Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ලෝක කුඩු ගබඩාවක් ශ්‍රී ලංකාවේ?

$
0
0
ජන 3, 2019 01:00

ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය රට රටවල් කරා බෙදා හැරීමේ කාර්යය කරගෙන යන්නේ එදා මෙන් නොව, විවිධ ආකාරයේ නව ක්‍රමවේද අනුගමනය කරමින් බව අනාවරණය වී තිබේ.

ඒ අනුව ගුවනින්, මුහුදින් පමණක් නොව වෙනත් ක්‍රමද අනුගමනය කරමින් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ක්‍රියාවලිය මහා පරිමාණයෙන් කරගෙන යන අතර තුර, එසේ බෙදා හරින මත්ද්‍රව්‍ය ගබඩා කිරීමේ අවශ්‍යතාව මතු වී තිබුණේ මෙීට වසර පහකට පමණ පෙර සිටය. ඊට ප්‍රධානම හේතුව වුයේ රටින් රටට බෙදා හැරීමේ දී අනාරක්ෂිත තත්ත්වයක් ඇති විමයි.

මේ ක්‍රියාවලිය සැක නොසිතෙන ආකාරයට කරගෙන යාමට සූක්ෂම ක්‍රම වේදයක් වශයෙන් යම් රටකට ගෙනවිත් යම් ස්ථානයක ගබඩා කර තබා, ඉන් අනතුරුව වෙනත් ක්‍රමවේදයන් ඔස්සේ බෙදා හැරීමේ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට පෙළඹී තිබුණි. ඒ අනුව ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ගබඩා කරන ස්ථානයක් බවට ශ්‍රී ලංකාව ඔවුන් භාවිත් කරන බව බව බුද්ධි අංශ මගින් තහවුරු කර ගෙන තිබුණි.

ඒ අතරතුර පසුගිය කාලය පුරාම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ මගින් මෙම ගබඩාව සොයා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබුණි.

එහෙත් කාලයක් යන තෙක්ම එම මහාපරිමාණ මත් ද්‍රව්‍ය ගබඩාව සොයා ගැනීමට පැහැදිලි තොරතුරක් ලැබී නොතිබුණි. මේ අතර ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා පසුගිය කාලය පුරාම මෙරටට මත්කුඩු කිලෝ ගණන් ගෙන්වූ අතර, ඉන් යම් තාක් ප්‍රමාණයක් එනම් කිලෝ දහසකට වැඩි ප්‍රමාණයක් පසුගය වසරේ පමණක් අත් අඩංගුවට ගැනීමට හැකි විය. ඒ අතර පොලීසියට හොරෙන් තවත් විශේෂයෙන් හෙරොයින් සහ කෙකේන් මෙරටට ඇතුළු කර තිබුණි. මෙසේ මෙරටට ගෙන එන මත්කුඩු මේ තරම් ප්‍රමාණයක් මෙරට පමණක් බෙදා හරින බවට විශ්වාස කළ නොහැකි තත්ත්වයක් තිබූ බැවින් පොලිස් බුද්ධි අංශ විශ්වාස කළේ අනිවාර්යයෙන් ම මෙම මත්කුඩු මෙරට හරහා වෙනත් රටවලට යවන බවයි. විශේෂයෙන් අත්අඩංගුවට ගනු ලැබු මත්කුඩුවලින් වැඩි ප්‍රමාණයක් කොකේන් නැමැති මිල අධික මත්කුඩුය. මෙම මත්ද්‍රව්‍ය වර්ගය මේ රටේ භාවිතා වන බවට තොරතුරු හෙළිදරව් වී තිබුණේ සියයට දෙකකු තුනක් වැනි සුළු ප්‍රමාණයකි. එයද ඉහළ සුපිරි පන්තියේ පිරිස් අතර පමණි. ඊට හේතුව වුයේ කොකේන් වැනි මිල ඉතාමත් ඉහළ මත්ද්‍රව්‍ය මිල දී ගැනීමට තරම් වත්කම් ඇති පිරිස් සාමාන්‍ය සමාජයේ නොවුණු බැවිනි.

එසේ නම් මෙම මත්ද්‍රව්‍ය තොග මෙරට හරහා වෙනත් රටවලට යවන බවට ස්ථිර බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන තිබුණි.

