මුදුනේ තියෙන ගලේ බණ්ඩාර දේවාලෙට ගිහින් දෙවියන්ට බාර වෙලා තමයි වී වපුරන්නේ.සතා සිවුපාවා ගෙන්,අව්වෙන්,වැස්සෙන් වගාව ආරක්ෂා කරලා දෙන්න කියලා අපි දෙවියන්නට බාර වෙනවා.ඒ වගේම කවදාවත් වගාවට හානියක් වෙන්නේ නැහැ.දවසක් ගමේ කෙනෙක් දවස් කිහිපයක් පිට ගිහින් එනකොට එයාගේ කුඹුර අලි විනාශ කරලා තිබ්බා.මනුෂ්‍යාට හොඳටම කේන්ති ගිහින් දෙයියෝ සත්ත නැහැ කියලා දේවාලෙට වෙඩි තිබ්බා.එදා රෑ මනුස්සයාව පොළෙඟෙක් කාලා මාළා.ඒ සිද්ධිය වෙලා දැන් අවුරුදු 15 ක් විතර වෙනවා.ග්‍රාම සේවක මහත්තයාට පණිවිඩය දීලා එයා එනකොට දවස් තුනක් ගතවෙලා.දවස් තුනක් මිනිය ගෙදර කාමරේක.වලලන්නත් බෑ.පස්සේ පොලීසිය ඇවිත් බලලා පරීක්ෂණ කළා.ගමේ අයගෙන් කට උත්තර ගත්තා.මිනිය හොඳටම ඉඳිමිලා.පෙට්ටියට මිනිය දාන්න බැහැ.ඒ නිසා පෙට්ටිය වෙනමයි මිනිය වෙනමයි අරන් ගිහින් තමයි වලට දැම්මේ.එසේ පැවසූ කාලිමුත්තු ඝන කැලෑව තුළින් කදු මුදුන වෙත අපව කැටුව ගියේ ගලේ බණ්ඩාර දේවාළය පෙන්වන්නටය.අතිශ්‍යය දුෂ්කර ගමනක් වූ එහිදී ගම අතහැර ගියවුන් එකළ පදිංචිව සිටි නිවාස වල නටඹුන් පෙන් වීමටද කාලි මුත්තු අමතක නොකළේය.ගමේ පන්සල මෙන්ම දේවාළයද ගරා වැටී තිබිණි.

ගමේ අය එක්කනා දෙන්නා ගමෙන් යනකොට මගේ දුවත් ඉස්කෝලේ යන වයසට ලංවුණා.මම සුළුගුණේ පදිංචියට ගියා.මෙහේ ඉඳලා එහාට හැතැම්ම හයක් විතර තියෙනවා.මේ ගමට ලයිට් නැහැ.හීන් ගඟේ ඉවුරු දෙකෙන් එක පැත්තක් මහනුවර බෝඩරේ,අනෙක් පැත්ත මාතලේ බෝඩරේ.දිස්ත්‍රික්ක දෙකේම මායිම් නිසා මේ ගම්වල ප්‍රශ්න ගැන ෙදේශපාලනඥයින්ගේ අවධානය අඩුයි.අපේ සුළුගුණේටත් තාම බස් නැහැ.ගමේ පාසලේ ප්‍රාථමික අංශය විතරයි.ඊට පස්සේ නුගේතැන්නට හරි කොළොංගොඩට හරි යන්න ඕන.ගමේ ඉඳලා ඒත් හැතැම්ම තුනක් විතර පයින් යන්න ඕන.අපේ ගම්වලටත් කවදා හරි දන්දෙණියට වෙච්ච දේම වෙයිද දන්නේ නැහැ...කාලිමුත්තු එසේ පවසන්නේ අවිස්වාසය පෙරදැරිවය.

