Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

වැටෙන රුපියල නතර කරන්නට

$
0
0
නොවැ 7, 2018 01:00

රජය විසින් ක්‍ෂණිකව අවධානය යොමු කළ යුතු තවත් ක්‍ෂේත්‍රයක් වන්නේ අප රටෙන් පිටතට සිදුවන සංචාරයි. වන්දනා ගමන්වලට සීමා පැනවීම ඥානාන්විත නොවන බැවින් අනෙකුත් විනෝද චාරිකා සහ සාප්පු සවාරි ආදිය සඳහා ද නොයෙක් විධ සමාගම් විසින් සංවිධානය කරනු ලබන ඔවුන්ගේ ප්‍රවර්ධන කටයුතුවලට අදාළ සංචාර ද සම්බන්ධයෙන් සීමාකම් පැනවිය හැකිය. එහිලා අධි මිලට විදේශ විනිමය නිකුත් කිරීම, විනිමය සීමා දැඩි කිරීම හා බැගේජ් මගින් සිදු කෙරෙන ආනයන සඳහා අධි රේගු බදු පැනවීම යනාදිය උපායයන් ලෙස භාවිත කළ හැකිය.

මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් නව රජයට මුහුණ දීමට තිබෙන ආර්ථික අභියෝග රැසකි. එම අභියෝග නිර්මාණය වූයේ එතෙක් පැවති රනිල් වික්‍රමසිංහ රජයේ අදුරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති නිසා එම වසර හතරකට ආසන්න කාලය මුළුල්ලේ ආර්ථිකය ශීඝ්‍ර පිරිහීමකට භාජනය වූ බැවිනි. එම කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය සෑම අතින්ම පිරිහී ගියේය. එම රජය බලයට පත් වූ 2015 පැවති තත්ත්වයවත් ආර්ථිකය තුළ අද වන විට දක්නට නොලැබේ. පසුගිය දා මූලික සාර්ව ආර්ථික නිර්ණායක 30ක් ආශ්‍රයෙන් මා විසින් කරන ලද විශ්ලේෂණයකින් 28ක්ම අසමත් බැව් ඔප්පු විය. 2014 දී පැවති තත්වයවත් වත්මන් ආර්ථිකය තුළ දක්නට නොලැබීම වත්මන් රජයට පැවරෙන අභියෝගය තීව්‍ර කරයි.

නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය මුහුණ දෙන ප්‍රධාන ආර්ථික ගැටලු වන්නේ උද්ධමනය ඉහළ යාම, රුපියල අවප්‍රමාණ වීම, අයවැය පරතරය, පරිභෝජන මට්ටම පහළ බැසීම, නිෂ්පාදන මට්ටම පහළ බැසීම, රැකියා හිඟය, අපනයන වර්ධනය නොවීම, ආනයන වර්ධනය වීම, දේශීය නිෂ්පාදනය පිරිහීම, ව්‍යාපාරික විශ්වාසය බිඳවැටීම, තොග රැස්වීම හා බැංකුවල ද්‍රවශීලතාව පිරිහීම, යන්ත්‍රසූත්‍ර හා කර්මාන්තවල උපයෝගිතා මට්ටම පිරිහීම, බදුබර හා ණය බර යනාදියයි. මේ සඳහා සාමාන්‍යයෙන් දිගු කාලීන, මධ්‍ය කාලීන හා කෙටි කාලීන ක්‍රියාමාර්ග සැලසුම් කොට ක්‍රියාත්මක කොට ආර්ථිකය යළි ක්‍රමානුකූලව හැඩගස්වා ගත හැකි වුව ද පසුගිය දා ජීවන බර හා බදු බර සැහැල්ලු කිරීමට ක්‍ෂණික පියවර ගත් පරිදි දැවෙන ප්‍රශ්නයක් වන රුපියල අවප්‍රමාණ වීම සම්බන්ධයෙන් ද ක්‍ෂණික පියවර ගත හැකිය. රුපියල ස්ථාවර කරගැනීම පිණිස ක්‍රියාමාර්ග කීපයක් පහත පරිදි යෝජනා කරනු ලැබේ.

අනවශ්‍ය ආනයන

අනවශ්‍ය ප්‍රමාණවලින් රථ වාහන ගෙන්වීම පසුගිය කාලයේ ඩොලරයේ ඉල්ලුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් විය. එක්තරා පුවත්පතක පළ වූ සමීක්‍ෂණයකට අනුව වර්තමායේ රට තුළ වාර්ෂික රථවාහන ඉල්ලුම මෙන් පස් ගුණයක රථවාහන තොගයක් පවතී. ඒ අනුව කාර් පස් ගුණයක් ද ද්විත්ව කාර්ය වාහන හය ගුණයක් ද ත්‍රිරෝද රථ අට ගුණයක් ද යතුරු පැදි තුන් ගුණයක් ද වශයෙන් එම වාහන තොග වර්ග කළ හැකිය. මීට අමතර වශයෙන් බස් රථ, ට්‍රක් රථ, බර වාහන, ඉඩම් හා ඉදිකිරීම් යන්ත්‍ර ද වාර්ෂික ඉල්ලුම මෙන් කිහිප ගුණයක් වෙළෙඳපොළේ ගොඩගැසී ඇත. ආර්ථිකය දිනෙන් දින පිරිහීම නිසා බර වාහනවල ඉල්ලුම සැලකිය යුතු ලෙස පහළ ගිය අතර ගෙදර-දොරේ ප්‍රයෝජනය පිණිස ගනු ලබන රථ වාහන අසීමිත ලෙස පෞද්ගලිකව ආනයනය කොට විකුණා ගත නොහැකිව ගොඩගැසී ඇත. මෙම අතිරික්ත තොගවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන පහ ඉක්මවයි.

