සුනෙත් මාලිංග ලොකුහේවා
l “නිදහසේ පියා DS” චිත්‍රපටය සියලු බාධක ජයගනිමින් ඉදිරියට යෑම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
මේ චිත්‍රපටිය මේ විදිහට සාර්ථකව වැඩ නිම කරන්නත්, තිරගත කරන්නත් ලැබීම ගැන බොහොම සතුටුයි. විවිධ ගැටලු තිබුණා. රූගතකිරීම් පටන්ගන්න කලින්, රූගත කිරීම් අතරතුර, රූගත කිරීම් අවසන් කරලා තිරගත කරන්න යනකොට වගේ හැම අවස්ථාවකම විවිධ බාධක තිබුණා. ඒ හැම දෙයක්ම පහුකරගෙන ඇවිත්, මේ වෙද්දි දින විසිපහ පහුකරමින් තිරගත වෙනවා. සිංහල සිනමා ඉතිහාසයේ පළවෙනි වතාවටයි චිත්‍රපටියක් සිංහල සහ දමිළ භාෂාවලින් එකට මංගල දර්ශන පවත්වලා, එකම දිනයක තිරගත කිරීම ආරම්භ කළේ. මේක ජාතික නායකත්වයක් ගැන කතා කරපු චිත්‍රපටියක්. සියලු ජාතීන් මේ නිර්මාණයේදී එකට එකතු වෙනවා. මෙවැනි වාර්තාගත නිර්මාණයක් බිහි කරන්න ලැබීම අපි ලබපු ජයග්‍රහණයක් විදිහටයි දකින්නෙ. මේක ලංකාවේ පළවෙනි දේශපාලන චරිතාපදානය. මෙන්න මේ වගේ චිත්‍රපටියක් අපි නිර්මාණය කළ යුතුයි කියලා සිංහල සිනමාවෙන් උදාහරණයක් විදිහට දෙන්න චිත්‍රපටියක් අපිට නෑ. අපිට මේක ලොකු අභියෝගයක් වුණා. නමුත් මාත් එක්ක එකතු වුණු පිරිස ක්ෂේත්‍රයේ දක්ෂයින් නිසා මට ඒ අභියෝගය ජයගැනීම අපහසු වුණේ නෑ.
l ඇයි මේ නිර්මාණයට මේ තරම් බාධා සහ විවේචන එල්ල වුණේ?
මම දැකලා තියෙනවා ලංකාවේ රැල්ලෙන් පිට නිර්මාණ බිහිකරන අය ඉන්නවා. සමහර විට මේ මොහොතේ වැඩියෙන්ම විකිණෙන චිත්‍රපටවලට වඩා වෙනස් චිත්‍රපටි නිර්මාණය කරන සිනමාකරුවන්ව මම දැකලා තියෙනවා වගේම අගය කරනවා. ඒ මමත් පුද්ගලිකව ඒ දේට කැමති නිසා. සමහරවිට චිත්‍රපටිය නිර්මාණකරුවට වඩා ලොකු වෙනවා. සමහරවිට නිර්මාණකරුවා චිත්‍රපටියට වඩා ලොකු වෙනවා. සමහර දැවැන්ත සිනමාකරුවන් බිහිකරන නිර්මාණ දැක්කම අපි හිතනවා, අපරාධෙ මේ වගේ අධ්‍යක්ෂකවරයෙක් මේ වගේ නිර්මාණයක් කළේ, මෙයාට මීට වඩා ලොකු වැඩක් කරන්න පුළුවන්නෙ කියලා. එහෙම අවස්ථාවකදී මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ. නමුත් සමහර අවස්ථාවල ඉතාම අඩුවෙන් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි, නිර්මාණය නිර්මාණකරුවට වඩා ලොකු වෙනවා. නිර්මාණකරුවට වඩා නිර්මාණය විශාල වුණාම ක්ෂේත්‍රය තුළ යම් ඊර්ෂ්‍යාවක්, කුහකකමක් ඇතිවෙන්න පුළුවන්. මම තාම නවක සිනමාකරුවෙක්. ක්ෂේත්‍රයට ඇවිත් ගත වුණේ අවුරුදු 9යි. මේ වෙනකොට චිත්‍රපට හයක් සහ ටෙලිනාට්‍ය තුනක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මම අධ්‍යක්ෂණය කරපු ස්පන්දන චිත්‍රපටිය තිරගත වෙනකොට ඒ වැඩේ ගැන හෝ මං ගැන මේ වගේ ගැටලු කාටවත් ඇති වුණේ නෑ. මේ වෙලාවේ මේ විදිහෙ විශාල බාධා ඇතිවෙන්න හේතුව, පොඩි නිර්මාණකරුවෙක් විදිහට මම කරපු නිර්මාණය විශාල වැඩිවීමයි. නිර්මාණකරුවට වඩා නිර්මාණය ලොකු වීම නිසා මේ වගේ ඊර්ෂ්‍යාවක් ඇතිවෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ.
l චිත්‍රපටියට එල්ල වුණු බාධා, විවේචන නිසා ක්ෂේත්‍රය පිළිබඳ කලකිරීමකින්ද ඉන්නෙ?
