Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ඉන්දු-පාකිස්තාන්-අමෙරිකා-කොරියා යුද්ධය සහ සාමය

$
0
0
මාර් 2, 2019 01:00
ධම්මික සෙනෙවිරත්න

ඉන්දියාව හා පාකිස්තානය අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබියදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියා නායක කිම් ජොංග් අන් වියට්නාමයේ හැනෝයි නගරයේදී දෙවන සාකච්ඡා වටය සඳහා හමුවූයේ, න්‍යෂ්ටික අවිහරණය හා කොරියා අර්ධද්වීපයේ සාමය වෙනුවෙනි.

කාශ්මීරයේ පුලවමාහි සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ ඉන්දියාව හා පාකිස්තානය අතර නිර්මාණයවූ උණුසුම් වාතාවරණය දෙරටම අවිබලය යොදවන තැනකට ගමන්කර තිබේ. එම ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ, සිය හමුදාවන්ට ඊට ප්‍රතිචාර දැක්වීමට පූර්ණ නිදහස ලබාදෙන බවය. එයින් පසු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කළ ප්‍රකාශයකින් කියැවුණේ ඉන්දියාව යම් ආක්‍රමණික පියවරකට හෝ හමුදාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුවහොත් පාකිස්තානයද නිහඬව බලා නොසිටින බවය. කෙසේවුවද දෙරටම කියාසිටියේ යුදමය ක්‍රියාමාර්ගයට යාමට අපේක්ෂා නොකරන බවකි. එසේ තිබියදී ඉකුත් බදාදා කාශ්මීර දේශසීමාව ආසන්න ඉලක්කයකට ඉන්දීය ගුවන් ප්‍රහාර එල්ලවිය. එය හඳුනාගත් ඉලක්කයක් වූ බව පැවැසුණු අතර කාශ්මීර ප්‍රහාරයට වගකිවයුතු ජෙයික් ඉමස්ජිද් (Gem) ත්‍රස්තවාදී කල්ලියේ කඳවුරක් බව ද ඉන්දියාව කියා සිටියේය. එම ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් 300 කට ආසන්න සංඛ්‍යාවක් මියයන්නට ඇතැයි ඉන්දීය ආරංචිමාර්ග වාර්තා කර තිබිණි. පාකිස්තානය මේ බව සනාථ කළේ නැත.

ප්‍රහාර-ප්‍රතිප්‍රහාර

ඊට පසුදින පාකිස්තාන ආරක්ෂක හමුදා විසින් ඉන්දීය ප්‍රහාරක යානා බිම හෙළන ලද බව වාර්තා විය. එක් යානයක් කාශ්මීරයේ පාකිස්තානයට අයත් කොටසට කඩාවැටී තිබූ අතර අනෙක් යානය ඉන්දීය කාශ්මීරයට කඩාවැටී ඇති බව සඳහන් විය. ඉන්දීය ගුවන් නියමුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවද තුවාල ලබාසිටි තවත් නියමුවකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවද පාකිස්තානය නිකුත් කළ වාර්තාවල සඳහන් විය. එහෙත්, ඉන්දියාව කියාසිටින්නේ එක් ගුවන්යානයක් බිම හෙළා ඇති බවකි. එක් ගුවන් නියමුවකු අතුරුදහන්ව ඇතැයි පැවසූ ඉන්දියාව ඔහු පාකිස්තාන අත්අඩංගුවේ සිටින බව හෙළිදරව් වී ඇතැයි කියා සිටියේය.

අගමැති ඉම්රාන් ඛාන් මාර්තු පළමු වැනිදා පකිස්තාන් පාර්ලිමේන්තුවට පවසා තිබුණේ සාමයට ළැදියාව පෙන්නුම් කිරීමක් වශයෙන් ඉන්දීය ගුවන් හමුදා නියමුවා නිදහස් කිරීමට සූදානම් බවයි.

පාකිස්තානයේ ප්‍රහාරාත්මක පියවරට ඉන්දියාව ප්‍රතිචාර දැක්වූයේ පාකිස්තාන ප්‍රහාරක ගුවන් යානයක් බිමහෙළමිනි. කෙසේවුවද එය එකට එක කිරීමක් නොවන බව ප්‍රකාශ විය. එමෙන්ම ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් චීනය, රුසියාව ඇතුළු රටවල් කිහිපයක් සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව කියාසිටියේ, ඉන්දීය ගුවන් ප්‍රහාරය හමුදාව විසින් ගත් යුදමය පියවරක් නොවන බවයි. එම ප්‍රහාරය හුදෙක් පූර්ව ආරක්ෂක පියවරක් ලෙස මතුවට එල්ලවිය හැකි ප්‍රහාරයක් වළක්වා ගැනීමේ අරමුණින් සිදුකළ ප්‍රහාරයක් (Preemptive attack) බවද ඇය කියා සිටියාය.

