Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

පාතාලයක මුල්

$
0
0
දෙසැ 29, 2017 01:00

මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රාදේශීය දේශපාලඥයන්ට ජනතාවගෙන් චෝදනා එල්ල වන්නේ ගම උලා කෑමට පමණක් නොවෙයි. ඔවුන් එකී යුගය තුළ නීතියේ ආධිපත්‍ය කෙළසමින් ප්‍රාදේශීය වශයෙන් පාතාල අධිරාජ්‍ය තනාගෙන ජනතාවට දුන් අපමණ පීඩනය ගැන ද ජනතාව තුළ නොසන්සිඳෙන කෝපයක් සහ පිළිකුළක් ඇති බව අප කිසි විටෙක අමතක නොකළ යුතුයි.

මෙහිදී අප ඉතාම පැහැදිලිව දුටු තත්ත්වය කුමක්ද ? ඒ මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් අසීමිත ලෙස රාජ්‍ය බලය අපයෝජනය කරමින් නීතියේ ආධිපත්‍ය පමණක් නොව සියලුම ආකාරයේ මානව වටිනාකම් පවා නොතකමින් පාතාල පාලනයක් අදාළ ප්‍රදේශ තුළ ක්‍රියාත්මක කළ බවයි. මේ සඳහා වන උදාහරණ සිය දහස් ගණනක් 2005 - 2015 කාලය තුළින් අපට ඉතා පහසුවෙන් සොයා ගත හැකිය.

“ගහ දන්න අපිට කොළ කඩා පාන්න එපා” කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. මේ කතාව යළිත් සිහිපත් වෙන සිදුවීමක් පසුගියදා සිදු වුණා. ඒ පොහොට්ටුවෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් බලයට පත් වූ පසු රජයේ කොන්ත්‍රාත් කරන්නේ නැහැ කියලා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දුන්න ප්‍රතිඥාව සමඟයි.

මහින්ද රාජපක්ෂ මහතාව දේශපාලනිකව විනාශ කිරීමට ස්වේච්ඡාවෙන්ම බොහෝ දේවල් කළ, දශකයකට අධික කාලයක් පුරා පළාත් පාලන ආයතනවල බලය අල්ලා ගෙන සිටිමින් ගමට ලැබුණු රාජ්‍ය සම්පත් උලා කෑ මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් මැරී උපන්නා සේ මේ ආකාරයෙන් ප්‍රතිඥා දීම ඔවුන්ගේ පැටිකිරිය ඇතැඹුලක් දේ දන්නා මේ රටේ පොදු ජනතාව තුළ ඇති කරන්නේ අපුලක් බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුවේ නායකයන්ට නොවැටහීම පුදුමයට කරුණක්. අපි එසේ කියන්නේ රාජපක්ෂ යුගය පුරාම මේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් අති බහුතරයක් ප්‍රජා පීඩකයන් සේම රාජ්‍ය දේපොළ ගසා කන්නන් බවට පත්ව සිටි බවට ජනතාව එකහෙළා චෝදනා කරන නිසයි.

මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් මෙවැනි ප්‍රතිඥාවක් ගැනීම සමඟ ජනතාව තවත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ රාජපක්ෂ පවුලේ දේශපාලන කොන්ත්‍රාත් ද ඉටු නොකරන බවට හැකි නම් ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් ලබා ගන්නා ලෙසයි. මන්ද මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් රජයේ කොන්ත්‍රාත්කරුවන් වෙමින් රටට කළ හානියට නොදෙවෙනි හානියක් ප්‍රාදේශීය වශයෙන් මැරයන්, දූෂකයන් සහ තවත් විවිධාකාර අපරාධවලට සම්බන්ධ වෙමින් සිදු කළා. එමෙන්ම රාජපක්ෂ පවුලේ දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් මැරයන් ලබා දෙන “මෑන් පවර්” සමාගම් විදිහටත් ඔවුන් පසුගිය පාලන සමය තුළ අඛණ්ඩව ක්‍රියා කළා.

