Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

විසුරුවාහැරීම ව්‍යවස්ථානුකූලයි

$
0
0
නොවැ 12, 2018 01:00

ජනාධිපති නීතිඥ ජයතිස්ස ද කොස්තා

2018 නොවැම්බර් 09 වැනිදා මෙරට දේශපාලන ක්ෂේත්‍රයට මෙන්ම දේශපාලනය පිළිබඳ උනන්දුවක් හා කැමැත්තක් දක්වන සියලු දෙනාටම සුවිශේෂිත වූ දිනයක් විය. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් 09 දින රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරි බැවිනි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ වසර හතරහමාරක් පිරුණු පසුවය යනුවෙන් මතයක් සමාජයේ තිබුණි. එහෙත් ජනාධිපතිතුමා හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. මේ ක්‍රියාව ව්‍යවස්ථාවට පටහැනිද? නෛත්‍රික වශයෙන් ජනපතිතුමාට මෙවන් ක්‍රියාවක් කිරීමට බලයක් තිබේද? යන්න මේ දිනවල කාටත් පොදු ගැටලුවක් වී තිබේ.

පසුගිය 09 වැනිදා රාත්‍රියේ ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ දැනට ක්‍රියාත්මකවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා කීපයකම තිබෙන බලතල අනුවය. සංශෝධනය වූ 19 වන ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ ජනාධිපතිතුමාගේ බලතල හා කාර්යභාර ගැන සඳහන්කොට තිබේ. 33 වන ව්‍යවස්ථාවේ පළමු ව්‍යවස්ථාවේ (අ) කොටසට අනුව ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවටද වගබලා ගන්නා බව සඳහන් වේ. මෙයින් පැහැදිලි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමත් අනුගමනය කිරීමට වගබලා ගැනීමේ කටයුත්ත ජනාධිපති වරයාට පැවරී ඇති බවය. ඒ අනුව බලන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂකයා ජනාධිපතිතුමා ය.

ව්‍යවස්ථාවේ බලය

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 62 වන ව්‍යවස්ථාවේ II වන අනු ව්‍යවස්ථාවට අනුව සෑම පාර්ලිමේන්තුවක්ම රැස්වූ පළමු දින සිට පස් අවුරුද්දකට නොවැඩි කාලයක් පවත්නේය. එහෙත් නියමිත කාලසීමාව ඉකුත්වීමට පෙරද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැක්කේය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 70 වන ව්‍යවස්ථාවේ පළමු වන අනු ව්‍යවස්ථාවේ සඳහන් පරිදි “ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද පාර්ලිමේන්තු කැඳවීම, වාර අවසන් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේය.” යනුවෙන් සඳහන් වන අතර එහි අතුරු විධානයක් වශයෙන් මෙසේද සඳහන් වේ. “එසේ වුවද පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීධුර සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවකගේ යෝජනා හා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්කරනු ලබන්නේ නම්, මිස පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් වසර හතරක් සහ මාස හයක් ඉකුත්වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.

ඒ අනුව බලන විට පළමු පාර්ලිමේන්තුව රැස් වූ දින සිට වසර හතරයි මාස හයක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුතුය. 19 වන ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ පළමු අනු ව්‍යවස්ථාවට අනුව එසේ වුව ද, 19 වන ව්‍යවස්ථා සංශෝධනයේම 62 වන ව්‍යවස්ථාවේ පළමු අනු ව්‍යවස්ථාවේ සඳහන්කොට ඇති ආකාරයට පාර්ලිමේන්තුව ඉකුත් වීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට තිබේ.

එම බලය පාවිච්චි නොකළහොත් පාර්ලිමේන්තුවේ නියම ආයු කාලය වන වසර පහ ඉක්ම වූ පසු එය ඉබේම විසිරී යනු ඇත. එසේත් නැතිනම් වසර හතරයි මාස හයක් ගිය පසු විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතුය. නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 62 වන ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව බලන විට එකම ව්‍යවස්ථා සංශෝධනයේ එකම කාර්යයකට එකිනෙකට විරුද්ධව ව්‍යවස්ථා දෙකක් තිබීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මෙවන් අවස්ථා ව්‍යවස්ථාව මඟින් ලැබී තිබුණද එය සිදුකරන ලද්දේ කිනම් පටිපාටියකට අනුව ද යන්න විමසා බැලීම වටී. දැනට ක්‍රියාත්මක කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂකයා ජනාධිපතිතුමා බව සඳහන් වන අතර 19 වන ව්‍යවස්ථාවේ 29 වන ව්‍යවස්ථාවේ (ඈ) කොටසේ අනු ව්‍යවස්ථාවේ සඳහන්වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතව ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙර ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට පාර්ලිමේන්තුව ආරම්භ කර වසරක් ගත වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට තිබුණි. ඊට අමතරව ජනාධිපතිවරයාට තිබූ අසීමිත බලතල අඩුකළ යුතුය යන්න බො‍හෝ දෙනාගේ මතය වී තිබුණි. ඒ අනුව වසරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අවම කරගැනීම සඳහා විශේෂ උනන්දුවකින් කටයුතු කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතා ය. ඒ සඳහා ද විශේෂ හේතුවක් තිබුණි. 2004 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වසර දෙකකට සීමාකොට පාර්ලිමේන්තුව විසුරුවා හැර රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව ඉවත්කර වූයේ බලයට පත්වී වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව තිබූ නිසාය.

