භූතාන රජ පවුලේ උදවිය සමඟ පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි ජිග්මේ නම්ග්‍යාල් වන්ග්චුක් පුංචි කුමරු විශාල පිරිසකගේ අවධානයට ලක් වූ බව රහසක් නොවේ. ඔහුට විශේෂ මාධ්‍ය අවධානයක් යොමු වී තිබුණු අයුරුත් දැක ගත හැකි විණ. අවුරුද්දයි මාස දහයක් පමණ වයසැති මේ පුංචි කුමරු මෙරට පමණක් නොව විදෙස් මාධ්‍යවලටත් විශේෂ මාතෘකාවක් වූයේ ඔහු උපත ලද දා සිටමය.
භූතානයේ වත්මන් රජු ලෙස කටයුතු කරන ජිග්මේ ඛේසර් නම්ග්‍යාල් වන්ග්චුක් රජුගේ සහ ජෙට්සන් පෙමා බිසවගේ එකම පුතණුවන් වන්නේ යට කී පුංචි කුමරුය. මේ රාජකීය යුවළට වෙනත් දරුවන් ඇත්තේද නැත. භූතානයේ පවත්නා රාජාණ්ඩු සම්ප්‍රදාය අනුව රජකම භාර කෙරෙන්නේ පියාගෙන් පුතාටය. ඒ අනුව ජිග්මේ ඛේසර් නම්ග්‍යාල් වන්ග්චුක් රජුගෙන් පසුව භූතානයේ රජු බවට පත්වනු ඇත්තේ අද අපේ අවධානයට ලක්ව සිටින ජිග්මේ නම්ග්‍යාල් වන්ග්චුක් පුංචි කුමරුන් මිස අනෙකකු නොවේ. භූතාන රජකම පුංචි කුමරුට භාර කරන්නට තවත් විශාල කාලයක් ගත වනු ඇති බවට සැකයක් නැත. කෙදිනක හෝ ඒ තනතුරට පත් වූ විට කුමරුන් හැඳින්වෙනු ඇත්තේ “මකර රජු” යනුවෙනි. එවන් දඩබ්බර සහ රළු නමක් මේ තරම් සියුමැලි පුංචි කුමරුකුට අනාගතේදී වුව ගැලපේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එසේ වුවත් භූතාන සම්ප්‍රදාය අප අමතක කළ යුතු නැත. භූතාන රාජධානියේ ප්‍රධානියා හෙවත් භූතාන රජු හැඳින්වෙන්නේ එනමිනි. අනෙකක් තබා භූතානය හැඳින්වෙන්නේත් “මකරුන්ගේ භූමිය” හැටියටය. එරට ජනයා “මකර ජනයා”ය.
තිස් හත් හැවිරිදි ජිග්මේ ඛේසර් නම්ග්‍යාල් වන්ග්චුක් රජු ඒ “මකරුන්ගේ භූමියේ” පස්වන “මකර රජු” ලෙස නම් පාලන කටයුතු කරගෙන යයි. රාජාණ්ඩු පාලනයක් සහිත රටක සිටින වයසින් අඩුම රජවරුන් අතර ඔහුට දෙවැනි තැන හිමි වේ. හෙතෙම බලයට පැමිණියේ 2008 වසරේ නොවැම්බර් 6 වැනිදාය. එදින ඔහුට පස් වන මකර රජු ලෙස කිරුළු පලඳින්නට හැකි වුණේ ඔහුගේ පියා - ජිග්මේ සිංග්හයේ වන්ග්චුක් රජතුමා සිය වැඩිමහල් පුතුට රජකම ප්‍රදානය කිරීමේ අරමුණෙන් කිරුළ අත් හළ නිසාය.
රාජ්‍ය තාන්ත්‍රික සේවය, අන්තර්ජාතික සබඳතා සහ පරිපාලනය පිළිබඳව අධ්‍යාපනය ලබා ඇති ජිග්මේ ඛේසර් නම්ග්‍යාල් වන්ග්චුක් කුමරු, රජකමට පත් වන්නට පෙර සිටම භූතාන ජනයාගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූයේය. එමෙන්ම ඉතා තරුණ අවධියේදී සිටම ඔහු ලෝකයාගේ අවධානය දිනාගන්නට සමත් විණ. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 27 වන මහා සභා රැස්වීමට භූතානය නියෝජනය කරමින් සහභාගී වීම නිසාය. එම සැසිය අමතන්නටත් ඔහුට අවස්ථාවක් ලැබිණ. එදා ඔහු ලෝක නායකයන්ගේ අවධානය දිනා ගත්තේ මිලියන සංඛ්‍යාත ලෝක දරුවන්ගේ ප්‍රශ්න ඒ නායකයන් හමුවට රැගෙන එමින් බරසාර කතාවක් කළ හෙයිනි. මීළඟට ඔහු සහභාගී වූයේ තායිලන්තයේ එවක රජු ලෙස කටයුතු කළ භූමිබෝල් අඩුල්‍යාඩෙජ් රජතුමාගේ රාජාභිෂේකයේ හැට වන සංවත්සරයටය. රාජාණ්ඩු සහිත රාජ්‍ය 25ක රාජකීයයෝ මේ සංවත්සරයට සහභාගී වී සිටියහ. ඒ සියලු රාජකීයයන් අතරින් වඩාත් කැපී පෙනුණේ එහි සිටි ලාබාලතම රාජකීයයා වූ ජිග්මේ ඛේසර් නම්ග්‍යාල් වන්ග්චුක් කුමරුය. තායි යුවතියන්ගේ සිහින කුමරු බවට පත් ඔහුගේ ඡායාරූප දිගට හරහාට මාධ්‍යයේ එදා පළ කෙරුණේ ඒ යුවතියන් උමතුවෙන් උමතුවට පත් කරමිනි.
