ඇමරිකන් හස්ල් 39
මැකාති ක්‍රියා කරමින් සිටියේ ගුඩ්ගේ නියෝග අනුව මිස ඔහුගේ ඕනෑකමකට නොවන බව පිළිගන්නට වෙයින්බර්ග් අදටද කැමති නැත. වෙයින්බර්ග් එදා ආපසු ලෝන්ග් අයිලන්ඩ් වෙත යාමට ගුවන්යානයට ගොඩවුණේ මැකාති වැදගැම්මකට නැති හොරිකඩයෙක් බවත්, ඒ නිසා ඇබ්ස්කැම් පවා බාල්දු වූ බවත් සිතමිනි. ගුවන් ගමන පුරාවටම හේ සිටියේ කේන්තියෙන් පිපිරෙමිනි. කලකට ඉහතදී ලාස් වේගාස් ගමනට තමාගේ වියදම් තමාටම දරාගන්නා ලෙසට මැකාති කළ පිළිකුල් සහගත බලකිරීම, කිසිසේත්ම ඉවතලිය නොහැකි වැදගත් ඔත්තු හා තොරතුරු මූලාශ්‍ර තමාගේ බලකිරීම නොතකා, මඟහැරීම වැනි කාරණාත් එකින් එක මතකයට නගමින් වෙයින්බර්ග් මුවේ රුවාගෙන සිටි නොදැල්වූ යෝධ ටී ඇමෝ ටොරොස් වර්ගයේ සුරුට්ටුව තදින් සැපුවේය.
ඒ වෙයින්බර්ග් අතිශයින්ම කාර්යබහුල වූ කාලයකි. ඔහු සිටියේ කෙටි ක්‍රමවලින් කඩිනම් මුදල් පතාගෙන නන් දෙසින් පැමිණි ජාවාරම්කරුවන්ගේ කේවල්කිරීම්, අනුකම්පා සහගත කරදර කිරීම්, වැඳ වැටීම් අතර කරවටක් ගිලෙමිනි. විලියම් බෙල්ගේ හිතමිතුරකු වූ, ෆ්ලෝරිඩා සූදූ සංසදය නියෝජනය කළ නීතිඥ බෙන් කොහෙන් ද, ඒ වන විට ලබාදී තිබුණු හොර තැන්පතු සහතිකවලට මුදල් ඉල්ලා කරදර කරමින් සිටියේය. ඇබ්ස්කැම් මුල්ම පෙරහුරුවේදී එක් වූ රොන් සැබ්ලොස්කිට අවශ්‍යව තිබුණේ, පන්නා ගත් වටිනා කලාකෘති තොගයක් වෙයින්බර්ග් ලවා අබ්දුල්ට විකුණා ගැනීමටය. ඔහුගේ කරදරකාරී සහෝදරයා වූ පෙරී සිටියේ ඉරාන බැංකුවලින් ලැබිය යුතු මුදල් ලැබෙන දිනය බලාපොරොත්තුවෙන් වෙයින්බර්ග් ළඟ දැවටෙමිනි.
සද්දන්ත ‘බෝම්බ‘ ජෝර්ජ් කැනන් තමා ලබාදුන් තැන්පතු සහතිකවලට මුදල් ඉල්ලා කරන කරදරය ද කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි විය. එම කරදරය වෙයින්බර්ග් ඉවසා සිටියේ කැනන්ගේ බෝම්බවලට ඇති බිය නිසාමය. නිව්යෝක් නුවරින් අලුතෙන් හඳුනාගත් අන්ධ ජාවාරම්කරුවකු වූ පෝල් රොබට් ඒ වන විටත් වෙයින්බර්ග්ට තවත් හොර තැන්පතු සහතික ගනුදෙනුවක් සූදානම් කරදීමෙහිලා කාර්යබහුලව සිටියේය. ඒ අතර ෆ්ලොරිඩාවල මාර්වින් හැලන්ඩේල්ට අවශ්‍ය වූයේ හොරෙන් පන්නාගත් අසභ්‍ය චිත්‍රපට තොගයක් වෙයින්බර්ග්ට අලෙවි කිරීමටය. මේ අතර සිටි කිසිසේත්ම මඟ හැරිය නොහැකි කිහිප දෙනෙක් නම් වර්ජිනියා ප්‍රාන්තයේ ව්‍යාපාරිකයකු වූ ජෝන් ස්ටෝව් හා ලෝන්ග් අයිලන්ඩ් ජනපදයේ ඇල්ෆ්‍රඩ් කාර්පෙන්ටියර්ය. පසුකලකදී ඇබ්ස්කැම් වෙත කොන්ග්රස් සභික ජෝන් ජෙන්රට්ව හඳුන්වා දුන්නේ ස්ටෝව් විසින් වන අතර සෙනේට් මණ්ඩලයට තේරී පත්වීමට නියමිතව සිටි ඇල්ෆොන්සෝ ඩී ඇමැටෝ ඇබ්ස්කැම් දැලට කොටුකර දුන්නේ කාර්පෙන්ටියර්ය.
