ඓතිහාසික ප්‍රබන්ධ නවකතා ලොව රැජන ලෙසින් හඳුන්වන බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකා පිලිපා ග්‍රෙගරි ගේ නවතම ග්‍රන්ථය, The White Queen (ද වයිට් ක්වීන්)ය. කෘතිය සහ ඇගේ ලේඛන කලාව පිළිබඳ www.abebooks.comවෙබ් අඩවියේ පළවූ සාකච්ඡාවක පරිවර්තනයකි.
පළමුව ඔබගේ මේ කෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්?
මේ කෘතිය ප්‍රබන්ධ නොවන නවකතා ගණයට අයත් වෙන්නෙ. එය ‘The Women of the Cousin’s War’ කියන නවකතා මාලාවේ අලුත් ම කෘතියයි. ඓතිහාසික නවකතාවක්. මෙයින් කියැවෙන්නේ එංගලන්තයේ සිටි රජ පවුලක් පිළිබඳයි. ඒ කියන්නේ, එලිසබෙත් වූඩ්විල් සහ සිව්වැනි රජු වටායි. රජුට දාව රැජනට පිරිමි දරුවන් දෙදෙනකු සිටියා. නමින් එඩ්වඩ් සහ රිචඩ්. මේ කුමාරවරුන් දෙදෙනා සතුව ඉතාමත් ජනප්‍රිය නමුත්, නොවිසඳුණු ඓතිහාසික අභිරහසක් නිතරම පැවතුණා. පසුව මොවුන් දෙදෙනා එම අභිරහස නිසාම, ලන්ඩන් කුලුන තුළ දී ඝාතනයට ලක් වුණා. මේ ඓතිහාසික කතාව තමයි මෙහි ඇතුළත් වෙන්නේ.
නවකතාවේ එන මේ කුමාරවරුන්ගේ මරණය ගැන කතා කළොත්, මගේ අදහස නම් ඔබ මෙහි රිචඩ් කුමාරයාට දොස් පවරලා තිබෙනවා. මම නිවැරැදිද?
නවකතාවට අනුව එයට පිළිතුර මේ පොතේ ඇතුළත් වෙනවා. ඒත්, එහි ඓතිහාසික අංශයක් නිරාවණය වන විදිහටයි පිළිතුර අඩංගු වෙන්නේ. ඓතිහාසික ප්‍රබන්ධවල ඉදිරියට මේ දේ සිදුවේවි කියලා ඔබට පරිකල්පනය කළ හැකිව තිබෙනවා.
කොහොම නමුත්, මෙහි රිචඩ්ගේ මව වන එලිසබෙත් , ඇගේ පුතා නරක පුද්ගලයෙක් කියා සිතන්නේ නෑ. මං, මේ ආකාරයට සිදු වෙන්න ඇති කියලා මේ සිදුවීම් පෙළ නිර්මාණය කරනවා. ඒත්, රිචඩ් වැරැදියි කියලා මට හිතෙනවා. ඒ අනුවයි මං සිදුවීම් පෙළ ගැස්සුවේ.
මේ මරණය එක්තරා ශාපයක්ද?
ඔව් . වෙන්න පුළුවන්. ඉතිහාස කතා කියවන විට, අධ්‍යයනය කරන විට ‘ශාපය’ කියන වචනය නිරන්තරයෙන් හමු වෙනවා. මේ අභිරහස් මරණයත් ශාපයක් වෙන්න පුළුවන්.
ඔබ ලේඛන කලාවට පිවිසියේ කුමන කාලයේද?
1987 වසරේ සිටයි මං පොත් ලිවීම ආරම්භ කළේ. ඒත්, ඊට පෙර සිට විවිධ කතා ආදිය ලියා තිබුණත්, ඒවා ප්‍රකාශයට පත් වුණේ නෑ. මං ඒවායින් අත්දැකීම් ලබා ගත්තා විතරයි.
ඔබ මේ වන විට ග්‍රන්ථ කොපමණ ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර තිබෙනවාද?
1987 ආරම්භ වුණු මගේ ලේඛන ජීවිතයට දැන් වසර 30කටත් අධිකයි. මේ කාලය ඇතුළත ග්‍රන්ථ 60කට ආසන්න ප්‍රමාණයක් මගේ අතින් ලියැවී තිබෙනවා. ඒවා බොහොමයක් ඓතිහාසික නවකතා. ඒකයි මට ඓතිහාසික ප්‍රබන්ධ නවකතා ලොවේ කිරුල පැළඳීමට හැකි වී තිබෙන්නේ. ඒ වගේම, මම ප්‍රබන්ධ නොවන නවකතා, ළමා කතා, කෙටි කතාත් ලියනවා. මගේ නවකතා කිහිපයක්ම තිබෙනවා. කොටස් කිහිපයකින් සමන්විත වන, ඒ කියන්නේ කතා මාලා ලෙසයි ඒවා ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. පාඨක ඉල්ලීම උපරිමයෙන් මට ලැබෙනවා. ඒ අනුවයි මං කතා කොටස් කිහිපයකින් ඉදිරිපත් කර තිබෙන්නේ.
එලෙස කොටස් කිහිපයකින් පළ වුණු නවකතා මොනවාද?
The Plantagenet, ද විමෙන් ඔෆ් ද කසින්’ වෝ, ටියුඩර් වැනි නවකතා ඒ වගේ නවකතා විදිහට හඳුන්වන්න පුළුවන්.