අද පොහොට්ටුව සමඟ එක් වෙමින් යළිත් ගමේ බලය අල්ලා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාගේ කුරහන් සාටකයට මුවා වෙමින් යළි කලඑළි බසින මේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට සුදු හුණු ගාමින්, ඔවුන් ජනතා හිතෛෂීන් ලෙස යළි අභිෂේක කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ගන්නා උත්සාහය මේ රටේ සාමාන්‍ය ජනතාවගේ හාස්‍යයට කරුණක් වන්නේ ඉහත සඳහන් කළ කරුණු නිසයි. මහින්ද රාජපක්ෂ යුගයේ විවිධාකාර රාජ්‍ය ව්‍යාපෘති සහ වැඩසටහන් මුවාවෙන් ගම වෙත ගලා ආ අති දැවැන්ත රාජ්‍ය සම්පත් සම්භාරය හිතූමතේ ගසා කමින් මේ වන විට ප්‍රකෝටිපතින් බවට පත්ව සිටින මේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ පැටිකිරිය යළි විමසා බැලීමට මේ අවස්ථාවේ අප යළි යොමු විය යුත්තේ යම් ආකාරයකින් මොවුන් යළි ඔසවා තැබීමට ජනතාව යෙමු වුවහොත් සිදුවිය හැකි ප්‍රතිඵලය අති බිහිසුණු වන නිසයි.

ගම උලා කෑම

පසුගිය කාලය පුරාම මේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ එකම ගැළවුම්කාරයා බවට පත්ව සිටියේ, වත්මන් පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන උපදේශකවරයා වශයෙන් නාමිකව පෙනී සිටින, එහි අනුත්තර නායක බැසිල් රාජපක්ෂ මහතා බව අප මොහොතකටවත් අමතක නොකළ යුතුයි. මහින්ද රාජපක්ෂ පාලනයේ 2010 - 2015 කාලය තුළ සමස්ත රාජ්‍ය වියදම්වලින් සියයට 30කට ඍජුව වගකිවූ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ සියලුම ව්‍යාපෘති සහ වැඩසටහන්වල උරුමක්කාරයන් සේම පොල්මක්කාරයන් බවට පත් වුණේ මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසයි. ඒ අනුව ග්‍රාමීය සංවර්ධනයේ නාමයෙන් ක්‍රියාත්මක වූ “ගම නැඟුම, මඟ නැඟුම, දිවි නැඟුම ආදි සියලුම ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවන් බවට පත්ව සිටියේ මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් වීම තුළ ඔවුන්ට අසීමිත ආකාරයෙන් රාජ්‍ය සම්පත් ගසා කෑමේ පහසු අවස්ථාවක් නිර්මාණය වී තිබුණා. මේ සම්බන්ධයෙන් මේ ලියුම්කරු සමඟ අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ප්‍රධානියෙක් අවධාරණයෙන් පවසා සිටියේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ග්‍රාමීය වශයෙන් ක්‍රියාත්මක වූ සංවර්ධන වැඩසටහන් තුළ සිදු වූ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක නීතිමය හෝ පරිපාලනමය පියවරක් ගැනීමට තමන්ට හැකියාවක් නොවූ බවයි. ඒ අනුව ඔහු ඉතා වගකීමෙන් යුතුව පවසා සිටියේ ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කිරීම ඇතුළු ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් තුළ දැවැන්ත මූල්‍ය වංචා සිදුවන බව පෙනි පෙනී වුවත් නිහඬව තව තවත් ප්‍රතිපාදන ලබාදීමට තමන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ට සිදු වූ බවයි.

බල අපයෝජනය

“අපි කොහොමද මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් එළිපිට, කිසිම බයක් සැකක් නැතිව කරන මේ දූෂණවලට විරුද්ධව නෛතික පියවර ගන්නේ. ඔවුන් හැමෝම ඇමැතිවරයාගේ මිනිස්සු. ඔවුන් වෙනුවෙන් දේශපාලනය කරන මිනිස්සු. ඒ නිසා ඔවුන්ටත් ඇමැතිවරයාටම වාගේ බලයක් අමාත්‍යංශය තුළ තිබුණා. අද ඒ කාලේ හිටිය අපේ බොහෝ නිලධාරීන් උදේ සවස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන්නේ එන්නේ මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් කළ අපරාධ නිසයි” මේ වගකිව යුතු නිලධාරියා කණස්සල්ලෙන් යුතුව පවසන්නේ බැසිල් රාජපක්ෂ සමඟ රාජපක්ෂ පවුලේ දේශපාලනය ශක්තිමත් කිරීම සඳහා හිතූ මනාපයට රාජ්‍ය සම්පත් යටිමඩි ගසමින් ගම උලා කෑ ප්‍රාදේශීය දේශපාලනඥයන් කළ විනාශයේ තරම ගැනය. මෙවැනි තත්ත්වයක් තුළ “යළි බලයට පත් වූ පසු රජයේ කොන්ත්‍රාත්කරුවන් නොවෙමු” යැයි එදා හිතූ හැටියට ගම උලා කෑ මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් ඒවාට අනුබල දෙමින් නෑසූ කන්ව සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ඉදිරියේම ප්‍රතිඥාදීම ජනතාවට කොළ කඩා පෑමකට වඩා ඔවුන්ට කොළය වසා ගැසීමකි.

මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රාදේශීය දේශපාලඥයන්ට ජනතාවගෙන් චෝදනා එල්ල වන්නේ ගම උලා කෑමට පමණක් නොවෙයි. ඔවුන් එකී යුගය තුළ නීතියේ ආධිපත්‍ය කෙළසමින් ප්‍රාදේශීය වශයෙන් පාතාල අධිරාජ්‍ය තනාගෙන ජනතාවට දුන් අපමණ පීඩනය ගැන ද ජනතාව තුළ නොසන්සිඳෙන කෝපයක් සහ පිළිකුළක් ඇති බව අප කිසි විටෙක අමතක නොකළ යුතුයි.

මෙහිදී අප ඉතාම පැහැදිලිව දුටු තත්ත්වය කුමක්ද ? ඒ මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් අසීමිත ලෙස රාජ්‍ය බලය අපයෝජනය කරමින් නීතියේ ආධිපත්‍ය පමණක් නොව සියලුම ආකාරයේ මානව වටිනාකම් පවා නොතකමින් පාතාල පාලනයක් අදාළ ප්‍රදේශ තුළ ක්‍රියාත්මක කළ බවයි. මේ සඳහා වන උදාහරණ සිය දහස් ගණනක් 2005 - 2015 කාලය තුළින් අපට ඉතා පහසුවෙන් සොයා ගත හැකිය. උදාහරණ වශයෙන් 2013 වසරේ අගෝස්තු 06 වැනිදා දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ අනිල් චම්පික හෙවත් අතකොටා විසින් නූරිය වත්තේ වතු අධිකාරිවරයා වූ නිහාල් පෙරේරා ඝාතනය කිරීම සහ 2012 ජූනි 05 වැනිදා රාත්‍රියේ තංගල්ල නගර සභාවේ සභාපතිවරයා වූ සම්පත් විදානපතිරණ විසින් තංගල්ල නගරයේ පිහිටි සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකු ඝාතනය කරමින් ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය දැක්විය හැකියි.

මෙහිදී තංගල්ල නගර සභාවේ සභාපතිවරයා යනු මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නින්දගම වන තංගල්ලේ දේශපාලන ප්‍රබලයා සේම රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු බව ද අප කිසි විටෙක අමතක නොකළ යුතුයි. මේ පවුල් සම්බන්ධතාව නිසා අදාළ ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම දිගින් දිගටම පමා වූ අතර එය යම් පමණකට හෝ ක්‍රියාත්මක වූයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය මහා සමුළුව වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරාගේ පැමිණීම හා මේ සිදුවීම ඍජුව සම්බන්ධ වූ නිසයි.

මහින්ද රාජපක්ෂ පාලනයේ ප්‍රාදේශීය දේශපාලන බලවතුන් වූ මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් ඝාතකයන් හා භීෂකයන් ලෙස ක්‍රියාත්මක වීම තංගල්ලෙන් හෝ දැරුණියගලින් නතර වූණේ නැහැ. එය රත්නපුර කහවත්තට (කහවත්තේ කාන්තා ඝාතන රැල්ල) ද, කැලණිය, කොළොන්නාව ඇතුළු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්තව තිබුණා. කොටින්ම මේ කාලය තුළ පුද්ගල ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් නම නොගෑවුණු ප්‍රාදේශීය දේශපාලනඥයන් සිටියා නම් ඒ අල්පයක් පමණයි. (අද ඔවුන් දේශපාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟයි)

එදා පුද්ගල ඝාතන ඇතුළු අපරාධ කිරීමෙන් නොනැවතුණු ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන්ට ස්ත්‍රී දූෂණ චෝදනා සහ දැරිවියන් අපයෝජනය කිරීම සම්බන්ධ බරපතළ චෝදනා එල්ල වුණා. ඒ අතර වඩාත් බරපතළම චෝදනාව එල්ල වුණේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ සරුවා සුනිල් නැමැත්තාටයි. ඔහුට අවුරුදු 14 දැරියක දූෂණය කළ බවට චෝදනාඑල්ල වුණා. එමෙන්ම කාන්තාවන් 100 දෙනකු සමඟ යහන්ගත වීම උත්සවාකාරයෙන් සැමරූ රාජපක්ෂ රෙජිමයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් ගැන ද මේ යුගයේදී ජනතාවගෙන් චෝදනා එල්ල වුණේ මේ යුගයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් ක්‍රියාත්මක වූ පිළිකුල් කටයුතු ආකාරය මනාව පැහැදිලි කරමිනුයි.

