Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මානුෂීය මෙහෙවරින් ගාල්ල එකට

$
0
0
නොවැ 7, 2018 01:00

බන්ධනාගාරගත රැඳවියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මානුෂීය මෙහෙවර වෙනුවෙන් මෙම වසරේ දී (2018) ගාල්ල බන්ධනාගාරය ශ්‍රී ලංකාවේ හොඳම බන්ධනාගාරය බවට සම්මානය ලබා ගැනීමට සමත් වී ඇත.

බන්ධනාගාරය යනු විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට දඩුවම් ලබන පුද්ගලයින් රඳවා තබන ස්ථානයයි. එසේ රඳවා තබන පුද්ගලයින් ආරක්ෂා කිරීම, රැකවරණය සැලසීම හා පුනරුත්ථාපනය කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන කාර්යභාරය වේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ පවතින බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ශ්‍රී ලංකාව තුළ බන්ධනාගාර 33ක් පමණ ඇති අතර ඒ එක් එක් ආයතනවල 2018 ජුනි මස වන විට විවිධ වැරදි අනුව හා සිරගතවන පුද්ගල සංඛ්‍යාව රැඳවියන් 19,900ක් පමණ වේ. මේ සංඛ්‍යාවෙන් 18923ක්ම පිරිමි රැඳවියන් වේ.

කෙසේ නමුත්, ගාල්ල බන්ධනාගාරයට මෙම සුවිශේෂී සම්මානය ලබා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත. බන්ධනාගාර ඉතිහාසය තුළ පළමු වරට ගාල්ල බන්ධනාගාරය මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2017 වර්ෂයේ දී එය බදුල්ල බන්ධනාගාරයට දෙවෙනි විය.

මේ සඳහා රැඳවියන් සඳහා වූ මානුෂික මෙහෙවර පමණක් නොව බන්ධනාගාර ප්‍රධාන අධිකාරිතුමා ඇතුළු නිලධාරීන් තම රාජකාරියෙන් ඔබ්බට ගොස් කරනු ලබන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අභිමානය ඔප් නංවමින් සමාජීය වශයෙන් ගෙන යනු ලබන වැඩසටහන් උපකාරී වී ඇත.

ඒ අතර පාසල් ප්‍රජාව හා තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් බන්ධනාගාර කොමසාරිස්වරයාගේද අනුමැතිය ඇතිව මත්ද්‍රව්‍ය භාවිතයෙන් තරුණ පරපුර ඇබ්බැහිවීම වැළැක්වීමේ අරමුණ ඇතිව පවත්වන "නොයා යුතු නැත"සම්මන්ත්‍රණ මාලාවද මේ සඳහා ප්‍රධාන සාධකයක් වී ඇත.

මෙවැනි සුවිශේෂි වූ සම්මානයක් ගාල්ල බන්ධනාගාරයට ලබා ගැනීමට හැකි විට එහි ප්‍රධාන බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ කැපවීමේ සිහිපත් කළ යුතුමය.

1987 වර්ෂයේ දී දෙවන පෙළ ජේලර්වරයකු ලෙස බන්ධනාගාර දෙපාර්මේන්තුවට එක් වූ වීරසිංහ මහතා පියවරෙන් පියවර තම දක්ෂතාවයන් නිසාවෙන් උසස්වීම් ලැබ බන්ධනාගාර අධිකාරි ලෙස පත් ව ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා - "අධිකරණ හා බන්ධනාගාර විෂය භාර හිටපු ඇමතිතුමිය බන්ධනාගාර දෙපාර්තමේන්තුව නව මඟකට ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කළා. මානුෂීය මෙහෙවර වෙනුවෙන්, හොඳම බන්ධනාගාරය බවට ගාල්ල බන්ධනාගාරය පත්වීම අපට විශාල ශක්තියක්. ගිය වසරේ අපි දෙවන ස්ථානය ලැබුවේ එක ලකුණකින්. මේ සම්මානය ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිර්ණායක රාශියක් සොයා බැලුවා. ඒ අතර රැඳවියන්ගේ මානුෂික ප්‍රවර්ධනය, වෘත්තීය ඵලදායීතාවය, විශේෂ ව්‍යාපෘති, ප්‍රජා සත්කාර සේවා, සෞඛ්‍ය වැඩසටහන්, මේ පිළිබඳවත් විමසිලිමත් වුණා. ගාල්ල බන්ධනාගාරයේ සියලුම දෙනා රැඳවියන් හා කටයුතු කිරීමේදී සෑමවිටම රැඳවියන්ගේ ජීවිත නව මඟකට යොමු කරන්න උත්සාහ ගත්තා. ඒ තුළින් අපි හැමවිටම බලාපොරොත්තු වුණේ යහපත් මිනිසකු සමාජයට නැවත යොමු කිරීම. ඒ වගේම රැඳවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අපි සෑම විටම සොයා බලන්න කටයුතු කළා. ඒ සඳහා සෑම මසකට වතාවක්ම ඇස් පරීක්ෂාව, දන්ත පරීක්ෂාව, ආයුර්වේද සායන පවත්වන්නට කටයුතු කළා. ඒ වගේම රැඳවියන්ගේ පවුල්වල දරුවන්ට ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් සෑම අවුරුද්දකම ශිෂ්‍යත්ව ලබා දීමටත් කටයුතු කරනවා. මේ වසරේ පමණක් ඒ වගේ ශිෂ්‍යත්ව 30ක් ලබා දීලා තියෙනවා.

බන්ධනාගාරයෙන් ඔබ්බට ගොස් වෘත්තීය ඵලපදායීතාවය, විශේෂ ව්‍යාපෘති, ප්‍රජා සත්කාරක සේවා ආදී පිළිබඳවත් අපි සෑම විටම කටයුතු කිරීම තමයි මෙම සම්මානය ලබා ගනීමට හැකි වුණේ. ඒ වගේම ප්‍රධාන ජේලර් වී. ආර්. ප්‍රභාත් මහත්මාත්, ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරි ජයන්ත අදාළසූරිය මහතා ඇතුළු එම පුනරුත්ථාපන නිලධාරි මහත්වරු ජේලර් මහත්වරු හා නියාමක නිලධාරීන් සියලු දෙනාගේම කැපවීම උනන්දුව මේ සඳහා දායක වුණා."

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අභිමානය ඔප් නංවමින් රැඳවියන්ගේ මානුෂීය මෙහෙවර හා සමාජ සත්කාර වෙනුවෙන් ලංකාවේ හොඳම සාර්ථක බන්ධනාගාරය බවට ගාල්ල බන්ධනාගාරය පත් කිරීමට කටයුතු කරන බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු සියලුම නිලධාරීන් තම රාජකාරී සීමාවෙන් ඔබ්බට ගොස් දැයේ දූ දරුවන් වෙනුවෙන් කරන්නා වූ අමිල මෙහෙවර සමස්ත රාජ්‍ය නිලධාරීන්ට පූර්වාදර්ශයක් වනු නොඅනුමානයි.

ප්‍රභාත් විතානාච්චි -දකුණු පළාත් විශේෂ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>