Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ගින්නෙන් උපන් මිනිපේ වීරයා

$
0
0
දෙසැ 21, 2018 01:00

නිවසේ හුදකලාව විසු වයස 91ක කොරියානු ජාතික කාන්තාවක් ගිනිගත් නිවසකින් මුදාගෙන වීර ක්‍රියාවක් කළ මිනිපේ ගොවි ජනපදයෙන් දකුණු කොරියාවේ රැකියාවට ගොස්, රැකියාවක නිරතවන ශ්‍රී ලාංකිකයකු වන නිමල් බණ්ඩාර මහතා හට එරටදී විදේශික ශ්‍රමිකයකු වෙනුවෙන් පිරිනැමු ප්‍රථම පුරවැසිභාවය පසුගිය (18) දිනයේදී පුදකරනු ලැබ ඇත.

ඔහු මිනිපේ, අඹගහපැලැස්ස, මොරගොල්ල, අංක 3/10 නවසේ පදිංචිව සිටි කේ.කේ.ජී. නිමල්සිරි බණ්ඩාර නම් වයස 39ක විවාහකයෙකි. දරුවන් දෙදෙනකුගේ පියකු වන ඔහු සහෝදරයන් දෙදෙනෙක් හා වැඩිමහල් සහෝදරියක් සිටින පවුලක තුන්වැන්නාය.

2011 වසරේ දකුණු කොරියාවේ රැකියාවට ගිය නිමල් මහතා ආර්ථික දුෂ්කරතාවයේ හිණි පෙත්තටම ගොස් නොවිදිනා දුක් විඳි අයෙකි. පියා සමග ගොවිතැන් කළ ඔහු මහවැලි ගඟේ වැලි ගොඩදැමිමද, පාරේ බඩඉරිගු වෙළෙඳාම, කළ අතර මිනිපේ දේවානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ වසර 06ක වැටුප් නොලබා ස්වෙච්ඡාවෙන් ගුරුසේවයේ යෙදී සිටියේය.

නිමල්සිරි බණ්ඩාර මහතා මේ වන විට දකුණු කොරියාවේ ඩේගු (Deagu ) නගරයේ ඇපල් වත්තක රැකියාවක නිරවේ.

ඔහු 2017 පෙබරවාරි මාසයේ කොරියාවේ තේගු නගරයේ දි 91 හැවිරිදි වයසක මවක් ගින්නකට හසුවී සිටින විට තම ජීවිතය පවා නොතකා ඇගේ දිවි ගලවා ගත්තත් ගින්නට මැදිව සිරුර පිළිස්සී මාසයකට අධික කාලයක් රෝහල් ගතව සිටිමට සිදු විය.

ඒ සිරුර පිලිස්සීම හා විෂ දුම ආග්‍රහණය වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ දින 08ක්ද සාමාන්‍ය වාට්ටුවක දින 24ක්ද වශයෙනි. මෙම වීර ක්‍රියාව හේතුවෙන් දකුණු කොරියාවේ වීරයෙකු ලෙස නිමල්සිරි බණ්ඩාර මහතා සම්මානයට පාත්‍ර විය.

ඔහුගේ වීර ක්‍රියාව ඇගයීමට ලක්කරමින් දකුණු කොරියානු රජය විසින් එරට විදේශීය ශ්‍රමිකයකුට පිරිනමන ප්‍රථම පුරවැසිභාවය හා “ Yonjuchan ” නමැති ගෞරව සම්මානය ද පුද කර ඇත.

සම්මානය ලබා පුංචි ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත් කර දුන් නිමල් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ “ මට ලැබුණ මෙම වරප්‍රසාදය වගේ දෙයක් බලාගෙන මම කොරියානු කාන්තාවගේ ජීවිතය බේරුවේ නෑ. මට මෙම ගෞරවය ගෙන ඒම සදහා වැඩ කටයුතු සිදු කළ ගරුතර මහා සංඝරත්නයටත්, දකුණු කොරියානු රජයටත්, කොරියානු ජාතික සියලු දෙනාටත් මාගේ හදපිරි ස්තූතිය පුදකර සිටිනවා. මනුස්සයෙක් හොඳ සිතුවිල්ලකින් යහපත් දෙයක් සිදු කළොත් හැකි ඉක්මණින් තමන්වෙත යහපත් ප්‍රතිඵල ළඟාවෙනවා කියලා අත්දැකීමෙන් මම දැන් හැමෝටම කියනවා. දිට්ඨ ධම්ම කර්මානුකූලව සැබවින්ම එය සිද්ධවෙනවා. කොරියාවේ රටවල් 18ක පමණ විදෙස් ශ්‍රමිකයන් සිටිනවා. කිසිම විදෙස් ශ්‍රමිකයෙකුට දකුණු කොරියානු පුරවැසිභාවය ලැබිලා නෑ. දකුණු කොරියානු ඉතිහාසයේ ප්‍රථම වරට එරට පුරවැසිභාවය ලංකාවේ මට ලැබුණේ. දකුණු කොරියාවේ සියලුම විද්‍යුත් මුද්‍රිත හා අන්තර්ජාල ජනමාධ්‍ය ඒ පිළිබඳ පුවත් වාර්තා කරලා මගේ පුංචි රටේ නම ලොවය ගෙන ගියා. මට ඒ පිළිබඳ ලොකු අභිමානයක් සතුටක් හිතට දැනුණා “ යනුවෙනි. එරට ජනමාධ්‍ය අපේ ශ්‍රීලාංකික වීරයා පසුගියදා ප්‍රංශයේ මහල් නිවාසයකින් වැටීමට ආසන්නවු කුඩා දරුවකු මකුලුවකු සේ මහල් තරණය කර බේරාගත් වීර තරුණයාගේ ක්‍රියාවට සමාන කර වීරත්වය අගයා මාධ්‍ය වාර්තා රැසක්ම පළ කර තිබුණි.

