පොඩි ළමයි හා යෞවනයන් වෙනුවෙන් පොත් ලිවීම හුඟක් පහසු වැඩක් හැටියටයි ශ්‍රී ලංකාවෙ සමහර ලේඛක ලේඛිකාවෝ නම් සලකන්නෙ. මේ හේතුව නිසාම ළමා පොත් ලිවීම ළමයින්ටම බාර දෙන්න ඇතැම් පාසල්වල විදුහල්පතිවරු හා ගුරු මණ්ඩල පියවර අරන් තිබෙන බවකුත් පෙනෙනවා. දරුවන් ලවා ලියවූ පොත් දෙතුන් සිය බැගින් එකවර දොරට වඩම්මන පාසලුත් ශ්‍රී ලංකාවෙ තියෙනවා. මින් අදහස් කෙරෙන්නේ ළමයි පොත් ලියන එක වැරදියි කියන එක නෙමේ. යම් දරුවෙක් තුළ කුඩා කාලයෙදිම ලිවිම හා කියවිම කෙරෙහි ඇති වන සහජ ආශාව හා ප්‍රතිභාව උඩ ලියවෙන පොතකුයි ව්‍යාපෘති හැටියට පාසල් හා වෙනත් ආයතන මට්ටමෙන් ළමයින් ලවා ලියවන පොතුයි අතර ලොකු වෙනසක් තිබෙන බවයි ළමා සාහිත්‍ය පිළිබඳව අවබෝධයක් ඇති ප්‍රවීණයන් පවසන්නේ.
එවැනි විශේෂඥ දැනුමකින් යුතු ප්‍රවීණ ලේඛකයෙක් මුණ ගැහෙන්න පහු ගිය දවසක අපට අවස්ථාව ලැබුණා. ඔහු ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය වගේම කීර්තිමත් ලේඛකයෙක්. රමේන්ද්‍ර කුමාර් නමින් ඉන්දියාවේ ළමා හා යොවුන් පාඨකයන් අතර ප්‍රසිද්ධත්වයට පත්ව සිටින මේ ලේඛකයා පහුගිය දෙසැම්බර් මාසේ ශ්‍රී ලංකාවේ කෙටි චාරිකාවකට ආවා. ශ්‍රී ලාංකික ලේඛකයන් හා රමේන්ද්‍ර කුමාර අතර සුහද හමුවක් පැවැත්වුණේ ගොඩගේ ප්‍රකාශකයන්ගේ නව ශ්‍රවණාගාරයේදියි. රමේන්ද්‍රගෙ ශ්‍රී ලාංකික සම්බන්ධිකාරකයා හැටියට කටයුතු කළේ ප්‍රවීණ ලේඛක බොබී ජී. බොතේජු. බොබී රමේන්ද්‍ර කුමාර් හා ඔහුගේ සාහිත්‍ය කටයුතු පිළිබඳ කෙටි හැඳින්වීමක් කළා. එහිදී අනාවරණය වුණේ රමේන්ද්‍ර හුදු ලේඛකයෙක් පමණක් නොව දරුවන් හා යෞවනයන්ගේ කියවීමේ රුචිය නංවාලීමට ප්‍රායෝගික වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කරන සාහිත්‍ය ක්‍රියාධරයකු බවයි.
රමේන්ද්‍ර කුමාර් ඉතා ප්‍රායෝගික ලේඛකයෙක් බව ඔහුත් සමඟ ගත කළ හෝරා කිහිපය ඇතුළත අපටත් මැනවින් තේරුම් ගියා. සාකච්ඡාව අරඹමින් බොබී ඔහුගෙන් විමසා සිටියේ රමේන්ද්‍ර කුමාර් ඉන්දියාවේ ලොකු ජනප්‍රියත්වයක් දිනා සිටින ලේඛකයෙක් නේද කියායි. රමේන්ද්‍ර උත්තර දුන්නේ හරිම සැහැල්ලූවෙන්. ඇත්තටම ඔහු සිනාසෙමින් කතා කරන හරිම සරල සුන්දර මිනිසෙක් කිව්වට වරදක් නැහැ. මෙවැනි මිනිසකුගේ කතා සාවධානයෙන් යුතුව අසා සිටින්න හා මෙවැන්නකුගේ පොත්පත් කියවන්න ළමා පරපුර කැමති වීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ කියා මට හිතුණේ ඔහු කතාවට ප්‍රවේශ වූ ආකාරය දුටුව ගමන්මයි.
