ඇගේ නම තිළිණිය.නමුත් දැන් ඈ බොහෝ දෙනා දන්නේ ‘කොච්චි’ ලෙසටය. කොච්චි ඉන්නේ සියත එෆ්. එම් නාළිකාවේය. සතියේ දින පහේ සවස 2.00සිට 5.00දක්වා ඇය අප හමුවන්නීය. ගුවන්විදුලි නාළිකා ගණනාවක අත්දැකීම්වලින් පරිණතවූ තිළිණි පූර්ණිමා අදවනවිට ජනප්‍රියතම නිවේදිකාවන්ගේ ගොන්නේ වැජඹෙන තරුවකි. අද අපේ කතාබහ ඈ සමඟ ඈ ගැනය.
l කොහොමද “කොච්චි” කියන නම වැටුණෙ?
අලුත් තැනක, අලුත් වැඩසටහනක්, අලුත් විදිහට කරන්න සැලසුම් කරමින් ඉන්නකොට අරවින්ද අයියා (DJ අරා) තමයි කිව්වෙ මගේ ඇත්ත නමින් නැතුව ටිකක් සැර නමකින් අසන්නන් අතරට යන්න, “කොච්චි” වගේ නමක් පාවිච්චි කරමුයි කියලා. ඒ වෙලාවේ එකඟ වුණාට මගේ නම් ඒ නමට ඒ හැටි කැමැත්තක් තිබුණෙ නෑ. ඒත් නොහිතපු විදිහට ඒ නම මිනිස්සු අතරට ගියා. දැන් මාව හැමෝම දන්නෙ ඒ නමින්.
l කොහොමද “කොච්චි”ට ලැබෙන ප්‍රතිචාර?
මේ වැඩසටහන වැඩියෙන්ම අහන්නේ අයියලා, මල්ලිලා සහ මාමලා. හැබැයි මුලින් එයාලා අහලා, ගෙවල්වල ගිහින් කිව්වම එයාලගේ බිරින්දෑවරුත් මේ වැඩසටහන අහන්න පටන් අරන් තියෙනවා. ඔහොම තමයි අන්තිමේ පවුල් පිටින් මේ වැඩසටහන අහන්න පුරුදු වුණේ. මම මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ සැහැල්ලුවෙන් විනෝදයෙන්, සම්මත රේඩියෝ කලාවෙන් ටිකක් විතර එහාට ගිහිල්ලයි. හැබෑ ජීවිතේදිත් මම කොහොමත් කට කැඩිච්ච කතා නම් කියනවා. ඒ වගේ තමයි වැඩසටහනෙදිත්. වෙනසක් නෑ. බොහෝ දෙනා ගුවන්විදුලි නාලිකාවල මවාපෑමක් කළත් මේ වැඩසටහනේ තියෙන්නේ යථාර්ථය කියලත් ඒ නිසාම කැමැත්තෙන් අහනවා කියලත් අසන්නන් කියනවා.
l වෘත්තීය ජීවිතේ පටන්ගැන්ම ගැන කිව්වොත්?
මගේ තාත්තා සරත් එන්. කුලසිරි. වැඩ කළේ ලොතරැයි මණ්ඩලේ. ඔහු කලාවට බොහොම ලැදි කෙනෙක්. ලස්සනට ලියන්න පුළුවන් ඔහුට. කෙටි කතා ලියනවා. සිංදු ලියනවා. ඒ වගේම නිවේදන කටයුතුත් කළා. ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායකයෙක්. තාත්තගේ හීනෙ හින්දා තමයි මම මේ ගමන ආවේ. මම පවුලෙ එකම දරුවා. අම්මයි තාත්තයි විවාහ වෙලා අවුරුදු 10ක් ගියාට පස්සෙ තමයි මං ඉපදිලා තියෙන්නෙ. ඔහුගේ කැමැත්ත ඉෂ්ට කරන එක මගේ යුතුකම නිසා මම මේ ක්ෂේත්‍රය තෝරගත්තා. මං ඉස්කෝලෙ තුනේ පංතියේ ඉන්නකොට තාත්තා මාව එයාගේ යාළුවෙක් වුණු උපුල් මාමා ළඟට එක්කන් ගියා. ඔහුගේ මාර්ගයෙන් මට ස්වාධීන රූපවාහිනියේ ලහිරු මඬලට සම්බන්ධ වෙන්න ඉඩ ලැබුණා. මං පහ වසරේ ඉන්නකොට ලහිරු මඬලේ නිවේදන කටයුතුවලට ලංකාවෙන්ම තෝරාගත් පස් දෙනා අතරට මමත් අයිති වුණා. පස්සෙ මුතුහර තරගවලින් දිනලා, රූපවාහිනියේ මුතුහර වැඩසටහන ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලැබුණා. උසස් පෙළට තෝරාගත්තේ ගණිතය විෂය ධාරාව. ඒ අතර තාත්තාගෙ වුවමනාවට තුරුණු ශක්ති තරගයට ඉදිරිපත් වුණා. ඒ තරගයෙන් 2007 දි සමස්ත ලංකා තෙවන ස්ථානය දිනාගත්තා. ගණිත අංශයෙන් උසස් පෙළ කරලා මෘදුකාංග ඉංජිනේරුවරියක් වෙන්න ඉගෙනගත්තා. ඒ අතර තමයි මට රන් එෆ් එම් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න අවස්ථාව ලැබුණෙ. පස්සෙ මම ෂා ,වයි සහ හිරු ගුවන්විදුලි නාලිකාවලත් වැඩ කළා. මම මාධ්‍ය ක්ෂේත්‍රයට ඇවිත් මේ වෙනකොට අවුරුදු 9ක් වෙනවා. නමුත් සියතට ආවට පස්සෙ තමයි ඒකෙ බර දැනෙන්න ගත්තෙ. ඇත්තටම දැන් රස්සාව තමයි ජීවිතේ.