එදා ප්‍රාදේශීය දේශපාලනඥයන් මේ සියලු ආකාරයේ අපරාධ සිදු කරමින් ගම්මාන පිටින් භීතියට පත් කරන විට ආණ්ඩුවේ ප්‍රබලයන් සහ පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන නිහඬව සිටියේ මේ සියලු අපයෝජනවල මූලය ඔවුන් විසින් නිසි පරිදි හඳුනා ගෙන සිටි නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවෙයි.

දේශපාලන මැරයා

ගමට ලැබෙන රාජ්‍ය සම්පත් උලා කමින්, නීතිය හා රාජ්‍ය බලය අපයෝජනය කරමින් මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් කළ විනාශය එතැනින් අවසන් වුණේ නැහැ. ඔවුන්ට මේ සියලු අපයෝජනයන්ට හා අපරාධවලට රැකවරණය ලැබුණේ ආණ්ඩුවේ දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් මැර හමුදා නඩත්තු කළේ, එසේ නොමැති නම් විපක්ෂය, ජනමාධ්‍ය සහ සිවිල් සමාජ සංවිධාන මර්දනය කිරීම සඳහා ආණ්ඩුව වෙනුවෙන් මැරයන් ලබාදීම සිදු කළේ මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් විසිනුයි. මේ සඳහා උදාහරණ දහස් ගණනක් අපට ලබාදිය හැකියි. ඒ අතර වඩාත්ම කුප්‍රකට සිදුවීම වන්නේ එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වූ අජිත් පී. පෙරේරා ඇතුළු එජාප මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය විට හම්බන්තොට නගර සභාවේ සභාපතිවරයා විසින් ප්‍රසිද්ධියේ රඟ පෑ මැර භූමිකාවයි. එදා එජාප මන්ත්‍රීවරුන් පිටුපස පිස්තෝලයක් එල්ල කරමින් හඹා ආ මේ ප්‍රාදේශීය දේශපාලනඥයාගේ මැර ක්‍රියාව සර්ව සාධාරණීකරණය කිරීම හැර ඔහුට එරෙහිව අවම විනය පියවරක් ගෙන එම ක්‍රියාව හෙළා දැකීමක් පවා එදා රාජපක්ෂ ආණ්ඩුව වෙතින් සිදු වුණේ නැහැ.

කප්පම් දේශපාලනය

මේ අතර කැලණියේ දේශපාලන බලවතා වූ මර්වින් සිල්වා ප්‍රමුඛ කැලණිය ප්‍රාදේශීය සභාවේ, පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් කළ මැර දේශපාලනය, පාතාල දේශපාලනය අපට කිසිසේත්ම අමතක කළ නොහැකියි. සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන මැදිරි සංකීර්ණයට බෝම්බ ගැසීම, රූපවාහිනි සංස්ථාවට කඩාපැන එහි කාර්ය මණ්ඩලයට පහරදීම පමණක් නොව එවකට විපක්ෂය විසින් සංවිධාන කළ දේශපාලන රැලි හා වැඩසටහන් කඩාකප්පල් කිරීම සඳහා රාජපක්ෂ පාලන සමය තුළ මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් අසීමිත ආකාරයෙන් භාවිත කළා. උදාහරණයක් වශයෙන් 2010 ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කැලණිය රැලිය සම්පූර්ණයෙන් කඩාකප්පල් කරමින් ඒ මහතාට හූ කියමින් අපහාස කළේ එවකට කැලණිය ප්‍රාදේශීය සභාවේ දේශපාලනඥයන් බව ජනමාධ්‍ය වාර්තා කළා. එමෙන්ම අගවිනිසුරුවරිය ධූරයෙන් පළවා හැරීමට විරෝධය පළ කරමින් නීතිඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන සංවිධාන කළ විරෝධතා වැඩසටහන කඩාකප්පල් කිරීම සඳහා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණේ එවකට කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් බවට චෝදනා එල්ල වුණා.

