Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

වන ගහ­ණය අඩු­වුණු රට­වල්

$
0
0
මාර් 4, 2019 01:00

රටක වනාන්තරවලට හිමි වන්නේ සුවිශේෂී තැනෙකි. වනාන්තර හෙක්ටයාර බිලියන 4ක් පමණ පවතින බව, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය 2006 වසරේදී කළ සොයා බැලීමකින් අනාවරණය විය. එම වනාන්තරවලට යටත් භූමි ප්‍රමාණය, පෘථිවි භූමි ප්‍රමාණයෙන් 30%කට ආසන්න විය. පෘථිවිය මත ඇති වනාන්තර ප්‍රමාණය, අද වනවිට එකී පමණටත් වඩා අඩු ය. එසේ ම, ලෝකය පුරා වනාන්තර අඩු වී යෑමේ ප්‍රවණතාවක් ද මේ වනවිට ඇති වී තිබේ. වනාන්තර අඩු වී යෑමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ ද මානව කටයුතු ය. ස්වභාවික වනාන්තර මේ අන්දමට අඩු වී ගිය රටවල් දහයක තතු පහත දැක්වේ.

 

1. කටාර් රාජ්‍යය

වර්ග කිලෝ මීටර 11,581කින් සමන්විත කටාර් රාජ්‍ය සැලකෙන්නේ, ලොව ඉහළ ම ඒක පුද්ගල ආදායම සහිත රටක් හැටියට ය. එසේ වුවත් මේ රට නම් කර තිබෙන්නේ, ස්වභාවික වනාන්තර රහිත රටක් වශයෙනි. එවැනි තත්ත්වයක් මතුව තිබෙන්නේ, එහි පවත්නා කාන්තාර දේශගුණ තත්ත්වය නිසයි. එහි වැඩෙන්නේ කාන්තාර දේශගුණ තත්ත්වවලට ඔරොත්තු දෙන ශාක විශේෂ පමණි. පතොක් විශේෂ එහි බහුල ය. රටේ උතුරු ප්‍රදේශවල කඩොලාන ශාක සහිත පරිසර පද්ධති කිහිපයක් දකින්නට පුළුවන.

ස්වභාවික වනාන්තර අඩු නිසා, කෘත්‍රිම වනාන්තර තම රට තුළ ඇති කරන්නට එහි බලධාරීන් වග බලාගෙන ඇත. එරටට අයත් දූපත් හතරක් ආශ්‍රිතව වනාන්තර වර්ග කිලෝ මීටර 8.3ක් ඇති කරන්නට, පසුගිය කාලයේදී පියවර ගැනිණ. එම ප්‍රදේශවල ශාක 950,000ක් සිටුවන්නට කටයුතු සංවිධානය කර තිබුණි.

2. සැන් මාරිනෝ

වර්ග කිලෝ මීටර 61ක තරමේ වූ විශාලත්වයකින් යුත් සැන් මාරිනෝ දූපත තිබෙන්නේ, ඉතාලි අර්ධද්වීපයෙහි ය. මේ කුඩා දූපත් රාජ්‍ය, ඉතාලියෙන් වට වූවකි. ලොව ඉතා කුඩා රාජ්‍යයක් ලෙස සැලකුණත්, සැන් මාරිනෝ යනු ධනවත් වූත්, ස්ථාවර ආර්ථිකයක් ඇත්තා වූත්, යුරෝපා රාජ්‍යයක් හැටියට පිළිගැනේ. සැන් මාරිනෝ රාජ්‍ය, කඳුකර භූ ලක්ෂණවලින් ද හෙබි ය. එසේ වුවත් එහි, වනාන්තර දක්නට නොලැබේ. මේ නිසා , සැන් මාරිනෝ රාජ්‍ය, ස්වභාවික වනාන්තරවලින් තොර රාජ්‍යයක් හැටියට නම් කර ඇත. වනාන්තර වශයෙන් ආරක්‍ෂිත භූමි කිසිවක් ද එහි දක්නට නොලැබෙන බව සඳහන් වේ. එසේ ම, වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී ඇති කිසිදු ජීවි විශේෂයක් ගැන තොරතුරු එරටින් වාර්තා නොවේ. සෙන්ටි මීටර 10 ක විශ්කම්භයකින් යුත් කඳක් සහිත කිසිදු ශාකයක් කපා හෙලීම, එරට නීතිය අනුව තහනම් ය. මේ නීතියට අනුව එරට ඇති බොහෝ ශාක කපා බිම හෙලන්නට හෝ ගලවා ඉවත් කරන්නට නීතියෙන් අවසරයක් නොලැබෙන බව දැක් වේ.