කෙසේ වෙතත් පසුගිය කාලයේ මෙරට මත්කුඩු අත්අඩංගුවට ගැනීම් විශාලවශයෙන් සිදු විය. ඒ කර්තව්‍ය සාර්ථකව සිදු කර ගැනීම පිණිස පොලීසියත් සෙසු ආරක්ෂක අංශත් සිරුවෙන් තබා තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාර්තාගත මත්කුඩු තොග විශාල ප්‍රමාණයක් කොටු කර ගැනීමට හැකිවීම පොලීසිය සහ සෙසු ආරක්ෂක අංශ ලැබු ජයග්‍රහණයක් බවට පත්වී තිබුණි. මෙරට මත්කුඩු ඒ අකාරයෙන් කොටු කරගෙන අත්අඩංගුවට ගත්ත ද ලෝක මත්කුඩු ජාවාරම්කරුවන් රටවලින් පිට කරන මත්කුඩු ප්‍රමාණයේ අඩුවක් නොවී ඇති බව ජාත්‍යන්තර බුද්ධි අංශ පවා පෙන්වා දී තිබුණි.

විශේෂයෙන් ඉන්දියන් සාගරය හරහා ප්‍රවාහණය කරන මත්කුඩු තොගවලින් අත්අඩංගුවට පත් වී තිබු ප්‍රමාණය සළකා බලන විට මෙතරම් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් දෙස් විදෙස් පුද්ගලයන් අත බෙදා හැරෙනවා ද යන්න මවිතයට කරුණක් වුවත්, එය සත්‍යයක් බවට පත්වෙමින් ජාඟ රටවල් ගණනාවක ආරක්ෂක අංශ මගින් අත් අඩංගුට ගෙන ඇති මත්කුඩු ප්‍රමාණය ටොන් පන්දහසකට වඩා වැඩි ප්‍රමාණයක් බව වාර්තා වී තිබුණි.

මේ ආකාරයේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වු හොර ජාවාරම ජාත්‍යන්තර වශයෙන් සිදු වෙද්දී මෙරට ගෙනවිත් මෙරටින් යළි ප්‍රතිප්‍රවාහනය කරන තෙක් ගබඩා කර තබන හුවමාරු මධ්‍යස්ථානය දෙහිවලින් මීට දින කිහිපයකට පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ විශේෂ කාර්ය බළකාය එක්ව කොටු කර ගෙන තිබුණි. මෙතෙක්කාලයක් මෙරට ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් සහ වැඩිම වටිනාකමකින් යුත් මත් කුඩු තොග මෙම ස්ථානයේ තිබී සොයා ගත්තේ බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනකු ද අත් අඩංගුවට පත්වෙමිණි.

රුපියල් කෝටි හාරසිය පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් සහ කොකේන් කිලෝ දෙසිය හැත්තැ හයක පමණ ප්‍රමාණයක් මෙහි තිබී අත්අඩංගුවට ගත්තේ මෙම මධ්‍යස්ථානය මෙරටට පමණක් නොව මෙරට හරහා මත්කුඩු තොග හුවමාරු වන මධ්‍යස්ථානයක් බවට තොරතුරු රැසක හෙළි කරමිනි. ඒ අනුව මෙම නිවසේ කාලයක් තිස්සේ මත්කුඩු ගබඩා කර යළිත් ඒවා ප්‍රතිප්‍රවාහනය කිරීම සිදු වන බවට තොරතුරු හෙළිදරව් වෙමින් පවති.

මෙම ගබඩාව පවත්වාගෙන ගොස් තිබු දෙමහල්නිවස පිහිටා තිබුණේ දෙහිවලකවුඩාන පාරේ නිවසක් කුලියට ලබාගනිමිනි. මෙම නිවසේ සිටි බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා මත්ද්‍රව්‍ය බෙදා හැරීම කරගෙන යාම පිණිස පත් කළ දෙදෙනකු විය. මේ ජාවාරම පිටුපස ප්‍රසිද්ධ මත්කුඩු ජාවාරම්කරුවකු සහ තවත් ඒ පිටුපස සිටින ජාලයක්ම සිටියහ. විදෙස් රටවලින් එන මත්ද්‍රව්‍ය තොග මෙම ස්ථානයට ඉතාමත් සුක්ෂම ලෙස ගෙන්වා ගබඩා කර තබා මෙරටට බෙදා හරින අතරතුර මෙරටින් මුහුද මාර්ග ඔස්සේ තවත් රටවලට යවන බවද පොලීසිය සැක කරන අතර, මේම ජවාරම මේ ආකාරයෙන් බොහෝ කාලයක් සිදු කරගෙන ගොස් ඇත.

