ශ්‍රී ලංකාවේ ස්ත්‍රිය - සදාචාරය - සමාජ සම්මුති හා ජීවත් වීම පිළිබඳ විවරණයක් මේ කතාවෙන් ඉදිරිපත් කෙරේ. ජීවත් වීම සඳහා ඇතැම් දේ විකුණා දැමීමට සිදු වේ. තව දේ වෙන්දේසියේ දැමීමට සිදු වේ. තවත් දේ අහිමි කර ගැනීමට සිදු වේ. ඉන් නොනැවතී, ජීවත් වීම සඳහා පුංචි - පුංචි සොරකම් කිරීමටත් සිදුවේ....
කරුණා පෙරේරා යනු සමාජ යථාර්ථය හෙළිදරව් කිරීම සඳහා, බලවත් පරිශ්‍රමයක යෙදී සිටින ලේඛිකාවකි. නව ප්‍රබන්ධ විධි සඳහා භාවිත නව්‍ය ආකෘති, ශිල්ප ධර්මවල අත්හදාබැලීම්, භාෂා ප්‍රයෝග හා තවත් මෝස්තර කෙරෙහි ඒ හැටි උනන්දු නොවන මේ ලේඛිකාව, සමාජ විවරණය කෙරෙහි ම ආශක්ත වෙයි. ජනී-ජනයා නොදකින සමාජ සත්‍යයක් හැම විටම ඇගේ ප්‍රබන්ධවලින් එළියට එයි. කරුණා පෙරේරා සහෝදරිය දේශපාලනික යැයි කියන්නට ඕනෑ තරම් සාධක ඇයගේ පොත්වලින් උකහාගත හැකි ය. දේශපාලනික යන යෙදුමෙන් අපේක්ෂා කරන්නේ, න්‍යාය ධර්ම විග්‍රහ කිරීම, දේශපාලනික අවස්ථා නිරූපණය කිරීම හා සටන් පාඨ රඟදැක්වීම පමණක් ම නොවේ. නූතන මිනිස් චර්යා ගැඹුරින් නිරීක්ෂණය කර, ඒවායෙහි අර්ථ ඉස්මතු කිරීම ද දේශපාලනයට අයත් ය. ලේඛිකාව එම ගණයට අයත් තැනැත්තියකි.
කරුණා පෙරේරාගේ අභිනව ප්‍රබන්ධ කථාව, “නේරංජනා” ලෙසින් නම් කර තිබේ. බැලූ - බැල්මට ජනප්‍රිය නවකතාවක සිරස ද, ජනප්‍රිය නවකතාවක පිටකවරය ද මේ කතාවට ඇතුළත් කර තිබේ. එහෙත්, එය ජනප්‍රිය ප්‍රේම කතාවක් නොවේ. දිළිඳුකම, සදාචාරය, ස්ත්‍රිය හා ඇගේ චර්යා පාදක කර, “නේරංජනා” නවකතාව නිර්මාණය වී ඇත. අර්ධ - නාගරික කුටුම්භයක ආර්ථිකය, ජීවත් වීමේ අරගලය, ස්ත්‍රී - චර්යා හා තවත් බොහෝ දේ , උක්ත නවකතාවෙන් නිරූපණය කෙරේ. විග්‍රහයේ පහසුව සඳහා ක්ෂේත්‍ර තුනක් තෝරාගත හැකි ය.
(I)දිළිඳුකම හා එහි ස්වභාවය
(II)නූතන සමාජය හා ස්ත්‍රී චර්යා
(III)ජීවිතයේ අර්ථ හා සමාජ හැසිරීම්
දිළිඳුකම යනු ලෝක දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවකි. දිළිඳුකම පිළිබඳ ශාස්ත්‍රීය මට්ටමේ කෘති සේ ම, එය පාදක කරගෙන රචනා වූ ප්‍රබන්ධ කථා ද බොහෝ ප්‍රමාණයක් පවතී. “හව් ටු චේන්ජ් ද වර්ල්ඩ්”නමින් කෘතියක් සම්පාදනය කරන ඩේවිඩ් බ්‍රොන්ස්ටීන් නම් ලේඛකයා කියා සිටින්නේ, ලෝකය වෙනස් කළ හැක්කේ; නිදිවර්ජිතව වැඩ කරන මිනිසුන්ට පමණක් බව ය. නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය ඊ.එෆ්.ෂූමාකාර් පෙන්වා දෙන්නේ, දුප්පතුන් කුඩා කර්මාන්ත ඔස්සේ සංවිධානගත විය යුතු බව ය. ග්‍රාමීන් බැංකු ක්‍රමයේ නිර්මාතෘවරයා පෙන්වා දෙන්නේ, හිඟන්නන්ට පවා ණය ලබාදිය යුතු බව ය. මේ සියලු මතවලින් පෙනී යන්නේ, දුප්පතුන් සංවිධානගත වීම ඉතා වැදගත් බව ය.