එහෙම නෑ. මම ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ පාඨමාලාව හදාරලා, තව දුරටත් අධ්‍යයනයන් කරලා සිනමාවට ආපු අධ්‍යක්ෂකවරයෙක්. නමුත් ලෝකයේ සිනමාව ගැන ඉගෙනගන්න පුළුවන් ඉහළම විශ්ව විද්‍යාලයක සිනමාව ගැන ඉගෙන ගත්තත්, මේ මම මුහුණ දුන්න අත්දැකීම සහ අවස්ථාවන් ඒ සිනමා පාඨමාලාවන්වල උගන්වන්නෙ නෑ. අධ්‍යක්ෂණය කරන විදිහ, තිරපිටපතක් ලියන විදිහ, සංස්කරණය කරන විදිහ, කැමරාකරණ කෝණ වැනි දේ ගැන කියලා දුන්නට චිත්‍රපටියක් තිරගත කරන්න යද්දි, ක්ෂේත්‍රයේම අය එල්ල කරන බාධාවලට මුහුණ දෙන්නෙ කොහොමද කියලා ලෝකෙ කිසිම සිනමා පාඨමාලාවකින් උගන්වන්නෙ නෑ. ඒක ඉගෙනගන්න ඕනෙ අත්දැකීමෙන්මයි. අත්දැකීමෙන් ඉගෙනගත්තම ජීවිත කාලය පුරාවටම ඒ පාඩම මතක හිටිනවා. මේ ඉගෙනගත්ත පාඩමෙන් මම හොඳ පන්නරයක් ලැබුවා කියලා හිතනවා. සමහරු මේ චිත්‍රපටිය විවේචනය කරන්න උත්සාහ කරන්නෙ වැඩකට නැති බොරු හේතු හොයාගෙනයි. ඒ හැම බොරු චෝදනාවකට ම මම උත්තර දෙන්න යන්නෙ නෑ. රටේ ඉතිහාසය හරියට දන්න සහ මේ චිත්‍රපටිය අවබෝධයෙන් බලපු අය ඇත්ත තේරුම් ගන්නවා. මේ ලබපු අත්දැකීම, ක්ෂේත්‍රය තුළ මීටත් වඩා දැවැන්ත වැඩකට අතතියන්න විශාල රුකුලක් වෙයි කියලා හිතනවා.
l දැවැන්ත චරිතයක් සහ ඉතිහාසයේ සත්‍ය සිදුවීම් පෙළක් මේ චිත්‍රපටය හරහා ප්‍රතිනිර්මාණය කිරීම මොන විදිහෙ අභියෝගයක් වුණාද?
මේ අභියෝගයට මට මුහුණ දෙන්න පුළුවන් වුණේ මම දක්ෂයෙක් නිසා නෙවෙයි, දක්ෂයින් පිරිසක් වට කරගත්ත නිසා. මේ නිර්මාණයේදී කලා අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණය, අංග රචනය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය, සංගීත අධ්‍යක්ෂණය වැනි හැම අංශයකට අපි සම්බන්ධ කරගත්තෙ අතිදක්ෂයින්. මේ චිත්‍රපටිය කරන්න මූලික අදහස ඇතිවුණ මොහොතේ ම මම දැනගෙන හිටියා මට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මම මේ කරන්න යන්නෙ කියලා. මේ වැඩේ මට කරන්න පුළුවන් වැඩක් බවට පත්කරගන්න කියලා වැඩේ පොඩි කරන්න බෑ. ඒ නිසා මම මගේ පිරිස විශාල කරගත්තා. ඒ ඒ අංශවලට පළපුරුදු සහ දැවැන්ත නිර්මාණයකට කැපවීමෙන් දායකත්වය දිය හැකි අයව තෝරගත්තා.
l ඩී.එස්.සේනානායක මහත්මයාගේ චරිතය නිරූපණය කරන්න ඔබ තෝරාගන්නවා රංගන ශිල්පීන් දෙදෙනෙකුව. මේ තෝරාගැනීමට මුල් වූ හේතුව?