කුඩු බාරව සිටිම සහ බෙදා හැරීමට තොග ලබා දීම මෙම බංග්ලාදේශ ජාතිකයන් සිදු කර ඇති නමුත්, මොවුන් දෙදෙනා මෙහෙයවීම පිටුපස ඉහත සඳහන් ජාලයේ කොටස් කරුවන් තවත් විශාල පිරිසක් වෙති. තවද මත්කුඩු කිලෝවක් විදෙස් රටකින් මෙරටට ගෙන ආවිට ඒවා අලෙවි කිරීමට පෙර එම මත්කුඩු කිලෝවට තවත් මත්ද්‍රව්‍ය නොවන ද්‍රව්‍ය කිලෝ පහක් හෝ වැඩි ප්‍රමාණයක් එකතු කරයි. බොහෝ විට එම මිශ්‍ර කිරීම ද මෙම ස්ථානයේ දී සිදු වන්නට ඇති බවට විශ්වාස කෙරේ . කෙසේ වෙතත් මේ වනවිට අත්අඩංගුට ගත් විදේශීය ජාවාරම්කරුවන්ගෙන් මෙම ජාවාරමේ වැදගත් තොරතුරු හෙළිකර ගනිමින් සිටියි. මත්ද්‍රව්‍ය නාශක අංශය දින හතක් රඳවා ගැනීමේ නියෝග මත මොවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශට යටතට පත් කර ගැනීමත් සමඟ මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම නැති කර දැමීම පිණිස විශේෂ වැඩ පිළිවෙළ සමඟ පොලීසියට ඒ සඳහා වූ උපදෙස් ලබා දී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම මත්කුඩු ගබඩාව පවා කොටු කර ගැනීමට හැකි වුයේ පොලීසිය මෙන්ම ඔත්තු සේවාවල ද අවධානය වැඩි වශයෙන් ඒ අංශයේ කෙරේ යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

මෙම මත්කුඩු මධ්‍යස්ථානය කොටුකර ගැනීමත් සමඟ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තවත් පහරක් එල්ල වී ඇත. පසුගිය මාස කිහිපයේ දී ජාත්‍යන්තර මත්දව්‍ය ජාවාරමට සම්බන්ධ වී සිටින මාකදුරේ මධුෂ්, අංගොඩ ලොක්කා වැනි මෙරට සිට විදෙස් රටවලට පැනගෙන ඇති මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සැළකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ජාවාරමේ සැගවුණු ජාවාරම් ක්‍රමවේද ගණනාවන් හෙළි කරගෙන ඒවා සම්පුරණයෙන්ම බිඳ වැට්ටවීමට පොලිසියට හැකි විය. එහිදී ඔවුන් මත්කුඩු ජාවාරම් ව්‍යාපාරයේ මුල්‍ය ගනුදෙනු පවා සිදු වන ආකාරයත්, සැටලයිටි දුරකතන ඔස්සේ ජාවාරම කරගෙන ගොස් ඇති ආකාරයත් හෙළි කරගෙන ඒවා සම්පුර්ණයෙන් ම බිඳ දැමීමට කටයුතු කෙරිණි. ඒ අතර මෙම මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානය සොයා ගෙන විදේශිකයන් දෙදෙනාගෙන් එහි සුළ මුළ හෙළි කර ගැනීමත් තවත් සුවිශේෂි තත්ත්වයක් විය.

මෙම ජාවාරම හා සම්බන්ධ තොරතුරු හෙළි කරගැනිමත් එම පරීක්ෂණ හරහා ඊට සම්බන්ධ සෑම කෙනක්ම අත්අඩංගුවට ගැනීම, තරාතිරම නොබලා සිදු නොකළ හොත් මෙම ජාවරම සම්පුර්ණයෙන් විනාශ කිරිම කළ නොහැකිය.

සමාජයේ වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමට දෙස් විදෙස් වශයෙන් සම්බන්ධ වී සිටින බවට බුද්ධි අංශ මගින් තොරතුරු හෙළි කරගෙන ඇති අතර, තවත් පිරිසක් එම ජාවාරම්කරුවන්ගේ හිතවතුන් බවට ද පත්වී සිටිති. එම හිතවත් කම් අතරතුර ඇතැම් කෝටිපති වෙළෙඳ ව්‍යාපාරිකයන් පවා සිය බිස්නස් ගැටලුවල දී රුපියල් කෝටි ගණන් අතමාරු බවට පත් කර ගන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගෙන් බවට ද තොරතුරු හෙළි දරව් වෙයි.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>