වෙයින්බර්ග් විසින් නොසලකා හැරීමට ලක්වූ රොසෙන්බර්ග් ද නිකම් සිටියේ නැත. රජයේ දුෂිත නිලධාරින් හා මහජන නියෝජිතයින් කෙරෙහි වෙයින්බර්ග් දක්වන උනන්දුවට ඉව අල්ලමින් සිටි ඔහු කොලරාඩෝ හා කනෙක්ටිකට් ප්‍රාන්තවලින් සෙනෙට්වරුන් දෙදෙනකු ඇබ්ස්කැම් වෙත ඉදිරිපත් කළේය. දෙදෙනාම අල්ලස් ලබාගැනීමට ගිජු බව පැවසුණත් ඒ බව ඔප්පු කිරීමට සාක්ෂි නොමැති නිසා රොසෙන්බර්ග් එම ව්‍යායාමය සාර්ථක වූයේ නැති නමුත් මේ සියලුදෙනා සමඟ එකවර ගනුදෙනු කිරිමට සිදුවීම නිසා වෙයින්බර්ග් සිටියේ තදබල ආතතියකිනි. ඒ අතර මැකාතිගේ කෙණෙහිලිකම්ද ඉවසා සිටිය හැකි සීමාව ඉක්මවා තිබිණි. ඇබ්ස්කැම්හී මහ මොළය වූ වෙයින්බර්ග් එතෙක් දරාගෙන සිටි කෝපය පුපුරාගොස්, ඇබ්ස්කැම් මෙහෙයුම කඩාකප්පල් වන තැනට වැඩ සිදුවන තීරණාත්මක අවස්ථාව එළැඹුණේ මෙවන් වාතාවරණයකදීය.
නිව්යෝක් හා ෆ්ලොරිඩා යන අන්ත දෙකක ජාවාරම්කරුවන් වැටලීමේ මෙහෙයුම් හැකිතාක් එකිනෙකින් වෙන්කර තැබීමට වෙයින්බර්ග් මනඃකල්පිත අරාබි එමීර්වරු දෙදෙනෙක් පත්කිරීමෙන් උත්සාහ ගත්තේය. අබ්දුල්ට නිව්යෝක් නුවර මෙහෙයුම් භාරදුන් වෙයින්බර්ග් ෆ්ලොරීඩා මෙහෙයුම් සඳහා තෝරා ගත්තේ සූරිච් හෝටලයේදී හඳුනාගත් ‘යසීර් හබීබ්‘ නමැති එමිර්වරයාගේ නමයි. එදින ඔහු ෆ්ලොරිඩා බලා ගියේ ද කලින් කතාකරගෙන තිබුණු පරිදි, වංචනිකයකුගෙන් හොර තැන්පතු සහතික තොගයක් ලබාගැනීමටය. තැන්පතු සහතික භාරදෙන විටම වංචනිකයා අත්අඩංගුවට ගැනීමට ෆ්ලොරිඩා බියුරෝවේ බලධාරීහු සූදානම්ව සිටියහ.
මියාමි වෙත පැමිණි විගස වෙයින්බර්ග්ට ලැබුණේ නරක ආරංචියකි. සැලසුම්කොට තිබූ අත්අඩංගුවට ගැනීම හදිසි නියෝගයකින් අත්හිටවූ බව මියාමි එෆ්.බී.අයි. අධීක්ෂණ නිලධාරි බොබ් ෆිට්ස්පැට්‍රික් හා ගනර් ඇස්කිලන්ඩ් දන්වා සිටියේය. වෙයින්බර්ග්ට දැනුණේ තම ආත්මය සුණුවිසුණුව ගියා බඳු හැඟීමකි.
“දැන්ද ඔහේලා ඕක මට කියන්නේ ? මාස ගාණක් තිස්සේ නැහිලා නැහිලා යාන්තම් කොටුකර ගත්ත එකාව අල්ලගන්න තියනකොට ඒකාට යන්න අරින්න කියලා ඔහේලා කියනවා. එෆ්.බී.අයි එකේ ඉන්නේ ගොන්නුද?“ වෙයින්බර්ග් පිපිරුවේ වේදනාව නිසාය.
