Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

දැන් විකාශය වන ටෙලිනාට්‍ය ගැන දුකයි

$
0
0
නොවැ 6, 2018 01:00

කුමාර තිරිමාදුර

වේදිකාව, රිදී තිරය සහ පුංචි තිරය ජයගත් ජනප්‍රිය රංගන ශිල්පියකු සේම ගායකයෙකු, තිර පිටපත් රචකයකු, අධ්‍යක්ෂකවරයකු ලෙසින් විවිධ ක්ෂේත්‍රයන් තුළ කැපී පෙනෙන දක්ෂතා ඇති කුමාර තිරිමාදුර පිළිබඳව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. මේ දිනවල ඔහු පිළිබඳ කතාබහ අලුත් වී ඇත්තේ පිටපත් රචනය, අධ්‍යක්ෂණය සේම ප්‍රධාන චරිත නිරූපණය යන ත්‍රෛ කාර්යයන්ගෙන් ඔහු දායක වන “ද නිව්ස් පේපර්” චිත්‍රපටය හරහාය.

l “ද නිව්ස් පේපර්” වාර්තාවක් තියන්නයි යන්නෙ?

“ද නිව්ස් පේපර්” තිරපිටපත ලියන්නෙත්, අධ්‍යක්ෂණය කරන්නෙත්, ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙත් මම සහ සරත් කොතලාවල. ලංකාවේ පළවෙනි වතාවට පිටපත් රචනය, අධ්‍යක්ෂණය සහ ප්‍රධාන චරිත නිරූපණයෙන් දෙදෙනෙක් දායක වන පළමු සිංහල චිත්‍රපටිය මේක. ලෝකෙත් එක්ක ගත්තමත් දෙන්නෙක් එකතු වෙලා පිටපත් රචනය කරලා, ඒ දෙන්නම අධ්‍යක්ෂණය කරපු අවස්ථාවන් තියෙනවා. ඒත් ඒ දෙන්නම ප්‍රධාන චරිත රඟපාපු අවස්ථා තියෙනවාද කියන එක ගැන මේ වෙද්දි අපි හොයාගෙන යනවා. නමුත් මේක අහම්බයක්. වාර්තාවක් තියන්නයි කියලා හිතාගෙන කරපු වැඩක් නෙවෙයි.

| දැන් කොහොමද චිත්‍රපටියේ වැඩ කටයුතු?

චිත්‍රපටියේ වැඩකටයුතු මේ වෙද්දි තියෙන්නේ අවසන් අදියරේ. මේ දිනවල පසු නිෂ්පාදන කටයුතු කෙරීගෙන යනවා. බොහොම ඉක්මනට ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටිය නරඹන්න අවස්ථාව ලබාදෙන්නයි බලාපොරොත්තු වෙන්නෙ. මමයි සරත් කොතලාවලයි “තණ්හා රතී රඟා” චිත්‍රපටිය ලිව්වෙ ප්‍රභාකරන් මිය ගිය දවසේ. එදා මිනිස්සු හැසිරුණ විදිහ අපි බලාගෙන හිටියා. ඒ හැසිරීම තමයි අපේ චිත්‍රපටියට වස්තු බීජය වුණේ. හැම වෙලාවෙම අපි දෙන්නා උත්සාහ කළේ ගැඹුරු මිනිස් හැඟීම් උද්දීපනය කරන්නයි. “ද නිව්ස් පේපර්” චිත්‍රපටියත් ඒ වගේ මිනිස් හැඟීම් ඉස්මතු කරන්න ගත්ත වෑයමක්.

l තිරපිටපත ලියලා, ප්‍රධාන චරිත නිරූපණයටත් සූදානමින් ඉන්න අතරවාරයේ ඔබ දෙපළම මේ නිර්මාණය අධ්‍යක්ෂණය කිරීමේ කර්තව්‍යයත් භාරගන්න විශේෂ හේතුවක් තිබුණද?