නිමල්සිරි බණ්ඩාර මහතාගේ බිරිය ජීවනී පුෂ්පමාලා මල්ලිකාරච්චි මහත්මියගේ වයස 32කි. ඇය විඳි දුක් ගැහැට හා සැමියාගේ ඉතිහාස කතාව පිළිබඳ අප සමග විස්තර කළේ මෙලෙසිනි. “ මගේ මහත්තයා කොරියා ගියේ අපේ පවුලේ ආර්ථික දුෂ්කරතාවලට විසඳුමක් හොයන්න. එහෙම ගිහිල්ලා එයා ඒ රටේ වීරයෙක් බවට පත් වුණා. මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. අපේ රටේ නමට කීර්තියක් ගෙනාවා. ඒ වගේම මිනිපේ ගොවිජන පදයේ නම්බුවත් එයා රැක්කා. මහත්තයා ගැන ආඩම්බරයි. අපේ දරුවන්ටත් ලොකු ආඩම්බරයක් තියෙන්නේ තාත්තා ගැන.

මහත්තයාට දකුණු කොරියාවේ පුරවැසිභාවය ලැබුණා. කොරියාවේ ගෙයක් එක්ක වොන් මිලියන 50ක තෑග්ගක් මත්තයාට ලැබුණා කියලා සමහර මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒක අසත්‍යක්. එහෙම මුදල් තෑග්ගක්වත් නිවසක්වත් හම්බ උනේ නෑ. “ Yonjuchan ” කියා එයාලා හඳුන්වන එරට පුරවැසි කම පමණයි ලබාදීලා තියෙන්නේ. මත්තයාගේ වික්‍රමය ගැනත් පුරවැසිභාවය ලබාදීම ගැනත් එරට මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබාදීලා තිබෙනවා කියලා මට මහත්තයා දුරකථනයෙන් කතා කරලා කිව්වා. මාධ්‍යවේදින් දිවා රාත්‍රි නොබලා තොරතුරු ලබාගනිමින් සම්මුඛ සාකච්ඡා පවත්වනවා කිව්වා. ඒ හින්දා අපි දෙන්නට නිදහසේ කථා කරගන්නවත් මේ දවස් කිහිපයට බැරි වුණා. ඒ කලබල හින්දා ලැබිච්ච පුරවැසිභාවයත් එක්ක ඉදිරි සැලසුම් මොනවාද කියලා තාම අපිට කථා කරගන්න වෙලාවක් ලැබුණේ නෑ.

එයා විදෙස්ගතවීමට පෙර පවුල ගොඩගන්න දුක් කන්දරාවක් වින්දා. බැරිම තැන මහවැලි ගගේ වැලි ගොඩදාන්නත් ගියා. කාලයක් පාර අයිනේ බඩ ඉරිගු විකුණන්න පොඩි මැස්සක් ගහගෙන හිටියා. මොන දේ කරලත් පවුල ගොඩදාන්න තරම් ආදායමක් ලැබුණේ නෑ. අපි බැන්දේ මංගල යෝජනාවකින්. මම මහනුවර කටුගස්තොට. අපි විවාහ දිවියට ඇතුළත් වුණේ 2005දී. බැඳල දරුවන් ලැබිලා ඉන්නකොටත් දරුපවුල නඩත්තු කරන්න ආදායමක් තිබුණේ නෑ. අපිට දරුවො දෙන්නෙක් ඉන්නවා. ලොකුදුව නිමේෂා දේශාන්ජනී. එයාට වයස 11යි. හසලක පල්ලේවත්ත ගාමිණි දිසානායක ආදර්ශ විද්‍යාලයේ ඇය ඉගෙන ගන්නේ. දෙවෙනි පුතාට වයස 08යි. එයා මිනිපේ දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු කරනවා. වසර 3කට පමණ පෙර මහත්තයාගේ අම්මා නැති වුණා. මහත්තයාගේ තාත්තා කේ. කේ. ජී. පුංචි අප්පුහාමි ඒ කාලේ එයා හොඳ ගොවියෙක්. දැන් අපි එක්ක තමයි ඉන්නේ. එයාට වයස 70ක් විතර වෙනවා. ඇදුම රෝගයෙන් පීඩා විදිමින් ඇවිද ගත නොහැකි තත්වයක ඉන්නවා. මහත්තයාට අක්කා කෙනෙක්, අයියා කෙනෙක් හා මල්ලි කෙනෙක් ඉන්නවා. මහත්තයා පවුලේ තුන්වෙනියා.

