ඒ වුමන් ඉන් බර්ලින් (A woman in Berlin ) ජර්මානු චිත්‍රපටියකි. 2008 වසරේදි Max Färberböck විසින් විසින් අධ්‍යක්ෂණය කෙරුණු, Nina Hoss and සහ Eugeny Sidikhin විසින් ප්‍රධාන චරිත මෙහෙයවෙන මේ චිත්‍රපටියේ කතාවට ලක් වෙන්නේ දෙවන ලෝක යුද්ධයේදි හිට්ලර්ගෙන් අත හැරුණු ජර්මනිය යටත් කරගත් රුසියානු රතු හමුදාව ජර්මානු ගැහැනුන්ට එරෙහිව සිදු කළ ලිංගික අපරාධ පිළිබඳවයි. නම නොකියන සැබෑ ගැහැනියක්ගේ දිනපොතක සටහන් අළලා මේ කතාව දිග ඇරේ.
යුදෙව්වන්ට සහ වෙනත් අයට එරෙහිව හිටලර්ගේ නට්සි පාලනයට පක්ෂග්‍රාහීන් කළ අපරාධ ගැන යුද්ධයෙන් පසු විමසීමක් සිදු වූවත් සාමාන්‍ය ජර්මානු ගැහැනියට එරෙහිව සිදු වූ අති විශාල කෲර අපරාධ සඟවා ඒවාට ගොදුරු වූ අයට යුක්තිය ඉටුකිරීම උවමනාවෙන්ම වළකා දැමිණි. නමුත් යුද්ධයෙන් දශක කිහිපයකට පසුව ජර්මානු ගැහැනුන්ට සිදු වූ ලිංගික අපරාධ ගැන එළිදරව් කරමින් ඔවුහු නැඟී සිටින්නෝය.
දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමඟ කුරිරු ලිංගික අපරාධවලට ගොදුරු බවට පත් වූ මිලියන දෙකක පමණ ගැහැනු අතරේ, යන්තම් වයස දහ අටේදී රුසියානු සොල්දාදුවන් කිහිප දෙනෙකුගේ ලිංගික බලහත්කාරකම් සහ අපරාධවල ගොදුරක් වූ රූත් ෂූමාකර් (Ruth Schumacher) තමන්ට වයස අසූ තුනක් වනතුරු එම අපරාධ ගැන කතා නොකරන්නට තීරණය කරන්නේ ඇයි කියා ඔබට මට තේරුම් ගැනීමට පුළුවන්ද? ප්‍රශ්නය විය යුත්තේ වයස අසූ තුනේදී ඈ ඒ හිංසනය ගැන කතා කරන්නේ ඇයි යන්නද නැතිනම් තමන්ට වූ හිංසනය පිළිබඳ වයස අසූ තුනේදී වත් හෙළිදරව් නොකරන්නේ ඇයි යන්නද? ඇතැම් අවස්ථාවලදි මේ අපරාධ ගැන කතා නොකිරීමට පොරොන්දු පත්‍ර පවා අත්සන් කරවා ගනිමින් මේ ගැහැනුන් නිහඬ කරවා ඇත. ලිංගිකව සම්ප්‍රේෂිත ලෙඩ රෝග, ගබ්සාව, පළුදු වූ බවට හංවඩු වැදීම පිරුණු තවත් යුද්ධයක් එම ගැහැනුන්ට යුද්ධයෙන් පසුව සටන් කරන්නට ඉතුරු විය. දේශපාලන භීතිය, ලැජ්ජාව, අසරණකම, පශ්චාත් කම්පනය, උපකාර කිරීමට කෙනකු නොමැතිවීම, නොනැසී ඉතිරිවීමේ මඟ යන කී නොකී නොයෙකුත් කරණා හේතුවෙන් මේ ගැහැනුන් නිහඬ වූවා විය හැකිය. නාට්සි පාක්ෂිකයින් විසින් කළ බිහිසුණු ව්‍යසනය අභිමුවේ, ජර්මානු ගැහැනුන් හැටියට ඔවුන්ගේ හඬ අසන්නට ඔවුන් ඇර වෙන කිසිවෙක් සිටියේද?