අපිට “ද නිව්ස් පේපර්” පිටපත ලිව්වට පස්සෙ ඒක දෙන්න කෙනෙක් හිටියෙ නෑ. නිෂ්පාදකවරයෙක් හොය හොයා ඉන්නකොට තමයි බන්දුල ගුණවර්ධන මහත්මයා අපිට උදව් කරන්න කැමති වුණේ. සරත් කොතලාවල කියන්නේ බන්දුල ගුණවර්ධන මහත්මයාගේ ගෝලයෙක්. එතුමාගේ ටියුෂන් පංතියක ඉගෙනගෙන තිබුණා. දවසක මුණගැහිලා මේ චිත්‍රපටිය ගැන කිව්වම එතුමා නිෂ්පාදනය කිරීමේ කටයුතු භාරගත්තේ අපිට උදව්වක් වශයෙන්. ඒ වගේම එච්. ඩී.ප්‍රේමසිරි මහත්මයාත්, රවින්ද්‍ර ගුරුගේ මහත්මයාත් අපිට කරන උදව්වක් වශයෙන් මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුත්තට සම්බන්ධ වුණා. පස්සෙ අපි ඒ චිත්‍රපටියට අධ්‍යක්ෂකවරයෙක් හෙව්වා. එච්.ඩී. ප්‍රේමසිරි මහත්මයයි බන්දුල ගුණවර්ධන මහත්මයයි තමයි කිව්වෙ වෙන කාටවත් අධ්‍යක්ෂණය කරන්න දෙන්නෙ මොකටද ඔය දෙන්නා නම් රඟපාන්නෙ, ඔය දෙන්නා නම් පිටපත ලියන්නෙ, ඔය දෙන්නම ඕක අධ්‍යක්ෂණය කරන්න කියලා. ඒ යෝජනාව අනුව තමයි අපි දෙන්නම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න තීරණය කළේ.

l සහෝදර කලා ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය කොයි වගේද?

මේ චිත්‍රපටියෙන් නිරූපණය වෙන්නේ චිත්‍රපටියට සහභාගි වුණ සියලුම දෙනා සරත් කොතලාවලටයි මටයි දැක්වූ ආදරය කියලයි මම කියන්නෙ. ඒ කිසි කෙනෙක් මෙතනදි මුදලට මුල් තැන දුන්නෙ නෑ. උදාහරණයක් විදිහට කියනවා නම් රංගන ශිල්පියෙක් රුපියල් 100ක් අරන් කරන්න ඕනෙ චරිතය මේ අය රුපියල් 20ට රඟපෑවා. එහෙම කළේ මටයි සරත්ටයි මේ චිත්‍රපටිය කරගන්න ලබාදෙන සහයෝගයක් විදිහට. මේ නිර්මාණයට රංගනයෙන් දායක වුණ හැමෝම වගේ අපේ පරම්පරාවේ අය. සරත් කොතලාවටත් මං නිතරම විහිළුවට කියනවා අපි දෙන්නගේ නම් දෙක දාලා අනිත් ඔක්කොගෙම නම් ගරු රඟපෑම් කියලා දාමු කියලා. මොකද ඒ අය ඇවිල්ලා, මුදලට රඟපාලා ගියේ නෑ. හරියටම කියනවා නම් ඒ අය ඇවිත් අපිට ආදරේ කරලා ගියා. රුක්මාල් නිරෝෂ් තමයි මේ චිත්‍රපටයේ සංස්කරණ කටයුත්ත කළේ. කිසිම මුදලක් අය කරන්නෙ නැතුව ඔහු අපිත් එක්ක මේ වැඩේදි මාස ගාණක් එකට හිටියා. අපේ චිත්‍රපටිය සහයෝගය දීලා ඒ හැමෝම කළේ අපිට ආදරය දුන්නු එක. ඉතිං මේ වෙලාවේ ඒ අයව ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕනෙ.

l මේ දවස්වල ටෙලිනාට්‍යවල නම් පේන්න ඉන්නවා අඩුයි නේද?

