Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

දරුවන් ඉදිරියේ දබර හොඳ නැහැ

$
0
0
අප්‍රේ 22, 2019 01:00

බොහෝ මවුපියන්, තම දූ දරුවන් ඉදිරිපිටදී රණ්ඩු දබර කර ගන්නේ, කිසිදු විචාරයකින් තොරව ය. ඔවුන් ප්‍රකාශ කරන ගොරහැඬි වදන්, උණුසුම් වාද විවාද පමණක් නොව, ඇතැම් විට කෙරෙන පහරදීම්, තමන්ගේ කුඩා දරුවන් තුළ මානසික සහ ශාරීරික වශයෙන් අයහපත් තත්ත්ව ඇති කරන බව, ඔවුන් සිතෙන්නේ නැත.

දරුවන් ඉදිරියේ මවුපියන් රණ්ඩු දබර කිරීම නිසා, එම දරුවන් තුළ දිගු කාලීනව මානසික ආබාධ සහ වෙනත් රෝගී තත්ත්ව ඇතිවිය හැකි බව, බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයක් මඟින් හෙළි වී ඇත. එහි දක්වා ඇති අන්දමට, කුඩා දරුවන්ගේ ජීවිත කාලයම දැඩි අවදානමකට ලක් වන බව ඔවුන් දක්වා තිබේ. ඔවුන් වැඩිහිටියන් බවට පත් වූ පසු, දියවැඩියා, හෘද රෝග, ඇදුම සහ සිරුරේ ප්‍රතිශක්තිය අඩු වීම වැනි රෝගී තත්ත්වවලට ගොදුරු වන බව, එම අධ්‍යයනයේදී හෙළි වී ඇත.

“මවුපියන්ගේ දබරවලට නිතරම මුහුණ දෙන දරුවන් තුළ මේ තත්ත්වය ඇති වෙනවා. විශේෂයෙන් ම මවුපියන් අතර ඇතිවන තියුණු, උග්‍ර සංවාද, මෙයට හේතුවක්.“ මෙලෙස පවසන්නේ, ළමා මනෝ විද්‍යාව පිළිබඳ වෛද්‍ය රිපාන් සිප්පි ය.

නිතරම දබර කර ගන්නා මවුපියන් දෙස බලා සිටින දරුවන් තුළ, චිත්තවේග සහ චර්යාමය ප්‍රශ්න පැනනඟින බව ඔහු පවසයි. මේ හේතුව නිසා, අන්‍යයන් බියගැන්වීම, ඔවුන් පීඩාවට පත් කිරීම, ආවේගකාරී වීම සහ අකීකරු වීම, වැනි ලක්ෂණ ළමයින්ගෙන් විද්‍යමාන වන බව, වෛද්‍ය රිපාන් පවසයි.

“සමහර දරුවන් සමාජ විරෝධී සහ අපරාධමය චර්යාවලට යොමු වෙනවා. පාසලෙන් පැන යාම, අන්‍යයන්ගේ අයිතිවාසිකම් නොසැළකීම, බොරු කීම, සොරකම් කිරීම, වංචා කිරීම, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, සූදුවට ලොල් වීම වැනි අපචාරවලට ඔවුන් යොමු විය හැකියි“ඔහු පවසයි.

“රණ්ඩු වෙනකොට, තමන්ගෙ හැසිරීම් දරුවන්ගෙ මානසික තත්ත්වයට හානි කරනවා කියලා බොහෝ මවුපියො හිතන්නේ නැහැ.“ මෙලෙස අදහස් දක්වන්නේ ළමා මනෝ වෛද්‍යවරියක වන දීපාලි බාත්‍රායි. පූර්ව ළමාවියේදී දරුවන් මුහුණදෙන අත්දැකීම්, වැඩිහිටියන් වූ පසුව ඔවුන්ගේ පෞරුෂය හැඩගැස්වීමට හේතු වෙයි. එබැවින්, පූර්ව ළමාවියේදී ඔවුන් මවුපියන්ගේ දබරවලට මුහුණදීමෙන් ඇතිවන තත්ත්ව, ඔවුන්ගේ අනාගත විවාහ ජීවිතවලට ද අයහපත් ලෙස බලපාන බව, වෛද්‍ය බාත්‍රා පවසයි.

විවාහ පිළිබඳ උපදේශන කාර්යයෙහි නියැළී සිටින වෛද්‍යවරියක වන නිශා ඛන්නා පවසන්නේ, දරුවන් සම්බන්ධ කර ගනිමින්, සැමියා හෝ බිරිය අතර වන ගැටුම්වලදී, දරුවන් තම මව හෝ පියාගේ පැත්ත පමණක් ගැනීමට පෙලඹෙන බවයි. සමහර විට දරුවන් මව්පිය දෙපළම අතහැර, පවුලේ පවතින ගැටුම්වලින් ඈත්ව සිටීමට ඉඩ ඇතැයි ද ඇය පවසයි. එසේ ම, පවුල් ජීවිත තුළ මතුවන නොගැළපීම්, ලිංගික ගැටලු, අදහස් හුවමාරුවක් නැති වීම වැනි කරුණු පැනනඟින විට, සැමියා හෝ බිරිය, ඒ පිළිබඳ දැනුමක් ඇති වෘත්තීය උපදේශකයකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් ම සුදුසු බව ද ඇය පවසන්නී ය.

ඉන්ඩියන් එක්ස්ප්‍රස් ඇසුරෙනි

සුජීව තේවහෙට්ටිගේ


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>