Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

කඳු මුදුනෙන් කෝප්පයට

$
0
0
නොවැ 2, 2018 01:00

ශ්‍රී ලංකාවේ තේ වගාවේ ඉතිහාසයේ තිඹිරිගෙය කියනුයේ උඩරට වුවද මේවන විට පහතරට තේ සඳහා ද විශාල ඉල්ලුමක් පවතී. තේ සඳහා වන ආර්ථික වටිනාකම ඉහළයාමත් සමඟ පහතරට වගාකරුවන් බොහෝ දෙනෙකු රබර් වගාව අතහැර තේ වගාවට යොමු වූහ. ඒ සමගම පහත රටද තේ කර්මාන්ත ශාලා බිහිවිය.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ තේ වගාව මෙරටට හඳුන්වාදුන් බව ඉතිහාසයේ සඳහන් වේ. සිලෝන් ටී (Ceylon tea) ලෙස ලෝක ප්‍රසිද්ධ ඩොලර් මිලියන සිය දහස් ගණනක ආර්ථික වටිනාකමක් ඇති, මෙරටට විදේශ විනිමය ගෙන එන බෝග අතරින් ප්‍රධාන තැනක් ගන්නා තේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව දැනසිටීම ඉතා වැදගත්ය.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්ත ශාලා 700ක් පමණ ‍මේ වන විට ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. පහත රට, ඇල්පිටිය, බඹරවාන සුසන්ත තේ කර්මාන්ත ශාලාවද ඒ අතරින් එකකි. අපනයනය මූලික කර ගනිමින් තේ නිෂ්පාදනය කරන සුසන්ත තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ වන්නේ එච්.එල්.සමන්ත මහතාය. කර්මාන්ත ශාලා කළමනාකරු විජේරත්න මහතාය.

තේ දලු නෙළීමේ ක්‍රියාවලිය බොහෝ දෙනෙකු දන්නාමුත් එතැන් සිට රසවත් තේ ‍කෝප්පය දක්වා දිවෙන තේ නිෂ්පාදන ක්‍රියාවලිය බොහෝ දෙනෙක් නොදනී.

තේ නිෂ්පාදනයේදී වැදගත්ම කටයුත්ත වන්නේ ප්‍රමිතියෙන් යුත් ‍තේ දලු තෝරා ගැනීම ය. තේ දල්ලේ රසායනික සංයුතිය දිගනොහැරුණු දල්ලේ සිට පහළට වෙනස් වේ. උසස් ප්‍රමිතියෙන් යුත් ඉහළ ශ්‍රේණියේ තේ ලබාගැනීමට දිග නොහැරුණු දල්ලේ සිට පහළට නොමේරූ දලු දෙකක් නෙළා ගැනීම අනුමත ක්‍රමයයි.

මෙරට බොහෝ කර්මාන්ත ශාලාවල තේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන්නේ නවීන තාක්ෂණය සහිත යන්ත්‍රානුසාරයෙනි. මෙකී කටයුත්ත අපට සුසන්ත තේකම්හල ආශ්‍රයෙන් විමසා බැලිය හැකිය. තේ වියළා ගැනීම සඳහා වන තාප උඳුනට පමණක් ලී කුඩු සහ දර ආධාරයෙන් තාපය ලබා ගැනීමට පෝරණුවක් මෙහි සකසා ඇත. එහි විශේෂත්වය වන්නේ එහිදී දර අවම ප්‍රමාණයක් භාවිතයට ගැනීමයි. එමගින් පරිසර හානිය අවම වීම වැදගත් වේ.

තේ දලු ප්‍රවාහනයට කොහු ලණුවලින් තැනූ ගෝනි යොදා ගනී. ඒ තේ දලුවල ගුණාත්මක බව රැක ගැනීම සඳහා ය. ප්‍රවාහනයේදී තැලී පොඩිවී ඇති දළුවලින් නිෂ්පාදනය කරනු ලබන තේ කොළ ගුණාත්මක බවින් අඩුය. තේ දලුවල බර කිරීම සිදුවන්නේ කර්මාන්ත ශාලාවට තේ දළු ගෙනා පසුය. බර කිරීමෙන් පසු තේ දලු වර්ගීකරණය කෙරේ.