l නිවේදන කටයුතු හැරුණු විට කලාවේ ඔබ යොමු වුණු තවත් අංශ තිබෙනවාද?
තුරුණු ශක්ති තරගයට තාත්තා මාව යොමු කළේ ගායන අංශයෙන්. මගේ යාළුවෙක් එක්කයි මම තරගයට ඉදිරිපත් වුණේ. අන්තිම සිය දෙනාට මගේ යාළුවා තේරුණා. මාව තේරුණේ නෑ. යාළුවව දාලා එන්න බැරි නිසා එයා එනකල් ඉන්න අතරේ එහා පැත්තෙ තුරුණු ශක්ති නිවේදන තරගය පැවැත්වෙනවා. තාත්තා තමයි කිව්වෙ යාළුවා එනකල් වෙලාව තියෙන නිසා ඒ තරගයට පෙනී ඉන්න කියලා. තරග වැදුණ දෙසිය දෙනෙකුගෙන් එතනදි තෝරාගත් දහදෙනාට මමත් ඇතුළු වුණා. එහෙම තේරිලා තමයි තුරුණු ශක්ති නිවේදන අංශයෙන් සමස්ත ලංකා තෙවන ස්ථානය වෙනකල්ම ඉදිරියට ගියේ. කාලයක් මම භරත නර්තනයත් හැදෑරුවා.
l ළඟදි ලැබූ ජයග්‍රහණය ගැනත් යමක් කිව්වොත්?
“FM TV Sri Lanka” ෆේස්බුක් පිටුව හරහා පහුගිය දවසක ලංකාවේ ජනප්‍රියම නිවේදිකාව තේරීමේ තරගයක් පැවැත්වුණා. ඒකෙන් අංක එකට තේරුණේ අපේ නාලිකාවේ උදෑසන වැඩසටහන ඉදිරිපත් කරන දිස්නා අක්කා. ඒ කියන්නෙ පැස්බරා. මම තමයි ඒ තරගයෙන් ලංකාවේ දෙවැනියට ජනප්‍රියම නිවේදිකාව විදිහට තේරුණේ.
l ගුවන් විදුලි නාලිකාවක් ඔස්සේ රටකට කතා කරන්න ලැබෙන අවස්ථාව ගැන ඔබ මොකද හිතන්නෙ?
ඉස්කෝලෙ යන කාලෙ මම ආසාවෙන්ම අහපු රේඩියෝ වැඩසටහන තමයි “අරා පැස්බරා”. ඒ කාලේ කවදාවත් හිතුවෙ නෑ ගුවන්විදුලි නාලිකාවක වැඩට එන්න ලැබෙයි කියලා. අනන්ත අප්‍රමාණ මම ගුවන්විදුලි වැඩසටහන්වලට කෝල් කරලා, සිංදු ඉල්ලලා තියෙනවා. ඒක ලොකු හීනයක් වගේ තිබුණ දෙයක්. නමුත් දැන් ඒක ම මගේ ජීවිතේ අනෙක් පැත්තට පෙරලිලා. අද වෙද්දි තාක්ෂණේ දියුණුයි. ඉස්සර ගුවන්විදුලි නිවේදිකාවක් අපිට සම්බන්ධ කරගන්න බෑ ලේසියෙන්. දැන් එහෙම නෙවෙයි. අසන්නන්ට පුළුවන් අපිට කෝල් කරන්න. එහෙමත් නැත්නම් ෆේස්බුක් එක හරහා අපිව සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඇවිල්ලා හම්බවෙන්නත් පුළුවන්. දැන් රේඩියෝ කියන්නෙ ඉස්සර තරම් පුදුමයක් නෙවෙයි. එහෙම තියෙද්දිත් මිනිස්සු මෙහෙම ආදරේ කරනවා කියලා දැනුණම ඒ ගැන කියන්න වචන නෑ. නිතර හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මමත් මට පුළුවන් හැම වෙලාවෙම මගේ රසිකයින්ට කතා කරනවා. ෆේස්බුක් එකෙන් පණිවිඩ එවන අයට පවා උත්තර යවනවා. සමහර වෙලාවට රෑ 12.00ට 1.00ට වත් මට ෆේස්බුක් යන්න නෑ, කෙටි පණිවිඩ එනවා පෝලිමේ. කාර්යබහුල වෙලාවට තරමක හිරිහැරයක් වගේ දැනුණත්, රටක ලෝකෙක ආදරේ එකවර ලැබෙනවා කියන්නේ පුදුමාකාර වාසනාවක්.
l වෘත්තීය ජීවිතය තුළ ඔබේ ප්‍රධානීන්ගෙන් ඔබට ලැබුණු ශක්තිය පිළිබඳ මතකය අවධි කළොත්?