අධිකරණ මතය

එම සිදුවීමෙන් ලැබූ කටුක අද්දැකීම් රනිල් වික්‍රමසිංහ මහතාට අමතක නොවූයෙන් මෙවර බලය ලැබූ විගස පැවැති ව්‍යවස්ථාව තමාට අවැසි පරිදි සංශෝධනයට ලක්කොට පාර්ලිමේන්තුව වසරකින් විසිරවීමේ බලය වසර හතරහමාර දක්වා දීර්ඝ කළේය. එක්සත් ජාතික පෙරමුණත්, එක්සත් ජනතා නිදහස් සංධානයත් එක්ව ඇතිකර තිබූ ජාතික ආණ්ඩුව මඟින් පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ අසීමිත බලතල සීමා කරමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදී. එහෙත් එම යෝජනාවලියේ ජනාධිපතිවරයා සම්බන්ධව තිබූ බොහෝ කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කළේ නැත. අග්‍රවිනිශ්චයකාරතුමා ප්‍රමුඛ සත් දෙනකුගෙන් සැදුම්ලත් විශේෂ විනිසුරු මඩුල්ලක් මඟින් අධීක්ෂණය කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයා සතුව තිබූ ඉවත්කරන ලද බලතල යළි ව්‍යවස්ථාවට ඇතුළත් කරගන්නා ‍ලෙස දන්වා සිටින ලදී.

ඒ අනුව අවම කරන ලද ඇතැම් විධායක බලතල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අවනත වී එකවර කප්පාදු නොකොට ව්‍යවස්ථාවේ යම් යම් ව්‍යවස්ථාවන්ට හා අනු ව්‍යවස්ථාවලට ඇතුළත් කෙරිණි. එම නිසා අවශ්‍ය වූ විට ඒවා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ලැබී තිබෙන බලතල පාවිච්චි නොකර සිටියේ නම් ජනමත විචාරණයක් මඟින් බලය ලබා ගැනීමට ජනතාව දැනුවත් කළ යුතු ය. ජනාධිපතිතුමා විසින් නීත්‍යානුකූලව පත්කළ අගමැතිවරයා පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවද යන වග එවිට ජනතාව ප්‍රකාශ කරනු ඇත. ජනමත විවාරණයක් යනු මහ මැතිවරණයක් පවත්වනවා වැනි කටයුත්තකි. එය ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි එකම දිනක පැවැත්විය යුතු අතර ඒ සඳහා අනවශ්‍ය මුදල් නාස්තියක් ද සිදුවනු ඇත. එලෙසම යම් යම් දේශපාලන පක්ෂ හා අනුගාමිකයන් අතර අනවශ්‍ය ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන රටේ විශාල අවුලක් ඇති වීමටද ඉඩ තිබේ. රාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපළ හානි ඇති වීමට ඉඩ තිබුණා සේම ජීවිත හානි ඇතිවන්නට ද ඉඩ තිබුණි. තීරණාත්මක මැතිවරණ සමයකදී අත්වන විනාශකාරී ක්‍රියාදාම නවතා දැමීම සඳහා ව්‍යවස්ථාවෙන් ලැබී තිබූ අවස්ථා උප‍යෝගී කරගනිමින් මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිතුමා ගත් බුද්ධිමත් තීරණයකි.

මැතිවරණයක වැදගත්කම

පැන නැගුණු ගැටලු සලකා බැලූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් ආකාරයකින් බිඳ වැටී අකර්මන්‍ය වුණි නම් එයින් රටේ එක් එක් පළාත්වල මහජන බලය පෙන්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අනිසි ප්‍රයෝජන ගැනීමට ද ඉඩ තිබුණි. පාර්ලිමේන්තුවට වසර හතරහාමාරක් ගතවීමට පෙර ජනාධිපතිතුමා එය විසුරුවා හැරීම කළ ආකාරය පිළිබඳ ගැටලුමතු විය හැක. 2002 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත්, 33 වන ව්‍යවස්ථාවත්, 62 වන ව්‍යවස්ථාවත්, 75 වන ව්‍යවස්ථාවේ (5) වන අනු ව්‍යවස්ථාවත් අධ්‍යයනය කර බැලූ විට විධායක ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය එහි පැහැදිලිව තිබේ. මේ පිළිබඳ වැඩි දැනුවත් වීමක් අවශ්‍ය වන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර අවශ්‍ය නිර්වචනය ලබා ගැනීමේ අවස්ථාව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අප සියලුදෙනා නොයෙක් විවේචන කළද, තර්ක ඉදිරිපත් කළ ද ව්‍යවස්ථාවේ අර්ථ නිරූපනය කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි.