එලෙස තෝරාගත් තේ දලු තේ නිෂ්පාදනයේ පළමු හා වැදගත්ම පියවර වන මැලවීමේ ක්‍රියාවලියට ලක් කෙරෙනුයේ අඩි 6ක් පළල ද්‍රෝණි මත තේ දලු ඇසුරුම් කිරීමෙනි. මේ මඟින් ඒකාකාර වාත පරිවහනයක් සිදු වේ. දලු අතරින් වාතය ගමන් කළ හැකි පරිදි වරින් වර දලු පෙරළමින් මිශ්‍ර කිරීම මඟින් තේ දලුවල තෙතමනය 55%ක් ඉවත් කිරීමෙන් දලුවල ඇදෙන සුළු බව (Rubbery Condition) හොඳින් පවත්වා ගැනීමට හැකියාව ලැබේ. දලු ඇඹරීමේ ක්‍රියාවලියේදී මෙම තත්ත්වය වාසිදායක වේ. දලු වියළා ගැනීමේ ක්‍රියාවලියට ද්‍රෝණි වෙත ඒකාකාරී රස්නයක් ලබාදෙනුයේ විශාල ප්‍රමාණයේ සුළංපෙති මඟිනි.

මැලවීමේ ක්‍රියාවලියෙන් පසු ඇඹරීමේ ක්‍රියාවලිය සඳහා තේ දලු යොමු කෙරෙනුයේද යන්ත්‍රානුසාරයෙනි. ඇඹරුම් යන්ත්‍ර (Rolar) මඟින් දලු අඹරා ගැනේ. තේ දලු කුඩා කැවලිවලට කැඩීයාම සිදුවන්නේ ද ඇඹරීම හේතුවෙනි. කුඩා කැබලිවලට කඩාගත් තේ කොළ පෙනෙර මාර්ගයෙන් හලා ගැනීමෙන් පසු තේ කොළ පැසවීමේ ක්‍රියාවලියට ලක්කෙරේ. පැසවීමේදී තේ කොළවල රසායනික ක්‍රියාකාරීත්වය සක්‍රීය වේ. පැසවීම සිදුවන පැය 2 ½ ක පමණ කාලයක් තුළ එහි ආර්ද්‍රතාව ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගත යුතුය. මේ සඳහා ජලවාෂ්ප කෘත්‍රිමව එක්කිරීම සිදුවේ. පැසවීම මනාලෙස සිදුකළ කල්හි නිමි තේවල වර්ණය, ගුණාත්මක බව, රසය මනා ලෙස ආරක්ෂා වේ.

සෙල්සියස් අංශක 125ත් 130ත් අතර උෂ්ණත්ව පරාසයක, උඳුනක ආධාරයෙන් විනාඩි 20ක් පමණ තේ කොළ වියළා ගැනීම කරනුයේ පැසවීමේ ක්‍රියාවලියෙන් පසුවය.

නටු සහ කෙඳි ඉවත් කොට තේ ශ්‍රේණිගත කිරීම සිදුවන්නේ තේ නිෂ්පාදන ක්‍රියාවලියේ ඇසුරුම් කිරීමේ අදියරට පෙරය. එහිදී පාරම්පරික යන්ත්‍රෝපකරණ මෙන්ම නවීන තාක්ෂණයෙන් හෙබි වර්ණ වි‍ෙභ්දන යන්ත්‍රද භාවිතා කෙරේ. තේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසන නිමි තේ කොළඹ තේ වෙන්දේසිය වෙත යැවේ. තේ පාලන පනතට අනුව සෑම තේ කර්මාන්ත ශාලාවකම නිෂ්පාදනයෙන් 97%ක් තේ වෙන්දේසියට යැවිය යුතු ය. කුඩා තේවතු හිමියන් අතරේ බෙදීම සඳහා තේ නිෂ්පාදනයෙන් 3%ක් ඉතිරිකර ගත හැකිය.