3. ග්‍රීන්ලන්තය

ලොව විශාලත ම දූපත හැටියට සැලකෙන ග්‍රීන්ලන්තයට යටත් සරිය, වර්ග කිලෝ මීටර 2,166,086ක් පමණ වේ. එහෙත්, එහි ජනගහනය 55,877ක් තරම ය. රටෙහි භූමි ප්‍රමාණයෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක්, අයිස් වැස්මකින් ආවරණය වී ඇති බැව් සඳහන් වේ. පවත්නා කාලගුණ තත්ත්වය හේතුවෙන්, එහි දැකිය හැකි වන්නේ තුන්ද්‍රා පරිසර පද්ධති ය. ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන අන්දමට, ග්‍රීන්ලන්තයේ වනාන්තර ඇත්තේම නැත. ලෝක බැංකුව 2015දී නිකුත් කළ වාර්තාවකට අනුව, ග්‍රීන්ලන්තයේ ස්වභාවික වනාන්තර ප්‍රමාණය 0.00054%ක් පමණ වේ. මේ මඟින් නිර්ණය කළ හැකි වන්නේ, ග්‍රීන්ලන්තය ස්වභාවික වනන්තර බෙහෙවින්ම අඩු රටක් බවයි. එසේ වුවත්, එරට තුළ ශාක විශේෂ 529ක් පමණ ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එම විශේෂවලට අයත් ශාක, රටේ විවිධ ප්‍රදේශවල තැනින් තැන වැඩෙනවා විනා, වනාන්තර වශයෙන් දක්නට ලැබෙන්නේ නැත. මතු දැක් වූ විශේෂවලින් 2.8%කට ආසන්න ප්‍රමාණයක් එරටට ආවේණික බව සඳහන් වේ.

4. ඕමානය

වර්ග කිලෝ මීටර 309,500ක භූමි සරියකින් සමන්විත ඕමානය, ලොව උණුසුම් කාලගුණයක් සහිත රාජ්‍යයක් වශයෙන් සැලකේ. එරට අගනුවර වන මස්කට් නගරයේ වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය, මිලි මීටර 100ක් තරමට අල්ප ය. එසේ වුවත්, රටේ කඳුකර භූ ලක්ෂණ සහිත ප්‍රදේශවලට එයට වඩා තරමක් වැඩි වර්ෂාපතනයක් ලැබේ. ඕමානය පුරා දැකිය හැකි වන්නේ, කාන්තාරවල දැකිය හැකි ශාක සහ පඳුරු ය. 2011 වසරේදී කරන ලද සොයා බැලීමකදී අනාවරණය වූයේ, එරට වනාන්තර ප්‍රමාණය 0.01%ක් තරම් බව ය. එහෙත්, 1990 වනතුරුම ඕමානය සැලකුණේ, වනාන්තරවලින් තොර රාජ්‍යයක් හැටියට ය. ලෝක ආහාර හා කෘෂි කාර්ම සංවිධානය සඳහන් කරන අන්දමට, මේ වනවිට එරට තුළ හෙක්ටයාර 2000ක් පමණ වන කෘත්‍රිම වන වැස්මක් දකින්නට පුළුවන. විශේෂ 629කට අයත් ශාක සහ සත්ව විශේෂ, එරට තුළ දැකිය හැකි බව ජෛව විද්‍යාඥයෝ පවසති. එයින් 2.2%ක්ම එරටට ආවේණික විශේෂයි. එම විශේෂවලින් 4.8%කට ආසන්න ප්‍රමාණයක් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා ඇත.