නේරංජනා නවකතාවේ එන ප්‍රධාන චරිත දෙක ම, සිය සිරුර අලෙවි කර ජීවන අරගලයට මුහුණ දෙන ආකාරය අපට දැකගත හැකි ය. සරෝජා මව වන අතර, නේරංජනා ඇයගේ ලොකු දුවයි. මේ දෙදෙනාට ම සාර්ථක අධ්‍යාපනයක් නැත. නිසි උපදේශනයක් නැත. එකිනෙකා අතර හොඳ වැටහීමක් හා සංවාදයක් ද නැත. ශ්‍රී ලංකාවේ නූතන කුටුම්භවල ඇති අවිධිමත්භාවය, කතුවරියගේ අවධානයට ලක් වී ඇත. ගණිකා වෘත්තිය හා සමාජ සදාචාරය අතර බරපතළ ගැටුමක් ශ්‍රී ලංකාව වැනි රටවල පවතී. එහෙත්, ජීවිත සටනේ දී සදාචාර මිණුම් දඬු කුමන ගැම්මක් පුද්ගලයාට ලබා දෙන්නේ ද යන ප්‍රශ්නය, කතුවරිය මතු කරයි. එය, එක අතෙකින් දේශපාලනික ය. අප්‍රිකාවේ රටවල් ගණනාවක සේ ම, ආසියාවේ රටවල් කිහිපයක ද ගණිකා වෘත්තියට නීතියෙන් තහනමක් නැත. එම රටවල ගණිකා වෘත්තිය හා සදාචාරය අතර බරපතළ ගැටුමක් ද දකින්නට නොලැබේ.
සරෝජාට සිය පළමු දියණිය ලැබෙන්නේ, ඇය පහළොස් වියැති පාසල් ශිෂ්‍යාවක ලෙස සිටිය දී ය. එයින් ඇගේ අධ්‍යාපනය නවතී. සරෝජාට දෙවැනි දියණිය ලැබෙන්නේ, රැවටීමක ප්‍රතිඵලයක් හැටියට ය. ඇයගේ පෙම්වතා හා ස්වාමි පුරුෂයා වන කපිල, දරුවා ලැබීමත් සමඟ කුටුම්භය හැර යන්නේ, සාහසික ලෙස ය. ඉනික්බිති ඇය ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේ ද?
“විකුණගෙන කන්න වෙන මොනවද අපට තියෙන්නෙ...?”
(පිටුව 53)
ස්ත්‍රිය හා දිළිඳුකම අතර පවත්නා යථාර්ථයක් මේ සංවාදයෙන් ඉස්මතු වෙයි. “විකුණගෙන කන්න වෙන මොනවද අපට තියෙන්නෙ?” යන ප්‍රශ්නය, සමස්ත සමාජය වෙත ම යොමු කළ යුතු කාන්තාවට සුවිශේෂ අර්බුදයකි. කතුවරිය සරෝජා යන මව කෙරෙහි ද; නේරංජනා යන ලොකු දුව කෙරෙහි ද දයාර්ද බැල්මක් හෙළමින්, මේ තත්ත්වය නිරූපණය කරයි.
“අම්මාට දරා ගන්ට බැරි තරමට ගෙදර වියදම් වැඩි වෙනවා. අම්මා කෙඳිරි නොගෑවට, එයාගෙ ඔළුව උඩ තියෙන බර වැඩියි. ගුණසෝමගෙ රුපියල් දාහේ බටා ගෙවීම වැඩි කරගන්න සොරකම් කිරීම හැර වෙන ක්‍රමයක් නේරංජනාට කල්පනා වෙන්නෙ නෑ...”