මහත්තයාගේ අයියා මහන වෙලා. ඒ හාමුදුරුවෝ අපේ දුක දැකලා කොරියාවේ ගිහින් කීයක් හරි හොයාගන්න කියලා අපිට මග පෙන්නුවා. ඒ ගමන යන්නත් රුපියල් ලක්ෂ 05ක් විතර වියදම් වුණා. අපි ඒ මුදල් හොයාගත්තේ ණය වෙලා. මහත්තයා රට ගිහින් මුල් මාසේ ඉදලා ඒ ණය ගෙවන්න පටන් ගත්තා. මුලින්ම ගියේ රසායන ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනයකට.

එයා රට ගිහිල්ලා ඉදිද්දීත් මම ගෙදර වත්තේ පිටියේ බඩඉරිගු මෑ, කව්පි වගේ භෝග හදලා ගෙදර ආහාර පාන අවශ්‍යතා සපය ගන්නවා. මහත්තයා රට කියලා එයා දුක් විදලා එවන සල්ලි නැති නාස්ති කරන්නේ නෑ. මහත්තයාගේ තාත්තත් බලාගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහය දෙමින් මම ගෙදර ජීවිතේ ගෙවනවා.

2017 පෙබරවාරි දවසක මත්තය මට කවදාවත් කථා කරන්නේ නැති වෙලාවක කෝල් කරලා කිව්වා මම හොස්පිට්ල් යනවා කියලා. මම කලබලයෙන් ඇහුවා ඇයි මොකද වුණේ හොස්පිට්ල් යන්න කියලා. එයා පිළිතුරු දුන්නේ නෑ... ලයින් එක කට් වුණා. ඒ වෙලාවේ එයාට සිහි නැති වෙලා. ඉන් පස්සේ තමයි මහත්තයාව එහේ හොස්පිට්ල් එකකට ඇතුළත් කරලා තියෙන්නේ. ඉන්පස්සේ මොකද වුණේ කියලා හරි තොරතුරක් හොයාගන්න දැනගන්න බැරුව මම ගොඩක් කලබල වුණා. දුක් වුණා. ජිවිතයේ ඒතරම් මම අසරණ වුණ දවසක් නෑ. පස්සේ මහත්තයාගේ යාළුවෝ මාර්ගයෙන් එයාට මොකද වුණේ ප්‍රතිකාර කොහොමද වෙන්නේ කියලා තොරතුරු දැන ගත්තා.

ඔය අනතුර සිද්ධවෙන කාලේ මත්තයාගේ විසා ඉවරවෙලා තිබුණේ. අනවසරෙන් කොරියාවේ රැඳී ඉන්න කෙනෙක් විදියටයි හිටියේ. අනතුරත් සමග කොරියාවේ විහාරස්ථානයේ හාමුදුරුවෝ උදව් කළා නීතිය පැත්තෙන් එරට බළධාරීන් එක්ක කථා කරලා වීසා මාස කිපයක් දීර්ඝ කරලා දෙන්න. තුවාල සුව වෙනකම් ප්‍රතිකාර නිම වෙනකම් වරින් වර එයාගේ විසා කාලය දීර්ඝ කළා. මත්තයා අනතුරට පත්වෙන විට වැඩ කරපු ඇපල් වත්තේ හිමිකරු හා බේරාගත් මහලු කාන්තාවගේ දරුවන් රෝහල් ප්‍රතිකාර සදහා මුදල් වියදම් කරලා තියෙනවා. ඒ කාලය තුළ එරට විහාරස්ථානයේ හිමියන් හා ශ්‍රී ලාංකික හිත මිතුරන් සුවදුක් බලන්න ඇවිත් තියෙනවා.

මහත්තයා කොරියාවට වීරයෙක් වුණා. අපේ රටට කීර්ථියක් ගෙනාවා. අපේ දරුවන්ටත් මටත් අපේ පවුල් වල අයටත් ඒ ගැන හරි ආඩම්බරයි. මනුස්සකම් නැතිවන සමාජ වකවානුවක ජිවිත පරදුවට තබලා මිනිස් ජිවිතයක් බේරා ගෙන සිදු කර ගත්තේ ලොකු පින්කමක්. ඒ කළ පින්කමේ ආනිසංස දැන් අපිට ලැබිලා තියෙනවා. සතුටුයි ඒ ගැන.“ යැයි කොරියානු රටේ ජාතික වීරයෙක්ව රටේ පුරවැසිභාවට ලැබු නිමල්සිරි මහතාගේ බිරිද ජීවනී පුෂ්පමාලා මල්ලිකාරච්චි මහත්මිය කීවාය.

එච් එම් රංජිත් කරුණාවිර
මාපාකඩවැව සමුහ


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>