5. ඊජිප්තුව

අරාබි ලෝකයේ ජනගහනය අධික ම රට හැටියට සැලකෙන ඊජිප්තුව, මිලියන 95කට අධික පිරිසකගේ නිජ බිමයි. එරට, වර්ග කිලෝ මීටර 1,001,450කින් සමන්විත ය. මේ සමස්ත භූමියෙන් 0.1%ක් පමණ ප්‍රමාණයක් පුරා වනාන්තර ඇති බැව් 2013 දී අනාවරණය විණ. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව, ඊජිප්තුව සතු වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 70,000කට ආසන්න ය. 1990 - 2000 අතර කාල පරාසය තුළදී එකී වනාන්තර ප්‍රමාණය වසරකට 2.71%කට ආසන්න ප්‍රමාණය බැගින් අඩු වූ බව පැවසේ. එරට වන සංරක්ෂණ බලධාරීන්, සිය රටේ වනාන්තර නඩත්තුව සහ ආරක්ෂාව ගැන විමසා බලා කටයුතු කර තිබෙන්නේ ඉතාමත් මද වශයෙනි.

ඊජිප්තුව පුරා තිබෙන්නේ දැඩි ශුෂ්ක කාලගුණයකි. මේ කාලගුණ තත්ත්වය මෙන් ම, අධික නාගරීකරණය සහ වැලි කුණාටු, ධූලි කුණාටු ආදිය නිසාත් එරට වනාන්තර ප්‍රමාණය ඉදිරියේදී කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇති බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.

6. ලිබියාව

වර්ග කිලෝ මීටර මිලියන 1.8කට අධික භූමි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති ලිබියාව, උණුසුම් සහ වියළි කාලගුණයක් සහිත රටකි. ලිබියාව, හිරු එළිය වැඩියෙන් ම ලැබෙන රටක් හැටියටත් සැලකේ. ධූලි කුණාටු සහ වැලි කුණාටු එරට තුළ නිතර වගේ දකින්නට පුළුවන. ඒ හැරුණුවිට ලිබියා කාන්තාරය මඟිනුත් එරට ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරේ. ලිබියා කාන්තාරයට යටත් සරිය වර්ග කිලෝ මීටර මිලියන 1.1ක් තරම්. එකී තත්ත්ව යටතේ ලිබියාව තුළ, වනාන්නතර දැකිය හැකි වන්නේ ඉතාමත් කලාතුරකිනි. වාර්තාවල දැක්වෙන අන්දමට, එරට සමස්ත භූමි ප්‍රමාණයෙන් වනාන්තරවලට යටත් සරිය 0.12%ක් තරම් වේ. එම වනාන්තර ප්‍රදේශවලින් වැඩි ප්‍රමාණයක් ළඳු කැලෑ ය. මේ ගැටලුකාරී තත්ත්වය මඟ හරවා ගැනීමේ අරමුණ ඇතිව එරට බලධාරීහු, 1976 වසරේ සිටම වන වගා කිරීමේ ව්‍යාපෘති දියත් කළහ. එසේ වුවත්, ඒවා අපේක්ෂා කළ තරම් සාර්ථක වූයේ නැත. මෑත භාගයේදී ඇති වූ යුදමය තත්ත්වය හේතුවෙන්, එරට ඇතැම් ප්‍රදේශවල ශාක ඝනත්වය තව දුරටත් පහළ වැටුණු බව සඳහන් වේ.

7. මොරිටානියා

වයඹ දිග අප්‍රිකා රාජ්‍යයක් වන මොරිටානියාවට අයත් භූමියෙන් වනාන්තර පවතින්නේ, හෙක්ටයාර 267,000ක් පමණ සරියක් තුළ ය. එය එරටට යටත් සමස්ත භූමි ප්‍රමාණයෙන් 0.3%ක් පමණ වේ. මේ වනාන්තර භූමිවලින් හෙක්ටයාර 9,800කට ආසන්න ප්‍රමාණයක් 1990 -2000 කාල වකවානුවේදී සිදුවුණු මානව කටයුතු නිසා විනාශයට පත් වූ බව සඳහන් වේ. ඒ, විවිධ අවශ්‍යතා සඳහා වනාන්තර එළි පෙහෙළි කිරීම නිසා ය. 1990 සිට 2005 වූ කාලය තුළදී , හෙක්ටයාර 148,000 ආසන්න වනාන්තර ප්‍රමාණයක් විනාශ වී ඇත.

