අසූව දශකෙ ශ්‍රී ලංකාවෙ ඉපදිච්ච ගැහැනු උදවියට තියෙන්නෙ සදුනි, කසුනි, චාමිනි, පූජානි වගේ අකුරු තුනක් තියෙන හුගක් වෙලාවට ‘නි‘ යන්නෙන් ඉවරවෙන සාමාන්‍ය නම්. ඉවෑන්ජලීන් උපන්නෙ අසූහතේ කලබල කාලෙ. එයාට තිබුනෙ ඉපදිච්ච කාලෙ තාලෙට, ශ්‍රී ලංකාවෙ විදිහට ටිකක් විතර නොගැළපෙන අමුතු නමක්. සීමන් කෙනෙක් වෙච්ච ඉවෑන්ජලීන්ගෙ තාත්තා තමන්ගෙ දුව කවදා හරි පිට රටක පදිංචියට යයි කියලා හිතලා එයාට පිටරට තාලෙ නමක් තියලා තියෙනවා. ඒත් කවදාවත්ම ඉවෑන්ජලීන් ශ්‍රී ලංකාවෙන් එළියට අඩියක් තිබ්බෙ නෑ.
නම ටිකක් විතර අමුතු වුණාට ඉවෑන්ජලීන්ගෙ කිසි අමුත්තක් තිබුණෙ නෑ. ශ්‍රී ලංකාවෙ බොහොම සාමාන්‍ය පවුලක හැදිලා වැඩිලා අවුරුදු විසි ගණන්වලදි ගෙදරින් කොළඹ බෝඩිමකට ඉගිල්ලිලා ගිහිල්ලා රස්සාවක් කරගෙන එයා එයාගෙ පාඩුවෙ හිටියා. ගෙදර ආපු වෙලාවට එයා මූණුපොතේ යාළුවන්ගෙ පින්තූර අම්මට පෙන්නලා යාළුවන්ගෙ ජීවිත කතන්දර දැන් හැරිලා පෙරලිලා තියෙන්නෙ මොනපැත්තටද කියලා අම්මත් එක්ක කියෙව්වා. ඒ වගේ වෙලාවට ‘කෝ බලන්න පුතේ...‘ කියලා ඉවෑන්ජලීන්ගෙ අම්මත් ඒ පින්තූර බලන්න කොම්පියුටරේ ඇතුලට හරි ඉවෑන්ජලීන්ගෙ අතේ ගෙනියන ෆෝන් එක ඇතුළට හරි එබෙනවා. ඒත් ඊට පස්සෙ ‘ඕවයෙ තියෙන්නෙ ඉතින් ඕපදූප නේද පුතේ‘ කියලා කියනවා. අම්මා එහෙම කිව්වම ඉවෑන්ජලීන්ගෙ හිත රිදෙනවා. හරියට තමන්ගෙම කාටහරි අවලාදයක් කිව්වා වගේ. සතියකට පාරක් ගෙදර ඇවිත් අම්මත් එක්ක අරෝ ඇති කරගන්නෙ මොකටද කියලා හිතලා ඉවෑන්ජලීන් එහෙම වෙලාවට හිතයි කටයි දෙකම ගොලු කරගෙන නිකම් ඉන්නවා.
අවුරුදු විසි ගණන්වල අගබාගෙ දවසක ඉවෑන්ජලීන්ගෙ ජීවිතේ හදිස්සියෙම හොරු අරන් යනවා. “මැරෙනවා” කියන වචනෙ අවුරුදු විසිගණන්වල ලස්සන ගෑනු ළමයෙකුට රළු වැඩියි. එයා හදිසියෙම රෑ නින්දෙන්ම යන්න යන හින්දා ඇත්තටම එයාව හොරු අරන් ගියා වගේ තමයි.‘හෙට හම්බවෙමු‘ කියලා යාළුවන්ට අතවනලා බදාදා හවස වැඩ ඇරිලා එන ඉවෑන්ජලීන් බ්‍රහස්පතින්දා වැඩට යන්නෙ නැතුව තනි සුදුපාට සාරියන් ඇදලා ගෙදර සාලෙ මැද්දෙ කොස් ලී පෙට්ටියක් ඇතුළෙ නිදාගෙන ඉන්නවා.
