Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ආර්ථිකය දිනන සැලසුම්

$
0
0
දෙසැ 5, 2018 01:00
ජයසිරි මුණසිංහ

රටේ නිර්යාත විවිධාංගීකරණය කළ යුතු සේම වහාම රටේ නිර්යාත වෙළෙඳ පොළ විවිධාංගීකරණය කිරීමට ක්‍රියා කළ යුතුය. රටේ අපනයන ආදායමින් වැඩිම ප්‍රමාණයක් ලැබෙන ඇඟලුම් හා රෙදිපිළි නිෂ්පාදනවලින් සියයට 70 කට වඩා යැවෙනුයේ අමෙරිකාවට, යුරෝපීය රටවලටය. අප රටේ තේ නිෂ්පාදනයෙන් සියයට 70 ක් යැවෙනුයේ මැදපෙරදිග රටවලටය. ඒ අනුව අපේ වෙළෙඳ පොළ විවිධාංගීකරණය වී නොමැති බව පැහැදිලි වේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ සුවිශේෂී අංශයක් ලෙස විදේශීය අංශය හැඳින්විය හැකිය. ගෝලීය වෙළෙඳ පොළ සමඟ මනා සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම විදේශ වෙළෙඳාම ප්‍රවර්ධනය වීමට මූලිකව බලපානු ඇත. එපමණක් නොව විදේශ වෙළෙඳාමට පහසුකම් සැලසීම ද ඊට ශක්තියක්, උත්තේජනයක් එක්කරනු ලබන්නක් වේ.

ලෝකයේ ඕනෑම රටකට වර්තමානය වනවිට තනිව හෝ හුදෙකලාවී හෝ කටයුතු කළ නොහැකිය.

අප රට ඇතුළු කුඩා ආර්ථිකයන් සහිත රටවල්, නැඟී එන ආර්ථිකයන් සහිත රටවල් නවීන ලෝකයේ හුදෙකලා නොවී පෙරට යෑමට සැලසුම් සකස් කොට ඇත. මේ සැලසුම් අද ඊයේ පමණක් නොව ඇතැම්විට දශක ගණනාවක් පෙර සිට සකස් කළ ඒවාද වේ.

1977 දී ශ්‍රී ලංකාව තම ආර්ථිකය නිර්යාත වෙළෙඳ පොළ ජයගැනීම ඉලක්ක කොට විවෘත කළේය. දකුණු ආසියාවේ විවෘත වෙළෙඳ පොළ ක්‍රමය හඳුන්වා දුන් පළමු රට බවට එදා අප රට පත්විය.

ලෝකයේ නිර්යාත හිතකාමී ආර්ථික පිළිවෙතකට අප රට යොමුවී ‍ෙම් වනවිට දශක 04 කට අධික කාලයක් ගත වී ඇත. එදා මෙදාතුර නිර්යාත වෙළෙඳ පොළ ජයගන්නට අප සමත්වී ඇත්දැයි විමසා බැලීම කාලෝචිතය‍.

වසර 2000 සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙඳාම වර්ධනය වී තිබෙනුයේ සියයට 1.9 කිනි. ලෝක බැංකුවේ දත්තයන්ට අනුව මේ කාලපරිච්ඡේදය ඇතුළත වියට්නාමයේ සියයට 11.2 කින්, බංග්ලාදේශයේ සියයට 5.2 කින්, දකුණු කොරියාවේ හා තායිලන්තයේ මුල් වසරට වඩා තුන් ගුණයකින් විදේශ වෙළෙඳාම වැඩි වී ඇත.

ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය වීමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් වර්ධනය වීම හේතුවෙන් වෙළෙඳ හිඟය මේ වසරේ පමණක් නොව ගත වූ වසර කිහිපය මුළුල්ලේ පුළුල් විය. මේ වනවිට අප ර‍ෙට් වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 9619 ක් ලෙස වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ නිර්යාත ආදායම ඩොලර් බිලියන 11 ක් වනවිට ආයාත වියදම ඩොලර් බිලියන 20 ඉක්මවා ඇත. මේ නිසා වසරින් වසර වෙළෙඳ හිඟය වැඩිවෙමින් පවතියි. මේ මොහොත වනවිට රටේ දේශපාලනයේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුකොට රටේ ආර්ථිකයේ සිදුවන මන්දගාමී තත්ත්වය නිසා විදේශ විනිමය හිඟය උග්‍රවී ති‍ෙබ්. නිර්යාත ආදායම අභිභවා ආයාත වියදම් ඉහළ යෑම හේතුකොටගෙන රටේ විදේශ විනිමය අඩුවී ඇත. මෙවන් අවස්ථාවක රටක් කළ යුත්තේ කුමක්ද? පිළිබඳව අවධානය යොමුකිරීම අවශ්‍යයි.

