මුස්ලිම් ප්‍රජාවගෙන් ඉතා සුළු පිරිසකගේ අමනෝඥ අන්තවාදී ක්‍රියාවක් හේතුකොටගෙන අද වන විට සිංහල, දෙමළ,මුස්ලිම් ජන ජීවිතයට බලවත් පහරක් එල්ල වී ඇත. භීතිය , ත්‍රාසය, සැකය මුසු වූ පරිසරයක් තුළ එදිනෙදා ජීවන කටයුතු සිදුකර ගත යුතුව ඇත. පොලීසිය, ත්‍රිවිධ හමුදාවේ අති දක්ෂ වෑයම නිසා පසුගිය 21 වනදා සිදුවීමෙන් අනතුරුව මේ තාක් කිසිදු පිපිරීමක් හෝ ජන ජීවිතයට හානියක් සිදුවී නැත. එසේ වුව ද මෙම සිද්ධියෙන් පසු අප රටේ නොපෙනෙන පාර්ශ්වයන් අතින් විවිධ කැරළි කෝලහාල සිදුවන බවක් නම් දක්නට ඇත. ඒ තුළින් එකකුදු මුස්ලිම් අන්තවාදියෙක් විසින් හෝ පළමු සිදුවීම පාදක කරගත් ව්‍යවසනයක් සිදුකර ඇති බවක් නම් දක්නට නැත.
ගෙවී ගිය 30 අවුරුදු යුද්ධයේදීවත් දක්නට නොලැබුණු අදිසි බියක් මහජනතාව තුළ වර්තමානයේ දී ඇති වී තිබීම කාගේ ඕනෑ එපාකම් මතද යන්න දැනට ජනතාව තුළ කුතුහලයක් මතුවී ඇත. බොරදියේ මාළු බෑමට වෙර දරන පිරිසකගේ ඕනෑ එපාකමක් මතද, එසේත් නැතහොත් පසුගිය කළු ජූලියේ දී සිදු වූ ජාත්‍යාලය ශරීරයට කා වැදුණු මංකොල්ලකාරයින්ගේ උවමනාවක් මතද යන්න විවිධ ජන කොටස් තුළ කුකුසක් හටගෙන ඇත. මේ වනවිට ඇතැම් ජන කොටස්වල කථිකාවක් වී ඇත්තේ, මුස්ලිම් කඩ සාප්පු, හෝටල් වෙත නොගොස් ඒවා වර්ජනය කොට සියළුම මුස්ලිම් නිෂ්පාදන හා භාණ්ඩ ප්‍රතික්ෂේප කරමු යන්නය. එය එසේ වන්නේ නම් මැද පෙරදිග රටවලින් මෙරටට ආනයනය කරන ඉන්ධන අප විසින් ප්‍රතික්ෂේපකොට, අප රටේ සියලුම වාහන පොල් තෙල් වලින් හෝ ඇල් දියෙන් ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය. තවද මුස්ලිම් රාජ්‍යයන්හී සේවය කරන අපගේ සහෝදර සහෝදරියන් ද මෙරටට ගෙන්වා ගත යුතුය. එයට හේතුව වන්නේ ඔවුන් විසින් අරාබියෙන් හරි හම්බ කරන මුදල් ද අපගේ ඇතැමුන්ට ඇලජික් වන හෙයිනි.
මුස්ලිම් ජාතික සුළු පිරිසකගේ අමනෝඥ ක්‍රියාවන් සඳහා අප ඊට පිළිතුරු සැපයිය යුත්තේ එවැනිම අමනෝඥ ක්‍රියාවකින් දැයි බොහෝ අය තුළ ප්‍රශනාර්ථයක් වී ඇත. ඇවිලෙන ගින්නට පිදුරු හෝ පෙට්‍රල් නොයොදා දිගු කාලයක් අප මුස්ලිම්, දෙමළ, සිංහල ජනතාව හා එක්ව ජීවත් වූ අයුරින් සහයෝගයෙන්, සහජීවනයෙන් එකම මවකගේ දරුවෝ විලසින් මෙම ප්‍රශ්නය අප විසින්ම විසඳාගැනීමට ඕනෑ තරම් ඉඩකඩ, ප්‍රතිපාදන ඇත. එයට අවශ්‍ය වන්නේ හරි දැක්මකින් යුත් බුද්ධිය හා ඉවසීම පමණි. මුස්ලිම් ප්‍රජාව තුළ ද මෙම අන්තවාදයට උඩගෙඩි දෙන යම් පිරිසක් ඉතිරිව සිටී නම් ජාති ද්‍රෝහීන්. දේශ ද්‍රෝහීන් ලෙස සලකා ඔවුන් කවුරුන් ද යන්න සොයා දීමට මුස්ලිම් ජනතාවත් උපරිම කැප කිරීමක් කළ යුතුව ඇත. එය සියළු ජන කොටස්හී සහජීවනයට හා අභිවෘද්ධියට ඍජු දායකත්වයක් වන්නේය.
පීටර් විජේසූරිය,
හිඳගොඩ, බදුල්ල