ජනතාවගේ කැමැත්ත

මෙවැනි සිද්ධියක් 1960 වසරේදී ලංකා දේශපාලනය තුළ සිදුව තිබේ. 1960 මාර්තු මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවක් මැතිවරණ ඉතිහාසයේ සඳහන් වේ.

එදවස වර්තමානයේ මෙන් සමානුපාත ක්‍රමයට ඡන්ද නොපැවැත්වූ අතර ආසන මට්ටමින් නියෝජිතයන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. එම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ආසන 151 තෝරාගත් අතර එයින් ආසන 50ක් එක්සත් ජාතික පක්ෂයත්, ආසන 46ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, මහජන එක්සත් පෙරමුණ ආසන 10ක්ද ලංකා සමසමාජ පක්ෂය ආසන 10ක්ද වශයෙන් ලබාගත් අතර අනිකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඉතිරි ආසන ලබාගත්හ. පළමු පාර්ලිමේන්තු සභා වාරයේදී ශ්‍රී.ලංකා නිදහස් පක්ෂය සමග කුඩා පක්ෂ එකතු වී පාර්ලිමේන්තුවේ රාජාසන කතාව වැඩි ඡන්ද තිස් ගණනකින් පරාජය කළහ. එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සේනානායක මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව තේරුම්ගත් අග්‍රාණ්ඩුකාර සර්. ඔලිවර් ගුණතිලක පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. එදවස එංගලන්තයේ මහ රැජනගේ උපදෙස් මත ලංකාවේ ජනාධිපති වෙනුවට කටයුතු කළේ අග්‍රාණ්ඩුකාරවරයාය. පසුව 1960 ජූලි මාසයේ දී මහ ඡන්දයක් පවත්වන ලදී. එහිදී අගමැතිවරයකු සමග ආණ්ඩුවක් පත් කරගැනීමට ජනතාවට යළි අවස්ථාව වුදා වුණි.

අපේ රටේ වත්මන් දේශපාලන ක්ෂේත්‍රය දෙස බැලූ කල 2015 වසරේ එක්සත් ජාතික පෙරමුණට ජනතා ප්‍රසාදය තිබූ බව පැහැදිලි විය. එහෙත් 2018 පෙබරවාරි පැවැත්වූ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල දෙස බැලූ විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙවර වැඩි ජනතා කැමැත්ත හිමි වී තිබුණි. ඒ අනුව බලනවිට වැඩි ජනතා ප්‍රසාදය මේ වන විට ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. එක්සත් ජාතික පෙරමුණ සමඟ ජාතික ආණ්ඩුව කළ එක්සත් ජනතා නිදහස් සංධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සංධානගත වී ඇත. පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ කීපයක් එක්සත් ජාතික පෙරමුණට සහය ලබාදීමට ඉදිරිපත්ව තිබිණි.

මේ ආකාරයට දෙපක්ෂයම බලය ලබා ගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් දරති. මෙවන් මොහොතක පාර්ලිමේන්තුව යළි රැස් වුවහොත් අර්බුද රැසකට මුහුණදීමට සිදුවනු ඇත. මෙම තත්ත්වය හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බො‍හෝ දෙනා විහිළුවකට ගැනීමටද පුළුවන. එවැනි දෙයක් සිදු වුවහොත් රටේ ජනතාව විධායකය, ව්‍යවස්ථා දායකය හා අධිකරණය කෙරෙහි තිබූ ගෞරවය නැතිවී යනු ඇත.

මේ සියලු දෙයම ආරක්ෂා කර ගනිමින් පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගැන විශ්වාසය තබනවාට වඩා ව්‍යවස්ථාවට ගරු කොට එයට අවනත වී රට අස්ථාවර තත්ත්වයකට පත්වන්නට තිබෙන ඉඩ අහුරා ව්‍යවස්ථාවත් ආරක්ෂා කරගනිමින්, රටේ සාමය හා පරිපාලනය බිඳවැටීමට අවස්ථා ඇති නොකොට 1960 දී සර් ඔලිවර් ගුණතිලක සිදුකළ ප්‍රතිකර්මයම සිදු කරමින් ශ්‍රී ලංකා ජනරජයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව පාර්ලිමේන්තුව විසුරුවා දැමීම කළයුතුව තිබූ ඥානාන්විත ක්‍රියාවක් බව ඉදුරා ප්‍රකාශකළ හැකිය.

සටහන
නිශාන් මෙන්ඩිස්


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>