ඉන්දීය ගුවන් ප්‍රහාරයත් සමඟ පාකිස්තානය සිය ගුවන්සීමාව වසා දැමීමට පියවර ගත්තේය. චන්දිගාර්, ශ්‍රී නගර්, ජම්මු, අම්රිස්කාර් වැනි ගුවන්තොටුපොළ ගණනාවක්ම වසා දැමීමට ඉන්දියාව ක්‍රියාකළේය. මේ හේතුවෙන් ගුවන් සේවාවන්ට ගුවන් ගමන් අවලංගු කිරීමට සිදුවිය. ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ලාහෝරයට හා කරච්චි දක්වා වන ගුවන් ගමන් නතර කළේය. කෙසේ වෙතත් මේ වන විට පාකිස්තානය වසා දැමූ ගුවන් කලාපය ද විවෘත කර තිබේ. එමෙන්ම පවතින අර්බුදකාරී තත්ත්වය සාකච්ඡාවෙන් විසඳාගන්නා ලෙස ශ්‍රී ලංකා රජය දෙරටෙන්ම ඉල්ලීමක්ද කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තවත් රටවල් ගණනාවක් වත්මන් උණුසුම් වාතාවරණය සාකච්ඡාවෙන් විසඳාගන්නා ලෙස දෙරටෙන්ම ඉල්ලා තිබිණි. එහෙත්, ‍තවමත් එවැනි රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් දියත්වී නොමැත.

දෙරටේ අවිශ්වාසය

අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා තුවාල ලබා සිටින දර්ශන මාධ්‍ය ඔස්සේ විකාශනය විය. කාශ්මීර දේශසීමාවේ ස්ථාන 15කදී පමණ පාකිස්තාන ආරක්ෂක හමුදා ඉන්දීය කාශ්මීරය දෙසට වෙඩි ප්‍රහාර එල්ල කළ බවද වාර්තා විය. එම ප්‍රහාරවලින් ඉන්දීය සෙබළුන් 5 දෙනකුවත් තුවාල ලබන්නට ඇතැයි පැවසේ. න්‍යෂ්ටික බලවතුන් වන රාජ්‍ය 2ක් අතර මෙවැනි උණුසුම් තත්ත්වයක් ඇතිවීම කිසිසේත් හිතකර නැත. මේ දෙරටම කාශ්මීර ප්‍රශ්නය මුල්කරගනිමින් ඉතිහාසයේ අවස්ථා 2 කදී යුද වැදී ඇති බවද අමතක නොකළ යුතුය. එබැවින් කලාපීය සහයෝගීතාව, ආරක්ෂාව, සාමය, ස්ථාවරත්වය ආදී කාරණා සම්බන්ධයෙන් දෙරට අතරට යම් සාකච්ඡාමය සම්මුතියක් ඇතිවීම අත්‍යවශ්‍යය ය. එහිදී ත්‍රස්තවාදය පරාජය කිරීමට පාකිස්තානයට ඇති අභිලාෂය හා ඊට ඇති කැපවීම ඉන්දියාවට ඒත්තු ගැන්වීමට සිදුවනු ඇත. මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් ඇතිවීමට අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාර මෙන්ම දෙරට අතර ඇති අවිශ්වාසය ද බලපා තිබේ.

ඉන්දියාව හා පාකිස්තානය අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබියදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියා නායක කිම් ජොංග් අන් වියට්නාමයේ හැනෝයි නගරයේදී දෙවන සාකච්ඡා වටය සඳහා හමුවූයේ, න්‍යෂ්ටික අවිහරණය හා කොරියා අර්ධද්වීපයේ සාමය වෙනුවෙනි.

ඉකුත් බදාදා, බ්‍රහස්පතින්දා දිනවල පැවැති එම හමුව රාජ්‍ය නායක දෙපළ අතර ඉකුත් වසරේ සිදුවූ පළමු ඓතිහාසික හමුවෙන් මාස 8 කට පසුව සිදුවිය. පළමු හමුව බෙහෙවින් සාර්ථක වු බව ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, තවත් කිහිපවාරයකදීම තමා සහ උතුරු කොරියානු නායකයා හමුවනු ඇතැයි ද පවසමිනි.

ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායකයා අතර පැවැතියේ, දැඩි වෛරසහගත ආකල්පයකි. ට්‍රම්ප්; කිම් හැඳින්වූයේ “රොකට් මෑන්” යන අන්වර්ථනාමයෙනි. කෙසේවුවද ඔවුන් අතර සිදුවූ පළමු හමුවෙන් අනතුරුව ට්‍රම්ප්; කිම් ගැන කතා කළේ දැඩි මිත්‍රශිලී ආකල්පයකින් බව පෙනෙන්නට තිබුණි. උතුරු කොරියානු නායකයා ඔහුගේ රටට ආදරය කරන නායකයකු බවද ට්‍රම්ප් කීවේය. පළමු හමුවේදී ගොඩනගා ගත් විශ්වාසය හා අවබෝධය ඔවුන් අතර දෙවන හමුවට හේතුවිය. නායක දෙපළ සහභාගි වූ භෝජන සංග්‍රහයද දෙපැයකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්විණි. ඔවුන් අතර මුහුණට මුහුණලා සාකච්ඡා සඳහා ඉතා මිත්‍රශීලීව එකිනෙකාට අතට අතදී ඔවුහු එකිනෙකා පිළිගත්හ.

මෙම දෙවන වටයේදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාගාර වසාදැමීම, උතුරු කොරියාවට එරෙහි සම්බාධක, කොරියානු යුද්ධයේ නිමාව නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම වැනි කාරණාවලට ප්‍රමුඛත්වයක් ලැබී තිබිණි. නායක හමුවෙන් අනතුරුව ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කිරීමට සැලසුම් කර තිබිණි. බොහෝදෙනා අපේක්ෂා කළේ මෙම හමුව ඵලදායීව නිමාවනු ඇති බවටය.

කොරියා -අමෙරිකා හමුවීම

දෙවන සාකච්ඡා වටය අවසානයේ අපේක්ෂිත කාරණා සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එළැඹීමට නොහැකි වූ බව ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වූයේද නැත. ඊට හේතු වශයෙන් දැක්වුණේ කිම් ජොං අන් උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත්කරන ලෙස ඉල්ලා සිටීමය. ජනාධිපති ට්‍රම්ප් ඊට එකඟවී නොමැත. එලෙස මුළුමනින්ම සම්බාධක ඉවත්කිරීමට නම් උතුරු කොරියාව එරට සියලු න්‍යෂ්ටික බලාගාර වසා දැමිය යුතු බව අමෙරිකාවේ කොන්දේසිය විය. උතුරු කොරියා නායකයා ඊට අනුකූලතාවක් දක්වා නැත. ඔහු කියා ඇත්තේ එවිට විශාලම න්‍යෂ්ටික බලාගාරය වන පයොංග්යැංග් බලාගාරය වසාදැමීමට සූදානම් බවයි. එහෙත් ට්‍රම්ප් පවසා සිටියේ එය එරට එකම බලාගාරය නොවන බව ඔවුන් දන්නා බවය. එය ලොකුම බලාගාරය වුවද එකම බලාගාරය නොවන බව ඔහු පැවසීය. ඒ සියල්ල වසා දමන්නේ නම් පමණක් සම්බාධක ඉවත්කරනු ඇතැයි ට්‍රම්ප්, කිම්ට පවසා ඇත.

උතුරු කොරියාවේ ප්‍රමුඛ ඉල්ලීම් වන්නේ එරටට ඛණිජ තෙල් ආනයනය කිරීමට ඉඩදෙන ලෙස හා ගල් අඟුරු හා මුහුදු ආහාර අපනයනය කිරීමට ඉඩ දෙන ලෙසය. එම ඉල්ලීම් එරට ආර්ථිකය සම්බන්ධයෙන් තීරණාත්මකය. එහෙත් පවතින තත්ත්වය යටතේ තවමත් එම ඉල්ලීම්වලට අවසර ලැබී නොමැත.

සාකච්ඡා ඉතා සුහදශීලිව හා මිත්‍රශීලීව පැවැති බව ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය. උතුරු කොරියා නායක ඊට අවංකව සහභාගිවූ බව ඔහුගේ අදහසය. එම සාකච්ඡාවලදී උතුරු කොරියාවේ අත්අඩංගුවේ සිටි අමෙරිකානු ශිෂ්‍ය ඔටෝ වොම්සයර්ගේ මරණය ගැනද අවධානයට ලක්ව ඇත. ඔහු ඉකුත් වසරේ දී ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තමා දැනුවත්ව නොසිටි බව උතුරු කොරියා නායකයා තමන්ට පැවසු බව කියා සිටි ට්‍රම්ප් එම ප්‍රකාශය පිළිබඳ තමන් විශ්වාසය තබන බවද කියා සිටියේය.

දෙවන වටය අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර නොදෙමින් නිමාවට පත්වුවද එය මෙම සාකච්ඡාවල අවසානය නොවීමට බොහෝ දුරට ඉඩ තිබේ.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>