(පිටුව 108)
පුංචි - පුංචි රස්සාවල් කරන අය, පුංචි - පුංචි හොරකම් කරන අතර, ලොකු - ලොකු රස්සාවල් කරන අය, ලොකු - ලොකු හොරකම් කරති. එහෙත්, මේ දෙක එක සමාන නැත. පුංචි රස්සාවල් කරන අයගේ පුංචි හොරකම්වලට තර්කයක් මෙන් ම, යුක්තියක් ද ඇති අවස්ථා තිබේ. මන්දයත්, එයින් වැඩි දෙනා ජීවිතයේ අත්‍යවශ්‍ය ම කාරණා සාක්ෂාත් කර ගැනීම සඳහා පුංචි හොරකම් කරති. සරෝජා මෙන් ම, නෙරංජනා ද හොරකමට ඇබ්බැහි වන්නේ, ජීවිතයේ අත්‍යවශ්‍ය සාධක සපුරා ගැනීමට ය. මේ අනුව ඔවුන් දෙදෙනා කෙරෙහි ම අනුකම්පාවක් අපට ඇති වෙයි.
කතුවරිය සමාජ ස්ථර කිහිපයක යථා ස්වභාවය නිරූපණය කිරීම කෙරෙහි ද සිය අවධානය යොමු කර තිබේ.
(I) අර්ධ - නාගරික වැඩිහිටි සමාජය
(II)වෙළෙඳ සමාජයේ තරුණ කණ්ඩායම
(III)ජීවත්වීම සඳහා සටන් වදින තාරුණ්‍යය
අර්ධ - නාගරික වැඩිහිටි සමාජය නිරූපණය කරන්නේ පියසේන හා රූපා ය. ඔවුන් මුහුණ දී ඇත්තේ බරපතළ ඛේදවාචකයකට යැයි කිව හැකි ය. මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සුළු රැකියාවක් කළ පියසේනට, විශ්‍රාම ගැනීමෙන් පසුව ද සුළු රැකියාවල නිරත වීමට සිදු වේ. ඔහුගේ සහනයකට ඇත්තේ පුංචි අඩියක් ගසා, දේශපාලන කයිවාරුවක නිරත වීම පමණි. එය ද සීමා සහිත ය. පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් මුදලක් නැත. ඒ අනුව, නිදිවර්ජිතව ලියුම් කවර ඇලවීමට ඔවුන්ට සිදු වී ඇත. මෙය බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවන සමාජ සත්‍යයකි. මේ යුවළට හුදෙකලාව සැනසිල්ලේ සිටීමට අවස්ථාවක් ද නැත. එය ඛේදවාචකයකි.
වෙළෙඳ සමාජයේ තරුණ කණ්ඩායම ගැන තොරතුරු හෙළි වන්නේ, සුබෝධගෙන් හා අරුණගෙන් ය. ඔව්හු මනුෂ්‍යත්වය අතහැර, මුදල් පසුපස හඹා යති. මේ සමාජයට අනුව ගැහැනිය යනු තවත් මෙවලමකි. නැතහොත් භාණ්ඩයකි. සමාජයේ දිළිඳු තාරුණ්‍යයේ චර්යා රටා, රංජිත් වැනි ත්‍රිරෝද රථ රියැදුරකු වෙතින් පළ වෙයි. කරුණා පෙරේරා කතුවරිය, සමස්ත සමාජය නිරීක්ෂණය කරන ආකාරය, අපගේ ඇගැයුමට ලක්විය යුතු ය.
කතුවරිය, මේ නවකතාවේ පෙරවදනෙහි ලා අපූරු සටහනක් තබා ඇත.
“දිළිඳුකම!
එය ඉතා බලවන්ත ය.”
“ගැහැනුන් මිනිසුන් වගේ ම ළමයින් ලවා ද බොහෝ දේ කරවන්නට සමත් ය.”
(පිළිසඳර)
දිළිඳුකම උපරිමයෙන් දැනෙන විට, ලැජ්ජාව හා භය ඉක්මවා යන්නට පුද්ගලයා පෙලඹෙයි. ඒ පමණක් නො ව; පුද්ගලයා දුෂ්ඨ වන්නට ද, සම්ප්‍රදාය විරෝධී වන්නට ද, සාහසික වන්නට ද එය හේතුවක් වෙයි. දිළිඳුකම සංවිධානාත්මක බලවේගයක් බවට පත් කිරීම, සමාජවාදී දේශපාලනයේ ඉලක්කය යි. එය දුෂ්කර කාර්යයක් සේ ම දීර්ඝකාලීන වැඩපිළිවෙළක් වන බව ද ලෙනින්, මා ඕ සේතුං වැනි නායකයන් පෙන්වා දී තිබේ.
කතුවරියගේ ප්‍රබන්ධකරණය ගතහොත් සාධනීය ලක්ෂණ කිහිපයක් උපුටා දැක්විය හැකි ය.
