Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

දන් දෙන්න ඕන අවබෝධයෙන්

$
0
0
දෙසැ 17, 2018 01:00

පණ්ඩිත, ඕපාත ධීරානන්ද හිමි

‘දානය’ කුසල් වඩන ක්‍රියාවකි. ඇතැමුන් අවබෝධයෙන් යුතුව දන් දෙන අතර සමහරු අවබෝධයකින් තොරව දන් දෙති. දානය යනු කුමක්ද? නියතවශයෙන් ආනිශංස ලබා ගැනීමට නම් දානය දිය යුත්තේ කවරාකාරයෙන්ද? මේ පිළිබඳ අද ධර්ම සභාවට අදහස් දක්වන්නේ බදුල්ල, මිල්ලබැද්ද, හෝප්ටන් හි ශ්‍රී සාරානන්ද පිරිවෙන් පරිවෙනාධිපති, පණ්ඩිත, ඕපාත ධීරානන්ද හිමියන්ය.

• ස්වාමින් වහන්ස, බුදුරදුන් අනුදැන වදාළ දානය කෙසේ අර්ථ දැක්විය හැකිද?

දානය කියන ක්‍රියාවේ සරළම තේරුම තමයි අත හැරීම කියන කාරණය, තන්හාව, මානය, දිට්ඨිය කියන කෙළෙස් ධර්මවලට මතු නොවෙන්න ඉඩ නොදී යමෙක් අනුග්‍රහණයක් පිණිස හෝ පූජාවක් විදියට හෝ තව කෙනෙක් වෙනුවෙන් යමක් දෙනවානම් එය දානය විදියට බුදු රදුන් විග්‍රහකර තිබෙනවා. එතනින් එහාට ගත්තම දානය කියන සංකල්පය නිර්වාණය දක්වාම විහිදිලා යන බොහොම ගැඹුරු කාරණයක් විදියට බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා.

• දානය පිළිගැන්වීමේදී යම් පිළිවෙතක් නියම වී තිබෙනවාද?

දානය පිළිගැන්වීමේදී පූජා බුද්ධියෙන් හා අනුග්‍රහ බුද්ධියෙන් පිදීම යනුවෙන් කොටස් දෙකකට වෙන් කෙරෙනවා. පූජා බුද්ධියෙන් දානය දෙනව කියන්නෙ තමාට වඩා ගුණයෙන්, සීලයෙන් උසස් කෙනෙකුට දෙනව කියන එකයි. අනුග්‍රහ බුද්ධියෙන් දානය දෙනව කියන එකෙන් අදහස් කරන්නෙ තමා තුළ තිබෙන ගුණයට හා සීලයට සමාන හෝ ඊට වඩා අඩු අයට දානය දෙනව කියන කාරණයයි. සිල්වත් නැති අයකුට දානය දෙනවනම් එයත් අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානයක් විදියටත් මහාසංඝරත්නයට පිරිනමන දානය පූජා බුද්ධිය පදනම් කරගෙන සිදු කරන දෙයක් ලෙසත් බුදු රජාණන් වහන්සේ දේශනාකර තිබෙනවා.

• දානය පිළිගැනීමේදී සංඝරත්නය පිළිපැදිය යුතු පිළිවෙත් බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙනවාද?

දානය පිළිගැනීමේදී භික්ෂූන් වහන්සේලා අනුගමනය කළ යුතුවත් පිළිවෙත් රාශියක් විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ වත්තක්ඛණ්ධයේ දානශාලාවත, හා වත්තාග්‍රතා වත දේශනාවේ සඳහන් වෙනවා. දානය පිළිගන්නා ආකාරයත්, දානය වැළඳීමෙන් අනතුරුව බුක්තානුමෝදනා සිදු කරන ආකාරයත් එහි පැහැදිලිව සඳහන් වී තිබෙනවා. භික්ෂුවක් දානය වැළඳීම ඇවතුම්, පැවතුම් ධර්ම පද්ධතියකට අනුකූලව සිදුකරන්න ඕන. දානය පිළිගන්වන දායක පක්ෂය වෙනුවෙන් බුක්තානුමෝදනාවක් සිදුකර ඒ ඇත්තන්ට දානය දීමේ වටිනාකම හා එහි තිබෙන යථා ස්වභාවය නිසියාකාරව අවබෝධ කර දී දායකයා තවදුරටත් දානයට නැඹුරු කරවන්න අවශ්‍ය පසුබිමක් සැකසීම භික්ෂුවගේ කාර්යභාරයක් වී තිබෙනවා.