“අපිට කරන්න දෙයක් නැහැ යාළුවා. අපිට මේ දැන් ඔයාගේ නිව්යෝක් යාළුවා ජෝන් ගුඩ් කෝල් කරලා අත්අඩංගුවට ගන්න එක වහාම නවත්වන්න කියලා දැන්නුවා. එහෙම ඇරෙස්ට් කළොත් ඔයාගේ ඇත්ත තත්වේ එළිවෙයි කියලා එයාට බයයි. ඔයා ෆෙඩරල් එක වෙනුවෙන් දෙබිඩි චරිතයක් රඟදක්වනවා කියලා ලීක් වුණොත් මුලු ඇබ්ස්කැම් ඔපරේෂන් එකම වතුරේ යයි කියලා එයාට සාධාරණ බයක් තියෙනවා. ගුඩ්ගේ වචනෙට පිටුපාන්න අපිට බැහැ. ඔයාගේ අයිතිය තියෙන්නේ එයාට.“
ඇස්කිලන්ඩ් හා ෆිට්ස්පැට්රික්ගේ කාරුණික පැහැදිලි කිරීම හමුවේ ද වෙයින්බර්ග්ගේ කෝපය ඇවිලී ගියා මිස අඩුවක් වූයේ නැත. මෙතරම් කාලයක් ඇබ්ස්කැම් නිසා ඔහු පෙළෙමින් සිටි අසහනය වාන් ඇරියා සේ දෝරේ ගලායන්නට ගත්තේය. සොච්චම් පඩියකට තමා කී වරක් ජීවිතය අවදානමට හෙළුවාද ? ලොන්ග් අයිලන්ඩ්වල කවුරුත් ගැවසෙන්නේ නැති පාලු කොණක පිහිටි, අබ්දුල්ගේ කමකට නැති දුප්පත් කාර්යාලය, හැම වියදමම අන්තිම සතය දක්වා පිරිමහ ගන්නට හදන මැකාතිගේ ලෝභකම, නොදරුවකුගේ වන් මැකාතිගේ හැසිරීම, දැන් මේ සිදුවුණ බියුරෝවේ අනවශ්‍ය ඇඟිලි ගැසීම්, මේ සියලු සිතිවිලි, වෙයින්බර්ග්ගේ ඇවිලුණු කෝපය තව තවත් උත්සාහ කළේය. මේ සියල්ලට වගකිව යුත්තේ තමා එදා සිට අප්‍රිය කරන මැකාති බව වෙයින්බර්ග් ඒකමතිකව තීරණය කළේය.
මැකාති ක්‍රියා කරමින් සිටියේ ගුඩ්ගේ නියෝග අනුව මිස ඔහුගේ ඕනෑකමකට නොවන බව පිළිගන්නට වෙයින්බර්ග් අදටද කැමති නැත. වෙයින්බර්ග් එදා ආපසු ලෝන්ග් අයිලන්ඩ් වෙත යාමට ගුවන්යානයට ගොඩවුණේ මැකාති වැදගැම්මකට නැති හොරිකඩයෙක් බවත්, ඒ නිසා ඇබ්ස්කැම් පවා බාල්දු වූ බවත් සිතමිනි. ගුවන් ගමන පුරාවටම හේ සිටියේ කේන්තියෙන් පිපිරෙමිනි. කලකට ඉහතදී ලාස් වේගාස් ගමනට තමාගේ වියදම් තමාටම දරාගන්නා ලෙසට මැකාති කළ පිළිකුල් සහගත බලකිරීමත්, කිසිසේත්ම ඉවතලිය නොහැකි වැදගත් ඔත්තු හා තොරතුරු මූලාශ්‍ර තමාගේ බලකිරීම නොතකා, මඟහැරීම වැනි කාරණාත් එකින් එක මතකයට නගමින් වෙයින්බර්ග් මුවේ රුවාගෙන සිටි නොදැල්වූ යෝධ ටී ඇමෝ ටොරොස් වර්ගයේ සුරුට්ටුව තදින් සැපුවේය. ෆ්ලොරිඩා හි වැටලීමට බාධාකළේද මැකාති බවට වෙයින්බර්ග්ට සැකයක් තිබුණේ නැත. තම අනුමාන ගැන දෙවරක් සිතීමට වද නොවූ වෙයින්බර්ග් සියලු වැරදි මැකාතිගේ ගිණුම බැර කළේය. සුරුට්ටු දුමක් ඇදීමේ අවශ්‍යතාව වෙයින්බර්ග්ට තදින්ම දැනුණේ ගුවන් යානය තුළ ක්‍රියාත්මක දුම් පානය තහනම් නීති නිසා ඔහු හිත සනසා ගත්තේ සුරුට්ටුව තව තවත් සැපීමෙනි. මැකාති කමකට නැති අයකු ලෙස සිතන්නේ තමා පමණක් නොවන බව සිහි කළ හේ ඉන් මදක් සෑහීමට පත්විය.