එයාගෙ වටේට හැමදාම ආසකරපු කානේෂන් මල් පොකුරු පිපිලා තියෙනවා. නැඟිටලා හිටියා නම් එයා ඒ මල්පොකුරු අතට අරගෙන ලස්සනට හිනාවෙලා ගත්ත පින්තූර මූණුපොතේ දාලා යාළුවො දාන ‘ලයික්‘, ‘කමෙන්ට්‘ බලලා තවත් සන්තෝසෙන් හිනාවෙන හැටි මට මැවිලා පේනවා. ඒත් එයා ඒ ගැන වගක්වත් නැතුව දිගටම නිදාගෙන හිටියා. එයා මූණුපොතේ ජනප්‍රිය චරිතයක්. සාමාන්‍ය ලෝකෙ වැඩිකතාබහක් නැති වුණාට, ඉවෑන්ජලීන් මූණු පොතේ හුඟක් කතා කළා. ලිව්වා. යාළුවෝ එක්ක අල්ලාප සල්ලාප කවුළු ඇතුළෙ වරු ගනන් කතා කර කර හිටියා. හුඟක් වෙලාවට ඒක සාමාන්‍යයි. පොළොවෙ පයගහලා ඉන්න චරිතෙයි අන්තර්ජාලෙ ඇතුළෙ ඉන්න චරිතෙයි හරි වෙනස්. පියසීලිට ‘ප්‍රිටිවුමන්‘ වෙන්නෙත්, හැමදාම වැඩට යනකොට මහත්තයට වැදලා යන නෝනලට කාන්තා සම අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නත් අන්තර්ජාලෙ ඇතුළෙ එච්චර අමාරු නෑ. ඇත්ත ජීවිතේ සිද්ධවෙන්නෙ මොනවද කියලා අන්තර්ජාලෙ මුණ ගැහෙන මිත්‍රයො දන්නෙ නෑ.
ඉවෑන්ජලීන්ගෙ ඇත්ත ගෙදර ඉවෑන්ජලීන් වෙනුවෙන් අවමඟුල් උත්සවයක් තිබුණා. “අනේ මාව දාලා යන්න එපා පුතේ...“ කියලා හයියෙන් කෑ ගහලා ඉවෑන්ජලීන්ගෙ අම්මා ඇඬුවා. ඇත්තටම හිත පාරවන තරම් දුකක් දැනුණු ඇත්ත මරණෙ ගෙදර උත්සව සිරියක් තිබුණෙ නෑ. ඒක නිසා ඒකට අවමඟුල් උත්සවයක් කියන්න බෑ. නිකම්ම නිකම් මරණෙ ගෙදරක් විතරයි
ඒත් මූණුපොත ඇතුලෙ ඉවෑන්ජලීන්ගෙ අවමඟුල ජයට සැමරුණා. හැමෝම ඉවෑන්ජලීන් යන්න ගිය එක ගැන දුකයි කියලා තිබුණා. ඒක සාමාන්‍ය මරණෙ ගෙදරක වගේමයි. ඒත් සමහර සැමරුම් විදිවල වෙනසක් තිබුණා. හුඟාක් අය ඉවෑන්ජලීන් තමන් එක්ක විතරක් පුද්ගලික සල්ලාප කවුළු ඇතුළෙ ලිව්ව අකුරු හැමෝටම පේන්න එළිපිට ලියලා තිබුණා. හුඟාක් වෙලාවට ඒ සල්ලාපවලින් කොටසක් විතරක් තිබිච්ච හින්දා ඉවෑන්ජලීන් ගැන වැරදි චිත්‍ර කියවන අයගෙ හිත්වල ඇදුණා. ඒවයෙ හරි වැරදි පෙන්නන්න ඉවෑන්ජලීන් හිටියෙ නෑ.