ඔව්. ඒකට හේතුවක් තියෙනවා. දැන් ලංකාවේ ටෙලිනාට්‍ය කෙරෙන විදිහ අන්තිම කැතයි. රට තියෙන්නෙත් නරක විදිහට. ටෙලි නාට්‍යයත් අන්තිම නරක විදිහකට තමයි හැදෙන්නෙ. ඒ ගැන අපිට හරිම හිතට අමාරුයි.මොකද අපි ටෙලිනාට්‍යවල ස්වර්ණමය යුගයේ ජීවත් වෙච්ච අය. “වසූදා”, “පබා”, “පබළු” හැම එකක් එක්කම මම වැඩ කළා. ඒ ටෙලිනාට්‍යවල දැන් ටෙලිනාට්‍යවල වගේ කරදර තිබුණෙ නෑ. දැන් දැන් ටෙලිනාට්‍ය බොහොම කරදරකාරී මට්ටමකට ඇවිත් තියෙනවා. ඒ නිසා මම ටෙලිනාට්‍යවලට ගොඩක් දුරට සහභාගි වෙනවා අඩුයි. නමුත් මම දිගටම වේදිකාවේ ඉන්නවා. වේදිකාව කියන්නෙ හරිම නිදහස් තැනක්. මං ආසයි වේදිකාවට වෙලා, පාඩුවේ හොඳ නිර්මාණයකට දායක වීගෙන ඉන්න. වේදිකාව කියන්නේ ඕන ඕන අයට ඇවිත් සෙල්ලං දාන්න පුළුවන් තැනක් නෙවෙයි. හිතුන ගමන් මගේ දුවට වුණත් ඇවිත් වේදිකාවේ රඟපාන්න බෑ. මොකද වේදිකා රංගනය කියන්නෙ දැඩි හැදෑරීමක් එක්ක, දිගු පුහුණුවක් එක්ක කළ යුතු දෙයක්. ඉතින් මේ දවස්වල වේදිකා නාට්‍යයත් එක්ක මං ලංකාව වටේම යනවා. වේදිකා නිර්මාණ නිසා ලැබෙන සතුට අපිට ඉතුරු වෙලා තියෙනවා. නමුත් දැන් යන ටෙලිනාට්‍ය ගැන නම් දුකයි. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය මීට වඩා දියුණු වෙන්න ඕනෙ. හැමදාම කතා කරනවා විතරයි. ඒත් දියුණු වෙන බවක් පේන්න නෑ. හැමදාම මේ ගැන කතා කළත් ඇත්ත ඇති සැටියෙන් කතා කරන්නැතුව කිසි දෙයක් වෙන්නෙ නෑ. මේ ඉන්න දේශපාලඥයන්ට ඒක තේරෙන්නෙත් නෑ. අපි ඉතිං පැත්තකට වෙලා ඉන්නවා. නමුත් ඉතින් නිෂ්පාදකවරයෙක් සම්බන්ධ කරගෙන තවත් හොඳ චිත්‍රපටියක් කරන්න මම බොහොම කැමැත්තෙන් ඉන්නවා.

l ඔබ මේ දිනවල සම්බන්ධ වෙන වේදිකා නාට්‍ය නිර්මාණ ගැන කතා කළොත්?

“මේ දවස්වල බල්ලොත් එක්ක බෑ 2” බොහොම ජනප්‍රියයි. ලබන අවුරුද්දෙ සියලුම දර්ශනවාර දැනටමත් වෙන් කර අවසන්. ඒ වගේම “කෝ කුක්කො”,“නරි බුරති”, “දෙයියොත් දන්නෑ” ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවකට ම මේ දිනවල රංගන දායකත්වය ලබා දෙනවා. විදෙස් සංචාර ගණනාවකටත් සහභාගි වුණා.

l රංගනය ට අමතරව ඔබේ අනෙකුත් විශේෂ වැඩ කටයුතු මොනවද ?

රංගනයට අමතරව මගේ “මං බොරැල්ලෙ ඈ බදුල්ලෙ” සිංදුවත්, “මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝලම” වගේ මම ගායනා කරන ගීත රාශියක් අතිශයින් ජනප්‍රිය වුණා. ඒ ගීත ගයන්න ආරාධනා ලැබෙන නිසා නිතරම වගේ සංගීත ප්‍රසංගවලටත් මම සහභාගි වෙනවා. ඊට අමතරව මම සිළුමිණ පුවත්පතට සහ ලංකා පුවත්පතට ලියපු “මගේ ජීවිතේ” තීරු ලිපි පෙළින් තෝරා ගත් තීරු ලිපි පණහක් එකතු කරළා පොතක් මුද්‍රණය කළා. ඒ පොත දැන් ලංකාවේ ප්‍රධාන පෙළේ සියළු පොත් සාප්පුවලින් මිලදී ගන්න පුළුවන්. “මගේ ජීවිතේ” කෘතියට මේ වෙනකොට සෑහෙන්න පාඨක, රසික ප්‍රතිචාරයන් ලැබෙමින් තිබෙනවා. ඒ ගැනත් සතුටුයි. ඔය ආකාරයට තමයි මගේ වැඩ කටයුතු කෙරීගෙන යන්නෙ.