• ස්වාමීන් වහන්ස, වත්මන් භික්ෂුන් වහන්සේලා තුළින් බුදුන් වදාළ ආකාරයට කටයුතු සිදු වෙනවද?

භික්ෂූන් වහන්සේලා දානය පිළිගැනීමේදී සහ දායක පක්ෂය දානය පිළිගැන්වීමේදී සම්ප්‍රදායිකව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළ බුදුන් වහන්සේගේ ත්‍රිපිටකගත දේශනාවන්ට අනුකූලව සකස් කර තිබෙනවා. එහෙත් යම් යම් අඩුපාඩු තිබෙන අවස්ථාත් නැතුවාම නොවෙයි. බුද්ධ දේශනාවටම අනුකූලව හරියටම ඒ දේවල් සිදු වෙනවාමයි කියා කියන්නත් බැහැ. නමුත් යම් සම්ප්‍රදායකට අනුකූලව සංඝරත්නය ගොඩනගාගත් ශාසනික වත් පිළිවෙත් මාලාවක් සහිත ව්‍යුහයක් තුළ දානමය පින්කමේ කටයුතු සිදුවෙනවා.

• ගිහි දායක පක්ෂය අතර යම් මතයක් ගොඩ නැගිල තිබෙනව නේද සිල්වත් භික්ෂූන් වහන්සේලාට දන්දීම සිදුකළ යුතුයි කියල?

දක්ඛිණ විභංග සූත්‍රයේ බුදු හාමුදුරුවො පැහැදිලිව දේශනාකර තිබෙනවා සිල්වතුන් වහන්සේලාට දානය දීමෙන් ආනිශංස ලැබෙනවා කියලා. හැබැයි දුශ්ශීලයකුට දන් දීමෙන් ආනිශංස නොලැබෙනව කියල උන්වහන්සේ පැහැදිලි කර නැහැ. බුදු හාමුදුරුවො වැඩි අවධානය යොමු කර තිබෙන්නෙ දානය පිළිගන්වන කෙනාටයි. යමෙක් තව කෙනෙකුට දානයක් දෙනව නම් ඔහු තුළ හොඳ අවබෝධයක් තිබෙනව නම් ඒක තමයි වටින්නෙ. අවබෝධයෙන් දෙන දානයෙ ආනිශංසවල අඩුවක් නෑ.

• ඒ අනුව බලන විට සිල්වත්, දුසිල්වත් ඕනම කෙනෙකුට දානය දීමේදී කුසලයේ වෙනසක් නැද්ද?

අපි යමෙක් සිල්වත් කියල මනින්නෙ බාහිර පෙනුමෙනුයි. යම් පුද්ගලයෙක් සිල්වත් කියල පෙනුනට අභ්‍යන්තරයෙන් එසේ නොවෙන්න පුළුවන්. එක් අවස්ථාවක බුදු රජාණන් වහන්සේ කොසොල් රජතුමාට පැහැදිලි කරනවා යම්කිසි කෙනෙකුගේ සිල්වත්බව නිකම්ම මනින්න බැහැ. එයා ආශ්‍රය කරන්න ඕන. ඒත් කෙටි කලකින් බැහැ දීර්ඝ කාලයක් ආශ්‍රය කරන්න ඕන කියලා. සිල්වත් අයටම දන් දෙන්න ඕන කියල හිතනව නම් ඒක වැරදි මතයක්. ඒක වැරදි දෘෂ්ඨියක්. තවත් අය හිතනව උසස් අයට පමණයි දන් දෙන්න ඕන කියල. එතන තිබෙන්නෙ මානය. ඒ නිසා තමයි මම මුලින්ම සඳහන් කළේ තණ්හාව, මානය, දෘෂ්ඨිය නිසා කුසල් රැස් කරගන්න අමාරුයි කියල. ඒ නිසා දානය දෙන පුද්ගලයා බලන්න ඕන තමන්ගෙ හිතේ තිබෙන පිරිසුදු බව හා අවබෝධය මිස දානය පිළිගන්නා තැනැත්තා දෙස නොවේ. පුද්ගලයා තෝරා බේරා දන් දෙන්න යනවට වඩා අපට ලැබිල තිබෙන මේ කෙටි කාලය තුළ අපට ලැබෙන සෑම අවස්ථාවකම දානය වෙනුවෙන් ගත සිත මෙහෙයවනව නම් ඒක තමයි වඩාත්ම සුදුසු දෙය.

• ස්වාමීන් වහන්ස, දානයක් සාංඝික වීමට ස්වාමීන් වහන්සේලා කොපමණ අවශ්‍යද?