මොරිටානියාව තුළ ශාක සහ සත්ව විශේෂ 692කට අධික සංඛ්‍යාවක් දැකිය හැකි බව, ලෝක වන සංරක්ෂණ බලධාරීහු පවසති. ඉන් 0.7%ක්ම ඒක දේශික බව සඳහන් වේ.

8. ජිබුටි රාජ්‍යය

අප්‍රිකා මහාද්වීපයට අයත් ජිබුටි රාජ්‍යයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 0.3%ක් පමණ වනාන්තර බව, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දී තිබිණ. ඒ අනුව එරට වනාන්තර අක්කර 6,000කට ආසන්න ප්‍රමාණයක් පැවැතියේ ය. මේ වන්නතාරවලින් බොහෝ ප්‍රමාණය, කෘෂිකාර්මික කටයුතුවලට එළි පෙහෙළි කරන ලදී. මේ නිසා ද එහි පවතින්නේ, අඩු වනාන්තර ප්‍රමාණයකි.

ශුෂ්ක පරිසර තත්ත්ව හේතුවෙන් ජිබුටි හි පවතින්නේ සැවනා ලක්ෂණ සහිත වනන්තර ය. ඒවායෙහි වැඩිපුර ම දැකිය හැකි වන්නේ, පතොක් වැනි කටු සහිත පඳුරු ය. මුහුද ආසන්න ප්‍රදේශවල පමණක් කඩොලාන ශාක පද්ධති කිහිපයක් දකින්නට පුළුවන. විශේෂ 820කට ආසන්න ශාක එරට දකින්නට හැකි බව, විද්‍යාඥයෝ පෙන්වා දෙති.

9. කුවේට්

වර්ග කිලෝ මීටර 17,818ක භූමි ප්‍රමාණයකින් සමන්විත කුවේට් හි වනාන්තරවලට යටත් සරිය, 0.3%ක් පමණ වේ. එය හෙක්ටයාර 6000ක් තරම් ය. 1990 - 2000 කාල වකවානුවේදී කුවේට් බලධාරීහු හෙක්ටයාර 200 පමණ භූමි ප්‍රමාණයක් පුරා වන වගාවක් ඇරැඹුහ. කෙසේ වුවත්, 2000 - 2005 අතර කාලයේදී එරට වනාන්තර ප්‍රමාණය වසරකට 4% බැගින් පහළ බැස්සේ ය. කුවේටයෙහි ජීවි විශේෂ 358ක් පමණ සිටින බව සඳහන් වේ. ඉන් 0.3%ක් පමණ ඒක දේශික විශේෂයන් ය. එරට සිටින ජීවි විශේෂවලින් 3.9%ක් පමණ වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී සිටින බවත් වාර්තා වේ.

10. සෞදි අරාබිය

වර්ග කිලෝ මීටර 2,150,000කින් සමන්විත සෞදි අරාබියෙහි භූමියෙන් 0.5%ක පමණ ප්‍රදේශයක් පුරා, 2006දී වනාන්තර දකින්නට ලැබිණ. මේ වනාන්තර ප්‍රමාණය පවා විවිධ හේතු නිසා විනාශයට පත් විය. සෞදි ආරබියෙහි පවත්නා කාන්තාර දේශගුණය, වනාන්තර වැඩෙන්නට හිතකර තත්ත්වයක් නොවේ. එරට වනාන්තර වැස්ම පහළ බසින්නට එයත් හේතුවක් වී ඇත. වාර්තාවල දැක්වෙන අන්දමට, 1990 - 2000 දක්වා කාලය තුළ එරට වනාන්තර ප්‍රමාණය වැඩි වූ බවක් පෙනෙන්නට නැත. මේ නිසා, ඉතා විශාල මුදලක් වැය කරමින්, කෘත්‍රිම වනාන්තර ඇති කිරීමට එරට බලධාරීන්ට සිදුව තිබේ.

අන්ත­ර්ජා­ලය ඇසු­රිනි
මංජුලා විජ­ය­රත්න

Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>