මේ වනවිට අප රටේ දේශපාලනයේ පවතින අස්ථාවරභාවය හේතුකොට දේශීය අංශයේ අසමතුලිතතාවයක් මතුව ඇත. මේ අසමතුලිතාවයන් නිසාම ආර්ථික, සමාජියික හා සෙසු අංශවලදී විශ්වාසනීයත්වයක් නොමැතිව උද්දල්ව පවතියි. දේශීය හා විදේශීය ලෙස අප රට ලබාගෙන ඇති අතිවිශාල ණය ප්‍රමාණය ආපසු ගෙවීම දුෂ්කර කාර්යයක්ව පවතියි. ශ්‍රී ලංකාව තම ණය වාරික හා පොලී මුදල් ආපසු ගෙවීමේදී කීර්තිමත් හා පැසසුම් සහගත ඇගයීමකට අඛණ්ඩව ලක්වී සිටින රටකි. එවන් කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන අප රට මේ මොහොතේ මතුව ඇති විදේශ ණය සේවාකරණ අභියෝගය ජයගන්නට දැනටමත් සියලු සැලසුම් සකස් කොට තිබේ. එනමුත් මේ ණය ආපසු ගෙවීමට නැවත ණය නොවී අපගේ ඉපැයීම් වැඩිකොටගෙන කටයුතු කළ හැකි නම් වැදගත්ය.

ශ්‍රී ලංකාවේ අප විදේශ විනිමය උපයාගන්නට නම් ක්‍රම දෙකක් අනුගමනය කළ යුතුය. එක සෘජු විදේශ ආයෝජන වැඩිකරගත යුතුය. දෙක අපගේ නිර්යාත ආදායම් ඉහළ නංවාගත යුතුය. සෘජු විදේශ ආයෝජන වැඩිකර ගැනීම පිළිබඳව කතිකා කිරීමට වඩා වැඩි අවධානයක් නිර්යාත ආදායම් වැඩිකර ගැනීමට කළ යුතු දේ ගැන අවධානය යොමු කළ යුතුය.

අප මුලින් සඳහන් කළ පරිදි දකුණු ආසියාවේ විවෘත වෙළෙඳ පොළ ක්‍රමය හඳුන්වාදුන් පළමු රට අප රටයි. නැගෙනහිර ආසියානු රටවල්, සිංගප්පූරුව, තායිවානය, දකුණු කොරියාව ආදී රටවල් ද තම තම රටවල නිර්යාත වැඩිකර ගැනීමේ අරමුණින් වෙළෙඳ පොළ විවෘත කළේය.

ආයාත ආදේශන කාර්මිකකරණයක් වෙත යොමුවී තිබූ අප රට, එදා ලෝකයේ සෙසු කාර්මික රටවල් අනුගමනය කරමින් නිර්යාත වැඩිදියුණු කරගන්නා ආර්ථික පිළිවෙතකට මාරුවිණි. එදා නැගෙනහිර ආසියානු රටවල් නිර්යාත වැඩිකර ගැනීමට ගන්නා උත්සාහය දැක ඒ දෙසට යොමුවූ අප රට, 1977 දී ඊට පසුව අද දක්වාම යම් යම් නිර්යාත සිදුකරමින් රටේ ආදායම් වැඩිකරගෙන ඇත.

එදා අප විසින් ඇඟලුම් හා රෙදිපිළි, තේ, රබර්, පොල් පිටරට යවා ආදායම් ඉපවූයේය. එදා සිට අද දක්වාම අපේ අපනයන නිෂ්පාදනවලින් තුනෙන් දෙකකට වඩා දායකවන්නේ මේ අංශයේ නිෂ්පාදනයන්ය. ශ්‍රී ලංකාවට වඩා පසුකාලීනව සිය රටවල වෙළෙඳ පොළ විවෘත කළ කුඩා ආර්ථිකයන් සහිත රටවල් පවා අද වනවිට තම නිර්යාත විවිධාංගීකරණයකට ලක්කොට තිබේ.

ශ්‍රී ලංකාවේ අප අපේ විදේශ විනිමය ඉහළ නංවාගැනීමට තවමත් අපනයන නිෂ්පාදන විවිධාංගීකරණයකට නිවැරැදිව යොමුවී නොමැත. ඒ බව වසර 2000 – 2015 ලෝක බැංකු වාර්තා සලකා බැලූවිට පැහැදිලිව දක්නට ලැබේ. මේ කාලපරිච්ඡේදය තුළ අප රටේ අපනයන වර්ධනය වී තිබෙනුයේ සියයට 1.9 කි.