දානයක් සාංඝික වීම සඳහා භික්ෂූන්වහන්සේලා මේ තරම් පිරිසක් සහභාගිවිය යුතුය කියා විනය පිටකය තුළවත් සඳහන් වී නැහැ. එ‍ෙහත් දානයක් පිළිගෙන “ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම” කියා ප්‍රකාශ කර එය විනය කර්මයක් හැටියට සළකනවා. ඒ සඳහා උපසම්පදා භික්ෂූන් වහන්සේලා සිව් නමක් සහභාගී කර ගන්නවා. එය පසුකාලීනව පැවත ආ චාරිත්‍රයක් විදියට හිතන්න පුළුවන්. නමුත් ඒ මතය තුළ පිහිටලා වර්තමාන සමාජයේ කටයුතු කරන්න බැහැ. ඒ නිසා කාලානු රූපීව බෞද්ධ චින්තනය තුළ අපට සිතීමේ නිදහස තිබෙන නිසා ධර්ම කරුණු ගලපලා හරියාකාරව අව‍බෝධකර ගත්තම දානයක් සාංඝික කිරීමට උපසම්පදා භික්ෂූන් සිව් නමක් අවශ්‍යයි කියන කාරණය ඊට පටහැනි වෙනවා. භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් නම් දානය පිළිගන්වන්නෙ අප තුළ හටගන්නා චේතනාව තමයි වැදගත් වෙන්නෙ. ඒ නිසා ශාස්ත්‍රීය පැත්තට වඩා ප්‍රායෝගික පැත්ත අවබෝධ කර ගැනීම වඩාත් සුදුසුයි.

• එසේ නම් දානය සාංඝික වීම වශයෙන් සළකන්නේ කුමක්ද?

සාංඝික කියන වචනය “පද්ධිතයක්” සංඝයාට අයත් කියන තේරුම තමයි එයින් කියැවෙන්නෙ. ගිහි දායකයන් සකස් කළ දේ සඟ සතු කරනවා. දානයක් සාංඝික කරන්නෙ තෙකල්වැසි සංඝරත්නයටයි. අතීතයේ විසූ වර්තමානයේ වෙසෙන හා අනාගතයේ පහළවන තුන් කාලයට අයත් මහා සංඝරත්නය අරමුණු කරගෙනයි. යමෙක් දානයක් පිළිගන්වනවා නම් මම මේ දානය දෙන්නේ අනන්ත අප්‍රමාණ වූ මහා සංඝයා වෙනුවෙන් කියල ඒ දානය සාංඝික වෙනවා. ස්වාමීන් වහන්සේලා යම් ප්‍රමාණයක් වැඩම කරවල ඒ අයට දානය දෙනව කියල හිතුවොත් එම දානය පෞද්ගලික දානක් මිස සාංඝික දානයක් වෙන්නෙ නැහැ. දානයක් පිලිගන්වා ඒ සඳහා මෙපමණ මුදලක් වැය වූවා යැයි තක්සේරු කිරීම නොකළයුත්තක්, අත්හරින දේ වටිනාකම මුදල නොවෙයි කුසලයයි.

• රස ගුණ බලා දානය පිළිගැන්වීම නොකළයුතු ක්‍රියාවක්ද?

බුද්ධකාල‍ෙය් කොසොල්, බිම්බිසාර වැනි රජවරු, අනාථ පිණ්ඩික වැනි සිටුවරු බුදුරජාණන් වහන්සේට දානය පිළිගැන්වීමට පෙර එය අනුභවකොට අපත්‍යයක් නැත්නම් පමණයි පිළිගැන්වූයේ. එනිසා සංඝයා වහන්සේලාට දානය පිළිගැන්වීමට පෙර එහි යහපත් තත්ත්වය පිරික්සා බැලීම වැරදි ක්‍රියාවක් වන්නේ නැහැ. පිණ්ඩපාත චාරිකාවේ වැඩමකළ බුදු රජාණන් වහන්සේ නොයිඳුල් දේම පමණක් පිළිගත්තේ නැහැ. නිවැසියන් අනුභවයට සකස්කර ගත් ආහාර පිළිගත්තා. එනිසා භික්ෂූන් වහන්සේලාට නොඉඳුලේ ආහාර පිළිගැන්විය යුතුයි කියන දේ මිථ්‍යා විශ්වාසයක් පමණයි. දානයකට මෙපමණ ආහාර තිබෙන්න ඕන. මෙපමණ සංඛ්‍යාවක් වැඩම කරවන්න ඕන කියන සංකල්පය බුද්ධ දේශනාවට අදාළ නැහැ. ඒවා එක් එක් කාලවලදී සමාජ ගත වූ මනඃකල්පිත අදහස් පමණයි.

සටහන - නිශාන් මෙන්ඩිස්


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>