යහපාලන බලවේග හමුවේ ගිලිහී ගිය පාලන බලය යළි අල්ලා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටු කල්ලිය යළිත් ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇමක් වශයෙන් යොදා ගැනීමට වෑයම් කරන්නේ මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් සතුව මහා ඡන්ද පදනමක්, බලයක් ඇතැයි යන මිත්‍යාව සමඟයි. මෙවැනිම මිත්‍යාවක මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණ සමයේද ගිලී සිටි බව අප අමතක නොකළ යුතුයි. බැසිල් රාජපක්ෂ හරහා ගමට ලැබුණු සල්ලි ද ආණ්ඩුව හරහා ලැබුණු දේශපාලන බලය ද දැඩිව අපයෝජනය කළ මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් අති බහුතරයකට ජනතාව තුළ ඇති පිළිගැනීම 2015 ජනවාරි 08 වැනිදා සේම 2015 අගෝස්තු 17 වැනිදා ද මනාව හෙළි වුණා. ඒත් “ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම ගොඩ ආ යුතුයි” කියන කතාව අනුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රෙජිමය මේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ කරපිටින් ගොස් යළිත් බලය අල්ලා ගැනීමට කරන සැලසුම ගැන අප පුදුම විය යුතු නැහැ.

ඒත් ප්‍රශ්නය වන්නේ පසුගිය කාලය පුරාම කප්පම් දේශපාලනයේ කෙළ පැමිණි මේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට යළිත් ජනතාව බලය ලබාදිය යුත්තේ කුමන පදනමක් මත දැයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස පැහැදිලි නොකිරීමයි.

උදාහරණයක් වශයෙන් මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් පසුගිය රාජපක්ෂ යුගයේදී කප්පම් ගැනීම් අතින් කෙළ පැමිණි බවට පැමිණිලි හා සාක්ෂි දිනපතා ජනමාධ්‍ය මගින් වාර්තා කළා. මේ සඳහා කුප්‍රකට උදාහරණ සිය දහස් ගණනක් දැක්විය හැකියි. ඒ අතර කැලණිය ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා රැසක් කප් ගසා තිබුණා. මේ මජර කප්පම් සංස්කෘතිය කොතරම් විකට රූපී වුවා ද යන්න එවකට කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් පස් කැපීම සඳහා ගාලු දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුගෙන් කප්පම් ඉල්ලීම පිළිබඳ මාධ්‍ය වාර්තා කළ කතාවෙන් වටහා ගත හැකියි.

බලයට පත්වන විට යතුරු පැදියක් පවා නොමැතිව සිටි රාජපක්ෂ යුගයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් මේ වන විට බිලියනපතියන් බවට පත්ව සිටීම තුළ මේ ගසා කෑමේ නියම ස්වභාවය අපට මනාව වටහා ගත හැකියි.

මේ වෑයම පරාජය කරමු

2015 ජනවාරි 08 වැනිදා යහපාලන බලවේග විසින් මේ රටේ දූෂිත හා මර්දනකාරී දේශපාලන සංස්කෘතියට තිත තැබීමට ගත් පියවර වඩාත් තහවුරු කරමින් එය රට තුළ මනාව ස්ථාපිත කිරීමේ තීරණාත්මක අවස්ථාව ඉදිරි පළාත් පාලන මැතිවරණය සමඟ ජනතාව හමුවට පැමිණ තිබෙනවා. මහින්ද රාජපක්ෂ රෙජිමයේ දැවැන්ත බලය හමුවේ නොබියවම ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ සංහිඳියාව වෙනුවෙන් පෙරමුණ ගත් මේ යහපාලන බලවේග තමන්ගේ ස්වභාවික ශක්තිය තවදුරටත් තහවුරු කර ගනිමින්, එදා අඳුරේ අතපත ගාන මිනිසුන් සේ මහින්ද රාජපක්ෂ සමඟ ගිය පිරිසත් යළි දිනා ගැනීමට පියවර ගත යුතුයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය පුංචි ආණ්ඩුවේ බලය ගැන තීන්දු වන මැතිවරණයක් වුවත් එය යහපාලන ආණ්ඩුව සම්බන්ධ ජනමත විචාරණයක් බවට මේ වන විට තීන්දු වී හමාරයි. ඒ නිසා 2015 ජනවාරි 08 සහ අගෝස්තු 17 වැනිදා ඉදිරියට තැබූ පියවර තවදුරටත් යාමට මෙය අවස්ථාවක් කරගත යුතුයි. ඒ නිසා “ගහ දන්න මිනිහට කොළ කඩා පානවා සේ ” මහින්ද රාජපක්ෂ අන්ත දූෂිත ප්‍රාදේශීය දේශපාලනඥයන් දඩමීමා කරගෙන යළි බලය අල්ලා ගැනීමට ගන්නා අවස්ථාවාදී වෑයම යළිත් තීරණාත්මකව පරාජය කළ යුතුයි. 2015 ජනවාරි 08 වැනිදා අප සියලුදෙනා විසින් ඇති කළ වෙනස වඩාත් තහවුරු වනු ඇත්තේ එවැනි පියවරකින් පමණයි.

සටහන- භාතිය බරුකන්ද 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>