අපට වඩා පසුපසින් ආර්ථිකයන් විවෘත කළ සෙසු රටවල මේ වේගයට වඩා වැඩි වේගයකින් විදේශ වෙළෙඳාම වර්ධනය වී ඇත.

එසේ නම් අප අද ද‍වසේ කල්පනාකොට බැලිය යුත්තේ නිර්යාත විවිධාංගීකරණය සිදුකළ යුත්තේ කෙසේද කියාය. අප වහාම අපගේ අපනයන නිෂ්පාදන පැස විශේෂයෙන් කාර්මික භාණ්ඩ නිර්යාත කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතුය. ඉලෙක්ට්‍රොනික්, අපනයන වෙත යොමුවිය යුතුය. කෘෂිකර්මය මත පදනම් කරගත් නිර්යාත වැඩිකර ගැනීමේ වැඩපිළිවෙළක් වෙත යොමුවිය යුතුය.

තොරතුරු තාක්ෂණය හා බැඳුණු විවිධ සේවාවන්වල නිරත හැකියාවන් හා කුසලතා සහිත වූවන්ගේ දැනුම මීට වඩා පිටරටට යොමුකොට ආදායම් ලැබීමට ක්‍රියා කළ යුතුය. මේ වනවිට ඉන්දියාව, පිලිපීනය වැනි රටවල් තම රටේ මානව සම්පත සතු දැනුම විකුණා ඉහළ ආදායම් ලබමින් සිටියි.

මේ ආකාරයට රටේ නිර්යාත විවිධාංගීකරණය කළ යුතුවා සේම අප වහාම රටේ නිර්යාත වෙළෙඳ පොළ විවිධාංගීකරණය කිරීමට ක්‍රියා කළ යුතුය. රටේ අපනයන ආදායමින් වැඩිම ප්‍රමාණයක් ලැබෙන ඇඟලුම් හා රෙදිපිළි නිෂ්පාදනවලින් සියයට 70 කට වඩා යැවෙනුවේ අමෙරිකාවට, යුරෝපීය රටවලටය. අප රටේ තේ නිෂ්පාදනයෙන් සියයට 70 ක් යැවෙනුයේ මැදපෙරදිග රටවලටය. ඒ අනුව අපේ වෙළෙඳ පොළ විවිධාංගීකරණය වී නොමැති බව පැහැදිලි වේ.

මේ අඩුපාඩුව මකාගනිමින් අප වෙළෙඳ පොළ විවිධාංගීකරණයට කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා අප විදේශ වෙළෙඳාමට දැනට වඩා පහසුකම් වෙළෙඳ සහන ලබාදිය යුතුයි.

විදේශ වෙළෙඳාම පහසුකරණයට නීතිරීති ඇතිකිරීම අවශ්‍යය. ආයෝජකයින්ට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා වැඩි අවධානයක් යොමුකොට වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතුය. දැනටමත් අප රට ලෝකයේ විවිධ රටවල් සමඟ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹ ඇත. ඒවා තවදුරටත් ශක්තිමත් කළ යුතුය. මේ දේ සිදුකිරීමේදී අප වැඩි වශයෙන් අප රටට වාසිදායක ලෙස ක්‍රියාත්මක විය යුතුය.

අප රටට විදේශ විනිමය උපයන තවත් පිරිසක් සිටිති. ඒ මැදපෙරදිග ගෘහ සේවයේ නිරතව සිටින කාන්තාවෝය. මේ පිරිස නෙක දුක් කඳුළු විඳ දරා අප රටට විදේශ විනිමය ගෙන ඒමට දරන වෙහෙසට අප යම් ඇගයීමක් ලබාදිය යුතුය. එය දිරිගැන්විය යුතුය. ඔවුන් පිටරට සිට එවනු ලබන විදේශ විනිමයට බැංකුවලදි වැඩි පොලියක් බදු අය නොකිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුය.

මෙයට අමතරව අප රටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ඉපැයීම් වැඩිකර ගැනීමට සුදුසු වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතුය. මේ අන්දමට රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ නංවාගන්නා අතරම ඒවා නැවත පිටරටට ඇදී යෑම හැකිතරම් දුර්වල කිරීමට අප කටයුතු කළ යුතුය.

‍ෙම් රටේ බිමේ වැවෙන, ජනතාවගේ ආහාර සඳහා අවශ්‍ය සෑම බෝගයක්ම නොව අඩුම තරමේ විශාල මුදලක් පිටරටට යැවෙන ටිකකින් හෝ ස්වයංපෝෂිත වීමට අප වගාබලාගත යුතුය. ආනයන ආදේශන කෘෂිකාර්මික, කාර්මික පිළිවෙතක් වෙත අප පිවිසිය යුතුය.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>