ශ්‍රී ලංකාවේ තේ විකිණීම සඳහා ලියාපදිංචි ඕනෑම අයකුට තේ කොළ මිලදීගත හැකිය.විවිධ නම්වලින් මෙරට විකුණන තේ කොළඹ තේ වෙන්දේසියෙන් මිලදී ගත් ඒවාය. කොළඹ තේ වෙන්දේසියේ සතියකට තේ කිලෝ හැත්තෑ ල්කෂයක් පමණ විකිණෙන අතර ඉල්ලුම අනුව මෙම ප්‍රමාණය අඩු වැඩි වන අවස්ථාද ඇත.

ශ්‍රී ලංකාවේ තේ විකිණීම සඳහා කොළඹ තේ වෙන්දේසියෙන් තේ කොළ ලබාගැනීමේදී සැපිරිය යුතු කරුණු දෙකකි. පළමුව ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් වෙළෙඳ බලපත්‍රයක් ලබාගත යුතුය. ඊට අමතරව කොළඹ තේ වෙන්දේසියේ ලියාපදිංචියද ලබාගත යුතුය. ව්‍යාපාරිකයකු ලෙස අනෙකුත් ලියාපදිංචි වීමේ ක්‍රියාවලියද සපුරා තිබීම වැදගත්ය.තේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදන ක්‍රියාවලියේදී නිමිතේ බවට පරිවර්තනය කළ නොහැකිව ඉතිරිවන තේ කසල තේ ලෙස නැවත පිරිසුදු කොට භාවිතා කිරීමට ඉඩකඩසලසා ඇත. කසල තේ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයට මෙන්ම තේවල ගුණාත්මකබව කෙරෙහිද එල්ල කරන බලපෑම සුළු පටු නොවේ. දලුවල ප්‍රමිතිය අනුව කර්මාන්ත ශාලාවක ඉතිරිවන කසල තේ ප්‍රමාණය වෙනස් වේ. දලුවල ගුණාත්මකභාවය අනුව එය 3% සිට 13% හෝ 15% දක්වා විය හැකිය. කසල තේවල ඇති නටු සහ කෙඳි ඉවත්කර ගත් පසු ඉතිරිවන හොඳ තේ කුඩු විකිණීම නීත්‍යානුකූලය. එහෙත් කසල තේ ලබාගන්නා බොහෝ වෙළෙන්දන් නටු සහ කෙඳි තිබියදීම තේවලට විවිධ වර්ණගන්වා විකිණීම නිසා මෙරට කසල තේ පිළිබඳව ඇත්තේ හොඳ ප්‍රතිචාරයක් නොවේ.

තේකර්මාන්තයේදී තේවලට සීනි එක්කිරීම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ කරුණකි. තේවලට සීනි එක් කරන්නේ කර්මාන්තශාලාවේ ඇඹරුම් අවස්ථාවේදීය. එලෙස සීනි එක්කිරීමෙන් කර්මාන්ත ශාලා හිමියන් බලාපොරොත්තු වන්නේ කසල තේ අවමකර ගැනීමයි. සීනිවල ඇති ඇලෙන සුලු බව නිසා තේවල නටු සහ කෙඳිද ගුණාත්මක බවින් යුතු තේ හැඩයට පරිවර්තනය වේ. මේ තත්ත්වය මෙරට තේවල ප්‍රමිතියට මහත් බලපෑමක් එල්ලකරමින් සිටී.

ලෝකයේ තේ නිෂ්පාදනය කරන රටවල් අතුරින් අපට හිමිව ඇත්තේ තෙවැනි තැනය. කෙන්යාව පළමු තැනද චීනය දෙවැනි තැනද ගෙන ඇත. තේ නිෂ්පාදනයේදී එහි ගුණාත්මක බව රැකගැනීම මඟින් ලොව පළමුතැනට වුවද ශ්‍රී ලංකාවේ තේවලට ළඟාවිය හැකිය. කෙසේවුවද ශ්‍රී ලංකාවේ තේ සඳහා තවමත් හොඳ ඉල්ලුමක් තිබේ.

 

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>