නීතිඥ බෙන් කොහෙන් මියාමිවල සිට වෙයින්බර්ග් අමතා මැකාති ගැන පැමිණිල්ලක් කර තිබුණේ ඊට සතියකට පෙරය.
“ඔහේලා දුවන්නේ මොන විදිහේ යක්ෂ ජාවාරමක් පිටුපසද ? අර මැකාති කියන පොල් බූරුවා මගේ තැන්පතු සහතික ටිකට ඇරියා. සල්ලිත් නැහැ. සහතිකත් නැහැ. ඒ මදිවාට ඒවා වැඩක් නැහැ කියන්න ඒ යකා මාව නිව්යෝක්වලටම ගෙන්න ගත්තා. වියදම් ඔක්කොම මගේ අතින්. මේක හරියට නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක්. වැඩක් නැත්නම් සහතික මට දෙන්න එපායැ. ඒවා ටික ඉල්ල ගන්න තමුසෙලාගේ මහා ලොකු කාර්යාලයට කතා කළාම ෆෝන් එකට උත්තර දෙන්න මනුස්ස පරාණයක් නැහැ. මොකක්ද අයිසේ මේකේ තේරුම ?"
මැකාති ගැන එහේ පැමිණිලි කළ එකම කෙනා බෙන් කොහෙන් නොවේ. රොන් සැබ්ලොස්කිද එවැනිම නෝක්කාඩුවක් කළ බව වෙයින්බර්ග් සිහි කළේ මැකාතිගේ මවුපියන්ට පවා සිතින් දෝෂාරෝපණය කරමිනි. කාර්යාලයේ කිසිවකු නැතිවා මදිවාට එය කිසිසේත්ම අබ්දුල් වැනි ධන කුවේරයකුට නොගැලපෙන මුඩුක්කු කාර්යාලයක් බවට සැබ්ලොස්කි කළ චෝදනාව එයාකාරයෙන්ම නගරාධිපති එරිචෙට්ටි හා රොසෙන්බර්ග් විසින්ද නොයෙක් වර කර තිබිණි.
“එයාලා ඔක්කෝමලා කියන දේ ඇත්ත. මැකාති කියන්නේ මුස්පේන්තු කාළකණ්ණියෙක්. ඒ ඔෆිස් එකත් එයාටම හරියන තුට්ටු දෙකේ කාමර කෑල්ලක්. ඒ වගේද ඒ කාලේ මගේ ලන්ඩන් ආයෝජකයෝ ඔෆිස් එක. එහෙම බැලුවම මේ ඇබ්ස්කැම් කියන්නේ නිකම් විහිළුවක් වගේ දෙයක්.“
වෙයින්බර්ග් ගුඩ් හමුවූයේ මැකාතිට එරෙහි චෝදනා සහ තමාගේ වැදගත්කම පිළිබඳව කරුණු කාරණාවලින් සන්නද්ධව පහව නොගිය කේන්තියකිනි. හෙණ පුපුරන සේ වෙයින්බර්ග් එක පිට එක කළ චෝදනාවන්ට නිහඬවම සවන් දුන් ගුඩ් අවසානයේ මැකාති ඇමතුවේ නිවුණු තැන්පත් ස්වරයකිනි.
“ජෝන්, ඔයාට මෙල් ෆ්ලෝරිඩාවල මේ කියන වැටලීම ගැන කලින් කියලා තිබුණාද ?“
“ මේ මොනවා කියනවාද ? මම එහෙම දෙයක් ගැන ඇහුවෙත් මේ දැන්.“
මැකාති බොරු නොකියන සත්යවාදියෙකු බව එෆ්.බී.අයි. අධීක්ෂණ නිලධාරි ජෝන් ගුඩ් අත්දැකීමෙන් දැන සිටියේය. ඉන් අනතුරුව හේ හැරුණේ තවමත් කෝපයෙන් පුපුරු ගසමින් සිටි වෙයින්බර්ග් වෙතයි. සීනිබෝල කතා කියා තාවකාලිකව කෝපය සන්සිඳුවීම ගුඩ්ගේ ක්‍රමය නොවීය. වෙයින්බර්ග්ගේ සිද්ධියේදීද ගුඩ් අනුගමනය කළේ අවස්ථාව කුමක් වුවත්, කියන්නට ඇති දේ, මුහුණටම කියාදැම්මේ ප්රතිපත්තියයි.
පරිවර්තනය රුක්ලන්ති පෙරේරා
සඳුදා- වැටුණු රේස් එකට අලුත් අශ්වයෙක්