ඔබගේ නවකතාවල නම් බොහොමයක් ‘Queen,Princess, Curse, love, king’ යන වචනවලින් සමන්විතයි.
මගේ සෑම කතාවක්ම පාහේ ඉතිහාසයේ රජ පවුල්වලට සම්බන්ධ ඒවා. මං ඒ ඇසුරින්මයි පොත්වලට නම් යොදන්නෙත්. ‘ද ක්වීන්’ ස් ෆුල්, ද කන්ස්ටන්ට් ප්‍රින්සස්, ද රෙඩ් ක්වීන්, ද අදර් ක්වීන්, ද ක්න්ස් කර්ස්, ද වයිට් ප්‍රින්සස්, ද වර්ජින්ස් ලවර්, ත්‍රී ක්වීන්ස්’ ආදී ලෙසින් ඒවායින් කිහිපයක් සඳහන් කරන්න පුළුවන්.
ඔබගේ කෘති සඳහා පර්යේෂණයේ යෙදෙන්න කැමති ස්ථාන තිබෙනවාද?
නිවැරැදි ලිපි ලේඛන සහ සම්පත් සංස්කරණය කරලා, මගේ ලිවීමේ ශෛලියට අනුව නැවත ලිවීමට බොහෝ කාලයක් ගත වෙනවා. ඒ සඳහා මට අපේ රටේ පුස්තකාල, ඓතිහාසික ස්ථාන බෙහෙවින් උපකාර වෙනවා. මං මගේ පර්යේෂණ කටයුතු කරන්නෙ මේ ඓතිහාසික ස්ථාන ආශ්‍රිතවයි. ඒ වගේම, පුස්තකාලවල වැඩි කාලයක් ගත කරනවා.
ඔබ එලෙස වැඩියෙන්ම පර්යේෂණ සහ සංචාරය කර ලියූ, ඔබ කැමැතිම කෘතිය මොකක්ද?
‘ද කොන්ස්ටන්ට් ප්‍රින්සස්’ කෘතිය සඳහන් කරන්න පුළුවන්. එය මං ලිව්වේ ස්පාඤ්ඤයේ ග්‍රැනඩා ඇතුළු නගරවල, එංගලන්තයේ ඇතැම් දේශසීමාවල, වේල්සයේ ආදී නගරවල සංචාරය කරලා සොයාගත් පර්යේෂණ තොරතුරු මගින්. එම පර්යේෂණ අත්දැකීම් මගේ ලේඛන දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් කිව්වොත් වඩාත් නිවැරැදියි. අත්දැකීම් සම්භාරයක් වගේම, බොහෝ තොරතුරු හා දැනුමක් මට එහිදී ලැබුණා. ඒ සියල්ල නොඅඩුව මේ කෘතිය මගින් මං පාඨකයන් සමඟ බෙදා හදා ගෙන තිබෙනවා.
ඔබ වෙනත් ඓතිහාසික ප්‍රබන්ධ ගණයේ නවකතා කියවනවද?
නෑ. කවදාවත්ම නෑ. මම මගේම ආවේණිකත්වයක් දැනටම සොයා ගෙන අවසන්. මගේ මනස බෙහෙවින් ශක්තිමත්. ඒ තුළ ලෙහෙසියෙන්ම නිරන්තරයෙන් කරුණු ගොඩනැගෙනවා. ඒත් මං ඓතිහාසික නොවන නවකතා ඕනෑ තරම් කියවනවා. මගේ ප්‍රියතම ලේඛිකාවක් තමයි Alison Weir. ඒ වගේම, නූතන ප්‍රබන්ධ නවකතා සහ සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ කෘති මං කියවනවා. ජෝජ් එලියට්, ජේන් ඔස්ටෙන්, ඊ. එම්. ෆෝස්ටර් වැනි සම්භාව්‍ය සාහිත රචකයන්ටත් මං කැමැතියි.
ඔබ ආදර්ශයට ගත් කෘති මොනවහරි තිබෙවාද?
ඔව් ‘who wrote Shakespeare’ (හු රෝට් ෂේක්ස්පියර්) ‘English Magic (ඉංග්ලිෂ් මැජික්), ‘The Lady of the Hare (ද ලේඩි ඔෆ් ද හෙයර්) යන කෘති.
ඔබට ලැබී තිබෙන සම්මාන පිළිබඳ කතා කළොත්?
මගේ ‘The Other Boleyn Girl’ යන කෘතියට 2002 වසරේදී වසරේ හොඳ ම ප්‍රේමනීය නවකතාවට හිමි සම්මානය ලැබුණා. ඒ නවකතා සංගමය මඟින් පිරිනමන හොඳම සම්මානය. ඊට අමතරව RoNA සම්මානය හිමිවුණා.
ඔබ වෙනත් සමාජ සේවයන්වල නිරත වෙනවාද?
ඔව් මං ගැම්බියාවේ දුප්පත් පාසලකට උදවු කරනවා. 1993 වසරේ සිට. එහි ගොඩනැගිලි ඉදි කරනවා. පාසල් උපකරණ ළමයින්ට ලබා දෙනවා. අදටත් නොකඩවා එම කර්තව්‍ය මං කරගෙන යනවා. මං එයින් විශාල සතුටක් ලබනවා.
යශෝදා ඉන්දීවරී