(I) සමාජ නිරීක්ෂණය
(II) චරිත ගවේෂණය
(III) සජීවී අවස්ථා නිරූපණය
සිංහල ස්වතන්ත්‍ර නවකතාකරුවන්ගෙන් බොහොමයකට, පුළුල් සමාජ දැක්මක් නැත. මා එබඳු තර්කයක් නඟනුයේ, නූතන නවකතාකරුවන්ගේ ප්‍රබන්ධවලින් වැඩි ප්‍රමාණයක් කියවා වටහාගෙන ය. ඒ නිසා ම, බොහෝ නවකතාකරුවෝ නිකම් ම කතන්දරකාරයන් බවට පත් ව සිටිති. මීට එක් ප්‍රබල හේතුවක් වන්නේ, කතුවරුන් සමාජ නිරීක්ෂණයෙන් තොර වීම ය. කරුණා පෙරේරා ලේඛිකාව ඒ සම්ප්‍රදායයෙන් පිට පැන ඇත. ඇයට සමාජ කණ්ඩායම් ගණනාවක් පිළිබඳ හැදෑරීමක් ඇති බව, මේ නවකතාවෙන් ද පෙනී යයි.
'සදාචාරෙයි අරකයි - මේකයි රැකගත්තා කියල මොකෙක්වත් සල්ලි දෙනවයැ. සල්ලි ගෙවන්නෙ අතින් - පයින් කරන දේකට. අතින් - පයින් කරන්න දෙයක් නැත්නම් මොකක් කරන්න ද? කරන්න පුළුවන් දේ තමයි සරෝජා කරන්නේ....'
(පිටුව - 175)
අපේ සමාජය තුළ පවත්නා ගැටුම්, ඛේදවාචක, කළකිරීම් යන සියල්ල කතුවරියගේ සියුම් නිරීක්ෂණවලට හසු වී ඇත. නවකතාකරුවකු සැබෑ නම්; මේ සමාජ නිරීක්ෂණය හා විග්‍රහය තිබිය යුතු ය.
චරිත ගවේෂණය නවකතාකරුවකු සතු නිපුණතාවක් ලෙස සැලකේ. නවකතාවේ හා කෙටිකතාවේ ප්‍රධාන ශිල්පීය ලක්ෂණය වන්නේ ද, චරිත නිරූපණය යි. සාර්ථක චරිත ගවේෂණයකින් තොරව, සාර්ථක චරිත නිරූපණයක් කළ නො හැකි ය. කරුණා පෙරේරා කතුවරිය පුංචි දරුවන්ගේ පවා මනසට එබී බලයි. ඔවුන්ගේ මානසික තත්ත්ව නිරීක්ෂණය කරයි.
"ආච්චි මේ අනේ ඇයි හැම දරු නැළවිලි කවියක් ම පුතාලට හදල තියෙන්නෙ? දොයි - දොයි - දොයි - දොයිය පුතා... මේ අපි අද පාඩම් කෙරුවෙ වෙන රටක කවියක්. ඒකෙත් සිඟිති පුතාව තමයි නළවන්නෙ"
"පුංචි කොල්ලො අඬන්නෙ නැතිව පාඩුවෙ නිදාගන්නව ඇති..."
"නේරංජනාට හිනා ගියා"
(පිටුව - 12)
දරුවන් ගැන නැවත සිතා බලන්නට පෙලැඹවීමක් මෙයින් ඇතිවෙයි. එය හොඳ උත්ප්‍රේරණයකි.
කතුවරියගේ නිරූපණ ක්‍රියාවලියේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ, ප්‍රබල සංවාද ගොඩනැඟීම ය. එය, අර්නස්ට් හෙමිංවේ වැනි අමෙරිකන් ලේඛකයන් පවා අනුගමනය කළ ප්‍රබන්ධකරණයෙහි සාර්ථක උපාය මාර්ගයකි. එය සජීවී අවස්ථා නිරූපණයට මඟ පාදයි.
රූපා හා ජයසේන නම් වැඩිහිටි යුවළගේ ජීවිතවලට කතුවරිය එබී බලන්නේ මෙසේ ය.
'ඒ දවස්වල ඔයා කොච්චර ලස්සනට සිංදු කිව්ව ද?'
'ඇයි දැන් ලස්සන නැද්ද?'
'නෑ දැන් කැත නෑ'
රූපා හෙමිහිට ජයසේනගේ උරහිසට බර වුණා
(පිටුව - 71)
වැඩිහිටි සමාජයේ පසුතැවීම හා හුදෙකලාව, ලෝකය පුරා සමාජ ගැටලුවක් ලෙස පවතී. එහි ඡායාවක් මේ කෘතිය තුළ පවතී.