l ධර්ම යුද්ධය චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔබ සම්මාන උළෙල කිහිපයකදීම සම්මානයට පාත්‍ර වුණා?

පහුගිය දිනවල පැවැත්වුණු දෙරණ,සිග්නීස්, සරසවිය, හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝර්ඩ්ස් කියන සම්මාන උළෙල හතරෙන් සරසවිය සම්මාන උළෙලදී හැර අනෙක් සම්මාන උළෙල තුනේදීම ධර්ම යුද්ධය චිත්‍රපටයේ මා කළ රංගනය වෙනුවෙන් මට සම්මාන ලැබුණා. මගේ දුව තමයි මං වෙනුවෙට වේදිකාවෙදි සම්මානය ගත්තෙ. මට සහභාගි වෙන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මම සහභාගි වුණේ සරසවිය සම්මාන උළෙලට විතරයි. ඒකෙදි මට සම්මානයක් ලැබුණෙ නෑ. ධර්ම යුද්ධය ගැන කතා කරද්දි මට හරිම දුකයි ඒ ඉන්දියානු අධ්‍යක්ෂකවරයාගේ මරණය ගැන. ඔහු බොහොම හොඳ අධ්‍යක්ෂකවරයෙක්. ධර්ම යුද්ධයේ විමල්ගේ චරිතය වෙනුවෙන් ඔහු මාව හොඳින් සූදානම් කළා. නමුත් මේ සතුට දකින්න ඔහු හිටියෙ නෑ.ඒ ගැන තමයි මට දුක. ඒ වගේම ධර්ම යුද්ධය ගැන කියද්දි තව දෙයක් තියෙනවා විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. දුවෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හරිම පරිස්සම් වෙන්න ඕනෙ. චූටි ෆෝන් එකකින් ගන්න ෆොටෝ එකක් නිසා සිද්ධ ඛේදවාචකයක් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්නන්නෙ. තාක්ෂණය දැන් බොහොම දියුණුයි. එය හොඳ දේට වගේම වැරදි දේට යොදවා ගන්නත් පුළුවන්.

l ඔබ නළුවෙක් නොවුණා නම්?

රංගන ශිල්පියෙක් නොවුණා නම් මම සදාකාලික පුවත්පත් කලාවේදියෙක්. අවුරුදු 17ක් සෝදුපත් කියවන්නෙක් විදිහට දිවයින පුවත්පතේ වැඩ කරලා, පුවත්පත්වලට ලිපි ලියලා, ඒ දේවල් අත්හැරලා තමයි මම රංගන ක්ෂේත්‍රයට ආවේ. නමුත් එදා කියවපු දේවල් මගේ ජීවිතේට වටිනාකම් එකතු කළා. යම්කිසි කෙනෙක් පත්තරේ අතට ගත්තාම කියවන්නේ තමන්ට අවශ්‍ය කොටස් ටික විතරයි. නමුත් සෝදුපත් කියවන්නෙකුට එහෙම කරන්න බැහැ. මට විනිමය අනුපාත, ලග්න පලාඵල, ඕනෙ නැති ඇමති කෙනෙක්ගෙ කතාවක් වුණත් කියවන්න වෙනවා. අන්න ඒ වගේ තමයි සෝදුපත් කියවන්නෙකුගේ රස්සාව. නමුත් ඒ කියවපු සියලු දේ මගේ ජීවිතේට ලොකු වටිනාකම් එකතු කරලා තියෙනවා.

කාංචනා සිරිවර්ධන
සිතුවම-දර්ශ කපුගේ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>