වාහන තොග රැස්වීම නිසා ඒ ඒ පුද්ගලයන්ගේ මෙන්ම ආයතනවල ද ආදායම් ප්‍රවාහය ඇණහිට තිබේ. බොහෝ පුද්ගලයන් මෙන්ම සමාගම් ද බැංකු ණය ගෙවා ගැනීමේ දුෂ්කරතාවලට මුහුණ දී සිටී. එය බැංකුවල ද්‍රවශීලතාව කෙරෙහි ද අනපේක්‍ෂිත ලෙස බලපා ඇත. තව ද එය වෙනත් අංශවලට ණය සැපයීම සීමා වීමට ද බලපෑවේය. එම තත්වය ඉහළ වාණිජ පොළියක් නිර්මාණය වීමට ද බලපෑවේය. එබැවින් අධික වාහන ආනයනය විනිමය අනුපාතය ඉහළ යාම කෙරෙහි පමණක් නොව පොලී අනුපාතය ඉහළ යාමට ද ආර්ථිකයේ කාර්යක්‍ෂමතාව අඩාල කිරීමට ද බලපා තිබෙන බව පැහැදිලිය. මෙම ගැටලුවට පිළියම් ලෙස වාහන ආනයන සීමා පනවනු ලැබුව ද ඉන් ඔබ්බෙහි වන විසඳුම් කීපයක් මගින් රුපියල අවප්‍රමාණ වීම කඩිනමින් පාලනය කරගත හැකි වනු ඇත.

ඒ සඳහා ගත යුතු පළමු පියවර වන්නේ දැනට ගොඩගැසී ඇති ලියාපදිංචි නොකළ වාහන ප්‍රති අපනයනය කිරීමයි. ඒවා අප රට සතු ඩොලර් බිලියන් ගණනක සංචිතයකි. එමගින් ඉතා කෙටිකාලයක් ඇතුළත ඩොලර් බිලියන කීපයක් අප රටට උපයා ගත හැකි වේ. එහිලා සැලකිල්ලට ගත යුතු කරුණක් තිබේ. එනම් වාහනවලට දැනටමත් රජය විසින් තීරුබදු හා වෙනත් බදු අයකර ඇති බැවින් ප්‍රති අපනයනයේ දී රජය විසින් එම බදු ප්‍රති අපනයනකරුවන් හට ආපසු ගෙවිය යුතු වේ. එසේ කළ යුත්තේ බදු පසු වටිනාකමට ඒවා ප්‍රති අපනයනය කළ නොහැකි වන බැවිනි.

විදේශවල ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රී ලාංකික සමාගම් ඉතිරි කර තිබෙන විදේශ මුදල් කඩිනමින් ගෙන්වා ගැනීමේ ක්‍ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස බෝනස් පොලියක් ගෙවීමේ තීරණය ගත හැකිය. යම් නිශ්චිත කාලයක් සඳහා එවැනි පොලියක් නියම කළ හැකිය. එසේත් නැතිනම් ඒ සඳහා වෙනත් සානුබලයක් පිරිනැමිය හැක. රුපියලේ අගය ස්ථායිවත්ම සාමාන්‍ය පොලී අනුපාත කෙරෙහි යළි යොමු වන්නට පුළුවන.

ඍජු ආයෝජන සම්බන්ධයෙන් ද නිශ්චිත කාලයක් සඳහා විශේෂ සහන ලබා දී දිරිමත් කළ හැකිය. බදු නිදහස, බදු විරාම කාලය දීර්ඝ කිරීම, කර්මාන්ත යටිතල පහසුකම් සඳහා සහන සැලසීම, සහ අපනයන සඳහා සානුබල ලබාදීම යනාදී ක්‍ෂණික පියවර ඔස්සේ කෙටි කාලයක් තුළ ඩොලර් සංචිත වර්ධනය කරගැනීමට හැකියාව ලැබේ.

රජය විසින් ක්‍ෂණිකව අවධානය යොමු කළ යුතු තවත් ක්‍ෂේත්‍රයක් වන්නේ අප රටෙන් පිටතට සිදුවන සංචාරයි. වන්දනා ගමන් සඳහා සීමා පැනවීම ඥානාන්විත නොවන බැවින් අනෙකුත් විනෝද චාරිකා සහ සාප්පු සවාරි ආදිය සඳහා ද නොයෙක් විධ සමාගම් විසින් සංවිධානය කරනු ලබන ඔවුන්ගේ ප්‍රවර්ධන කටයුතුවලට අදාළ සංචාර ද සම්බන්ධයෙන් සීමාකම් පැනවිය හැකිය. එහිලා අධි මිලට විදේශ විනිමය නිකුත් කිරීම, විනිමය සීමා දැඩි කිරීම හා බැගේජ් මගින් සිදු කෙරෙන ආනයන සඳහා අධි රේගු බදු පැනවීම යනාදිය උපායයන් ලෙස භාවිත කළ හැකිය.