එළිමහනේ නිවේදන කටයුතු කරන එකයි රේඩියෝකරණයයි කියන්නේ දෙකක්. ගුවන්විදුලි නාලිකාවක් අහනකොට ඒ කතා කරන දේ දැනෙන්නෙ නැත්නම්, තමන්ට අදාළ නැත්නම් කවුරුත් අහන්නෙ නෑ. ගුවන්විදුලි නාලිකාවක මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්න මට ඉගැන්නුවේ වසන්ත කරුණාරත්න. ඒ තමයි වෘත්තිය ජීවිතයේ මගේ පළවෙනි ගුරුවරයා. ඔහු මට කියලා දුන්නු දේවල් බොහොම වටිනවා. මාධ්‍ය ජීවිතේදි ප්‍රධානීන් ගොඩ දෙනෙක් මට මුණගැහුණත් ඒ අතර ඊළඟට මගේ හදවතට වැඩියෙන් ම දැනුණු ප්‍රධානියා තමයි අරවින්ද ලොකුගේ එහෙම නැත්නම් “DJ අරා” කියන්නෙ. අපි රස්සාවක් කරන්න ගියාම ඉස්කෝලෙක වගේ අපිට උගන්වන්නෙ නෑ. අපි ඉගෙනගත්ත දේවල් පෙන්නලා හම්බ කරනවා. ඒත් අරවින්ද අයියා එයත් එක්ක වැඩ කරන මිනිස්සුන්ට යන්න ඕනෙ පාර කියලා දෙනවා. මං අද සියත වැඩසටහන් කළමනාකාරිනිය විදිහට වැඩ කරන්නෙත් පාර පෙන්වමින් ඔහු මාව ඒ තැනට අරන් ආව නිසයි.
l මාධ්‍ය ක්ෂේත්‍රයට අලුතින් එකතු වෙන්න ඉන්න අයට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද?
රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන් දකින දේවල් එක්ක අපි හිතාගෙන ඉන්නෙ මාධ්‍ය කියන්නේ හරි ලස්සන ලෝකයක් කියලා. ඒක ඒ පේන තරම්ම ලස්සන ලෝකයක් නෙවෙයි කියලා මම කියන්නෙ නෑ. නමුත් සමහර තැන්වලදි මිනිස්සු හැමෝම අපිට එකට ගලපගන්න බැරුව යනවා.අදහස් ගැටෙන්න පුළුවන්. මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නෙ හැඟීම්බර මිනිස්සු කියලා මම හිතනවා. ඒ නිසා ඒ හිත් රිදෙන්න තියෙන අවස්ථා වැඩියි. වරදවා වටහාගන්න අවස්ථා වැඩියි. මටත් එවැනි දේ අනන්ත අප්‍රමාණ වෙලා තියෙනවා. නමුත් මට යම් සැලකිය යුතු තනතුරක් ලැබුණ දවසෙ ඉඳලාම මගෙන් කවදාවත් කාගෙවත් හිත නොරිදෙන්නයි මම වගබලාගත්තේ. මාධ්‍ය ක්ෂේත්‍රයට එකතුවෙන අලුත් අය ප්‍රවීණයන්ට දිය යුතු ගරුත්ව ලබාදෙන්න ඕනෙ වගේම ප්‍රවීණයන් දැනගන්න ඕනෙ ආධුනිකයින්ට උදව් කරන්න. ඉස්සර අපි ප්‍රවීණයන්ට සලකපු විදිහට නෙවෙයි දැන් ඉන්න අය තමන්ගේ ජ්‍යේෂ්ඨයින්ට සලකන්නෙ. ඉස්සර අපිට මාධ්‍ය කියන්නේ මුළු ජීවිතේම. පඩියට විතරක් මුල් තැනක් දුන්නෙ නෑ. නමක් හදාගන්න ඕනෙ කියන තැන ඉඳන් අපි කැපවීමෙන් තමයි වැඩ කළේ. හැබැයි දැන් ඉන්න සමහර අය වෙලාවට වැඩට එනවා. වෙලාවට ගෙදර යනවා. ගොඩක් වෙලාවට ගෙවන ගාණ ගැන විතරයි හිතන්නෙ. එහෙම හිතුවොත් මාධ්‍ය කියන දේ අපි හිතනවාට වඩා ඉක්මනට නැති වෙලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව වැඩ කරන හැමෝගෙන්ම මම ඉල්ලන්නෙ මාධ්‍යයට ඒ දිය යුතු වටිනාකම දෙන්න කියලයි.
කාංචනා සිරිවර්ධන