හිමාලි සයුරංගි නම් සොඳුරු කලාකාරීනිය මේ දිනවල ඔබේ ආලින්දයට ගොඩවෙන්නේ “මිණිගංදෑල” සහ “දෙවෙනි ඉනිම” ටෙලිනාට්‍ය හරහා ය. ඇගේ නවතම සිනමා නිර්මාණයේ රූගත කිරීම් අවසන්කොට සිටින අතරවාරයේ, ඇය හා කෙරුණු සුහද පිළිසඳරකි මේ.
*මේ දිනවල නවතම සිනමා නිර්මාණයකට දායක වෙලා ඉන්න බව දැනගන්න ලැබුණා?
ඔව්. සෝමරත්න දිසානායක මහත්මයාගේ “සුනාමි” චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා. ඒක සත්‍ය කතාවක් ඇසුරින් බිහිවුණු නිර්මාණයක්. සුනාමියෙන් අතුරුදහන් වුණු තමන්ගේ දුවව හොයන් යන අම්මා කෙනෙක්ගෙ චරිතයක් තමයි මම ඒ චිත්‍රපටියේ නිරූපණය කරන්නෙ. “සුනාමි” ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක චිත්‍රපටියක් වෙයි කියලා මං විශ්වාස කරනවා. මොකද අවුරුදු ගාණක් පරණ වුණත්, සුනාමිය කියන්නේ අපිට හුඟක් සමීප මාතෘකාවක්. සුනාමියේ අඳුරු පැතිකඩ ගැන යම් විවරණයන් මේ චිත්‍රපටිය හරහා සිදු කෙරෙනවා. ඊට අමතරව මේ දිනවල විකාශය වන “මිණිගංදෑල” සහ “දෙවෙනි ඉනිම” ටෙලිනාට්‍යවලටත් මම රංගන දායකත්වය ලබාදෙනවා.
* දීර්ඝ ටෙලිනාට්‍යකට කලක් තිස්සේ රංගන දායකත්වය ලබාදීමේදී, විවිධ වූ චරිත රංගනයෙන් ක්ෂේත්‍රය තුළ යමක් කිරීමේ අවස්ථාව අහිමි වෙන බව ඔබ සිතනවාද?
ඒකෙ පැති දෙකක් තියෙනවා. මෙගා ටෙලිනාට්‍යයක් විදිහට මම මුලින්ම රඟපෑවේ “ආදරණීය පූර්ණිමා” ටෙලිනාට්‍යයේ. “දෙවෙනි ඉනිම” කියන්නේ මම රඟපාන දෙවැනි මෙගා නාට්‍යය. දෙවෙනි ඉනිමේ “උදේනි”ගේ චරිතය මට ලැබීම ගැන මම සතුටු වෙන්නේ දෙවෙනි ඉනිම බොහෝ දෙනෙක් නරඹන ටෙලිනාට්‍යක් වීම සහ එහි මට යමක් කළ හැකි චරිතයක් ලැබී තිබීම නිසයි. ඕනෑම රංගන ශිල්පිනියක් කැමතියි විවිධ චරිත නිරූපණය කරන්න. දෙවෙනි ඉනිමට රංගන දායකත්වය ලබාදෙන අතරවාරයේ දී විවිධ චරිත නිරූපණය කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. දෙවෙනි ඉනිම මෙගා නාට්‍යයක් වීමෙන් මට හානියක් වෙලා නෑ. මම වෙනස් චරිත, වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ලැබෙන හැම නාට්‍යයකම රඟපාන්න විදිහක් නෑ. තිරපිටපත සිත් ගන්නාසුලු එකක් වෙන්න ඕනෙ. රංගන ශිල්පිනියක් විදිහට විවිධ චරිත කරන්න තමයි කැමැත්ත තියෙන්නෙ. මට ඒකට අවස්ථාවන් ලැබෙනවා. දෙවෙනි ඉනිමේ උදේනිගේ චරිතය වුණත් යම්කිසි තැනකදි මට මෙතනින් එහාට කරන්න අවශ්‍ය නැහැ කියලා හිතුණොත් අධ්‍යක්ෂකවරයාත් නිෂ්පාදකවරයාත් සමඟ කතා කරලා තීරණයක් ගන්නවා. නමුත් තාමත් මම මේ චරිතය බොහොම ආසාවෙන් කරනවා. දෙබස්වල, සිද්ධිවල පවා විවිධත්වයක් සහ රසවත් බවක් තියෙනවා. මට තාම ඒකාකාරීත්වයක් දැනිලා නෑ. එහෙම දැනුණොත් රංගන ශිල්පිනියක් විදිහට මගේ තීරණය මම ගන්නවා. තාම එහෙම අවශ්‍යතාවක් නැහැ.
*රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රියත්වයක් ලැබීම පිළිබඳ ඔබට දැනෙන්නේ මොන විදිහේ හැඟීමක්ද?
ජනප්‍රියත්වයක් ලබන්න බොහෝ වෙලාවට රංගන ශිල්පිනියකට අවස්ථාව ලැබෙනවා. නමුත් එය රඳා පවත්වා ගැනීම අපහසුයි. අද කාලෙ බොහෝ රංගන ශිල්පිනියන් ජනප්‍රිය වෙනවා. ටික කාලෙකින් අතුරුදහන් වෙනවා. වැදගත් වෙන්නේ හිටිගමන් ජනප්‍රිය වෙලා, නැතිවෙලා යන එක නෙවෙයි. ඒ ලැබෙන ජනප්‍රියත්වය දිගටම රැකගැනීමයි. මම එක පාරටම ජනප්‍රිය වෙලා ආව කෙනෙක් නෙවෙයි. බොහොම හිමින් ගමනක් ආව කෙනෙක්. නමුත් අද වෙනතුරුත් එදා වගේ ම, මගේ රංගන වෘත්තිය තුළ මම එක වගේ ම රැඳී ඉන්න කෙනෙක්. ජනප්‍රිය වෙලා, ටික දවසකින් බැහැලා ගිහින් වැඩක් නෑනෙ. ජනප්‍රිය වීමත් ක්‍රමානුකූලව වෙන්න ඕනෙ දෙයක්. ඕනම කෙනෙක් ආසාවෙන් ඉන්නවා ජනප්‍රිය වෙන්න. නමුත් බොහෝ දෙනා ජනප්‍රිය වෙලා, ටික කාලෙකින් ඩෝං ගාලා වැටෙනවා. එහෙම නොවැටී යන්න නම් තමන් තුළ නිහතමානීත්වය තියෙන්න ඕනෙ. ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහට, තමන්ව මුවහත් කරගන්න ඕනෙ. ඒ දේවල් නැති වුණාම එකපාරට ඇවිත්, එකපාරට නැතිවෙලා ගිය අය අපේ ක්ෂේත්‍රයේ ඉන්නවා. නමුත් එදා ඉඳන් අද වෙනතුරුත්, අපේ වයස පහුකරලා වයස අවුරුදු 60- 70දිත් ජනප්‍රියත්වය රැකගනිමින් බැබලෙන අපේ කලා ශිල්පිනියන් ඉන්නවා. මං හිතන්නෙ ඒ ගුණාත්මක බව ආභරණයක් කරගත්තොත් තමයි ජනප්‍රියත්වය රඳවාගන්න පුළුවන් වෙන්නෙ.
* ඇතැම් කලා ශිල්පිනියන් සිතන්නේ, විවාහය, පවුල් ජීවිතය සහ මව් පදවිය, ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට සහ ඉදිරි ගමනට බාධා එල්ල කරන බවයි. ඒ පිළිබඳ ඔබේ අදහස?