අප එහි යන විට වෙද මහතාගේ සුවදුක් බැලීමට ගලමුදුන ගම සිට යූ.ජී කරුණාරත්න පැමිණ සිටියේ සැතපුම් හයක දුරක් ගෙවා දමමිනි.ලංකාවේ දුෂ්කරම මැතිවරණ කොට්ඨාශය ලෙස තවමත් නම් දරා තිබෙන ගල මුදුන ගමට සැතපුම් හයක් පමණ දුර ඡන්ද පෙට්ටි රැගෙන යන්නේ කර මතිනි.එම කාර්යය පිළිබදවද අත්දැකීම් ඇති කරුණාරත්න පැවසුවේ ගල මුදුනට පාරක් කැපුවත් තාමත් එහි වාහන ගමන් කළ නොහැකි බවයි....මේ ගමේ කිහිප දෙනෙක් ගල මුදුනෙත් ඉන්නවා.දැන් ඉතුරු වෙලා ඉන්නේ වෙද මහත්තයා විතරයි.ගම් දෙකේ ඉස්සර ලොකු සම්බන්ධයක් තිබුණා.වෙද මහත්තයා බලන්න මම ඉඳලා හිටලා බුලත් දුම්කොළ ටිකක් අරන් එනවා.අපේ ගමේ කවුරි හරි අසනීප වුණොත් උඩුදුම්බර ඉස්පිරිතාලෙට යන්න ඕන.ලෙඩා හැතැම්ම පහක් විතර කරෙන් අරන් යන්න ඕන.අපේ හීන් බණ්ඩා වෙද මාමා ගොඩක් වෙලාවට ගමට ඇවිත් වෙදකම් කරනවා....

දුම්බර සුරැකීමේ සංවිධානයේ සභාපති නිමල් කණහැරආරච්චි මහතා- “මේ ගම්මාන රජකාලේ ඉඳලා පැවත එන ඒවා.රජරට රාජධානියේ ඉඳලා රෝහණ රාජ්‍යය වෙත යන මාර්ග වැටී තිබුණේ මේ ගම්මාන ඔස්සේයි.රණමුරේ,මීමුරේ,දන්දෙණියාව,සුළු ගුණේ යන මේ ගම්මාන හුදෙකලා ගම්මාන ලෙස තමයි තිබුණේ.රජ සමයේ ගබඩා ගම් ලෙස මේවා පැවතුණේ.දන්දෙණිය කුඹුරු යායේ අස්වැන්න දන් පිළිගැන්වීමේ කටයුතු වලට තමයි යොදා ගෙන තිබෙන්නේ.මහනුවර හා මාතලේ සීමාවේ මේ වගේ ගම්මාන රැසක් තිබෙනවා.ඒ ගම්වල පහසුකම් නැති නිසා පදිංචි අය පහසුකම් ඇති තැන්වලට යනවා.ඒක අපිට වලක්වන්න බැහැ.නගරයේ මිනිස්සුන්ට ඕන වෙලාවට ගිහින් විනෝද වෙන්න විතරක් ගම ආරක්ෂා වෙන්න ඕන නැහැ.ඒ අයටත් සංවර්ධනය අවශ්‍යයි.මෙතන තිබෙන බරපතලම කාරනය ඒක නෙවෙයි.ගමේ වැඩිහිටි පිරිස අතර තිබෙන පාරම්පරික දැනුමත් ගමත් සමඟ අභාවයට යනවා.නොයෙක් ඇදහිලි ක්‍රම,කෙම් ක්‍රම,ඖෂධ වට්ටෝරු,ශ්ලෝක මේ පාරම්පරික ගම්මාන වල වැඩි හිටියන් දන්නවා.ඒවා කොහේවත් ලිඛිතව සුරක්ෂිත වී නැහැ.රටට වෙන බරපතළම හානිය මේ ගම්මාන සමඟ අපේ පාරම්පරික දැනුමත් අභාවයට යාම.”

මාතලේ හෙට්ටිපොළ ගුරුවල ඉදලා කිවුල මැඩියෙන් බතලවත්තට දැන් පාර කපලා තියෙන්නේ...ඒ පාර අපේ මේ ගම්මාන හරහා මීමුරේට සම්බන්ධ කරන්න තව හැතැම්ම පහක් විතර තියෙන්නේ.මේ පර හැදුවොත් නුවරයි මාතලෙයි මේ පැත්තෙන් එකතු වෙනවා.අනිත් පැත්තෙන් ගමට පාරක් ආවොත් ගිය මිනිස්සුත් ආයේ මේ ගමට එයි.මොකද එයාලගේ සින්නක්කර ඉඩම් තාමත් මේ ගමේ තියෙනවා.මම මැරෙන්න කලින් ඒ පාර හදයි කියලා මම බලාගෙන ඉන්නවා.එක මනුෂ්‍යයකුට යන්න එන්න පාරක් මොකට කියලා බලධාරීන් මගෙන් අහනවා...හීන්බණ්ඩා වෙද මහතා පවසයි.

මහනුවර මහ නරග සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සනත් කුමාර මහතාට විශේෂ ස්තූතිය


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>