ඉහත මා සඳහන් කළ චිත්‍රපටියේ එක්තරා ජවනිකාවක තමන්ට මුණ ගැසෙන මිතුරියකට තව මිතුරියක් ‘කීදෙනෙක් ද/හොව්මන්ය්?‘ කියා ආමන්ත්‍රණය කරයි. ‘කොහොමද‘ කියා නො අසා ඈ ආමන්ත්‍රණ කරන්නේ ‘කී දෙනෙක්ද‘ කියායි. ඈ අසන්නේ කී දෙනෙකු අතින් කී වතාවක් බලහත්කාරකමට ගොදුරුවී ද යන්නයි. ඉතා හිංසාකාරි තත්ත්වයක පවා එකිනෙකා වෙනුවෙන් ජීවත් වූ, විටෙක සිනහවෙන් දුක බෙදා ගත් ඒ ගැහැනුන් තමන් අතරේදී කිසිවකුට කැළැලක් නොමැති බව, තමන්ගේ එකමුතුව තමන් අතරේ වත් පෙන්වා පවිටු අපරාධයන් වූ බව තමන් අතරේ වත් පිළිගන්නේ, ඒ අපරාධ ඔවුන්ගේ වරදක් නොවන බව දන්නා උදාර ගැහැනුන් නිසාවෙනි.
මේ වෙලාවේ මේ චිත්‍රපටිය සහ එම ගැහැනුන් මගේ මතකයට නැගෙන්නේ ‘MeToo‘ ව්‍යාපෘතියේ බලවත්කම හේතුවෙනි. 2006 දී, ටරානා බර්ක් (Tarana Burke) නමැති සමාජ ක්‍රියාකාරිනිය විසින් ආරම්භ වූ ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමක් හැටියට කලාකාරී ඇලීසා මිලානෝ (Alyssa Milano) විසින් ට්විටර් (Twitter) සමාජ ජාලයේ MeToo පළ කිරීමෙන් රැල්ලෙන් රැල්ලක් සේ නැඟී ලොව පුරා ගැහැනු සහ පිරිමි තමන්ට වූ ලිංගික අඩම්තේට්ටන් ගැන එළිදරව් කිරීමට නිර්භීත වූහ. ඒ සෙමින් නැගි රළ අවසන අමෙරිකාවේ බලවත් පිරිමි කිහිප දෙනකු ගිල්වා දමන ගංවතුරක් බවට පත්විය. බලවත් සහ බලවත් නොවන අය විසින් සිදු කරන ලද ලිංගික අපරාධ ගැන එළිදරව් කිරීමට ඒවාට එරෙහිව හඬ නැඟීමට එකඟ වීමට, එසේ හඬක් නැඟීමට හැකියාවක් ඇති, හඬ නැඟීමේ බිහිදොරක් හිමි අය ඉදිරිපත් වී ඇත.
මෙතරම් කලක් නිහඬවී දැන් තමන් ගොදුරු වූ ලිංගික හිංසනය, අපරාධ ගැන කතා කරන්නේ ඇයි කියා ඇතැම් අය විමසයි. ඒ ගැන මම පෙර වතාවක ලියූ බව ඔබට මතක තියෙන්නට ඉඩ ඇත. එසේ නම් නැවත ලියන්නේ ඇයි? නිහඬ වී සිටීමට පුළුවන් නම් ඒවා ගැන කතා කරන්නේ ඇයි කියා නැවත නැවතත් ඔවුහු අසති. විශේෂයෙන්ම, සමාජ ජාලා තුළ ඕනෑම පුහු කතාවක් ප්‍රකාශ කිරීමෙන් තමන් වටා පුහු පිරිසක් එකතු කරගැනීමට හැකියාවක් ඇති නිසා, බුද්ධියත්, අචාරධර්මත්, තේරුම් ගැනීමේ හැකියාවක් නැති අචේතනික පිරිමි කොටසක් නැවත නැවත ‘ඇයි‘ යන ප්‍රශ්නය අවඥාවෙන් අපහාසයෙන් අසයි.
හුදෙක් අපරාධකරුවන්ට දඬුවම් කිරීමේ උවමනාවටත් වඩා මේ හඬ නැඟීමේ මූලික පරමාර්ථය, ලිංගික අපරාධ පිළිබඳ දැනුවත් කිරීම, ඒවාට ගොදුරු වූවන් සමඟ එක්ව නැඟී සිටීම, මතු දිනෙක සිදුවිය හැකි අපරාධ වළකා ගැනීමේ බලාපොරොත්තුව යනාදී දැවැන්ත ප්‍රගතිශීලී ඵලදායි මානුෂික ප්‍රයත්නය ය.
හිමාලි එන්. ලියනගේ