මැණික් ප්‍රවර්ධනය

සීමා පැනවීමේ ක්‍රියාමාර්ග ඔස්සේ අවශ්‍ය නොවන ඉතා සරල භාණ්ඩ ආනයන සීමාකිරීම සඳහා ක්‍ෂණික පියවර ගත හැකිය. සරුංගල්, කැටපෝල, මැජික් බෝල, සබන් පෙන, රබර් නයි, වැනි අනවශ්‍ය භාණ්ඩ සිය ගණනක් සෑම පදික වේදිකාවක ද කුඩා කඩ සාප්පුවක ද දක්නට ලැබේ. එමෙන්ම ජාතික කොඩි, බෞද්ධ කොඩි හා වෙසක් කූඩු වැනි ඉතා සරල භාණ්ඩ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි බැවින් ඒවා ආනයනය ද තහනම් කළ හැකිය. එසේත් නැති නම් ඒවාට අධික ලෙස බදු පැනවීමෙන් ආනයන වියදම පාලනය කරගත හැකිය.

අප රට සතු තවත් වටිනා ධන සංචිතයක් වන්නේ මැණික් ය. රුපියල අවප්‍රමාණ වී ඇති බැවින් අපනයනය කරනු ලබන මැණික් විදේශවල දී වෙනදාට වඩා ලාභදායි වේ. එමෙන්ම ඒ සඳහා ඉහළ රුපියල් මිලක් අපනයනකරුවන්ට ලබා ගත හැකි වේ. මැණික් යනු ක්‍ෂණිකව අලෙවි කළ හැකි භාණ්ඩයක් නොවුණ ද එය ප්‍රචාරණය හා ප්‍රවර්ධනය ඔස්සේ කෙටි කාලයක් තුළ අපනයනය කළ හැකිය. මැණික් යනු දැනටමත් අවසන් භාණ්ඩ ලෙස පවත්වා ගෙන යනු ලබන භාණ්ඩයකි. එබැවින් එය ඕනෑම මොහොතක අලෙවිය සඳහා ඉදිරිපත් කළ හැකිය.

ශ්‍රම සම්පත

අප රට සතු ශ්‍රම සම්පතෙන් ද මෙවැනි අවස්ථාවක අපමණ ප්‍රයෝජන ගත හැකිය. පසුගිය වසරවල රැකියා සඳහා විදේශ ගත වූ ශ්‍රමිකයන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගියේය. එය අප රටට මාසිකව එවනු ලබන විදේශීය සංක්‍රාම අඩු වීමට බලපෑවේය. විදේශයන් සමග සාකච්ඡා කිරීමෙන් නව රැකියා ගිවිසුම් නිර්මාණය කරගැනීමේ හැකියාව රජයට තිබේ. රැකියා සඳහා පිටත් වීමේ පහසුකම් රජය විසින් සපයා දිය හැකි නම් ලක්‍ෂයක පිරිසක් වුව ද කඩිනමින් රැකියා සඳහා පිටත් කර යැවිය හැකිය. නුපුහුණු ශ්‍රමිකයකුට වුව ද වර්තමානයේ ඩොලර් 300ක පමණ සාමාන්‍ය මාසික වැටුපක් ඉපයිය හැකි බැවින් ස්ථිර විනිමය ඉපයුමක් ඒ ඔස්සේ ක්‍ෂණිකව ලබාගත හැකිය. විදේශවලට නුපුහුණු ශ්‍රමය අලෙවි කිරීම තිරසාර කාර්යයක් නොවුව ද එය අවස්ථානුකූලව ප්‍රයෝජනයට ගත හැකි විනිමය ඉපයීමේ මාර්ගයකි.

ආනයන පාලනය හා අපනයන ප්‍රවර්ධනය සඳහා ගත හැකි මැදි කාලීන හා දිගු කාලීන උපාය සැලසුම් කොතෙකුත් ඇතත් අද වන විට අප මුහුණ දී සිටින අර්බුදය සමනය කරගැනීම ප්‍රමුඛ කාර්යයක් කොට සැලකීමේ දී ඒ සඳහා ක්‍ෂණික ප්‍රතිචාර අවශ්‍ය වේ. මේ සඳහා ආනයන සීමා කිරීම කෙරෙහි යොමුවීමෙන් ඇතැම් භාණ්ඩවල හිඟයක් නිර්මාණය වනු ඇත. එය භාණ්ඩ මිල ඉහළ යාමට ද හේතුවක් වේ. එබැවින් තෝරාගත් ආනයන සීමාකිරීමේ පිළිවෙතක් අනුගමනය කරන අතර විනිමය උපයා ගැනීමේ මාර්ග වෙත යොමු වීම වඩාත් ඥානාන්විත වේ.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>