ඔහු විවාහ වූයේ භූතානයේ තිම්පු අගනුවර යුවතියක සමඟය. ඈ නමින් ජෙට්සන් පෙමාය. ජිග්මේ ඛේසර් නම්ග්‍යාල් වන්ග්චුක් රජු සහ ජෙට්සන් පෙමා අතර විවාහය සිදු වුණේ 2011 වසරේදී බව දැක්වේ. ඒ වනවිට ජිග්මේ ඛේසර් නම්ග්‍යාල් වන්ග්චුක්, භූතානයේ රජව සිටියේය. එනිසා මේ විවාහ මංගලෝත්සවය දෙස් විදෙස් විශාල පිරිසකගේ ආවධානයට ලක් විණ. භූතාන සම්ප්‍රදාය අනුව බෞද්ධාගමික ආශිර්වාදය මැද විවාහය සිදු විය. ඔවුන්ගේ පළමු දරුවා වන ජිග්මේ නම්ග්‍යාල් වන්ග්චුක් කුමරු උපත ලැබුවේ 2016 වසරේදීය.
භූතාන රජ පවුලට කුමරකු අලුතින් එකතු වුණු බව දැන ගැනීමත් සමඟම ඒ කුමරු දැක බලා ගැනීමේ ආශාවෙන් භූතාන ජනයා පෙළ ගැසුණාහ. එසේ වුවත් බිළිඳු කුමරු මහජනයාට දැක බලා ගන්නට ලැබුණේ කුමරුට වයස මාස දෙකක් වූ පසුව පැවැති නම් තැබීමේ මංගල්‍යයයේදීය. ආගමික සහ සංස්කෘතික සම්ප්‍රදායන් මුල්කරගෙන ඒ උත්සවය පැවැත්වුණේ, ජිග්මේ ඛේසර් නම්ග්‍යාල් වන්ග්චුක් රජු සහ ජෙට්සන් බිසවගේ ප්‍රධානත්වයෙනි. මේ උත්සවය අතරතුර මවුපිය දෙපළ ප්‍රකාශයට පත් කළේ කුමරුට ජිග්මේ නම්ග්‍යාල් වන්ග්චුක් යන නම තැබූ බවයි. කුමරුට නම් තැබීම සිදු කෙරෙන අවස්ථාව දැක බලාගන්නට එදත් දහස් ගණනක් ජනයා පැමිණ සිටියහ.
මාස හතරකට පමණ පසුව කුමරු මහජනයාට නැවතත් දැක බලා ගන්නට ලැබිණ. ඒ, රජතුමා සහ බිසව සිය පුතු ද කැටුව බිසවගේ ඥාතීන් බලන්නට ගිය පළමු ගමනේදීය. කුමරු සිය මවුපියන් සමඟ මවගේ ඥාතීන් බලන්නට එන ගමන මහත් උත්කර්ෂවත් අන්දමින් පැවත්විණ. එතැන් පටන් විවිධ අවස්ථාවලදී ජිග්මේ නම්ග්‍යාල් වන්ග්චුක් කුමරුවා දැක ගන්නට භූතාන ජනයාට ඉඩ ලැබුණේය. ඒ සෑම අවස්ථාවකදීම බිළිඳු කුමරු දෙස් විදෙස් අවධානයට ලක්වීම විශේෂත්වයක් විණ.
ජිග්මේ නම්ග්‍යාල් වන්ග්චුක් කුමරු විදේශ සංචාරයක පළමු වරට යෙදුණේ පසුගිය නොවැම්බරයේදී ඉන්දියාවෙහිය. සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවන්නටත් ඔහුට අවස්ථාව ලැබිණ. පුංචි කුමරු වෙනුවන් සෙල්ලම් බඩුත් අතැතිව ඉන්දීය අග්‍රාමාත්‍යයවරයා මඟ බලාගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූප විදෙස් මාධ්‍ය පළ කර තිබුණේය. සාම්ප්‍රදායික භූතාන ඇඳුමින් සැරසී සිටි කුමරු ඉන්දීය අගමැතිවරයාට ඉන්දීය ක්‍රමයට ආචාර සමාචාර කිරීම ඉතාමත් සුන්දර අවස්ථාවක් විණ. මේ සංචාරයේදී කුමරුට ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්, ඉන්දීය ආරක්ෂක ඇමතිනී නිර්මලා සීතාරාමන්, ඉන්දීය ස්වදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක් හමුවන්නට අවස්ථාව ලැබුණේය. ඒ සියලු දෙනා පුංචි ඔහුට අතක් බරට තෑගී බෝග ප්‍රදානය කළහ. තෑගී බෝගවල සතුට ලබමින් ඔහු ඒ සියලු දෙනා සමඟ ඉතා සන්සුන්ව සිටිනු දක්නට ලැබිණ. අවුරුදු දෙකක්වත් වයස නැති කුඩා දරුවකුගෙන් එතරම් සන්සුන් ඉරියව් බලාපොරොත්තු වන්නට බැරි තරම්ය. එසේ වුවත්, භූතානයේ අනාගත “මකර රජු” මකර භූමියේ පාලනය අතට ගන්නට පෙළ ගැසෙන්නේ මේ අන්දමින් විය යුතු යැයි කියා අපට සිතා ගන්නට අපහසුවක් නැත.