මම නම් එහෙම දේවල් ගැන හිතුවෙත් නැති කෙනෙක්. මට ඕන කාලෙදි මම විවාහ වුණා. විවාහයෙන් පස්සෙ කල්නොදාම දරුවෙක් හැදුවා. මම ගැබිණි අවධියෙත් රඟපාලා තියෙනවා. මගේ සහකරු විදිහට මම තෝරාගත්තේ රංගනයට විරුද්ධත්වයක් නැති කෙනෙක්. ඒ නිසා මට තහංචි කරදර ආවෙත් නෑ. කොතැනකදිවත් මම විවාහය, පවුල් ජීවිතය සහ මව් පදවිය බාධාවක් කරගෙන පසුගාමී වෙලා නෑ. මං හිතන්නෙ මට එදා වගේ ම අදටත් ක්ෂේත්‍රය තුළ ඉල්ලුමක් තියෙනවා කියලයි. ලැබෙන චරිත වෙනස් වෙන්න පුළුවන්. එදා ලැබුණු චරිත අද ලැබෙන්නෙ නෑ. නමුත් මේ කාලයේ හැටියට, මගේ වයසේ හැටියට, මගේ පෙනුමෙ හැටියට මට විවිධ චරිත ලැබෙනවා.
* ඔබ නර්තනයටත් විශේෂ දක්ෂතා ඇති තැනැත්තියක්. ඒ බව රටම දැනගත් එක් අවස්ථාවක් තමයි හිරු මෙගා ස්ටාර් වැඩසටහන. ඉන් පසුව ඔබේ නර්තන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඉඩක් ලැබුණෙ නැද්ද?
මට රංගනය, නර්තනය, ගායනය, නිවේදනය,හඬකැවීම වැනි හැම අංශයකම දක්ෂතාවන් ලැබිලා තියෙනවා. නමුත් ඒ අතරින් වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නේ හඬකැවීම්වලට සහ රංගනයට. පිටරට ප්‍රසංග ලැබුණොත් ගායන කටයුතු කරනවා. ආරාධනාවක් ලැබුණොත් නර්තන කටයුතු කරනවා. “මෙගා ස්ටාර්” හරහා ප්‍රේක්ෂකයන් මගේ නර්තන දක්ෂතාවන් දැක්ක බව ඇත්ත. එවැනි දක්ෂතා පෙන්වන්න නම් එවැනි අවස්ථාවන් ලැබෙන්න ඕනෙ. මට ලැබෙන අවස්ථාවලින් මම ප්‍රයෝජන ගන්නවා. ප්‍රතික්ෂේප කිරීමක් නෑ. නර්තනය පැත්තෙන් වුණත් හොඳ වැඩක් ලැබුණොත් මම භාරගන්නවා.
*කලා ශිල්පිනියක්, මවක්, බිරිඳක් විදිහට ඔබ බොහොම කාර්යබහුල චරිතයක්. ඔබට ලැබෙන විවේකය ගත කරන්නේ කුමන ආකාරයෙන්ද?
විවේකය නම් මට ලැබෙන්නේ හරිම අඩුවෙන්. මම හරිම කාර්යබහුලයි. හැම තිස්සෙම මොකක් හරි වැඩක නිරතවෙන කෙනෙක්. මට යාළුවො කිහිප දෙනයි ඉන්නෙ. මේ ක්ෂේත්‍රය සම්බන්ධ අය නෙවෙයි, පුංචි කාලෙ ඉඳන් මාත් එක්ක අවුරුදු ගාණක් තිස්සේ යාළුකම් පවත්වන අය. විවේකයක් ලැබුණොත් මම කරන්නෙ ඒගොල්ලන්ගෙ පවුල්වල අය එක්ක එකතු වෙලා කොහේ හරි කන්න, බොන්න, විනෝදවෙන්න යන එක. ඒක තමයි මම ලබන සතුට.
* ඔබ තිරයෙන් එපිට කෙබඳු ගතිලක්ෂණ දරන්නියක්ද?
මම මගේ පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්. කිසිම කෙනෙකුව විවේචනය කරන්න කැමති නෑ. විවේචනය කරන තැන්වල ඉන්න ආසත් නෑ. මම හරිම සරලයි. බොරු ආටෝප නෑ. ඕනම කෙනෙක් එක්ක සුහදශීලීව, පොළොවෙ පය ගහලා සාමාන්‍ය විදිහට ජීවත්වෙන ගැහැනියක් මම.
කාංචනා සිරිවර්ධන
ඡායාරූප-ඉන්දික මල්ලවආරච්චි