තිරපිටපත සකස් කරන වෙලාවේම පැහැදිලි වුණ කාරණයක් තමයි, මේ චිත්‍රපටයේ සමහර චරිත තියෙනවා අපිට රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් දෙදෙනෙකුව පාවිච්චි කරන්න වෙනවා, තරුණ කාලය සහ වැඩිහිටි චරිතය නිරූපණය කරන්න. බාරොන් ජයතිලක, පොන්නම්බලම් රාමනාදන්, ඩී.ආර්.විජයවර්ධන වගේ චරිත නිරූපණය කරන්න අපි යොදාගත්තෙ එක රංගන ශිල්පියෙක් විතරයි. චිත්‍රපටිය පුරා වැඩි වයස් පරාසයක් පෙන්වන චරිතවලට රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් දෙදෙනා බැගින් යොදාගත්තා. ඩී.එස්.සේනානායක චරිතයට රංගන ශිල්පීන් තිදෙනෙක් යොදාගත්තා. වයස අවුරුදු දොළහා ළමා රංගන ශිල්පියෙකුත්, තරුණ කාලය තුමිඳුත්, වයසක කාලය ලක්ෂ්මන් මෙන්ඩිසුත් නිරූපණය කරනවා. එෆ්.ආර්.සේනානායක චරිතයේ තරුණ කාලය නිරූපණයට ඉසුරු ලොකු හෙට්ටිආරච්චිවත් වැඩිහිටි කාලය නිරූපණයට පාලිත පෙරේරාවත් තෝරගත්තා. මොලී දුනුවිලගේ චරිතයේ තරුණ කාලය නිරූපණය කිරීමට තිසුරි යුවනිකාවත් වයස්ගත කාලය නිරූපණය කිරීමට සුසන්තා චන්ද්‍රමාලි මහත්මියවත් තෝරාගත්තා. මේ හැම චරිතයක් ම අපි තෝරගත්තේ ඒ ඒ චරිතවල ඒ ඒ වයසේදී අපිට හොයාගන්න ලැබුණු ඡායාරූපවලට සමීප වන ආකාරයටයි. තුමිඳු දොඩන්තැන්න වයසට ගියා නම් ලක්ෂ්මන් මෙන්ඩිස් වගේ වෙන එකක් නෑ. ලක්ෂ්මන් මෙන්ඩිස්ගෙ තරුණ කාලෙ ඡායාරූපයක් අපි හොයාගත්තොත් ඒකෙ තුමිඳු දොඩන්තැන්නගේ ස්වරූපය නොතිබෙන්න පුළුවන්. නමුත් ඩී.එස්.සේනානායක මහත්මයාගේ තරුණ කාලයේ ඡායාරූපවල ස්වරූපයට තුමිඳු බොහොම කිට්ටුයි. වයසක ඩී.එස් සේනානායක මහත්මයාගේ මුහුණුවර ගොඩක් ලක්ෂ්මන් මෙන්ඩිස්ට සමීපයි. එහෙම හිතලයි තෝරගත්තෙ.
l ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන යමක් සඳහන් කළොත්?
“ආකර්ෂා”, “තුන් වරක් තුන” සහ “සුරංගනා ලොවෙන් ඇවිල්ලා” කියන චිත්‍රපට තුනම ඉදිරියේදී තිරගත විමට නියමිතයි. ඒ අතරින් “ආකර්ෂා” හමුදා සෙබළෙක් සහ දමිළ තරුණියක් අතර ඇති වන ආදර කතාවක්. අනෙක් චිත්‍රපට දෙකම ළමා චිත්‍රපට. මේ වන විට මගේ අලුත් චිත්‍රපටිය ලියමින් ඉන්නවා. ලබන අවුරුද්දෙ මුල වෙනකොට වැඩ පටන්ගන්නයි ඉන්නෙ. ඒ චිත්‍රපටිය, රටවල් හයක රූගත කිරීම් කරන, ශ්‍රී ලාංකික ශිල්පීන් සමඟ උතුරු ඉන්දියානු, දකුණු ඉන්දියානු නිළියන්, සංගීත අධ්‍යක්ෂකවරුන්, නර්තන අධ්‍යක්ෂකවරුන් සම්බන්ධ කරගත් දැවැන්ත නිර්මාණයක්.
l ඔබ අධ්‍යක්ෂණය කරන බොහෝ නිර්මාණවල තිරපිටපත ලියවෙන්නෙත් ඔබ අතින්?
දැනට මම අධ්‍යක්ෂණය කරලා තියෙන චිත්‍රපට හයෙන් පහක් ම මම පිටපත ලියපු ඒවා. “ආකර්ෂා” චිත්‍රපටය විතරක් සමන් වීරමන් මහත්මයාගේ තිරපිටපත් රචනයක්. “නිදහසේ පියා DS” චිත්‍රපටයේදි මාත් සමඟ තව කිහිප දෙනෙක් එකතු වුණා, පිටපත ලියන්න. මගේ ඊළඟ නිර්මාණයේ තිරපිටපත මම ලියන්නෙත් කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙනයි. මම කැමතියි මම ලියන තිරපිටපත් අධ්‍යක්ෂණය කරන්න. එතකොට මම ලියන මොහොතේ ඉඳලම නිර්මාණය අධ්‍යක්ෂණය කරනවා.
කාංචනා සිරිවර්ධන