‘‘මම ඉන්දියාවේ නළු නිළියන් වගේ මහලොකුවට ජනප්‍රිය කෙනෙක්වත් ප්‍රසිද්ධ පුද්ගලයෙක්වත් නෙමේ. මාව හඳුන්වන්න භාවිත කළ හැකි හොඳම වචනය කැප වුණ ලේඛකයෙක් කීමයි. මම කරන්නේ අද ඉන්දියාවේ ළමා හා යොවුන් පරපුර මුහුණ දෙන සැබෑ අත්දැකීම් මගේ නිර්මාණ සඳහා පාදක කර ගන්න එක පමණයි. කැලෑවල ඇවිදින වීරයෝ..,භූතයන් මෙල්ල කරන ළමයි එහෙමත් නැත්නම් හොර ගුහාවලට කඩා පනින ළමයි මගේ කතාවල දකින්න නැහැ..., ඒ වෙනුවට මගේ කතාවල ඔබට හමුවෙන්නේ එදා වේල හොයාගැනීම පිණිස හයිද්‍රාබාද් නගරයේ පාරක ඉඳගෙන සපත්තු ඔප දමන කොලුගැටයෙක් එහෙමත් නැත්නම් විභාග හා ටියුෂන් යුද්ධෙන් ගැලවෙන්න බැරුව ගෙදරින් පැන යන දරුවෙක් හෝ ගුරු පඬුරු දෙන්න බැරුව ගුරුවරුන්ගේ අඩත්තේට්ටන්වලට භාජනය වෙන ළමයෙක් වගේ චරිත...මේ තමා අද ඉන්දියාවේ ළමා හා යොවුන් පරපුර මුහුණ දෙන හැබෑ ප්‍රශ්න.’’
කෙටි අදහස් දැක්වීමකින් පස්සෙ තමාගෙන් ප්‍රශ්න විමසන ලෙස ඔහු සභාවට ඇරයුම් කළා. අපේ සමහර ලේඛකයන් සුපුරුදු විදිහට අනංමනං කියවන්න පටන් ගන්නකොට සභාවෙන්ම ඒවාට විරෝධය පළ වීම හේතුවෙන් අර්ථවත් අදහස් හුවමාරුවකට අවකාශ සැලසුණා. ඉන්දියාවෙ දරුවන්ගෙ කියවීමේ රුචිය කෙබඳුද කියා මතු වූ පැනයට ඔහු දුන් පිළිතුර වූයේ අලුත් පරපුර විශාල වශයෙන් පරිගණක හා ස්මාර්ට් ෆෝන් වැනි තාක්ෂණික මෙවලම්වලට ඇබ්බැහි වී සිටින බවයි. ඒත් ඔවුන් වැඩිහිටි සමාජයෙන් එල්ල වන විවිධ පීඩනයන්ට යටත්ව සිටින අතර වෙනත් අධ්‍යාපන හා සමාජ ගැටලුවලටද ගොදුරු වි සිටින අයුරු රමේන්ද්‍ර පෙන්වා දුන්නා. විශේෂයෙන්ම තරුණ පරපුර රැකියා විරහිතභාවයෙන් බැට කමින් සිටින බව ඔහු අවධාරණයෙන්ම කියා සිටියා. මෙවන් ඉරණමකට ගොදුරුව සිටින ළමා හා යොවුන් සමාජයට උතුම් ගුණදහම් දේසනා කරනවාට වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ ගැටලු දෙස සානුකම්පිත විම බවයි රමේන්ද්‍ර කුමාර දැඩිව කියා සිටියේ.