තවත් සමහරු ඉවෑන්ජලීන් තමන් එක්ක තිබිච්ච යාළුකම ගැන එයාට තමන්වත් තමන්ට එයාවත් නැතුවම බැරි වෙච්චි හැටි ගැන කතන්දර ලියලා තිබුණා. එයාලා තරහ වෙලා යලුවෙච්ච හැටි ලියලා කතාවෙ අන්තිමට ‘ෆීලින් සෑඩ් (මට දුකයි )‘ කියලා ලියලා දුක මූණකුත් ඇදලා තිබුණා. ඒවා ඇත්තම ඇත්තද කියලා කතාව කියවලා මම කල්පනා කළා. හුඟක් කතන්දරවලින් ඉවෑන්ජලීන් ගැන මැවුණෙ එච්චරම ලස්සන ප්‍රතිරූපයක් නෙමෙයි. ඒත් ජීවත්වෙලා හිටපු ඉවෑන්ජලීන්ගෙ හිත හරිම ලස්සනයි කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා මේ අකුරු ලියවෙන්නෙ එයා ගැන වෙන්න බෑ, වෙන ඉවෑන්ජලීන් කෙනෙක් ගැන වෙන්න ඇති කියලා මට හිතුණා.
ඉවෑන්ජලීන් කොස් ලී පෙට්ටියෙ නිදාගෙන පින්තූර වගේම එයාගෙ අම්මයි තාත්තයි අඬන පින්තුරත් මූණු පොතේ පළකරපු සමහර ‘යාළුවො‘ තමන් මළගෙදර ගිය විත්තියත් නොගිය අයට උදව්වක් හැටියට පින්තූර පළකරනවා කියලත් කියලා තිබුණා. මරණෙක පින්තූර එහෙම ප්‍රසිද්ධ මාධ්‍යයක බෙදාගන්න එක ඇග හිරි වැටෙන අත්දැකීමක් විදිහට දැනෙන්නෙ මට විතරක් වෙන්න ඇති කියලා මම ආයෙමත් හිත හදාගත්තා. මරණෙ පින්තූර මූණුපොතේ දානවට කැමතිද කියලා කොස්ලී පෙට්ටියෙ නිදාගෙන හිටපු ඉවාන්ජලීන්ගෙන් කවුරුවත් ඇහුවෙ නැති විත්තිය මම ඉන්තේරුවෙන්ම දැනගෙන හිටියා.
හැබැයි මේ අන්තර්ජාලෙ මරණ ගෙදරයි සාමාන්‍ය ලෝකේ මරණ ගෙදරයි එකම එක සමානකමක් තිබුණා. දවස් දෙකතුනකින් ඉවෑන්ජලීන්ව මරණ ගෙවල් දෙකටම ආපු ගියපු අයට අමතක වෙලා ගියා. සමීපතම අයගෙ හිත්වල මතකයක් විතරක් විදිහට ඉවෑන්ජලීන් ඉතුරු වුණා.
ඉවෑන්ජලීන්ගෙ මරණෙ ගෙදරින් පස්සෙ මට මැරෙන්න බය හිතුණා. මම මැරුණොත් මූණුපොතේ මම ගැන මොනවා ලියවෙයිද කියන බය ඊළඟ උප්පත්ති ස්ථානය ගැන ඇතිවෙන බයට වැඩිය තදට දැනුණා.
මූණට මුණගැහිලා කතාකරොත් මිසක අන්තර්ජාලෙ පෞද්ගලික කවුළු ඇතුළෙ මම දැන් කතා කරන්නෙ නෑ. හිතේ නිදහසේ මැරෙන්න පුළුවන් කියන එක තරම් වෙන සැනසීමක් සාමාන්‍ය මනුස්සයෙක්ට නෑ.
දසුනි හෙට්ටිආරච්චි