ඉන්දියාවේ ග්‍රන්ථ ප්‍රකාශකයන් හා ලේඛකයන් අතර පවතින සහසබඳතාව පිළිබඳව විමසා සිට විට ඔහුගෙන් ලැබුණ පිළිතුර එතරම් ධනාත්මක එකක් නොවේ. රමේන්ද්‍ර කියා සිටියේ ඉන්දියාවේ ග්‍රන්ථ ප්‍රකාශකයන් පිළිබඳව එරට ලේඛකයන් එතරම් තෘප්තිමත් නැති බවයි. එනිසා පොත් පළ කිරිමේදී කතෘ ප්‍රකාශන හා වෙනත් රාජ්‍ය ආයතන කෙරෙහි යොමු වීමට ලේඛකයන් වැඩි උනන්දුවක් දක්වන බවයි ඔහුගේ අදහස වූයේ. ඒත් එක්කම ඔහු පෙන්වා දුන් වැදගත් කරුණක් වුයේ බහු ලේඛකයකු (Prolific writer) වීමේ වටිනාකමයි. ඉංග්‍රීසි භාෂාව සිය ප්‍රධාන ලේඛන මාධ්‍ය කරගෙන සිටීම හේතුවෙන් තමාට එසේ වීමට හැකි වී තිබෙන බවයි ඔහු අවධාරණය කර සිටියේ. මේ පණිවිඩය ලාංකික ලේඛකයන් වන අප සැමට ඉතා වටිනා උපදෙසක් වශයෙන් සැලකිය හැකියි. මන්දයත් විශාල පාඨක සමාජයක් අතරට මෙන්ම ලෝක සාහිත්‍යයට පිවිසීමේ හොඳම මඟ මෙය නිසයි.
රමේන්ද්‍ර කුමාර ලේඛකයාගේ ජීවිතයෙන් අපට උගත හැකි තවත් අපූරු පාඩමක් වනුයේ ඔහු ඉංජිනේරු විද්‍යාව හදාරා ලේඛන කලාවට ප්‍රවේශ වූවෙකු වීමයි. බෙංගාලි ජාතිකයකු වන ඔහු කල්කටා විශවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් ලබා කලක් එම සරසවියේම උප කුලපති තනතුරෙත් සේවය කළ විද්වතෙක්. ඉංග්‍රීසි බසින් ඔහු මෙතෙක් පළ කර තිබෙන පොත් සංඛ්‍යාව තිහකටත් අධිකයි. එම පොත් අතරින් 13ක් පමණ දෙමළ බසටත් 10ක් පමණ වෙනත් විදෙස් භාෂාවලටත් පරිවර්තනය වී තිබෙනවා. සිංහල පාඨකයන්ටද රමේන්ද්‍රගේ පොත් කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා බොබී ජී. බෙතේජු විසින්. රමේන්ද්‍ර වඩාත් ප්‍රකටව සිටිනුයේ ළමා හා යොවුන් පොත් රචකයකු ලෙස වුවද වැඩිහිටියන් සඳහාද ඔහු ප්‍රබන්ධ කිහිපයක් ලියා තිබෙනවා. උපහාස්මක කතා, කවි, සංචාරක සටහ ආදි සාහිත්‍යාංග කෙරෙහිත් නැඹුරුවක් දක්වන ලේඛකයකු වශයෙන් රමේන්ද්‍ර නමක් දිනා සිටිනවා.
ශ්‍රී ලංකාවට පැමිණ ගත කළ දින කිහිපය ඇතුළත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ සිසු සිසුවියන් ඇමතීමටද රමේන්ද්‍රට අවස්ථාවක් උදා වුණා. ඉතා ප්‍රසන්න හා සිත්ගන්නා ආකාරයට සිය අදහස් ප්‍රකාශ කිරීමේ සමතකු වන ඔහු සිසු සිසුවියන්ගේ ආකර්ෂණය දිනා ගත්තේ ඉතා වටිනා අදහස් රැසක්ද ප්‍රකාශ කරන ගමන්.
ඇත්තටම ලේඛකයකු යනු සමාජය සමග නිරන්තරයෙන් සමීපව සිටිමින් ඔවුන්ගේ ආදරයට පාත්‍ර විය යුත්තකු බව රමේන්ද්‍ර කුමාර අපට ඉතා කදිමට පෙන්වා දුන්නා. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ලේඛකයන් සමග සමීප ඇසුරක් පවත්වන බවට ප්‍රතිඥාවකුත් දීලයි ඔහු අපෙන් සමු ගත්තේ. මෙවන් සුන්දර ලේඛකයකු අපට හඳුන්වා දීමට ඇප කැප වූ ප්‍රවීණ ලේඛක බොබී ජී. බොතේජුටත් ඊට පහසුකම් සැලසූ ගොඩගේ ප්‍රකාශන ආයතනයටත් අපගේ ස්තුතිය පිරිනැමිය යුතුයි.
කමල් පෙරේරා